ගිනි අවි හුරු අතින් සොඳුරු නිමැ­වුම් මවනා අපේ රණ­විරු සොහො­යුරෝ | සිළුමිණ

ගිනි අවි හුරු අතින් සොඳුරු නිමැ­වුම් මවනා අපේ රණ­විරු සොහො­යුරෝ

යුද්ධ­යේදී ‘රණ­ක්ෂි­ත­යට’ හෙවත් ආබා­ධ­ව­ලට පත් රණ­වි­රු­වන්ගේ දිරිය වැඩීම පිණිස ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව විසින් ව්‍යාපෘති රැසක් ක්‍රියා­වට නංව­මින් තිබේ. යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව පසු­ගිය 12 සහ 13 දෙදින කොළඹ සෞන්ද­ර්යය විශ්ව­වි­ද්‍යා­ලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලා­ගා­ර­යේදී උත්ක­ර්ෂ­වත්ව පැවැ­ත්වුණු‍, රණ­ක්ෂි­ත­යට පත් රණ­වි­රු­වන් 62 දෙනකු අතින් නිමැ­වුණු සිතු­වම් 172ක්, මූර්ති 15ක්, ලී කැට­යම් 34ක් හා අත්කම් 203කින් සම­න්විත ‘උට්ඨාන වීර්යය’ නිමැ­වුම් දැක්ම එහි තවත් පිය­ව­රකි.

මෙහිදී රණ­ක්ෂි­ත­යට පත්ව නේවා­සි­කව සිටින අය සහ වත්තල රණ­විරු සම්පත් කේන්ද්‍රයේ පුහු­ණුව ලබ­න්නන් විසින් ඉදි­රි­පත් කරන ලද මේ නිර්මාණ බොහෝ දෙනාගේ ඇග­යු­මට පාත්‍ර වූ අතර, මේ අව­ස්ථා­වට එක් වූ යුද හමු­දා­ප­ති­ව­රයා පැව­සූයේ රණ­ක්ෂි­ත­යට පත් හමුදා සාමා­ජි­ක­යන්ගේ මෙවන් දස්කම් ජාතික තලයේ මීටත් වඩා ස්ථාන­යක් කරා ගෙන යෑමට යුද හමු­දාව හැකි සියලු පිය­වර ගන්නා බවයි.

මේ ප්‍රද­ර්ශ­න­යට එක් කළ නිර්මාණ බිහි කිරී­මට දායක වූ ඇතැම් රණ­වි­රු­ව­කුගේ පාද­යක් නැත. ඇතැ­ම­කුගේ පා දෙකම නැත. තවත් අය­කුගේ අතක් නැත. දෑතම නැති අය මෙන්ම දෑසම නොපෙ­නෙන අයද ඒ අතර වෙති.

ඔවුන් මේ තත්ත්ව­යට පත් වූයේ අපට බියක්-සැකක් නැතිව ජීවත් වන්නට හැකි රටක් නිර්මා­ණය කරන්න ගොසිනි.

අද මේ බොහෝ අයට තනි­වම තම කටු­යතු කර­ගන්න අප­හ­සුය. චිත්‍ර අඳි­න්නන්ට අවැසි වර්ණ සංයෝ­ජ­නය කර­ගන්න වතුර ටික පවා තවෙ­කකු ළඟට ගෙනැ­විත් දිය යුතුය. අනෙ­කුත් නිර්මාණ කර­න්න­න්ටද අවශ්‍ය බොහෝ දෑ ඔවුන් ළඟට සැප­යිය යුතුය. ඇතැම් විට මූර්ති හා කැට­යම් නිර්මාණ කරන්න යද්දී දෙපා­ව­ලින් දෑතට ගත යුතු වාරුව ගන්න ඔවුන්ට හැකි­යා­වක් නැත. ඒ දෙපා නැති නිසාය. එසේ වුවද කල­වා­ව­ලින් ඒ වාරුව ගනි­මින් ඔවුහු තම නිර්මාණ සර­සති. රෝද පුටුවේ හිඳ, ඇඳක් මත හිඳ, එසේත් නැත් නම් බිත්ති බාග­යක හිඳ ඔවුහු තම නිර්මාණ කරති. හමු­දා­වේදී ලත් ධෛර්ය සම්පන්න භාවය මත කෙසේ හෝ තම කාර්යය ඉහ­ළින් නිම කර මිස ඔවුන් පස්ස බලන්නේ නැත.

මෙහිදී යුද හමු­දාව විසින් පත් කර ඇති උප­දේ­ශ­ක­ව­රුන් මෙන්ම මඟ පෙන්ව­න්නෝද විසින් මේ නිර්මා­ණ­වල අගය ඉහළ නංවා­ගැ­නී­මට අවශ්‍ය උපෙ­දස් සප­යති. ස්වාභා­වික ද්‍රව්‍ය උප­යෝගි කර­ග­නි­මින් සකස් කර ඇති නිර්මා­ණ­ව­ලට ඔවුන් ලබා දී ඇත්තේ ඉහළ වටි­නා­ක­මකි. වෙසෙ­සින් පොල් කටු ඇසු­රෙන් තනන ලද නිර්මාණ කාල­යක් අපට තබා ගෙන භාවිත කළ හැකි සෞඛ්‍ය සම්පන්න මුළු­තැ­න්ගෙයි නිර්මාණ ලෙස හඳුන්වා දීමට පිළි­වන. එමෙන්ම මූර්ති කැට­යම් මෙන්ම චිත්‍ර නිර්මා­ණද අන්ත­ර්ජා­තික තලයේ ඒවාය. ඔවුන් විසින් ලබා ගන්නා දැනුම අනුව ඉදි­රි­යේදී මීටත් වඩා ප්‍රමි­ති­යෙන් හා අග­ය­කින් යුක්ත නිර්මාණ එළි දකිනු ඇත.

මොවුන්ගේ ඒ නිමැ­වුම් ජනතා ඇසට යොමු කරන්න යුද හමු­දාව ගත් පිය­වර අගය කළ යුතුය. ‘උට්ඨාන වීර්යය’ ප්‍රද­ර්ශ­න­යේදී රණ­විරු නිමැ­වුම් රැසක්ම ජන­තාව විසින් මිල දී ගැනී­මද අගය කළ යුතුය. ඒ අලෙ­වි­යෙන් සැල­කිය යුතු මුද­ලක් රණ­වි­රු­ව­න්ටද ලබා දීමට යුද හමු­දාව කට­යුතු කර තිබේ. එයද පැස­සිය යුතුය.

‘රණ­ක්ෂි­ත­යට’ පත් මේ රණ­වි­රු­වන් ඒ තත්ත්ව­යට පත්ව ඇත්තේ අපගේ ජීවිත සුර­ක්ෂිත කරන්න ගොසිනි. එය හුදු රැකි­යා­වක තත්ත්ව­යෙහි ලා ලඝු කොට සල­කන්න සිහි-බුද්ධිය ඇති කිසි­ව­කු­ටත් හැකි­යා­වක් නැත.

අත පය හත­රම යහ­තින් ඇති අපට වඩා ඔවුන් බොහෝ දේ කර ඇත. ඔවුන්ගේ මේ වෑයම අප ඉහ­ළින්ම අගය කළ යුත්තේ ඒ නිසාය. අදද ඔවුන් තම නිර්මා­ණ­ව­ලින් බොහෝ දේ කරති. එහෙ­යින් රටට ණය නැති ඔවුන් වෙනු­වෙන් අපද යමක් හෝ කළ යුතුය. යුද හමුදා පුන­රු­ත්ථා­පන අධ්‍යක්ෂ බ්‍රිගේ­ඩි­යර් ශිරාන් අම­ර­සේ­කර අපට පැව­සූයේ අවැසි අය­කුට මෙවන් නිමැ­වුම් ඇණ­වුම් කර, සාද­වා­ගත හැකි බවයි. ඉහළ වටි­නා­ක­මක් මෙන්ම ඉහළ ප්‍රමි­ති­යක් ඇති මේ නිර්මාණ ඇණ­වුම් කර, ඔවුන්ට යම් වටි­නා­ක­මක් දීම කළ­ගුණ දත් මිනි­සුන්ගේ යුතු­ක­මයි.

සේයාරූ - නිශ්ශංක ද සිල්වා

Comments