අප රටක් ලෙස යා යුත්තේ සුහුරු ගමනක් | සිළුමිණ

අප රටක් ලෙස යා යුත්තේ සුහුරු ගමනක්

රට ගෙන යා යුත්තේ කවර දිසා­න­ති­ය­ක­ටද යන්න පිළි­බඳ මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය අජිත් ද අල්විස් මහතා සමඟ ‘සිළු­මිණ’ කළ පිළි­ස­ඳ­රකි.

 

• අද ‍ලෝකයේ බොහෝ රට­වල් නව්‍ය­ක­ර­ණය සමඟ ඉදි­රි­යට පැමිණ තිබෙ­නවා. නව වසරේ මේ රට ඉදි­රි­යට ගෙන­යන්න නම් අප අව­ධා­නය යොමු කළ යුතු ක්ෂේත්‍රය කුමක්ද?

ලෝක බුද්ධි­මය දේපළ සංවි­ධා­නය (WIPO: World Intellectual Property Organization), අන්ත­ර්ජා­තික වෙළෙ­ඳාම පිළි­බ­ඳව අධ්‍ය­ය­නා­ය­ත­නය (INSEAD) හා කෝර්නෙල් විශ්ව­වි­ද්‍යා­ලය (Cornell University) එක්ව වාර්ෂි­කව රට­වල් 135ක 140ක පමණ ගෝලීය නවෝ­ත්පා­දන පිළි­බඳ ඇග­යී­මක් සිදු කර­නවා. එය හඳු­න්වන්නේ ගෝලීය නවෝ­ත්පා­දන දර්ශ­කය (Global Innovation Index) කිය­ලයි. 2019 අව­සා­නයේ 7 වැනි වරට සිදු කෙරුණු මේ ඇග­යී­මේදී අප සිටියේ 89 වැනි ස්ථානයේ. ඒත් 2018 වසරේ අප සිටියේ 88 වැනි ස්ථානයේ. මේ ගෝලීය නවෝ­ත්පා­දන දර්ශ­ක­යෙන් පෙන්නුම් කරන්නේ රටක තිබෙන නව්‍ය­ක­රණ මට්ට­මයි. රට තුළ නව්‍ය­ක­ර­ණය සඳහා තිබෙන පරි­ස­රය, නීති-රීති, ආකල්ප, දැනුම හා ඒ දැනුම හසු­ර­වනු ලබන ආකා­රය, ඒ සඳහා පව­තින ආය­ත­නික ව්‍යූහය, රට තුළ නව නිෂ්පා­ද­න­ව­ලට තිබෙන ඇග­යීම හා පිළි­ගැ­නීම ආදි බොහෝ දේ මීට ඇතු­ළත්. එසේ බැලු විට 89 කියන්නේ සතු­ටට පත් වන්න පුළු­වන් මට්ට­මක් නොවෙයි. අප ඉන්නේ ලෙබ­නන්, කජි­ගි­ස්තාන්, ට්‍රිනි­ඩෑඩ් සහ ටොබැගෝ අතර. මෙතන තිබෙන්නේ ඒ රට­වල් එක්ක ප්‍රශ්න­යක් නොවෙයි. අප කතා කරන තර­මට අපේ වැඩ නැති එකයි. මේ නිසා නවෝ­ත්පා­දන ක්ෂේත්‍රය කෙරෙහි අව­ධා­නය යොමු කිරීම වඩාත්ම වැද­ගත්.

 

• ඒත් කෙනකු කියන්න පුළු­වන් මේ නිර්ණා­යක මඟින් අපේ සංව­ර්ධ­නය මනින්න බෑ, කොහො­ම­ටත් ඔය බට­හිර රට­වල් ඔවැනි ඇග­යීම් සිදු කරන්නේ ඔවුන්ට වාසි­දා­යක විදි­ය­ටයි කියලා...

ගෝලීය නවෝ­ත්පා­දන දර්ශ­කය මනින්න මුළු ලෝක­ය­ටම බල­පාන්නේ එකම ක්‍රම­වේ­ද­යක්. ලෝකයේ සියලු රට­වල් එක සමා­නව සලකා බොහෝම අප­ක්ෂ­පා­තීව තමයි මේ ඇග­යීම සිදු කරන්නේ. ඇම­රි­කාව හෝ බ්‍රිතා­න්‍යය නොවෙයි මේ රට­වල් අතර ඉදි­රි­යෙන්ම ඉන්නේ. ස්විට්ස­ර්ල­න්තය (67.24) තමයි අව­සන් වසර හතර පුරා ඉදි­රි­යෙන්ම ඉන්නේ. සිංග­ප්පූ­රු­වත් (58.37) උඩින්ම තිබෙන රට­වල් දහය අතරේ ඉන්නවා. මේ දර්ශ­කයේ උඩින්ම තිබෙන රට­වල් 20 ගෙන බැලු­වොත් අද ලෝකයේ දියු­ණුම ආර්ථි­ක­යන් හිමි රට­වල් ඒ අතර තිබෙ­නවා. එයින් අපට පෙනෙ­නවා නව්‍ය­ක­ර­ණය හා ආර්ථික දියු­ණුව කියන කරුණු එකට බැඳී පව­තින බව. රටක ආර්ථි­කය වර්ධ­නය වීමට වගේම රට තුළ මතු වන අර්බු­ද­කාරි තත්ත්ව­ය­කදී ආර්ථි­කය කඩා නොවැටී පව­ත්වා­ගෙන යෑමට, එහෙම නැත් නම් ඊට මුහුණ දීමට පුළු­වන් වන්නේ නව්‍ය­ක­ර­ණය හා ආර්ථි­කය දියු­ණුව කියන කරුණු එකට ගමන් කර­නවා නම් පම­ණයි. උදා­හ­ර­ණ­ය­කින් පැහැ­දිලි කළොත්: අප රටට එක­දි­ගට වැස්සොත් එළ­වුළු මිල වේග­යෙන් ඉහළ නඟි­නවා. මේ වසරේ වැඩිම සහල් අස්වැන්න ලැබු­ණත් මේ වෙද්දී හාල්වල ප්‍රශ්න­යක් මතු­වෙලා. අපට කියන්න පුළු­වන් මෝල් හිමි­යන් දෙදෙ­නකු තුන්දෙ­නකු මේවා සඟ­වා­ගෙන ඉන්නවා කියලා. එහෙත් මේ අර්බු­ද­යට මූලික හේතුව රටේ ජන­තා­වට ආහාර ලබා­ගන්න නිසි ක්‍රම­වේ­ද­යක් සකස් කර නැති වීමයි. අප විද්‍යා­ත්ම­කව මේ සඳහා අවශ්‍ය නිසි ක්‍රම­වේද අනු­ග­ම­නය කර­නවා නම් මෙවැනි තත්ත්ව ඇති වන්නේ නැහැ. ගෝලීය නවෝ­ත්පා­දන දර්ශ­කයේ මේ රට මෙවැනි තත්ත්ව­යක තිබෙන්නේ ඒ නිසයි. මෙහෙම රටක් ලෝකයේ විශේෂ අව­ධා­න­ය­කට හෝ ඇග­යී­ම­කට ලක් වන්නේ නැහැ. එය රටක් විදි­යට විශාල අර්බු­ද­යක්. අද ඉන්දි­යාව චීනය වගේ රට­වල් තීර­ණය කර තියෙ­නවා ඔවුන් හැකි ඉක්ම­නින් ‍මේ දර්ශ­කයේ ඉහ­ළට එන්න ඕනෑ කියලා. ඒ වෙනු­වෙන් ඔවුන් කඩි­නම් ක්‍රියා­මාර්ග ගනි­මින් තිබෙ­නවා.

 

• මේ අර්බු­ද­යෙන් එළි­යට එන්න අප රටක් විදි­යට ගත යුතු ක්‍රියා මාර්ග මොන­වාද?

අප මේ සඳහා යොමු වනවා නම් අධ්‍යා­පන ක්ෂේත්‍රය නවෝ­ත්පා­දන ක්‍රියා­ව­ලි­යට ගැළ­පෙන පරිදි නව්‍ය­ක­ර­ණය කිරීම ඉතා වැද­ගත්. ඒ වගේම අප කරන දේ කාර්ය­ක්ෂ­ම­තාව, ගුණා­ත්මක භාවය, ආය­ත­නික ව්‍යූහය සහ අප කරන දේවල් ඉදි­රි­යට ගෙන යෑමේ හැකි­යාව. උදා­හ­ර­ණ­යක් ලෙස: අපේ රේල්ගෙට්ටු අසල අන­තුරු සිදු වී පුද්ග­ල­යන් මිය යන අවස්ථා තිබෙ­නවා. ඒ වගේම මේ විදියේ අනා­ර­ක්ෂිත ගේට්ටු සීය­කට වැඩි ප්‍රමා­ණ­යක් තිබෙනො කිය­ලාත් සඳ­හන් වනවා. ඒත් මේවාට විස­ඳුම් දෙන්න පුළු­වන් නව නිපැ­යු­ම්ක­රු­වන් ලංකාවේ ඉන්නවා. මෙවැනි අන­තුරු වළ­ක්වා­ගැ­නීම සඳහා නව නිපැ­යුම් ඉදි­රි­පත් කර බුද්ධි­මය දේපළ අයි­තිය ගත් හතර දෙනකු පමණ සිටි­නවා. එහෙත් අප මේ නිපැ­යුම් ප්‍රායෝ­ගි­කව යොදා­ගන්නේ නැහැ. කෙනකු කිසි­යම් ප්‍රශ්න­යක් තෝරා­ගෙන ඒ සඳහා විස­ඳුම් දී තිබු­ණත් සමස්ත පද්ධ­ති­යම ඒ ගැන සැල­කි­ල්ලක් දක්වන්නේ නැහැ. අව­සා­නයේ මිනිස්සු මැරෙ­නවා. පත්තරේ හෙඩ්ල­යින් යනවා. මේක තමයි අපට තිබෙන ගැට­ලුව. මෙවර පොත් ප්‍රද­ර්ශ­න­යේදී ආචාර්ය සරත් විම­ල­සූ­රිය මහතා ඔහුගේ නව නිර්මාණ ගැන සඳ­හන් පොතක් ප්‍රකා­ශ­යට පත් කළා. එහි මෙවැනි දේ සඳහා යොදා­ගත හැකි තාක්ෂ­ණික උප­ක­ර­ණ­යක් ගැන සඳ­හන් වෙනවා. ඔහු වෛද්‍ය වෘත්තිය අත­හැර, ඉලෙ­ක්ට්‍රො­නික ක්ෂේත්‍රයේ නව නිපැ­යුම් කිරී­මට යොමුව සිටි­නවා. ඔහුගේ තාක්ෂ­ණික ඥානය යුද්ධ­යේදී නවික හමුදා ක්‍රියා­කා­ර­කම් සඳහා ඍජු­වම දායක වුණා. ඒත් මේ අයගේ නව නිපැ­යුම් සමා­ජ­ගත වෙන්නේ නැහැ. අපේ නව නිපැ­යුම් මේ රටේ ක්‍රියා­ත්මක වන්නේ නැහැ. එහෙත් පිට රට­වල ක්‍රියා­ත්මක වනවා. ඉතිං ඒ අය ඒ නිර්මා­ණත් අර­ගෙන පිට රට­ව­ලට යනවා. මෙත­නදී ඒ අයට දොස් කියන්න බැහැ. මොකද? කිසිම උන­න්දු­වක් නැහැ මේ ප්‍රශ්නය විස­ඳා­ගන්න. ප්‍රශ්නය තිබෙන තර­මට හොඳයි කියලා තමයි අපි හිතා­ගෙන ඉන්නේ. මෙය අප රටක් විදි­යට මුහුණ දෙන විශාල ගැට­ලු­වක්.

 

• නව්‍ය­ක­ර­ණය පර්යේ­ෂණ දළ ජාතික නිෂ්පා­ද­නය සඳහා කොයි­ත­රම් දුරට ඉව­හල් වෙන­වාද?

ගෝලීය නවෝ­ත්පා­දන දර්ශ­කය මනින එක් නිර්ණා­ය­ක­යක් තමයි රටක නව්‍ය­ක­ර­ණය පර්යේ­ෂණ දළ ජාතික නිෂ්පා­ද­නය සඳහා කොයි­ත­රම් දුරට ඉව­හල් කර­ග­න්න­වද කියන කාර­ණය. එත­නදි ලංකාව ඉන්නේ දළ ජාතික නිෂ්පා­ද­න­යෙන් 1% එකක අග­යක. මේක බැලු­වම ඌන සංව­ර්ධිත රටක අග­ය­ටත් වඩා අඩු අග­යක්. මෙය විශාල ප්‍රශ්න­යක්. නව නිපැ­යු­ම්ක­රු­වෙක් කියන්නේ රටේ තියෙන ප්‍රශ්න­ය­කට පිළි­තු­රක් ලබා­දෙන්න උත්සාහ කරන අයෙක්. එහෙත් මේ ක්‍රියා­ව­ලිය ශක්ති­මත්ව ඉදි­රි­යට ගෙනි­යන්න මුදල් වෙන් කරන්නේ නැහැ. 50-60 දශ­ක­වල ඉඳලා බැලු­වත් අප මේ සඳහා විය­දම් කළ මුදල එන්න එන්න අඩු වී තිබෙ­නවා. අය වැයෙන් අප මේ සඳහා විය­දම් කරන්නේ නැහැ. ඒ නිසා මේ ක්ෂේත්‍ර­ව­ලට කට්ටිය යොමු වන්නේ නැහැ. එහෙම යොමු වුණේ නැත් තම්; අපට නව නිපැ­යුම ඇති වන්නේ නැහැ. උදා­හ­ර­ණ­ය­කට අපි කෘෂි­කා­ර්මික ක්ෂේත්‍රය ගෙන බැලු­වොත් නිද­හ­සෙන් පසු අවු­රුදු 71ක් මේ රට පාල­නය කර­ලාත් අප තාමත් කතා කරන්නේ පසු-අස්වනු තාක්ෂ­ණය ගැනයි. අප ඒ සඳහා තාම විස­ඳුම් සොයා­ගෙන නැහැ.

අප පවු­ලක් අරන් බැලු­වොත් ඒ පවුලේ ආර්ථි­ක­යෙන් 50%ට වඩා වැය කරන්නේ කෑම සඳහා. ඒ නිසා හැම­දාම ඡන්ද­යේදී එය මාතෘ­කා­වක් බවට පත් වනවා. එත­නදි අප නොමිලේ පොහොර ලබා­දෙ­මින් ආහාර හදන ක්‍රම­වේද ගැන සාකච්ඡා කර­නවා. එහෙත් අප තාක්ෂ­ණික ක්‍රම­වේද ගැන කතා කරන්නේ නැහැ. ආහාර වැඩි­යෙන් තියෙන කොට නැති කාලෙට ගන්න ඒවා ගබඩා කර තබා­ගන්නේ කොහො­මද? ඒ සඳහා අනු­ග­ම­නය කළ හැකි නව තාක්ෂ­ණික ක්‍රම­වේද මොන­වාද කියල අප සාකච්ඡා කරන්නේ නැහැ. අප තාමත් කතා කරන්නේ පසු අස්වැන්න ගැනයි. එහෙත් කාන්තාර රට­වල් පවා අද නවෝ­ත්පා­දන ක්‍රම­වේද ඔස්සේ අපට වඩා ඉදි­රි­යට ගිහින් තිබෙ­නවා. කිරි නිෂ්පා­ද­නය ගත්තොත් අපේ නිෂ්පා­දන ප්‍රති­ශ­තය අඩුයි. අපේ හැම නිෂ්පා­ද­න­යක්ම තිබිය යුතු මට්ට­මට වඩා අඩු ප්‍රමා­ණ­යක් තමයි නිෂ්පා­ද­නය වෙන්නේ. මොකක් හෝ හේතු­වක් හින්දා ඵල­දාව අඩුයි. මේ විදි­ය­ටම කාල­යත් එක්ක ආප­ස්සට ගියා මිසක් දැනු­මෙන් අප ඒ තත්ත්වය ජය ගන්න උත්සාහ කර නැහැ. අපි ලොකු ඉඩ­මක් පාවිච්චි කරල අඩු අස්වැ­න්නක් අර­ගෙන ඒකත් නාස්ති කර­ගෙන; ජීවත් වෙන්න වැඩි විය­ද­මක් දරන තත්ව­යට අද පත් වෙලා. මේක නිර­න්ත­ර­යෙන් හැම­දාම වෙන කොට ආර්ථි­කය පස්සට යනව මිසක් ඉස්ස­ර­හට යන්නේ නැහැ.

 

• එහෙම නම් අප ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග මොන­වාද?

ගෝලීය මට්ට­මින් හරි ප්‍රාදේ­ශීය මට්ට­මින් හරි අපට සම කරන්න පුළු­වන් තත්ත්වය මොකක්ද? අපි මේ තරම් පහ­ළින් ඉන්නේ ඇයි? මේ කරුණු ගැන අව­ධා­නය යොමු කර අප ඒ තත්ත්වය වෙනස් කර­ගන්න ඕනෑ. උදා­හ­ර­ණ­යක් ලෙස: කිරි­දෙ­නක් අපට දව­ස­කට දෙන්නේ කිරි ලීටර් තුනක් යැයි සිතමු. ඒත් සම­හර රට­වල කිරි ලීටර් 40ක් දෙන දෙනුන් සිටි­නවා. එත­කොට අපට බලන්න පුළු­වන් ලංකාවේ සම­ස්ත­යක් වශ­යෙන් දළ අගය මොකක්ද? සම­ස්ත­යක් වශ­යෙන් වෙන රටක අගය කුමක්ද? ඒ රටේ තත්ත්වය අපට වඩා යහ­පත් නම් ඒ අය ඒ සඳහා යොදා­ගත් ක්‍රම­වේ­දය කුමක්ද? අපි ඒ තත්ත්ව­යට යන්න කරන්න ඕන මොන­වද කියල සලකා බැලී­මයි. උදා­හ­ර­ණ­ය­කට අපට කලා­පී­යව සමාන දේශ­ගු­ණ­යක් තියෙන්නේ ඉන්දි­යාවෙ නම් ඔවුන් මෙවැනි තත්ත්ව­කදී කට­යුතු කළේ කොහො­මද? කියන එක සොයා බැලී­මයි. මේ විදි­යට අපේ නිෂ්පා­දන එකි­නෙක අර­ගෙන අපට විස­ඳුම් ලබා­දිය හැකියි. එහිදී ඍජු­වම ජීවි­ත­යට බල­පාන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා විස­ඳා­ගෙන ඉන්න ඕනෑ. එහිදී දේශ­පා­ල­න­යෙන් තොරව ඉතා සංවේ­දීව කට­යුතු කරන්න ඕනෑ. ඒ සඳහා දැනුම කේන්ද්‍ර කර­ගත් නිෂ්පා­දන ආර්ථි­ක­යක් ඇති කළ යුතු­මයි.

 

• වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආග­ම­න­යත් සමඟ රටේ යම් පිබි­දී­මක් ඇතිව තිබෙ­නවා. පරි­ස­රය පිරි­සුදු කර­නවා, තාප්ප­වල සිතු­වම් අඳි­නවා. මේ තත්ත්වය නවෝ­ත්පා­ද­නය පෙරටු කර­ගත් ආර්ථික සංව­ර්ධ­න­ය­කට අවශ්‍ය ආක­ල්ප­මය වෙන­සක් සඳහා යොදා­ගත හැකියි නොවේද?

මෙහිදී පළ­මු­වැනි කාර­ණය ඉතා වැද­ගත් ඒ තමයි පිරි­සුදු කම හා විනය පව­ත්වා­ගැ­නීම. අපේ කුණු අප තැන තැන දාන එක, ඔහේ පාර තොට­වල එල්ලලා තියෙන එක, අපි­රි­සුදු තැන දැක දැක ඒ තැන නොතකා හැරීම වෙනස් වෙන්න ඕනෑ. පිරි­සු­දු­කම එක්කම ස්වයං­වි­න­යත් ඇති වන්න ඕනෑ. මෙහෙම නොක­ළොත් අපට හොඳක් වන්නේ නැහැ, නර­කක් තමයි වෙන්නේ කියන දේ අප තේරුම් ගන්න ඕනෑ. එහෙම වුණාම අපි විසි කරන සංස්කෘ­ති­යක් නෙමෙයි ඒවා නැවත නැවත ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කරල ප්‍රයෝ­ජ­න­යට ගන්න ජාති­යක් බවට පත් වේවි. දැන් ළම­යින් ආසා­වට අඳින සිතු­වම් දිහා බැලු­වාම අපට පේනවා ඒ අයගේ සිත යොමු වන්නේ කොතැ­න­ටද කියලා. ඒ තාප්ප සීයක් එකතු කර බැලු­වත් සුහුරු පරි­ස­රය කියන දේ ඒ අතර දකින්න නැහැ. ආග­මි­ක­ත්වය, ජාති­ක­ත්වය, වීර­ත්වය, ඉති­හා­සය, සතා-සීපාවා, හරිත පරි­ස­රය වැනි කාරණා ඒ තුළ පෙනෙන්න තිබු­ණත් අප විද්‍යා-තාක්ෂ­ණික දැනුම ඔස්සේ සුහුරු පරි­ස­ර­ය­කට යන්න ඕනෑ කියන අද­හස ගැබ් වන එක සිතු­ව­මක් වත් ඒ අතර නැහැ. ඒ නිසා මෙවැනි මාධ්‍යත් එවැනි ආකල්ප ඇති කරන්න යොදා­ග­න්නවා නම් එය ඉතා වැද­ගත්.

Comments