නවෝත්පාදන සංසදයෙන් කුඩා ව්‍යාපාරිකයන්ට සහන | සිළුමිණ

නවෝත්පාදන සංසදයෙන් කුඩා ව්‍යාපාරිකයන්ට සහන

 

රුපියල් ලක්ෂ 5කට අඩුවෙන් ණය මුදල් ලබාගෙන ඒවා හරිහැටි ආපසු ගෙවා ගැනීමට නොහැකිව අසරණව ණය තොරතුරු කාර්යංශයේ අසාදු ලේඛනයේ නම සඳහන් අයට සහනයක් සලසන්නැයි කොළඹ ව්‍යාපාරික සංගමය හා අනුබද්ධිත සංගම් 39ක නියෝජිතයන් ජනපති, අගමැති ප්‍රධාන රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කොට තිබේ.

රුපියල් ලක්ෂ 2ක, 3ක බැංකු ණය මුදලක් ලබාගැනීමේදී කෙනෙකුට ඇපයට අත්සන් තැබූ අයටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමට බැංකු මඟින් රුපියල් ලක්ෂ 5කට අඩුවෙන් ලබාගෙන සිටින පිරිසට නැවත ණය මුදලක් ලබාගෙන ව්‍යාපාර දියුණුකර ගැනීමට අවස්ථාවක් අහිමි වී තිබෙනුයේ ඔවුන්ගේ නම් අසාදු ලේඛනයේ තිබෙන නිසාය.

එය ඇත්තටම ඔවුන්ගේම වරදකින් සිදුවූවක් නොව ඉකුත් රජය සමයේ රටේ ආර්ථිකයේ සිදුවූ කඩාවැටීම හා බිඳවැටීම මත සිදුවූවක් බව සඳහන් කරන ව්‍යාපාරික සංගම් ප්‍රධානීහු ඒ නිසා මෙලෙස අසාදු ලේඛන‍යේ නම සඳහන් අයට මාස හයකට හෝ අවුරුද්දකට හෝ ඔවුන්ගේ නම් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති.

කොළඹ කොල්ලුපිටිය “වොන්ඩර්” හෝටලයේ පැවැති ව්‍යාපාරික සංගම් ඒකාබද්ධ සාකච්ඡාවේදී රජයෙන් මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බව ජාතික නවෝත්පාදන සංසදයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ සහ කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහත්වරු ප්‍රකාශ කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී ක්ෂූද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය කපාහැරීම සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු අතරට තම සංගමයේ සාමාජිකයින් මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමුකිරීමට ද මෙහිදී තීරණය කොට තිබේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට සංවර්ධන බැංකු හා ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා හමුවීමට ද අදහස් කර තිබේ.

කොළඹ ව්‍යාපාරික සංගමය අනුබද්ධිත ප්‍රවාහන, ඖෂධ බෙදාහැරීම්, සංචාරක, තොග හා සිල්ලර වෙළෙඳාම ඇතුළු අංශ ගණනාවක ආයෝජක, ව්‍යවසායක සංගම් නියෝජිතයෝ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Comments