මම බිඳවැටීම්වලින් ජීවිතේ ඉගෙනගෙන ජීවිතය ජය ගත් ගැහැනියක්... | සිළුමිණ

මම බිඳවැටීම්වලින් ජීවිතේ ඉගෙනගෙන ජීවිතය ජය ගත් ගැහැනියක්...

 

ඔබව හඳුන්වන්න?

මම කැරොලයින් ලුසි ඇනී ජූරි.

 

හැදී වැ‍ෙඩන්නේ?

කඳානේ.

 

දැන් වයස?

අවුරුදු 27 යි.

 

ඔබේ පවුලේ තොරතුරු?

මට ඉන්නේ අයියලා දෙන්නෙකුයි,අක්කයි,නංගියි. මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. ඇය අපව රැක බලා ගන්න කොට තාත්තා තමයි ගෙදර අනෙකුත් වගකීම් ඉටු කළේ.

 

පුංචි කැරොලයින් කොහොම කෙනෙක්ද?

මම පොඩි කාලේ ඉඳන් හරිම නිදහසේ හැදුණු කෙනෙක්. කා එක්කත් සුහදයි, මිත්‍රශීලීයි. ඕනෑම දේකට කිසිම බයක් නැතිව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණා.

 

කැරොලයින්ගේ පාසල් ජීවිතය ඇරැඹෙන්නේ?

කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්.

 

වැඩිපුරම දක්ෂතා දැක්වූයේ මොන අංශයෙන්ද?

ඉගෙනගන්න ලොකු කැමැත්තක් තිබුණා. ක්‍රීඩාවටත් දක්ෂයි. පාසල් දැල්පන්දු කණ්ඩායමෙත් හිටියා.

 

ඔබේ විනෝදාංශය?

මම කැමතියි සංචාරයට

 

පුංචි කැරොලයින් හීන දැක්කේ කවුරු වෙන්නද?

මට තේරෙන වයසේ ඉඳන් නිරූපිකාවක් වෙන්න බොහොම කැමැත්තෙන් හිටියේ. තව හීනෙකුත් ඒ අස්සේ තිබුණා. ඒ, මේ රට වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න.

 

පාසල් අධ්‍යාපනයෙන් පසු මොකද වුණේ?

මම කළේ සාමාන්‍ය පෙළ පමණයි. ඊට පස්සේ රැකියාවක් කළා. හෝටල් අංශයට අදාළ පාඨමාලා කළා.

 

මුල්ම රැකියාව?

සාමාන්‍ය පෙළ අවසන් කරපු ගමන්ම Aitken Spence ආයතනයේ වෙළෙඳ හා ප්‍රවර්ධන අංශයට අනුබද්ධ රැකියාවක් කළා. ඒ අතරතුර කටාර් රාජ්‍යයයේ රැකියාවකට යන්න අවස්ථාව ලැබුණා. වසර දෙකක් එහේ සේවය කළාට පසුවයි මම ඩුබායි යන්නේ.

 

තරුණ වයසේ නොදන්න රටක තනියම ගෙවපු ජීවිතය දැනෙන්නේ කොහොමද?

මට විශේෂ වෙනසක් හෝ අමුත්තක් දැනුණේ නැහැ. මම කොහොමත් කිසිම දේකට බය නැති කෙනෙක්. ඉතින් ඒ කාලේ මම හරිම නිදහසේ රස්සාවට ගියා, ඉගෙන ගත්තා. අලුත් රටක, වෙනස් සමාජයක, අලුතෙන් මිනිස්සු හඳුනා ගනිමින් ජීවත් වීම අපූරුයි. විදෙස් රටක එහෙම රස්සාවක් කරන්න ලැබීම මා ලැබූ හොඳම අවස්ථාවක්.

 

ඒ ජීවිතේ කට්ට කාපූ තැන් ඕනෑ තරම් ඇති?

අනිවාර්යයෙන්ම. ගෙදරින් පිටවෙලා විදෙස් රටක තනියම රස්සාවක් කරන ගමන් මාව ආරක්ෂා කරගෙන ජීවත්වීමත් එක්තරා විදිහක කට්ටක් තමයි‍. නමුත් මම ඒ කිසිම දෙයක් අත්හැරියේ නෑ.

 

ඔබ වැනි නිදහස් දිවි පෙවෙතක් ගත කළ තරුණියකට ‘සාම්ප්‍රදායික‘ ගැටලු මතු වුණේ නැද්ද?

මට සමාජයෙන් නැඟුණු කතා හෝ ඔවුන් මා මනින විදිහ මම මගේ ඔළුවට ගත්තු කෙනෙක් නෙමෙයි. ඒ දේවල්වලට අවධානය යොමු කළොත් මට මං විදිහට ජීවත් වෙන්න බැරි වෙනවා. මගේ ජීවන රටාව මගේ මවුපියන්ට, මගේ සැමියාට හා මං ආදරය කරන අයට ප්‍රශ්නයක් නොවෙනවා නම්, මං මට හෝ කාටවත් වැරැද්දක් කරන්නේ නැත්නම් ඔය දේවල් මට ප්‍රශ්නයක් නෙමෙයි. සමාජයෙන් මොන ගැටලු ආවත් මගේ හීනෙට මම ගමන් කළා.

 

මේ කිරුළ හිස මතට එන්න කලින් ඔබ ගෙවූ ජීවිතය පිළිබඳ තෘප්තිමත්ද?

මේ කිරුළ තෙක් ආ ගමන ගැන අනිවාර්යෙන් මම සතුටු වෙනවා. මට කවදාවත් මුල අමතක කරන්න බැහැ. අද මං මේ ඉන්න තැනට ආවේ මගේම කැපවීමෙන්.

 

මින් පෙර ඔබ නිරූපිකාවක ලෙස කටයුතු කර නැහැ?

නැහැ. ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලිය තමයි මගේ පළමු ඉදිරිපත් වීම.

 

පුංචි කාලේ ඉඳන් දැක්ක හීනේ හැබෑ කරගන්න මෙතරම් පමා වුණේ ඇයි?

ඒ හීනේ වෙනුවෙන් කැප වෙන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. මට වයස තිබුණා. හීනේ හැබෑ කර ගන්න ඉදිරි කාලෙත් ඕනෑ තරම් තිබුණා. නමුත් ඒ හීනෙට යන්න කලින් ජීවත් වෙන්න අනාගතයක්, මගේම ස්ථාවරත්වයක් හදා ගත යුතුයි. ඉතින් මම ඒ වෙනුවෙන් මගේ හීනේ තාවකාලිකව පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. ඒ අතරේ මම විවාහ වෙනවා, මව් පදවිය ලබනවා. විවාහයෙන් පස්සේ මගේ සැමියාගේ මනා අවබෝධය නිසාම මට තිබුණු නිදහස තවත් වැඩි වුණා. ඒ ලැබුණු නිදහස එක්ක මගේ හීනෙට යන ගමන හැබෑ කරගත්තා.

 

ඔබේ විවාහය සිදු වන්නේ?

මට ඔහු මුණ ගැහෙන්නේ ඩුබායිවලදි. අපි ආදරේ කළා. එකිනෙකා හොඳින් අවබෝධ කරගැනීමට පුළුවන් වුණා. ඒ ගැළපීම තේරුම් ගත් පසු අපි විවාහ වුණා.

 

ඔබ යම් කාලයකදී විශ­ාදයෙන් පෙළුණු බව පවසනවා.

ඒ ගැන කතා කරන්න කැමැතිද?

මම ජීවිතේ එක්තරා කාලෙක දී දැඩි ලෙස මානසික පීඩනයකට පත් වී එය විශාදය දක්වා යනවා. ඒ නිසා වරක් සිය දිවි හානි කරගන්න පවා පෙලඹුණා. ඒ ගැන මීට වැඩිය විග්‍රහ කරන්න බෑ. එය මගේ පෞද්ගලික කාරණයක් නිසා.

 

ඔබ එයින් මිදෙන්නේ කොහොමද?

මම මාවම ශක්තිමත් කරගත්තා. මං වෙනුවෙන් මා එක්කම සටන් කළා. ඔබත් ජීවිතයේ මොන බාධක කම්කටොලු ආවත් කවදාවත් ජීවිතේ අත්හැර ගන්න එපා. පුළුවන් තරම් ඒ වෙනුවෙන් සටන් කරන්න. තමුන්ට පුළුවන් යැයි හිතන්න. ඒ වෙනුවෙන් ගන්න හැම පියවරකටම අවංකව ආදරේ කරන්න. තමුන් තමන්ට ගරු කරමින් ඔබවම විශ්වාස කරමින් ඔබේ ගමන යන්න.

 

ඔබ ඔබව සොයා ගත්තේ කොහොමද?

ජීවිතයේ ලබන අත්දැකීම් ඔස්සේ අපට අප කවුද කියලා තේරුම් ගන්න, හොයාගන්න පුළුවන්. මමත් එහෙමයි මාව හොයා ගත්තේ.

 

ගැහැනිය බොහෝ විට කටකතා, ඊර්ෂ්‍යාවට ලක්වන්නියක්?

කවුරුහරි ඔබට ඉරිසියා කරනවා නම් සතුටු වෙන්න. ඒ කියන්නේ ඔවුන්ට නැති වටිනා දෙයක් ඔබ සතුයි. ඒ නිසයි ඔවුන් ඔබට ඊර්ෂ්‍යා කරන්නේ. ඒවා නවත්වන්න බැහැ. නවත්වන්න උත්සාහ කරන්නත් එපා. ඔබ කළ යුත්තේ ඔබේ දක්ෂතාව හඳුනා ගනිමින් එය තවත් ඔප මට්ටම් කර ගැනීමයි. අනෙකාගේ ඊර්ෂ්‍යාව ඔබේ ගමනට බාධාවක් කර ගන්නවා වෙනුවට එය ඔබේ ඉදිරි ගමනට රුකුලක් කර ගන්න. කටකතා හදන අය කොහොමත් හදාවී. එය ඔවුන්ගේ පුරුද්ද. ඒ කතා ඔළුවට ගත්තොත් කවදාවත් ඔබට ඔබේ ගමන යන්න වෙන්නේ නැහැ.

 

කැරොලයින්ගේ ජීවිතයේ සුන්දරම කාලය?

මේ ලෝකේ හොඳම පිරිමියා මගේ සැමියා කර ගන්න මට වාසනාව ලැබෙනවා. අපි හුරතල් දියණියකගේ මවුපියන් වෙනවා. මම මවක් වූ දා පටන් මගේ ජීවිතේ සුන්දරම අවධිය පටන් ගත්තා.

 

ඔබ ජීවිතයේ වඩාත් සංවේදී වූ මොහොතක් තිබේද?

මේ තරගයේ පුහුණුවීම් වෙනුවෙන් මගේ දරුවා දාලා ටික දවසකට ලංකාවට එන්න වුණා. මං ජීවිතේ වඩාත් සංවේදී වුණේ මගේ දුවගෙන් ඈත් වෙලා හිටපු ඒ දවස් ටික.

 

ජීවිතේ බෙදාගන්න කැමති දෙයක් තිබෙනවද?

මට උදව් නොලැබුණාට මම කැමතියි උදව් කරන්න. හැමෝගෙන්ම මම ඉල්ලීමක් කරන්න කැමැතියි. මින් ඉදිරියටවත් ලංකාව නියෝජනය කරමින් අපේ රටට කීර්තියක් අත්කර දෙන්න අවංකව කැප වීමෙන් උත්සාහ කරන අයට උදව් කරන්න. දින්නොත් විතරක් දුවගෙන එන්න බලාගෙන ඉන්න එපා. වටිනාකම තිබෙන්නේ පටන්ගැන්මේ ඉඳන් ඔවුන්ට ශක්තියක් වීමයි.

ඔබ පැරදුණු හෝ ඔබට වැරැදුණු තැන් තිබෙනවාද?

මම හරි ඉක්මනින් මිනිසුන්ව විශ්වාස කරනවා. එය මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්.

ඒ නිසාම මට වැරැදුණු අවස්ථා තිබෙනවා. ඉදිරියටත් අලුත් අය හඳුනා ගන්න ලැබෙයි. ඒ අතරේ හොඳ නරක දෙපිරිසම හමු වේවි. නමුත් පෙරට වඩා මම විමසිලිමත්. ඒ වැරැදීම් ඇසුරෙන් දවසින් දවස මම ඉගෙන ගන්න නිසා.

 

ජීවිතේ දැඩි තීරණ අරගෙන තිබෙනවාද?

ජිවිතේ ඉදිරියට යන්න නම් අපිට යම් යම් තීරණ දැඩිව ගන්නම වෙනවා. ඒ මොහොතේදී දුකක් වුණත් ඒ ගන්න තීරණය පසු කාලීනව ඔබේ ජීවිතේ අශිර්වාදයක් වේවි.

 

ඔබේ ජීවිතේ සතුට රැඳෙන්නේ?

මගේ සැමියා හා දරුවා...

 

ඔබ ඔබට පනවා ගත් ස්වයංවාරණ තිබේද?

හැම කෙනකුටම එවැනි ස්වයංවාරණ තිබිය යුතුයි. අප වෙනුවෙන්ම ප්‍රගුණ කරගන්නා ප්‍රතිපත්තිවලින් තමයි ජීවිතවල හික්මීමක්, විනයක් ඇති වෙන්නේ.

 

මෙවැනි තරගවලට හෝ නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන අය බොහෝ විට යථාර්ථවාදී නැතයි සමාජගත වෙනවා?

මා එය පිළිගන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ නියැළෙන අයට ලැබෙන නිදහස වැඩියි. ඒ නිසා අප දැන ගත යුතුයි අපව ආරක්ෂා කර ගනිමින් අප රැකෙමින් මම කළින් කියූ ප්‍රතිපත්ති අනුව ඒ නිදහස අපට හෝ කාටවත් වරදක් නොවන අයුරින් විඳින්න.

 

මේ කිරුළ වෙනුවෙන් ඔබ බොහො කැප කිරීම් කළා. එතරම් මේ කිරුළ ඔබට සුවිශේෂි වුණේ ඇයි?

අපව කවුරුත් දන්නේ නැති නම් කවුරුත් අප කියන කරන හොඳ දෙයක් අහන්න දකින්න සූදානම් වෙන්නේ නැහැ. අප අපේ වටිනාකමක් හදා ගත්තොත් ඒ වටිනාකම ඔස්සේ අපි කියන කරන දේට යම් වටිනාකමක් ඇති වෙනවා. මට අවශ්‍ය වුණේ ඒ වටිනාකම හදා ගන්න.

ඉතින් මං ඒ වෙනුවෙන් කැප වුණා. හෙට දවසේ සිට මටත් මේ සමාජයේ තැනක් හැදේවි... මගේ වචනවලටත් සමාජය ඇහුම්කම් දේවී. පිළිගැනීමක් හැදේවි. ඒ පිළිගැනීම දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් මම කරන්න උත්සාහ කරන දෑට උපකාරයක් වේවි.

 

මේ ලැබුණු ජනප්‍රියත්වය ඔබ කොහොමද හසුරුවාගන්නේ?

මෙය මට තවම තරමක් නුහුරුයි. නමුත් ඉක්මනින් එයට අනුගත වෙමින් හොඳින් හසුරුවා ගත යුතුයි.

 

කැරොලයින්ගේ හෙට දවසේ බලාපොරොත්තු?

මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. ලොකු සැලැසුම් නැහැ. හැකි පමණින් මිනිස්සුන්ට උදව් කරමින් ඒ ලබන සතුට එක්ක ජීවත් වෙන්නයි මම උත්සාහ කරන්නේ.

 

ඔබේ දැක්ම?

මේ රටේ දුක්විඳින දරුවන්ට උදව් කරන්න. අපි විඳින සතුට ඔවුන්ටත් අත් කර දෙන්න...

 

එයට කිසිඳු අනුග්‍රහයක් නොලැබුණොත්?

කාගෙන් සහයක් නොලැබුණත් මම උපයන මුදලින් හෝ ඒ දේ මට පුළුවන් උපරිමයෙන් ඉටු කරනවා. මේ තරගය පුරාවටත් බොහෝ දෙවල් කරගත්තේ තනියම සහ මගේ සැමියාගේ සහයෙන්. මට උදව් නොලැබුණා කියලා මගේ හීන මම අතහැර ගත්නේ නැහැ.

 

ලෝකය වෙනස් කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්?

ජීවිතේ විඳවන දරුවන් මම ජීවිතය විඳින දරුවන් බවට වෙනස් කරනවා.

ඡායාරූප - ශාන් රූපස්සර

Comments