ව්‍යාපාරිකයන්ට රජයෙන් හැඳුනුම්පතක් | සිළුමිණ

ව්‍යාපාරිකයන්ට රජයෙන් හැඳුනුම්පතක්

ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක් විශාල අඩුවක්ව පැවති ව්‍යාපාරිකයකු හඳුනාගැනීමේ පිළිගත් හැඳුනුම්පතක් නොමැතිකම මඟහරවමින් රජය මඟින් ඒ සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරී‍ෙම් වැඩපිළි‍ෙවළ හෙට (16) කොළඹදී ආරම්භ කෙරේ.

කොළඹ ව්‍යාපාරික සංගමයේ සහ ඊට අනුබද්ධිත ව්‍යාපාරික සංගම් 39 ක නියෝජිතයන්ගේ ඉල්ලීමකට අනුව ‍රජය මෙම ව්‍යාපාරික හඳුනාගැනීමේ හැඳුනුම්පත නිකුත් කිරී‍ෙම් උත්සවය හෙට (16) උදේ කොළඹ කොල්ලුපිටිය "මූව් ඇන්ඩ් පික්" හෝටලයේදී පැවැත්වේ.

මේ අන්දමට ව්‍යාපාරික හැඳුනුම්පතක් මෙරට ව්‍යාපාරිකයන් වෙත හඳුන්වාදීම ඇතුළුව වත්මන් රජය දේශීය ව්‍යාපාර හා කර්මාන්ත රැකගැනීමට කාර්ය සාධන බළකායක් පිහිටුවීමට කළ යෝජනාවට ව්‍යාපාරික හා කර්මාන්තකරුවන්ගෙන් පැසසුම් ලැබී තිබේ.

දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බළකායක් පිහිටුවීමට සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකාර ඇමැති විමල් වීරවංශ මහතා කළ යෝජනාවට දේශීය කර්මාන්තකරුවෝ ව්‍යවසායකයෝ ප්‍රසාදය පළකරති.

සුළු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත රැකගැනීම සඳහා වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවා දිරිය ලබා දුන් ‍නව රජයේ විෂය භාර ඇමැතිවරයා වශයෙන් තමන් සමඟ සාකච්ඡාවකට එක් වූ මුල් අවස්ථාවේදීම මෙවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳව විමල් වීරවංශ මහතාට ස්තූතිවන්ත වන බවද ඔවුහු පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දේශීය කර්මාන්තකරුවන් සවිබල ගැන්වීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් ඇතුළත් වන පරිදි මෙම අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බළකාය ගොඩනැගීමට නියමිතය. එය සති දෙකකට හෝ මාසයකට වරක් හෝ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට කටයුතු යෙදීමට පියවර ගන්නා බව සඳහන් කළ ඇමැති විමල් වීරවංශ මහතාට තම සංවිධානවල ව්‍යාපාරවල පූර්ණ සහාය පළකරන බවද දේශීය ව්‍යවසාකයෝ පවසති.

කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සහ මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා,

දේශීය කර්මාන්ත රැකගැනීමට කළ යුතු දේ පිළිබඳව අපි ඇමැතිවරයාට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. ඒවාට ඕනෑකමින් ඇමැතිවරයා සවන් දුන්නා. ඒ අනුව එතුමා අන්තර් අමාත්‍යාංශ කාර්යසාධන බළකායක් පිහිටුවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළා. එය ඉතාමත් සතුටුදායක පියවරක්.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ දේශීය ව්‍යවසාකයෝ පැවැත්වූ සාකච්ඡාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකාර අමාත්‍යාංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංග, අමාත්‍යාංශ අංශ III අධ්‍යක්ෂ කපිල දසනායක, මෙරට ප්‍රධාන පෙළේ දේශීය ව්‍යවසායකයන් වන ඩී. එස්. අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය කුලතුංග රාජපක්ෂ නේචර් සීක්‍රට් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ, තන්ත්‍රි ට්‍රේලස් සමාගමේ සභාපති අතුල සපුතන්ත්‍රී යන මහත්වරු ඇතුළු දේශීය ව්‍යාපාරිකයෝ රැසක් සහභාගි වී සිටියහ.

Comments