සාග් තරගාවලිය අපි සතුටු වෙමු ද? සුසුම් හෙළමු ද? | සිළුමිණ

සාග් තරගාවලිය අපි සතුටු වෙමු ද? සුසුම් හෙළමු ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් ප්‍රහාරයෙන් වසර දහයකට පසු පාකිස්තානය සමඟ එරටදී ටෙස්ට් තරගාවලියකට එක් විය. ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නවකයන් පිරිවරාගෙන පාකිස්තානයේදි විස්සයි 20 සහ එක්දින තරගාවලියකට එක්වූ අතර එක්දින තරගාවලිය පරාජය වූ නමුත් විස්සයි 20 තරගාවලිය දසුන් ශානකගේ නායකත්වය යටතේ ජය ගැනීමට සමත් විය. එකී ජයග්‍රහණය ශ්‍රී ලංකාව දීර්ඝ කාලයකට පසු ලද විස්සයි 20 තරගාවලි ජයක් වූ අතර, පාකිස්තානය එරටදී පරාජය කළ ප්‍රථම වතාව ලෙස ද වාර්තා පොත් අතරට එක්විය.

සාග් තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර දී නිමා වූයේ ඉන්දියාව සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පෙරමුණ තමන් සන්තකයේ තබා ගනිමින්ය. සත්කාරක නේපාලය දෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී, ශ්‍රී ලංකාවට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව මෙවර සාග් තරගාවලියට එක් වූයේ පසුගිය වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උලෙළේදී ලත් ශෝකාන්ත පරාජයක් ද තුරුළු කර ගනිමින්ය. රටවල් 45ක් අතර කෙරෙන සටනකින් ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බව දහඅටවැනි ආසියානු ක්‍රීඩා උලෙළ ලාංකේයන්ට පසක් කළේ බොහෝ පාඩම් කියා දෙමින්ය. විශේෂයෙන් අප වැනි රටක ක්‍රීඩාව වල්වැදී ඇති පසුබිමක අන්තර්ජාතික තරගයකින් ජය ගැනීම කෙසේ වෙතත් තරගයක් හරි හැටි නිමා කර ගැනීම ද අසීරු බව නොරහසකි. අපට එසේ නොහැකි වුව ද, මානව ජවයට කළ නොහැකි කිසිවක් නොමැති බව සෙසු රටවල් දෙස විමසිලිමත්වන විට පෙනේ.

ඒ සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක විය යුතුය. රටක රටවැසියන්ගේ ජීව විද්‍යාත්මක සාධකයන් භූමියේ සාධකයන් ද, සමඟ මුසු සෙසු භෞතික සාධකයන් ද ප්‍රයෝජනයට ගත යුත්තේ සෙසු අඩුපාඩුකම් මඟ හැරි යන අයුරින්ය. මේ සඳහා උදාහරණ ඕනෑ තරම් සොයා ගත හැකිය. දිගු දිවීම් සඳහා විශේෂයෙන් අප්‍රිකානුවන් සතු ආධිපත්‍යය සහ කෙටි දුර දිවීම් සඳහා ඇමෙරිකානු දූපත් ආශ්‍රිතව ගොඩ නඟා ගෙන ඇති ආධිපත්‍යය මේ සඳහා සරල උදාහරණයන් ය. තවත් අතිබහුතර රටවල් ප්‍රමාණයක් සිය අනන්‍යතාව, ශක්තිය සහ නිවැරැදි තාක්ෂණ භාවිතය ආදි කරුණු පදනම් කර ගෙන ක්‍රීඩාවේ ඉදිරි මඟ සැලසුම් කරන විට, අප ඒ සියල්ල ඉදිරියේ වල්මත් වී සිටින බව පැහැදිලිය. ඒ වෙන කිසිවක් නිසා නොව, මනාවූ ජයග්‍රාහී සැලසුම් නොමැතිකමය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිමා වූ සාග් තරගාවලියට එක් වූයේ ජයග්‍රහණ තබා ස්වකීය දක්ෂතා හෝ වර්ධනය කර ගැනීමට නොහැකි බව ආසියානු තරගාවලියේ කියා දුන් පාඩම් ද කරපින්නාගෙන බව නොරහසකි. ශ්‍රී ලංකාවේ භූ පිහිටීම ලොව වෙනත් කිසිදු රටකට නොදෙ‍ෙවනි ආකාරයේ අපූර්වත්වයකින් නිර්මාණය වී තිබේ. සීතල ද මේ භූමි භාගයේ ම අනන්‍ය වූ සාධකයකි. එකී සීතල මුහුදු මට්ටමින් මීටර් 2000ක් උස්වන විට හමුවේ. නමුත් මෙයින් ප්‍රයෝජනයක් ගැනීමට ශ්‍රී ලංකා වේ කිසිදු ක්‍රීඩාවකට අදටවත් සැලසුමක් නොමැති බව පැහැදිලිය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිට ඕනෑම ක්‍රීඩාවක් මෙරට භූමි භාගයෙන් එළියට යන විට අසන්නට ලැබෙන පරාජයේ අදෝනාවන්ගේ මුඛ්‍ය සාධකය වන්නේ පරිසරයයි. එංගලන්තයේ ‍හෝ නවසීලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන ඊට උචිත දේශගුණික සාධකයන්ගෙන් පිරි නුවරඑළියෙන් ප්‍රයෝජන ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නැත්නම් මින් ඉදිරියට පවා බලධාරින්ට සිදු වන්නේ, ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව සමාජය ඉදිරියේ සැලසුමක් නොමැතිකම ප්‍රදර්ශනය කිරීම පමණි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් පොදු සාධකයක් නොවන අතර සෙසු ක්‍රීඩා සඳහා ද මෙකී සාධකය අදාළය.

අපට නිසි සැලසුමක් මෙතෙක් තිබුණේ නම් රට වටා ක්‍රීඩාංගණ ඉදිකරනවාට වඩා, මෙකී භූමි භාගය නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින්, දැක්මකින් යුතුව ලාංකේයන්ගේ ප්‍රයෝජනයට පමණක් නොව, විදේශිකයන්ට ද උරුමකරදී අතිවිශාල ප්‍රාග්ධනයක් වාර්ෂිකව උපයාගත හැකිය. මේවාට ඇවැසි වන්නේ නිවැරැදි නායකත්වය සහ දැක්මක් සහිත වැඩකරුවන්ය. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය කේන්ද්‍රකර ගනිමින් සුපිරි පහසුකම්වලින් ගෘහස්ත සහ එළිමහන් ක්‍රීඩාංගණ දෙකක් ඉදිකරන්නේ නම් බොහෝ පරාජිත අදෝනාවන්ට පොකුරු පිටින් විසඳුම් සොයා ගත හැකිය. නමුත් මෙකී සැලසුම් නම් එකිනෙකාගේ බඩගෝස්තරවාදය සඳහා වන ව්‍යාපෘතින් නොවී, ලාංකේය ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා වන වැඩසටහන් යටතේ ක්‍රියාවට නැංවෙන්නේ නම් ක්‍රීඩාවෙන් අපට බො‍හෝදුර යා හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මහා පොළොව හා ගැටෙමින් වැඩක් කිරීමේ වුවමනාව තිබෙන බව පැහැදිලිය. ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා අමාත්‍ය ධුරයට අත ගැසූ තැනින් ම නැගෙන්නේ සාග් තරගාවලියේ ජය ඝෝෂාව ද නැත්ද යන්න පරිස්සෙමින් විමසා බැලිය යුතු කරුණකි. ජනාධිපතිවරයාට මෙන් ම ක්‍රීඩා අමාත්‍යවරයා ද ක්‍රීඩාව වෙනුවෙන් මේ සාධනීය වැඩකට අත ගැසීමට ඇති වුවමනාව, කැපවීම, උනන්දුව සහ උත්සහයට මෙවර සාග් තරගාවලිය උත්තේජනයක් කරගත හැකිය. මෙරට ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරින් ද මේ අවස්ථාව ප්‍රදර්ශන භාණ්ඩයක් කර නොගෙන යථාවක් කර ගැනීමට වෙර දැරිය යුතුය. මන්ද යත් 2021 සාග් ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ද මෙරටට ලැබී ඇති බැවිනි. වැඩ කිරීම මෙරට බොහෝ දෙනකුට ඇලජික් විය හැකිය. එය මෙරට ක්‍රීඩාවේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම පොදු ලක්ෂණයකි. අපට සමස්තයක් ලෙස ම වැරදී ඇත්තේ එබැවිනි. ක්‍රීඩා අමාත්‍යවරයා ස්ථිර සාර වැඩපිළිවෙළකට සිය කාලය තුළ අත ගසන්නේ නම්, එය අනාගතයට වැඩදායකය. ලාංකේය ක්‍රීඩාව මේ ආකාරයට බිඳ වැටී ඇත්තේ නිසි දැක්මක්, සැලැස්මක් සහ වැඩපිළිවෙළක් තවමත් හරි හැටි ක්‍රියාත්මක නොවන බැවිනි. දැක්මක් සහිතව, සැලසුමකට වැඩක් කළ හැකි නිර්මාණශීලී වැඩකරුවන් ද මෙයට පයින් ගසා අහක බලාගෙන සිටින්නේ නිකමුන් ජරාජීර්ණ වී ඕජස් ගලන ක්‍රීඩාවේ බඩ පිනුම් ගසන බැවිනි.

ක්‍රීඩා සංගම් - සම්මේලන අරක්ගෙන සිටින පුස්සන් ද පරාජයේ මළ කුණුම බුදිමින් එහිම ලැග සිටින්නේ මේ ඊරිමාංශයෙන් ම තම තමන්ගේ ගිණුම්වලට තව කීයක් හෝ බැර කර ගැනීමට මිස ක්‍රීඩාවට ඇති ආදරයකින් නොවන බව සාධක සෙවීමට වෙහෙස මහන්සි වීමද අපරාධයකි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු ද වැඩ බාර ගනිමින් මීට කලකට පෙර ප්‍රකාශ කළේ තමාගේ වේගයෙන් දිව එන ලෙසය. අදටත් එකී නිලධාරීන් ම ක්‍රීඩාවට හෙණපාත් වුවද, තම තමන්ගේ වේගයෙන් ක්‍රීඩාව කාගෙන යන බව නම් පැහැදිලිය. ක්‍රීඩාවේ පිලල බවට පත්ව ඇති මෙබඳු නිලධාරින් ක්‍රීඩා අමාත්‍යවරයා කවුරුන් වුවද, මොන සෙල්ලමක් දමා හෝ තමන්ගේ උගුලේ ගොදුරු බවට පත් කර ගත් යටගියාවලින් අඩුවක් නැත. කාලයෙන් කාලයට පත්වන අමාත්‍යවරු ද එකම සැපය මෙය යැයි සිතා නිලධාරින් ඉදිරියේ දපනේ වැටුණු බව අතීතය දෙස හැරී බැලීමේදී ඕනෑ තරම් සාධක සපයයි. ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙබඳු නිලධාරීන් ඉදිරියේ දපනේ වැටුණේ නම් වැඩිකල් නොගොස් ම මේ ගොඩට එකතුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

1990 - 2000 යන දස වසරක කාලය තුළ මෙරට ක්‍රීඩාවේ අග්‍රඵලය නෙලා ගත් කාල පරිච්ඡේදය ලෙස හැඳින්විය හැකිය. එවකට (1994 - 2000) එස්.බී. දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා තමාට රුචි අරුචි සියලු දෙනා එකට කැටි කර ගනිමින් එක් අරමුණකට සැලසුමකට සහ දැක්මකට අනුව සියල්ල ගොනු කළේය. ලාංකේය ක්‍රීඩාවේ නිර්මාණශීලී සැලසුම්කරුවා වූ කේ.බී. රත්නායකයන් ජාතික මහා ක්‍රීඩා උලෙළ, ජාතික ක්‍රීඩා විද්‍යායතනය ආදිය නිර්මාණය කරමින් දුටු සිහින සිහිනයන්ට සීමා නොකළ එස්.බී. දිසානායක හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සම්පත් ඒකරාශි කර ගනිමින්, ඒ සියල්ල ම මනාව කළමනාකරණය කිරීමට සමත් විය. එකී දස වසර තුළ දකුණු ආසියානු, ආසියාතික සහ විශේෂයෙන් ඔලිම්පික් මට්ටම දක්වා කේවල ඉසව්වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර ගැනීමට සමත් විය. 2000 ඔලිම්පික් උලෙළට 13ක් මලල ක්‍රීඩාවෙන් සුදුසුකම් ලබාගත් අතර, ඉන් සිවු දෙනකු ඒ ශ්‍රේණියෙන් ඔලිම්පික් නියෝජනය කළහ. සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කම දිනා ගත්තාය. ඒ ඔලිම්පික් ඉතිහාසයේ වසර 52කට පසුවය. ඉන් නොනැවතුණු සුසන්තිකා ජයසිංහ මොන මට්ටමින් ගත්තද අන්තර්ජාතික ක්‍රීඩා පිටිය ජය ගත් කේවල ක්‍රීඩා තරුව වූවාය. 1970 - 74 දී ද මෙවන් කීර්තිමත් ඉතිහාසයක් අපට උරුමව තිබූ බව සටහන් නොකළහොත් එය ද අඩුවකි. අද මේ සියල්ල ම අතීත සිහිවටන බවට පත්ව ඇති අතර, සාග් වැනි ජයග්‍රහණ අපට අද වන්නේ මෙවන් පසුබිමකය.

අපේ රටේ ක්‍රීඩාව ජරාජීර්ණත්වයට පත්වූයේ 2000 න් පසු මෙයට අත ගැසූ නිකමුන් මෙය තනිකර ම බඩගෝස්තරවාදයක් කරගත් බැවිනි. 2000න් පසු සියල්ල ම කණපිට පෙරළමින් සිදු වූයේ ක්‍රීඩාව ජීවත් කරවන්නන්, ප්‍රමාණික දැනුම ඇත්තන්, අකාමකා දමමින් ක්‍රීඩාවෙන් ජීවත්වන පරපෝෂිතයන් ක්‍රීඩාව ගිල ගැනීමයි. මේ සියල්ලට ම තිත තැබිය යුතුය. නැතහොත් සාග් තරගාවලියේ පවා අප ලබන ජයග්‍රහණයන් තව තවත් ලඝු විය හැකි බැවිනි. අපේ සමස්ත ක්‍රීඩාවම අන්තර්ජාතික මට්ටම දක්වා පෝෂණය කර ගත යුතුය. මේ සඳහා රජය මුලින් ම තීරණය කළ යුතු වන්නේ රාජ්‍යයක පැවැත්මට නිරෝගි ජන කොටසක් ඇවැසි බව මෙන් ම ක්‍රීඩාව සඳහා වැඩි බරක් තිබිය යුතුය. වැඩි කැප කිරීමක් කළ යුතුය. එහි ප්‍රතිඵලය වන්නේ රටක ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටම දක්වා දිව යාමය.

අද ඉන්දියාව සිය දෙවැනි, තෙවැනි නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සාග් තරගාවලියේ දක්ෂතා උරගා බලන විට අප සිටින්නේ කොතැනද යන්න පැහැදිලිය. සත්කාරක නේපාලය මෙවර සාග් තරගාවලියේ දෙවැනි තැනට පත් වන විට ක්‍රීඩාවේ අක්මුල් විහිදු ඉතිහාසයකට උරුමකම් කියන අපේ තත්ත්වය ගැන මොහොතක් නතර වී සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතු කාලය එළැඹ තිබෙන බව පැහැදිලිය.

Comments