වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි | Page 2 | සිළුමිණ

වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි

 

යනනම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ද ගිරිකේ සුමනා ච ලග්ගේ
යං තස්ස යෝනකපුරේ මුලිනෝච පාද
තං පාද ලාංඡනමහං සිරසා නමාමි...

මේ එළඹ ඇත්තේ සිරිපා වන්දනා වාරයයි. සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා කාලය මීට අයත් වේ. ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය සහ කරංගොඩ පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති අතිගරු බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පසුගිය එකොළොස් වැනිදා ට යෙදුණු (11) උඳුවප් පෝදා පැල්මඩුල්ල ඓතිහාසික ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය. පෙර වර්ෂයේ සිරිපා සමය අවසන් වී සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමා සහ පූජා භාණ්ඩ ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ විශේෂ කුටියක් තුළ තැන්පත් කර තිබේ. නැවත එම පූජා භාණ්ඩ ඉන් බැහැර ට වැඩම කරන්නේ ශ්‍රීපාදස්ථානාය කරා චාරිත්‍රානුකූලව වැඩම කරවීමටය. පසුගිය නවවැනිදා සවස පුදපූජා පවත්වා බැතිමතුන්ගේ ගෞරවයට විවෘත කිරීම සිදුවූ අතර පසුව දා (10) අසිරිමත් පෙරහැර හතරකින් සිරිපා මළුව කරා ගමන් ආරම්භ කළේය. මෙම පෙරහැරේ දේවාලවල මෙන් දේවාභරණ වැඩමවීමක් සිදු නොවේ.

එක්දහස් නවසිය හැත්තෑව දශකයේ සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවේ සිට ආපසු වැඩමවා තැන්පත් කර තිබුණේ පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරස්ථානයේ ය. නැවතත් සිරිපා අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයට වැඩමවනු ලැබීය. ඒ එවක ශ්‍රීපාදස්ථානාධිපති බටුගෙදර යසස්සී හිමිපාණන් වහන්සගේ කාලයේ ය.1980 න් පසුව සමන්දේව පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. මාර්ග තුනකින් ගමන් කළ සිරිපා පෙරහැර මාර්ග හතරක් බවට පත්වෙන්නේ 2019 වසරේ සිටය.

පෙරහර මාර්ග

රත්නපුර, අවිස්සාවෙල්ල, හැටන්, නල්ලතන්නිය මාර්ගය ,රත්නපුර රජ මාවත හෙවත් පලාබද්දල මාර්ගය,පැල්මඩුල්ල බලංගොඩ, බගවන්තලාව, මස්කෙළිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගය පෙරහැර මාර්ග වේ. අනාදිමත් කාලයක සිට විවිධ ජාතීන්ට හා විවිධ ආගම් අදහන ලක්ෂ සංඛ්‍යාත ලෝවැසි ජනතාව සිරිපා වන්දනා කිරීමට පැමිණෙන්නේ ඉමහත් භක්තියකිනි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිට ලාංකීය සකල විධ ජනී ජනයා සිරිපා කරුණා කරන්නේ තමන්ට ඉන් සෙතක් ශාන්තියක් ඇතිවෙන බවට වන දැඩි විශ්වාසය පෙරදැරිව බව නොරහසකි. සමන් දේව පෙරහැර සඳහා විශේෂයෙන්ම මැණික් පතල් කර්මාන්තයේ නියැළුණ පිරිස් වැඩි වශයෙන් සහභාගී වෙති. එමෙන්ම මැණික් පතල් වැඩ ආරම්භ කරන්නේ ද සිරිපා කරුණා කිරීමෙන් අනතුරුවය. තිලෝගුරු බුදු රජාණන්වහන්සේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් අනුව සමන්තකූට පර්වතය මස්තකයේ වාම ශ්‍රී පාද පත්මය පිහිට වූ බව බෞද්ධ ජනතාව විශ්වාස කරති. සුමන සමන් දෙවියෝ ද බුදුන්වහන්සේගේ ධර්මය අසා සෝවාන් වූ දෙවියෙකු බවත් දේව විමානය පිහිටියේ සමන්තකූඨ පර්වත මස්තකයේ බවත් විශ්වාස කෙරේ. සමන් දෙවියන් විසින් බුදුහිමියන් උදෙසා දිවා විහරණය පිණිස ඉදිකළ ස්ථානය දිවා ගුහාව ලෙස පිළිගැනීමක් පවතින අතර ආදම් හා ඒව දරුවන් ලබා සිටි තැන ලෙසද සැලකෙයි. මහායාන ත්‍රිපිටක සාහිත්‍යය තුළ සඳහන් පරිදි රාවණ නම් රජ කෙනෙකු හා බුදු හිමියන් අතර වූ කිසියම් සංවාදයක් ගැන කියවෙයි. ඔහු ඒ ආසන්නයේ වාසය කළ බවටද විශ්වාස කෙරේ.

ශ්‍රී පාදය වන්දනා කළ පැරණි රජවරුන් පිළිබඳව ද ඉතිහාසගත කරුණු සාක්ෂි දක්වයි. සිරිපා නමස්කාරයට ගිය පළමු වන විජයබාහු රජු අඹගමුව හා ගිලීමලේ ශිලා ලිපි පිහිටුවා ඇත. අඹගමුව ශිලා ලිපියෙන් තවත් වැදගත් කරුණක් මතුවෙයි. එනම්,කකුසඳ කෝනාගම හා කාශ්‍යප බුදුවරුන් ද සිරිපා සලකුණු මෙම ස්ථානයේ පිහිට වූ බවටයි. විදෙස් ජාතිකයන් තම සංචාර අතරතුර ශ්‍රීපාදය වෙතද පැමිණි බව ලියැවී ඇති විස්තර අනුව පැහැදිලි වේ. ඊට නිදසුන් ලෙස මොංගෝලීය සම්භවයක් රැගත් ඉබන්බතූතා රටවල් ගණනාවක් හරහා මක්කම ගොස් ශ්‍රී ලංකාව හා චීනය වැනි මුස්ලිම් නොවන රටවල්වලට ද පැමිණි අතර හෙතෙම ශ්‍රීපාදස්ථානාය වෙතද පැමිණි බව කියැවේ. මෙවන් ජාතික හා ජාත්‍යන්තර පුරාවෘත සහිත උතුම් පූජනීය ස්ථානයක් ලෙස ශ්‍රීපාදය සැලකෙයි.

විවිධ මතවාද

සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ඊ ළඟ වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ශ්‍රීපාද වන්දනාව පුරාණ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර හා පුද පූජාවිධි සිදු කිරීමට ලෝ වැසි ජනතාව පුරුදු වී සිටිති. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික භක්තියකයෝ ද ඉතිහාසයේ සිට විවිධ විශ්වාසයන් තුළ ශ්‍රීපාද ය පිළිබඳව කතිකා කරති. දෙව්ලොව දී තහනම් ගහේ ගෙඩි කෑ බව කියන ආදම් හා ඒව නම් යුවළ දෙව්ලොවින් පිටමං කළ බවත් ඔවුන් දෙදෙනා මුලින්ම පා තබා ඇති ස්ථානය ශෛලන් නම් වූ බවත් එම ස්ථානය මෙය බවට පිළිගැනීමක් පවතී. මීට හේතුව වශයෙන් පෘතුගීසි භාෂාවෙන් ශෛලාවෝ යනුවෙන් ද ඉංග්‍රීසි බසින් සිලෝන් වශයෙන් ද බිඳීවිත් සීහල, සිංහල බවට පරිවර්තනය වී ඇත්තේ එම නමේ ම පරිනාමයක් බව පිළිගැනෙයි. රොබට් නොක්ස්ගේ ග්‍රන්ථය අනුව “ආදම් ගේ පාදය” ලෙසත් බටහිර ජාතීන්, Adams Peak ලෙසත් ශ්‍රීපාදස්ථානය නම් කරති. මුස්ලිම් හූ මෙම ස්ථානය “ආදම් මලෛ” ලෙසද ශිව භක්තියකයෝ ශ්‍රී පාද සලකුණ ශිව දෙවියන්ගේ පා සලකුණ ලෙසින්ද විශ්වාස කරති. ගූගල් ආයතනය පවා “ඇඩම්ස් පීක්” හෙවත් “ආදම්ගේ පාදය” ලෙසින් හඳුන්වා දී තිබුණ ද වත්මන් ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීම අනුව දැනට ගෞතම ශ්‍රීපාදස්ථානය යනුවෙන් දක්වා ඇත.

ශ්‍රීපාදය බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් වශයෙන් සනාථ වී තිබුණ ද සෑම ආගමික භක්තිකයකුම ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වීම විශේෂත්වයකි. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් - නල්ලතන්නි මාර්ගයේ භගවා ලෙනට පහලින් මායිම්වත් ශ්‍රීපාද පූජා භූමිය පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් දෙදහස් දෙසිය හතලිස් තුනක් උසින් යුත් සමනළ කන්ද ලංකාවේ තුන්වැනි උසම කන්දයි.

ඓතිහාසික තොරතුරු අනුව සිරිපා වන්දනා වාරය ආරම්භ වූ පසුව මැණික් ලැබී ගොවිතැන සාර වී අස්වනු වැඩි වී තමන්ට සෞභාග්‍යය උදාවන බවට විශ්වාසයක් ද ජනතාව අතර පවති. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව මහත් ඕනෑකමකින් සිරිපා කරුණා කිරීමටත් ඊට වැඩි වශයෙන් ආධාර උපකාර හා විවිධ දායකත්වයන් ලබා දීමට පෙරමුණ ගනිති. ඊට හේතුව නම් මැණික් ඉල්ලම් සොයා පතල් කැණීම්වල නියැළෙන උදවියට ඉල්ලම් පෑදෙන්නේ සිරිපා මළුවේ පහන දැල්වූ පසුව බව විශ්වාසයක් පවතී. සිරිපා මළුවේ ඇත්තේ දොළොස් මහා පහනයි. එදා පතල් කැපීම ඇරඹෙන්නේ මෙම පහන දැල්වීමෙන් පසුවය. ඔවුනට භාග්‍යවන්ත වාසනාවන්ත කාලයක් උදාවනු ඇතැයි විශ්වාසයේ ඇත.

සිරිපාදේ ගමන් ආරම්භයේ සිට “යනවා” යන්න වෙනුවට “කරුණා කරනවා” යනුවෙන් හඳුන්වයි. පළමු වරට සිරිපා කරුණා කරන තැනැත්තා “කිරිකෝඩු” වන අතර වයසින් වැඩි අය “දඬුකෝඩු” ලෙස හඳුන්වයි. සිරිපා වන්දනාවට එක්වන කුමන අයෙක් වුව ද සිරිපා අඩවිය ට පිවිසෙන්නේ තිසරණ සහිත පන්සිල් සමාදන් වීමෙන් අනතුරුවය. ඉන් එහාට බැතිමතුන්ගේ කතා විලාශය ද වෙනස් වෙයි. නිවසින් එද්දී ගිහින් එන්නම් කියූ උදවිය සිරිපා හිමේ දී “සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් කරුණා කරන්නම්” යනුවෙන් භාවිතා කරති. එමෙන්ම තම තමන් එකිනෙකාට සමන් දෙවි පිහිට ආරක්ෂාව පතා ගැනීම ද ⁣නිතර දැකිය හැක. ගමනේ දි ව්‍යවහාරයට ගැනෙන වචන අතර පේවීම, කට වරද්දා ගැනීම, සැහැල්ලුව, අම්බලම, සිරිපා පද්මය ආදීය නිතරම අසන්නට ලැබේ. නොදන්නා කෙනෙකු වෙතින් නොගැළපෙන කිසියම් වචනයක් පිට වුවහොත් කට කරුණාවයි, යනුවෙන් අවවාද කරයි.

කඳු හෙල් තැනිතලා ඇළ දොළ ගංගා ආදී අපූර්වතම භූ විෂමතා වැනි සොබා දහමේ ආශ්චර්ය විඳීමට සිරිපා වන්දනාවේ දී හැකිවේ. අතීතයේ සිරිපා ගමන් මග ඉතා දුෂ්කරය. වර්තමානයේ මෙන් පෙළට සකස් කළ පඩිපෙළවල් තිබී නැත. විදුලිය එළිය කොහෙත් ම නැත. දිවා රාත්‍රි දෙකෙහිම එකසේ සොබාදහමට අවනතව තම අවශ්‍යතා ඉතා සුළුවෙන් සපුරා ගෙන වන්දනාවේ යෙදුණහ. භූමිතෙල් පිර වූ පන්දම් රාත්‍රියට යොදා ගත් ආලෝක මාධ්‍යයි. බට ලී,උණ බම්බු, බෝතල් යොදා පන්දම් සකසා ගැනුණි. පැරැන්නන් ගමන් විඩාව මහන්සිය කාන්සිය සංසිඳුවා ගත්තේ තුන් සරණය තාලයට ගායනා කරමිනි.

එදා ඈත ගම්මානවල ජීවත් වු නඩ වශයෙන් කණ්ඩායම් එකට සිරිපා වැඳ පුදාගැනීමට පැමිනුණි. ඒ අයව මෙහෙයවනු ලබන්නේ නඩේ ගුරා නමින් හැඳින් වූ තැනැත්තෙකි. බොහෝ විට තුන් සරණය ගායනා කිරීමේ දි නඩේ ගුරා පෙරමුණ ගනී. තමන් සමඟ වන්දනාවේ යෙදෙන පිරිසට වෙහෙස මහන්සිය නොදැනෙන ලෙස අපහසුතාවන්ගෙන් හෝ කරදරයකින් තොරව මළුව ගොස් වැඳ පුදා ගැනීම තම ඒකායන පරමාර්ථය වෙයි.

වඳින්න යන නඩයත් වැඳලා බහින නඩයත් අතර අපූරු ගණුදෙනුවක් සිදු වෙයි.

“වඳින්න යන මේ නඩේ ට සුමන සමන් දේවි පිහිටයි.“වැඳලා බහින නඩයේ ප්‍රතිචාරයයි මේ. ඔවුන්ට පිළිතුරු ලැබෙන්නේ ද එවැනි සොඳුරු කවි පදයකිනි.

“වැඳලා බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි “

මෙය අපූර්වතම මානව බැඳීමකි. ඔවු⁣නොවුන්ගේ කිසිදු පූර්ව දැන හැඳුනුම්කමක් නැත. කුමන පළාතකවත්දැයි නොදනිති. එහෙත් ඒ දෙබස තුළ ඔවුන්ගේ සුහදතාව කාරුණිකත්වය හා මෛත්‍රිය ඉස්මතු වන්නේ ලාංකීය අනන්‍යතාවට සුබ ලකුණක් එක් කරමිනි.

එමෙන්ම සිරිපා වන්දනා කරන්නවුන් අතර ලොකු පොඩි උස්මහත් කුල ගොත් කිසිදු බේදයක් නැත.කවුරුත් එකට පා ගමනින් මළුවට කරුණා කරති. ප්‍රභූවරුන් සඳහා වෙනත් මාර්ග නැත. ඔවුන් ව තවත් පිරිසක් විසින් කුලී පදනමට ඔසවාගෙන යන්නේ ද නැත. හැමෝ ම එක හා සමානය.

 

Comments