තාක්ෂ­ණ­යෙන් හැංගෙ­න්න බැරි වූ ගානි­යාගේ විම­ර්ශ­නය | සිළුමිණ

තාක්ෂ­ණ­යෙන් හැංගෙ­න්න බැරි වූ ගානි­යාගේ විම­ර්ශ­නය

ලෝකය ඉදි­රියේ ශ්‍රී ලංකා නාම­යට කළු පැල්ල­මක් එක් කර­මින් ජිනීවා මානව හිමි­කම් කොමි­ස­මේදී නට­න්න හැදූ ගානියා බැනි­ස්ටර් ෆ්‍රැන්සිස්ගේ නාඩ­ග­ම­කට දැන් නැව­තීමේ තිත තැබී හමා­රය. ඒ ඇය රඟ­දැක්වූ පැහැ­ර­ගැ­නීමේ නාට­කය අතේ පත්තු වී ඇති බැවිනි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් ගානියා පැහැ­ර­ගැ­නීම නාට­ක­යක් බව ඔප්පු කර පෙන්වන්නේ විද්‍යා­ත්මක සාක්ෂි ගොන්නක්ද සම­ඟිනි.

ඇය මේ නාඩ­ගම නටන්නේ පසු­ගිය නොවැ­ම්බර් 25 වැනිදා සිටය. එම නාඩ­ග­මට අනුව ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ වීසා අංශයේ සේවයේ නිර­තව සිටි ඇයව පැහැ­ර­ගැ­නී­ම­කට ලක් වූයේ යැයි කිය­න්නට වූයේ එදින සවස කොළඹ හතේ පිහිටි ශාන්ත බ්‍රිජට් විද්‍යා­ලය ආස­න්න­යේ­දීය. සුදු පැහැති වෑන් රථ­ය­කින් පැමිණි පස් දෙනෙ­කු­ඇ­යව පැහැ­ර­ගත්තේ යැයි මුලින් සඳ­හන් වූවත් පසුව කියැ­වෙන්නේ සුදු පැහැති මෝටර් රථ­ය­කින් පැහැර ගැනී­ම­කට ලක්වූ බවය.

පැහැර ගැනීමේ කතාව මෙරට බල­ධා­රීන් දැන­ගන්නේ ස්විස් තානා­පති කාර්යාල තොර­තුරු උපුටා දක්ව­මින් ජාත්‍ය­න්තර මාධ්‍ය අපේ රට හංවඩු ගස­න්නට ගැනී­මත් සම­ඟිනි. ඒ, එවන් පැහැර ගැනී­මක් ගැන මෙරට කිසිදු පොලී­සි­ය­කට හෝ ආර­ක්ෂක අංශ­ය­කට හෝ වෙනත් වග­කිව යුතු ස්ථාන­ය­කට පැමි­ණි­ල්ලක් තබා තොර­තු­ර­ක්වත් වාර්තා වී නැති වටා පිටා­ව­ක­දීය. විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය ස්විස් තානා­පති කාර්යා­ල­යෙන් තොර­තුරු විම­සන්නේ ඒ නිසා­මය. ඊට ස්විස් තානා­පති කර්යා­ලයේ බල­ධා­රී­න්ගෙන් නිසි ප්‍රති­චා­ර­යක් පවා නොලැ­බිණි. ඒ අය සූදා­නම් වන්නේ ඇය සිය සැමියා සහ දරු­වන් සමඟ රටින් පිට කිරී­ම­ටය. ඒ වෙනු­වට ඔවුන් විශේ­ෂිත ගුවන් යානා­වක් පවා සූදා­නම් කර තිබිණි. එය අසාධ්‍ය රෝගීන් රැගෙන යන ගිලන් ගුවන් යානා­වකි.

අපේ රටේ බල­ධා­රීන් තීර­ණය කරන්නේ ඇයට රටින් පිට­වී­මට කිසිදු ඉඩක් නොත­බ­මින් පැහැ­ර­ගැ­නීමේ කතාව ගැන පුළුල් විම­ර්ශ­න­යක් පවත්වා සැබෑව හෙළි කර­ග­න්න­ටය. ඒ කට­යුත්ත පැව­රෙන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට මුලදී සිදු වන්නේ අඳුරේ අත­ප­ත­ගා­මින් ආලෝ­ක­යක් වෙත ගමන් කර­න්න­ටය. ඒ එම පැහැ­ර­ගැ­නීම ගැන කෙරෙන විම­ර්ශ­න­ව­ලට ස්විස් තානා­පති කාර්යා­ල­යෙන් නිසි සහ­යෝ­ග­යක් නොවූ බැවිනි. ඒ වන විට ගානියා සහ ඇගේ සැමි­යාත් දරු­වන් දෙදෙ­නාත් සිටියේ ස්විස් තානා­පති කාර්යා­ලයේ රැක­ව­ර­ණය ලබ­මිනි. ස්විස් තානා­පති කාර්යා­ලය හැම විටම උත්සාහ ගත්තේ ඇගේ සහ ඇගේ පවුලේ සාමා­ජි­ක­යන්ගේ අන­න්‍ය­තාව සඟ­ව­න්න­ටය. අඩුම තර­මින් ඇගේ නමක් ගම­ක්වත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කීවේ නැත. ඇය වෙනු­වට පැහැ­ර­ගැ­නීම ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර­ත්මේ­න්තු­වට පැමි­ණිල්ල ඉදි­රි­පත් කරන්නේ තානා­පති කාර්යා­ලයේ දෙවැ­නියා බව සද­හන් රාහුල් බැන්පැජ් ය. 

එහි සඳ­හන් වූ ආකා­ර­යට ගානියා එදින සේවය නිම කොට තානා­පති කාර්යා­ල­යෙන් පිට වී යන්නේ සවස 3.15ට පම­ණය. ඒ ටැක්සි­ය­කිනි. ඇය යන්නේ සිය දරු­වන් අධ්‍යා­ප­නය ලබන පාස­ල­ටය. ඒ ගුරු දෙගුරු රැස්වී­ම­ක­ටය. පැමි­ණිල්ලේ සඳ­හන් ආකා­ර­යට ඇය පැහැ­ර­ගැ­නී­මට ලක් වන්නේ එම රැස්වී­මට සහ­භාගි වී පිට­තට පැමිණි අව­ස්ථා­වේ­දීය.

ගානි­යා පැහැ­ර­ගත් පිරිස ඇය පැය දෙක­කට ආසන්න කාල­යක් රඳ­වා­ගෙන හිරි හැර කර ඇත්තේ දෑත් බැඳ කටට පාන්කඩ ඔබාය. එහිදී ඇයට ලිංගික හිංස­න­යන් පවා කළ බව සඳ­හන් කර තිබේ. ඒ ඇය කිරි දෙන මවක යැයි සඳහන් කළ පසු­වය. ඇය උපුටා දන්ව­මින් ස්විස් තානා­පති කාර්යා­ලය සද­හන් කර තිබුණේ අමා­නු­ෂික ආකා­ර­යෙන් ඇය ලිංගික හිංස­න­ය­කට ලක් කර ඇති බවය. පැහැ­ර­ගත් පුද්ග­ල­යන් ඇගේ කටට පිස්තෝ­ල­යක් ද ඔබා මරන බවට තර්ජ­න­යක්ද කර තිබේ. ඇය පැහැ­ර­ගත් පුද්ග­ල­යන් ඇගෙන් ප්‍රශ්න කළේ යැයි සඳ­හන් වන්නේ ස්විට්ස­ර්ල­න්ත­යට පලා­ගිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිශාන්ත සිල්වා ගැනය. ඔහු රටින් පනින්නේ ඊට පෙර දින­යේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට ඇවැසි වූයේ ඇගේ මුවින්ම මේ ගැන දැන ගන්න­ටය. එහෙත් ඊට ස්විස් තානා­පති කාර්යා­ල­යෙන් ඉඩක් නොවීය.

දක්ෂ අප­රාධ විම­ර්ශ­ක­යන්ට පුංචි හෝඩු­වා­වක් පවා දැවැන්ත විම­ර්ශ­න­ය­කට ප්‍රමා­ණ­වත්ය. විම­ර්ශ­ක­යන් ගානි­යාගේ අන­න්‍ය­තාව පැමි­ණිල්ලේ වූ හෝඩු­වා­ ඔස්සේ හඹා යමින් හෙළි කර­ග­ත්තේය. ඒ ඇය පැහැ­ර­ගැ­නී­මට ලක් වූයේ ඇගේ දරු­වන් අධ්‍යා­ප­නය ලබන පාස­ලට ගොස් නැවත යමින් සිටි­යදී බවට වූ සට­හන ඔස්සේය.

විම­ර්ශ­ක­යන් ඇගේ අන­න්‍ය­තාව තහ­වු­රු­කර ගන්නේ දරු­වන්ගේ පාස­ලට ගොස් උප­ක්‍ර­ම­ශීලී විම­ර්ශ­න­යක නිරත වෙමින් තානා­පති කාර්යා­ල­වල සේවයේ නිරත මවු­පි­යන්ගේ දරු­වන් හඳු­නා­ග­නි­මිනි. එම දරු­වන් අතර ස්විස් තානා­පති කාර්යා­ලයේ සේවයේ නිර­තව සිටි දරු­වන් සිටියේ ගානි­යාගේ පමණි. ඒ ඔස්සේ ඇගේ ජංගම දුර­ක­තන අංකය මෙන්ම ඇය පදිං­චිව සිටි මර­දාන මාලි­ගා­කන්දේ නිවස පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් සොයා ගත්තේය.

ඇගේ සැමියා බැංකු සේව­ක­යෙකු බවත් පැහැර ගත්තේ යැයි සඳ­හන් වූ දින රාත්‍රීයේ ඇය සිය සැමියා සහ දරු­වන් සමඟ ගමන් මල්ලක්ද රැගෙන නිවාස සංකී­ර්ණ­යෙන් පිට වී යන්නේ එහි මුර­ක­රුට රට යන බව පවසා බවද විම­ර්ශ­කයෝ හෙළි කර­ගත්හ.

ඇය කවු­රු­න්දැයි පැහැ­දි­ලි­වම හඳු­නා­ගැ­නී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සොයා බලන්නේ එදා ඇය පැහැ­ර­ගත්තේ යැයි කියන නොවැ­ම්බර් 25 වැනිදා පාසලේ ගුරු­දෙ­ගුරු රැස්වී­මක් තිබු­ණේ­දැයි කියාය. බැලි­න්නම් එය තඩි බොරු­වකි. දෙවැනි බොරුව හෙළි වන්නේ පාසල අවට ආර­ක්ෂක කැමරා පරීක්ෂා කිරී­මේදී එවැනි පැහැර ගැනී­මක් තබා ඇය ඒ පැත්ත පළා­තේ­වත් ගැවසී නැති බව හෙළි වීමත් සම­ඟිනි. තුන්වැනි බොරුව අනා­ව­ර­ණය වන්නේ ඇගේ ජංගම දුර­ක­තන අංකය ඔස්සේ ටැක්සි රථ සමා­ගම සමඟ සම්බන්ධ වෙමින් ඇය එදා ස්විස් තානා­පති කාර්යා­ලයේ සිට ගමන් කළ ටැක්සියේ ජී.පී.එස්. දත්ත පරීක්ෂා කිරී­මේ­දීය. ඊට අනු­වද ඇය එදා ඒ ටැක්සි­යෙන් දරු­වන්ගේ පාසල පැත්ත පළාතේ ගොස් නැත. ඇගේ ගම­නා­න්තය ලෙස සට­හන්ව ඇත්තේ කොල්ලු­පි­ටි­යත් බම්බ­ල­පි­ටි­යත් අතර පැල්ම­යිරා ඇවු­නිව් හී ඇති පැල්ම­යිරා නිවාස සංකී­ර්ණ­යයි. නිවාස විස්ස­කින් සම­න්විත එම නිවාස සංකී­ර්ණයේ ආර­ක්ෂක නිල­ධා­රියා මුණ ගැසුණු විම­ර්ශ­ක­යන් ආර­ක්ෂක කැමරා පද්ධ­තිය පරී­ක්ෂා­වට ලක් කරනු ලැබුවේ ගානියා එම නිවාස සංකී­ර්ණ­යට එදා ඇතුළු වූයේ දැයි පැහැ­දි­ලි­වම හඳු­නා­ග­න්න­ටය. එහිදී පැහැ­දි­ලිව හෙළි වන්නේ ඇය ස්විස් තානා­පති කාර්යා­ල­යෙන් ටැක්සි­යට ගොඩවී විනාඩි 21කට පසු එම නිවාස සංකී­ර්ණය අස­ලට පැමි­ණෙන බවය. ඇගේ පැමි­ණිම කල් තියා ආර­ක්ෂක නිල­ධා­රි­යාට එම නිවාස සංකී­ර්ණයේ 20/02/02 දරන නිව­සින් දැනුම් දී තිබණි. ඒ පෙර දැනුම් දීම­කින් තොරව හිතු මතේට පිට­ස්තර කිසි­වෙ­කු­ටත් නිවාස සංකී­ර්ණ­යට ඇතු­ළු­වී­මට ඉඩ නොලැ­බෙන බැවිනි. එම නිවසේ වාසය කළේ ගුරු­ව­රි­යකි. ඇය සෙල්ව­රා­ජාය. ගානියා එදා සිය නිව­සට පැමණි බව ඇයද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් හමුවේ තහ­වුරු කළාය. ඇය එදා ඒ එන්නේ එම ගුරු­ව­රිය ස්විට්ස­ර්ල­න්තයේ සංචා­ර­යක නිරත වීම සඳහා අයැ­දුම් කළ වීසා බල­ප­ත්‍රය ගැන කත­බහ කර­ගැ­නී­ම­ටය. ගානියා ඒ නිවසේ පැය දෙක­කට ආසන්න කාල­යක් ගත කළාය. ඒ කාලය තුළ දුර­ක­තන ඇම­තුම් කීහි­ප­යක්ම ගත්තාය. එදා සවස 4.58ට ඇය සිය සැමි­යා­ටද වට්ස්ඇප් ඇම­තු­මක් ගෙන තිබිණි.

පැල්ම­යිරා නිවාස සංකී­ර්ණ­යෙන් ගානියා පිට­තට එන්නේ සවස 5.01 ට පම­ණය. ඒ ගුරු­ව­රි­යද සම­ඟිනි. ඒ බවද ආර­ක්ෂක කැම­රා­වල පැහැ­දි­ලි­වම සට­හන්ව තිබේ. එම ආර­ක්ෂක කැමරා දත්ත­යන්ට අනුව නිවාස සංකී­ර්ණය ඉදි­රි­පි­ටදී ඇය පළ­මුව අත දමන ත්‍රී රෝද රථය ධාව­නය වන්නේ නොන­ව­ත්වාය. ඒ නිසාම ඇය පාග­ම­නින් ගල්කිස්ස දෙසට ගමන් කරන්නේ ත්‍රී රෝද රථ­යක් අත­ර­ම­ඟින් නතර කර­ගැ­නී­ම­ටය. ආර­ක්ෂක කැම­රා­වල සට­හන්ව ඇති දර්ශ­න­ව­ලට අනුව ඇයට ගොඩ වන්නට ත්‍රී රෝද රථ­යක් නතර කෙරෙන්නේ සවස 5.08 ට පම­ණය. ඒ කොළ පැහැති ත්‍රී රෝද රථ­යකි. ඇය එම රථයේ නැගී සවස 5.38 වන විට මාලි­ගා­කන්දේ නිව­සට පැමිණ ඇති බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීහු හෙළි කර­ග­ත්හ.

ඒ අනුව පැහැ­දිලි වූයේ ඇගේ පැහැර ගැනීම සැබෑ­වක් නොව, ගොතන ලද ප්‍රබ­න්ධ­යක් බවකි. ඒ නිසාම ඇගෙන් ඒ ගැන ප්‍රශ්න කිරී­මට විම­ර්ශ­ක­යන් දැඩි උත්ස­හ­යක නිර­ත­වූ­වත් ස්විස් තානා­පති කාර්යා­ල­යෙන් ඊට ඉඩක් නොවීය. ඒ අය සූදා­නම් වූයේ ඇයව ස්විට්ස­ර්ල­න්ත­යට කෙසේ හෝ රැගෙන යන්න­ටය. අසාධ්‍ය රෝගීන් රැගෙන යන ගුවන් යනා­වක් පවා ඒ අය සූදා­නම් කරනු ලැබුවේ ඒ වෙනු­වෙනි. යම් හෙය­කින් ඇය රටින් පිටව ගිය­හොත් ඇගේ සැබෑව ලෝකය හමුවේ හෙළි කර­මින් රටට එල්ලවූ කළු­පැ­ල්ලම මකා දැමී­මට ඉඩක් නොලැ­බෙන බව දැන­ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­ක­යන් ඒ වෙනු­වෙන් පිහිට පතන්නේ අධි­ක­ර­ණ­යෙනි. ඇයට රටින් පිට වීමේ තහ­න­මක් මෙන්ම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ ප්‍රකා­ශ­යක් ලබා­දී­මට නියෝ­ග­යක් නිකුත් වන්නේ ඒ අනු­වය.

අධි­ක­රණ නියෝ­ග­යට පිටු­පා­මින් ඇයට ස්විට්ස­ර්ල­න්ත­යට රැගෙන යන්නට ස්විස් තානා­පති කාර්යා­ල­ය­ටද ඉඩක් නොවීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට පසු­ගිය 08 වැනිදා ඇය ඉදි­රි­පත් කිරී­මට ඒ අයට සිදු­වන්නේ එබැ­විනි. එහිදී විම­ර්ශ­ක­යන් පැය 09ක් පුරා­වට ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර­න්නට වූයේ සැබෑව හෙළි කර ගන්න­ටය. පැහැ­ර­ගැ­නීම ගැන ඇය අලුත් කතා­වක් කිය­න්නට ගත්තේ එවි­ටය.

එම අලුත් කතාව අනුව ඇය දරු­වන්ගේ පාසල ආස­න්න­යේදී පැහැර ගැනී­ම­කට ලක් වන්නේ නැත. ඇය පව­සන්නේ ඒ බොරුව කිය­න්නට සිදු වන්නේ පැහැ­ර­ගත් අය එසේ කිය­න්නට යැයි කී නිසාය. එසේ නොවු­ණ­හොත් දරු­වන් සමඟ මුළු පවු­ලම මරා දමන බවට ඒ අය තර්ජ­නය කළ බවද ඇය පව­ස­න්නට වූවාය. ඒ අය පෙනී සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ලෙසිනි. ගුරු­ව­රි­යගේ නිව­සේදී ඔවුන් තමාගේ දෑත් ගැට ගසා කටට පාන්කඩ ඔබා පහ­ර­දෙ­මින් ලිංගික හිංස­න­යට ලක් කළ බවද ඇය පව­ස­න්නට වූවාය. ඇය සඳ­හන් කර­න්නට වූ ආකා­ර­යට අනුව එදා ඇයට හිංසා කර ඇත්තේ තිදෙ­නකු පමණි. පස් දෙනාගේ කතා­වක් එවර ඇය කියන්නේ නැත.

ස්විස් තානා­පති කාර්යා­ලයේ බල­ධා­රීන් කසාය බිව් ගොළු­වන් සේ සිටින විට එහි ඇත්ත නැත්ත සොයන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­ක­යෝය. මුලින්ම ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇය අත­ව­ර­යට ලක්වූ බව කියන නිවෙස හිමි ගුරු­ව­රි­ය­ගෙනි. ගුරු­ව­රිය පව­ස­න්නට වූයේ සිය නිව­සේදී ගානියා අත­ව­ර­යට පත් වූයේ යැයි කීම පට්ට­පල් බොරු­වක් බවය. එවැනි සිදු වීමක් තම නිවසේ නොවූ බව ඇය පව­ස­න්නට වූයේ දස අතේ දිවු­ර­මිනි. ඇගේ ඒ ප්‍රකා­ශ­ව­ලට පම­ණක් සීමා නොවූ විම­ර්ශ­ක­යන් තාක්ෂ­ණික සාක්ෂි රැස් කරන්නේ එම නිවාස සංකී­ර්ණයේ ආර­ක්ෂක කැමරා දර්ශන ඇය අත­ව­ර­යට ලක්වූ බව සඳ­හන් දිනයේ සිට දින පහක් ඉදි­රි­ය­ටත් දින පහක් පසු­ප­ස­ටත් පරීක්ෂා කර­මිනි. එහිදී පැහැ­දි­ලි­වම පෙනී යන්නේ ඇය සද­හන් කරන ආකා­රයේ කිසිදු පිට­ස්ත­ර­යෙක් එම නිවාස සංකී­ර්ණ­යට ඇතු­වී­මක් හෝ පිට­වී­මක් සිදුවී නැති බවය. ඇය එදා නිවාස සංකී­ර්ණ­යෙන් පිටව යන්නේද අත­ව­ර­ය­කට හෝ පහ­ර­දී­ම­කට ලක්වූ තැනැ­ත්ති­ය­ක­ග­මන් කරන ආකා­ර­ය­ක­ටද නොවන බව ඉතා සියුම්ව ආර­ක්ෂක කැමරා දර්ශන පරී­ක්ෂා­වේදී විම­ර්ශන නිල­ධා­රීන්ට පෙනී ගියේය.

ඒ සියලු කාර­ණා­ව­ලින් පෙනී යන්නට වූයේ ගානියා හිතා මතා ලොකු බොරු­වක් කරන බවය. එබැ­වින් තව­දු­ර­ටත් ඇයව පැහැර ගැනී­මක් ගැන විම­ර්ශ­න­යක් කර­න්නට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ශත්තිය වැය කිරීම පලක් නොවන බව විම­ර්ශ­ක­යන්ට පෙනී ගියේය. ඉදි­රි­යට කළ යුත්තේ කුම­ක්දැයි නීති­ප­ති­ව­ර­යා­ගෙන් උප­දෙස් ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඩබ්ලිව්. තිල­ක­රත්න මහතා තීර­ණය කරන්නේ එබැ­විනි.

එම උප­දෙස් නීති­ප­ති­ව­ර­යා­ගෙන් ලැබෙන්නේ ඉකුත් 16 වැනි­දාය. ස්විස් තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රීන්ගේ රැක­ව­ර­ණය ඇතිව එදා උදෑ­සන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් ඇයව රැගෙන යන්නේ අංගොඩ මාන­සික රෝහ­ල­ටය. ඒ අධි­ක­රණ නියෝ­ග­ය­කට අනුව ඇගේ මාන­සික තත්ත්වය ගැන විශේ­ෂඥ මනෝ වෛද්‍ය මතය දැන­ග­න්න­ටය. ඒ වන විට ඇය අවස්ථා දෙක­කදී අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට පවා යොමු කර තිබිණි. ඒ ඇය පහර කෑම­කට හෝ ලිංගික හිරි­හැ­ර­යන්ට ලක්ව තිබේ­දැයි අනා­ව­ර­ණය කර ගන්න­ටය. එහිදී හෙළි වන්නේ ඇයට ඒ කියන කිසි­වක් සිදුව නැති බවය. මාන­සික වෛද්‍ය පරී­ක්ෂා­වේ­දීද පෙනී යන්නේ ඇයට කිසිදු මාන­සික රෝගී තත්ත්ව­යක් නැති බවකි.

එදා අංගොඩ මාන­සික රෝහලේ සිට ඇය කෙළින්ම රැගෙන යන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටය. ඒ වන විට ඇගෙන් පැය විසි පහ­කට වැඩි කාල­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­නේ­තු­වේදී විම­ර්ශන නිල­ධා­රීන් ප්‍රශ්ණ කර තිබිණි. එහිදී එක බොරු­වක් වසා ගන්නට ඇය බොරු ගොන්නක්ම කියා සිටි­යාය. ඇගේ බොරුව හෙළි වන්නේ එම ප්‍රශ්න කිරීම් හමු­වේ­දීය. ඇයව වහාම අත්අ­ඩං­ගු­වට ගන්නැයි නීති­ප­ති­ව­ර­යා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් ලැබෙ­න්නේද එසේ ඇගෙන් ප්‍රශ්න කිරීම් සිදු­වෙ­මින් තිබි­ය­දීය.

ගානියා බන්ධ­නා­ගරගත කිරී­මත් සමඟ සැර මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කරන ස්විට්ස­ර්ලන්ත විදේශ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව අව­ධා­ර­ණය කරන්නේ ඇය වෙනු­වෙන් තමන් දිග­ටම පෙනී සිටින බවය. ඒත් එක්කම ඔවුන් උත්සහ දරන බවක් පෙනී යන්නේ ගානි­යාව හිරේ විලං­ගුවේ නොතබා මේ ප්‍රශ්නය දැන් ගොඩින් බේරා ගන්න­ටය.

Comments