ගොඩබිමක ගැඹුරු ම තැන ඇන්ටාක්ටිකාවෙන් | සිළුමිණ

ගොඩබිමක ගැඹුරු ම තැන ඇන්ටාක්ටිකාවෙන්

මහාද්වීපික පෘථිවියේ ගැඹුරු ම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි පිහිටි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගෙන තිබේ.

අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යයි. මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ, සාගරවල පමණි.

සුදු පැහැති මහාද්වීපය පිළිබඳ අලුත් සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට තිබේ. එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළිකරයි.

එහි ඇති ලක්ෂණ අවබෝධය සඳහා ඉතා වැදගත් වන්නේ ඉන් දක්ෂිණ ධ්‍රැවය අනාගතයේදී කෙසේ වෙනසකට ලක් වේදැයි දැනගත හැකි බැවිනි.

"මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක් දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රණයක්" යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර හයක් ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් පැවසීය.

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඔහු, "BedMachine Antarctica" නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූභෞතික සංගමයට (American Geophysical Union) ඉදිරිපත් කළේය. එසේ ම ඊට සමගාමීව Nature Geoscience නම් සඟරාවේ ද පළකර ඇත.

මහාද්වීපය පිළිබඳ ගුවනින් කරන ලද සමීක්ෂණවල පැවති සියලු හිඩැස් අලුත් සිතියමින් සම්පූර්ණ වී ඇත.

අභ්‍යන්තරයේ ඇති පාෂාණවල භූලක්ෂණ හඳුනා ගැනීම සඳහා ක්ෂුද්‍රතරංග අයිස් තට්ටු විනිවිද යවමින් දශක ගණනක් පුරා රේඩාර් උපකරණ ඇන්ටාක්ටිකාව එහා මෙහා යොමු කෙරිණි. නමුත් දත්ත සොයා නොගැනුණු විශාල ප්‍රදේශයක් ඉතිරිව තිබේ.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments