තරුත් එක්ක අලුත් අවු­රුද්ද | සිළුමිණ

තරුත් එක්ක අලුත් අවු­රුද්ද

 

2019 වර්ෂය ගෙවී යන්න ඇත්තේ තව දින කිහිපයක් පමණයි. 2020 අලුත් අවුරුද්දත් එක්ක අපි හැමෝගෙම ජීවිතවලටත් අලුත් අරමුණු එකතු වෙනවා. මේ කියන්න යන්නෙ උදා වන නව වසර ගැන අපි හැමෝම ආදරය කරන පිරිසක් තමන්ගෙ නැවුම් බලාපොරොත්තු අපි සමඟ බෙදාගත් ආකාරයයි.

 

 

නර්තනයෙන් දෙයක්

කරන්න කැමැතියි

- මේනක රාජපක්ෂ

මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන වසරේදීත් පුළුවන් තරමින් රටට වැඩදායි හොඳ පුරවැසියෙක් වගේම හොඳ සැමියෙක් විදිහට සතුටෙන්, සමාදානයෙන් ජීවත් වීම තමයි බලාපොරොත්තුව. 2020 ජනවාරි මාසෙ නර්තනයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. ඉතිං අලුත් වර්ෂයත් එක්ක නැවුම් විදියට ජීවිතේට මුහුණ දෙනවා. ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

 

2019 මට අපලයි

- රිතූ ආකර්ෂා

නව වසරත් එක්ක මගේ හිතේ ඉටු කරගන්න ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඇත්තටම මට 2019 එච්චර හොඳ අවුරුද්දක් නම් වුණේ නැහැ. ඒත් මම හිතනවා ලබන වසර මට වාසනාවන්ත වසරක් වේවි කියලා. ඉතිං බලාපොරොත්තු පොඳි බැඳගෙන නව වසරට පා තබනවා. ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය තුනක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තිළිණ වන්න නියමිතයි. ඉටු කරගන්න බැරිවුණ බලාපොරොත්තු ඉටු කරගන්න හැකි වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

 

සිනමාව මගෙ ජීවිතේ

- ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ලබන වසරේ මගේ එකම සහ ලොකුම බලාපොරොත්තුව සිනමාව. රංගන ශිල්පියෙක් විදිහට තව බොහෝ දුර ගමන් කරන්නටත්, සිනමා ක්ෂේත්‍රයේ මම අත්නොවිඳපු ඉසව් කරා යන්නටත් ප්‍රාර්ථනා සිතෙහි පුරවාගෙන නව වසරට පා තබනවා.

 

විලාසිතාවට මුල්තැන

- විනූ සිරිවර්ධන

ලබන වසරේදී මා රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වීමට නියමිතයි. දින වකවානු නම් කියන්න අපහසුයි. ඉතිං අලුත් අවුරුද්දෙ මට අලුත්ම පියවරක් තියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. විලාසිතා පැත්තට පොඩ්ඩක් හිත ගිහින් තියෙන්නෙ. ඒ නිසා ඒ පැත්තෙන් දෙයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම රංගනය ඉදිරියෙන්ම තියාගෙන තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

ලොකුම දේ හිතේ සතුට

- කාවිංග පෙරේරා

අලුත් අවුරුද්දත් එක්ක නැවුම් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ වගේම රංගනය පැත්තෙන් ගත්තොත්, මම රංතනයෙන් දායන වන ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන ලද “සසල ඉම” ටෙලිනාට්‍යය ලබන වසරේ විකාශය වන්නට නියමිතයි. ඊට අමතරව “හිරු ඇවිදින්”,“තෝඩු”, “මඩොල් කැලේ වීරයෝ” ටෙලිනාට්‍යවල වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතිං මේ ඉන්න විදිහට මගේ බිරියත් සමඟ සතුටින් කාලය ගත කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

 

විශේෂයක් නෑ ඉතිං...

- ශේෂාද්‍රි ප්‍රියසාද්

ලබන අවුරුද්ද ගැන මම දැනට ලොකුවට සැලසුම් කරලා නම් නැහැ.කරගෙන යන වැඩ ටික ඉදිරියටත් දිගටම කරගෙන යනවා.ඉතිං නිදහසේ පාඩුවේ ලබන අවුරුද්ද ගත කරන්න තමයි මම ආසම. ඒ වගේම සියලු දෙනාට ලබන්නා වූ 2020 අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත වසරක් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

 

හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි

- පබෝධා සංදීපනී

ලබන වසරේ මා රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එකක් තමයි උදයකාන්ත වර්ණකුලසූරියගේ “ගින්දරී 2” අනිත් එක සරත් වීරසේකරගේ “ත්‍රිසිද්ධා”. ඒ වගේම හොඳ නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා සහ ඒවාට දායක වෙමින් ඉන්නවා මේ දවස්වල. ඒ වගේම හොඳ නිර්මාණවලට ඉදිරියේදීත් දායක වෙන ගමන් මගෙ පුතයි පවුලෙ අය එක්කයි සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව.

 

ළමයින් වෙනුවෙන් වැඩිපුර නිර්මාණ කරනවා

- චන්න පෙරේරා

අලුත් අවුරුද්දක් පටන් ගන්නවා කියන්නේ ඕනැම කෙනකුගෙ ජීවිතයට අලුත් බලාපොරොත්තුත් එකතු වෙනවා කියන එක. මේ වෙනකොට මගේ නවතම චිත්‍රපටය වන “යුගාත්‍රා” චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්. මගේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි පුළුවන් තරම් ඉක්මනට එය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒ මං පෞද්ගලික ජීවිතේ ගත්තොත් සතුට තමයි අංක එක. “පුංචි වීරයෝ”වගේ ළමයින් වෙනුවෙන් වැඩිපුර නිර්මාණ කරන්නට මම නව වසරේදී බලාපොරොත්තු වෙනවා. අාධ්‍යාත්මික පෝෂණය සඳහා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නත් සැලසුම් කරමින් ඉන්නවා. ඉතිං මේ හැමදේම එක්ක උදා වන නව වසර සුබ නව වසරක් වෙයි කියලා මම හිතනවා.

ව්‍යාපාරයක් පටන් ගන්න

හිතන් ඉන්නෙ

- තිසුරි යුවනිකා

ලබන වර්ෂයේ සුපුරුදු විදිහට නිර්මාණ කටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. භාරගත්ත අලුත් වැඩත් තියෙනවා. පරණ ඒවත් තියෙනවා. ඒ සියල්ලම කරන්න ඕනෙ. ඊට අමතරව අවුරුද්ද මැදදි වගේ විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවා. හැමදාම වගේ මගෙ නිර්මාණ කටයුතු සහ පවුලෙ අය එක්ක සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම මමයි අම්මයි එකතු වෙලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නත් පොඩි අඩිතාලමක් දාලා තියෙන්නේ. Wedding planning වලට සම්බන්ධ දෙයක්. 2020 හා හා පුරා කියලා ඒ කටයුත්තට මුලපුරන්නත් හිතන් ඉන්නවා.

 

පුංචි පැටියා වාසනාව ගෙනේවි

- අකිල ධනුද්දර

2020 තමයි මගේ ජීවිතේ හොඳම තෑග්ග ලැබෙන්නෙ. දුව ඉපදෙන්නෙ ජනවාරි මාසෙ. ඉතිං එතනින් පටන් අරගෙන තව සෑහෙන දේවල් තියෙනවා තරන්න. මගේ පළමුවැනි ව්‍යාපාරයට අත තියන්න බලාපොරොත්තු වෙනවා. කලා කටයුතුත් සෑහෙන ප්‍රමාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. කලා ලෝකයට වගේම මගේ පෞද්ගලික ජීවිතේටත් සුබදායක සහ වාසනාවන්ත වසරක් වේවි කියලා මම හිතනවා. හරිම හොඳ කාලයක් උදාවෙයි කියලා දැනෙනවා. ඉතිං ඉලක්කම වගේම වර්ෂයත් ලස්සන වේවි. රවුම් රවුම් බෝල බෝල අවුරුද්දක්නෙ.

 

හැමෝටම සුබ නව වසරක්

- මාධව විජේසිංහ

උදවන නව වසරේ අරමුණු කිහිපයක් තියෙනවා ලඟාවෙන්න. ඒ වගේම නැවුම් බලාපොරොත්තු බොහොමයක් තියෙනවා ඉටුකරගන්න. ගෙවුණු වසර හොඳින් ගෙවී ගියා. ලබන වසරත් ඉතා හොඳින් ගෙවී යාවි. ඉතිං ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සියලු පැතුම් ඉටු වන සුබම සුබ වන නසරක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.

 

තවම විවාහ වෙන්න නම්

බලාපොරොත්තුවක් නැහැ

- ඩිනක්ෂි ප්‍රියසාද්

2020 මට හොඳ ආරම්භයක් වේවි. හිතේ ගොඩක් දේවල් තියෙනවා ඉෂ්ට කර ගන්න. නමුත් ඒක මත්තෙම ඉන්නෙ නෑ. වෙන දේවල් වෙන කාලෙක වේවි කියලා මම බලාගෙන ඉන්නවා. මේ අවුරුද්දෙ භාරගත්ත වැඩ ලබන අවුරුද්දෙදිත් දිගටම සිදු කරනවා. ඒවා සාර්ථක කරගන්න වගේම ඉවර කර ගන්නත් බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර කටයුතුත් සිදුකරන්න ඕනි. පවුලෙ අය එක්ක සතුටෙන් කාලය ගත කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. විවාහය නම් ලබන වසරෙ සිදු කරන්න තවම තීරණය කරලා නෑ. තීරණය කරපු දවසක ඔයාලට ඉස්සරලාම කියන්නම්.

 

සමාජ සත්කාර එක්ක

රංගනයෙත් නියැ­‍ෙළනවා

- මිෂෙල් දිල්හාරා

මගේ රංගන වැඩකටයුතු දිගටම සිදු කරගෙන යනවා. ඒ වගේම මම පොතක් එළිදක්වලා තියෙනවා.සිංහලෙන් ගත්තොත් ඒකෙ නම තමයි “සමාජ අදෘෂ්‍යමාන බව මිථ‍යාවක් නොව එය පවතින්නක්” කියලා. මේ පොත එළිදැක්වීම සිදුකළේ ඉන්දියාවේදී. මේ පොත ජාත්‍යන්තර පොත්හල් 26 කිනුත් ලබාගන්න පුළුවන්. මෙය පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල පරිවර්තනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනවාරි මාසෙ දිවුලපිටියේදී වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ඉන්නෙ. ඒ අතර ළමයින් 200කට නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය මම ලබාදෙනවා. ඉතිං මේ බලාපොරොත්තු එක්ක ලබන වසර සතුටින්ම ගත කරක එක තමයි මගේ අරමුණ.

 

 

Comments