පාස්කු ප්‍රහා­රයේ වග­කීම හිටපු ආර­ක්ෂක ‌‌ලේකම් පිට පැට­වීම වැරදි පූර්වා­ද­ර්ශ­යක් | සිළුමිණ

පාස්කු ප්‍රහා­රයේ වග­කීම හිටපු ආර­ක්ෂක ‌‌ලේකම් පිට පැට­වීම වැරදි පූර්වා­ද­ර්ශ­යක්

කොළඹ විශ්ව­වි­ද්‍යායේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ මහා­චාර්ය ප්‍රතිභා මහා­නා­ම­හේවා මහතා  කලක් කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නීති පීඨයේ පීඨා­ධි­ප­ති­ව­රයා වශ­යෙන්ද කට­යුතු කළේය. අභ්‍ය­න්තර දේශ­පා­ල­නය හා  අන්ත­ර්ජා­තික දේශ­පා­ල­නය හා නීතිය සම්බ­න්ධ­යෙන් ප්‍රාමා­ණික විද්ව­තකු වන හෙතෙම පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පත් කළ  තේරීම් කාරක සභා වාර්තාව සම්බ­න්ධ­යෙන් සිය මතය මෙසේ විග්‍රහ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා­වක් පත් කර වාර්තා­වක් ලබා දී තිබිණි. ඒ වාර්තාව මේ වන විට ප්‍රසි­ද්ධි­යට පත්ව ඇති අතර, එහි නිර්දේශ පිළි­බඳ සමා­ජයේ කති­කා­වක් ඇති වීම වැද­ගත්ය. වත්මන් රජය විසින්ද පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කොමි­ස­මක් පත් කර තිබේ.

පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාවේ වැද­ගත්ම පිටුව වන්නේ 146 වැන්නයි. තේරීම් කාරක සභාව ඉදි­රි­පත් කරන නිර්දේශ සඳ­හන් කර ඇත්තේ ඒ පිටු­වේය. ඒ අනුව නිර්දේශ අටක් ඉදි­රි­පත් කර තිබෙන අතර, අලුත් ආණ්ඩු­වට ඒ නිර්දේශ ක්‍රියා­ත්මක කළ හැකිය. ඉතා වැද­ගත් නිර්දේශ වන ආර­ක්ෂාව, බුද්ධි අංශය ප්‍රති­සං­ශෝ­ධ­නය කිරීම ගැන එහි පැහැ­දි­ලිව සද­හන් කර තිබේ. නව රජය මේ වන විට ඒ ගැන අව­ධා­නය යොමු කර තිබේ. මැති­ව­රණ කාල­යේ­දීත් වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් යොමු කළ අතර, ඒ සඳහා වන වැඩ කොටස් මේ වන විටත් ඉටු කර තිබීම සාධ­නීය තත්ත්ව­යකි.

ජාතික නොසැ­ල­කිල්ල

පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාව එක් වාක්‍ය­ය­කට සම්පි­ණ්ඩ­නය කළ හැකිය. ‘වළ­ක්වා­ගත හැකිව තිබූ ප්‍රහා­ර­යක් වළ­ක්වා­ගැ­නී­මට නොහැකි වූයේ නොසැ­ල­කිල්ල නිසාය’ යන්නයි. නොසැ­ල­කි­ල්ලට මූලික වශ­යෙන් වග­කිව යුත්තේ ජාතික බුද්ධි ප්‍රධා­නි­යාය. ප්‍රහා­ර­යක් පිළි­බඳ පණි­විඩ අනූ­හ­තක් ලැබී තිබේ. ඒ පණි­විඩ සම්බ­න්ධ­යෙන් ඔහු නිසි පරිදි කට­යුතු කර නැත. මේ අතර ප්‍රහා­රය පිළි­බඳ අව­සන් තොර­තුර ලැබුණු විටත් අදාළ අංශ­ව­ලට දැනුම් නොදීම ගැන මේ වාර්තාවේ කරුණු දක්වා ඇත. එප­ම­ණක් නොව, හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාද මේ සඳහා අනි­වා­ර්යෙන්ම වග­කිව යුතු බව දක්වා තිබේ. ඔහු තම වග­කීම පැහැ­ර­හැර ඒ වග­කීම වෙනත් අයට පවරා තිබේ. ඒ අත­රම අග­මැ­ති­ව­රයා, රාජ්‍ය ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා හා නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වද වග­කිව යුතු බව පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ දැක්වේ.

මේ ප්‍රහාර පිළි­බඳ නොසැ­ල­කි­ලි­මත් වී ඇත්තේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී විවිධ පාර්ශ්ව­යන්ගේ සහාය ලබා­ගැ­නී­මට අවශ්‍ය නිසා යැයි වාර්තාවේ සඳ­හන් කර තිබේ. එහෙත් එය මීට වඩා පැහැ­දි­ලිව දක්වා තිබුණේ නම් ඒ් සම්බ­න්ධ­යෙන් වන ඉදිරි පිය­වර ගැනී­මද පහසු වනු ඇත.

පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාව තුළ සියලු පක්ෂ නියෝ­ජ­නය වූයේ නැත. ඒ අත­රම තේරීම් කාරක සභාවේ සාමා­ජි­ක­යන් ලෙස කට­යුතු කළ පුද්ග­ල­යන්ගේ අද හැසි­රීම්ද ගැට­ලු­කා­රිය. මේ නිසා මෙහි සංයු­ති­යට කැමැ­ත්තක් නැතත් අදාළ නිර්දේශ ක්‍රියා­ත්මක කිරීම වැද­ගත්ය.

කෙසේ වෙතත් රට අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත් වූයේ කුමන හේතු නිසාද යන්න කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුය. ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා නොමඟ යැව්වේ නම් ඒ බව සඳ­හන් කළ යුතුව තිබිණි. එහෙත් එවැනි සඳ­හ­නක් නැත. හිස්බුල්ලා සම්බ­න්ධ­යෙන්ද මේ වාර්තාවේ සඳ­හන් කර ඇත. එහෙත් ඔහු සම්බ­න්ධ­යෙන් කිසිම පිය­ව­රක් ගෙන නැත. බස්නා­හිර පළාතේ හිටපු ආණ්ඩු­කා­ර­ව­රයා මේවාට මැදි­හත්ව ඇති බව දක්වා තිබු­ණත් ඒ සම්බ­න්ධ­යෙන් අද වන තුරු කිසිදු පිය­ව­රක් ගෙන නැත.

ඇඟ බේරා­ ගැ­නීම

පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු හා පොලි­ස්ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇති නමුත් කිසිදු දේශ­පා­ල­න­ඥ­යකු මේ වන තෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නැත. හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට හා පොලි­ස්ප­ති­ව­ර­යාට ඇඟිල්ල දිගු කර­මින් ඔවුන් බේරී­මට උත්සාහ ගන්නා බවක් පෙනෙන්න තිබේ. ජනා­ධි­ප­ති­ව­රයා ආර­ක්ෂක කවු­න්සි­ලය සම්බ­න්ධ­යෙන් බැරෑ­රුම් ලෙස කට­යුතු කර තිබෙන බවක් පෙනේ­නන නැත. සහ­රාන්ගේ කණ්ඩා­යම් අත්අ­ඩං­ගු­වට ගත් විට විවිධ දේශ­පා­ල­න­ඥ­යන් බල­පෑම් කර තිබිණි. හිටපු හමු­දා­ප­ති­ව­රයා ප්‍රසි­ද්ධි­යේම කියා තිබුණේ අත්අ­ඩං­ගු­වට ගැනීම් සිදු වන විට තමන්ට රිෂාඩ් බදි­යු­ද්දීන් කතා කළ බව හිටපු හමු­දා­ප­ති­ව­රයා කීවේය. එහෙත් ඒ සම්බ­න්ධ­යෙන් කිසිදු පිය­ව­රක් ගෙන නැත. මේවා බර­ප­තළ ලෙස ගත යුතුය. හමු­දා­ප­ති­ව­ර­යාට ඇමැ­ති­ව­ර­යකු කතා කර බල­පෑම් කළේ නම් ඒ සම්බ­න්ධ­යෙන් පිය­වර ගත යුතුය.

පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාව පිළි­බඳ අධ්‍ය­ය­නය කරන විට පැහැ­දි­ලිව පෙනී යන කරු­ණක් වන්නේ නිවැ­රදි නාය­ක­ත්ව­යක් නොති­බී­මය. වර්මා­තන ආණ්ඩුව මෙන් නාය­ක­ත්ව­යක් තිබුණේ නම් මෙවැනි ප්‍රහා­ර­යක් එල්ල වන්නේ නැත.

ආගම මත, මූල­ධ­ර්ම­වා­දය මත පාසල් ඇති කළ නොකළ යුතුය යන නිදේ­ශ­යක් මෙහි ඇතු­ළත් කර තිබේ. මේ නිර්දේ­ශද වැද­ගත් නිර්දේ­ශ­යක් වන්නේ ලංකාව සර්ව ආග­මික රටක් වන නිසාය. සියලු ආග­ම්ව­ලට අයත් ජන­තාව ජීවත් වන නිසා ආගම මත පද­නම් වූ අධ්‍යා­ප­න­යක් ව්‍යාප්ත නොකි­රීම වැද­ගත්ය. 2015දී බල­යට පත් ආණ්ඩුව සංහි­ඳි­යාව සඳහා වැඩ කළේය; ඒ සඳහා අමා­ත්‍යාංශ ඇති කළේය. එහෙත් සංහි­ඳි­යාව ඇති කිරීම වෙනු­වෙන් පැහැ­දිලි දෙයක් සිදුව නැත. මේ අනුව බලන කල සැබෑ සංහි­ඳි­යාව ඇති කිරීම සඳහා වන යෝජනා මේ වාර්තා­වට ඇතු­ළත්ව තිබීම වැද­ගත්ය. අධ්‍යා­ප­න­යට යැයි කිය­මින් හිස්බුල්ලා විශාල මුද­ලක් රට තුළට ගෙන්වා­ගෙන තිබිණි. මේ සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි අධ්‍ය­ය­න­යක් කළ යුතුය. ආග­මික වර්ග­වා­දය, ආග­මික ප්‍රච­ණ්ඩ­ත්වය, වහා­බ්වා­දය වෙනු­වෙන් මුදල් සප­යන අය සම්බ­න්ධ­යෙන් නොව­ළහා කට­යුතු කළ යුතුය.

වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශ කිරීම් සම්බ­න්ධ­යෙන් හා මාධ්‍ය සම්බ­න්ධ­යෙන්ද පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ කරුණු දක්වා ඇත. සමාජ මාධ්‍ය ජාලා­වල පළ වන අද­හස් පාල­නය කිරීම පහසු නැත. එහෙත් නිවැ­රදි තොර­තුරු ලැබීම සදහා වන මධ්‍ය­ස්ථා­න­යක් තිබීම වැද­ගත්ය. හමුදා ප්‍රකා­ශක හෝ රජයේ ප්‍රකා­ශක මාර්ග­යෙන් තොර­තුරු ලබා නොදීම පසු­ගිය ආණ්ඩුවේ පැවති දුර්ව­ල­තා­වකි.

දේශ­පා­ල­න­ඥ­යන් වග­වී­ම­කින් යුතුව කට­යුතු කිරීමේ වැද­ග­ත්ක­මද මේ කමි­ටුවේ වාර්තාව මඟින් දක්වා තිබේ. ඒ අත­රම හිටපු ජනා­ධි­ප­ති­ව­රයා, හිටපු අග­මැ­ති­ව­රයා, ආර­ක්ෂක රාජ්‍ය ඇමැ­ති­ව­රයා අස­මත්ව ඇති බව පැහැ­දි­ලිව දක්වා තිබේ. මෙසේ වග­කීම් පැහැ­ර­හළ පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් නෛතික පිය­වර ගත යුතුව ඇත. මේ වාර්තාවේ වග­කි­ව­යුතු දේශ­පා­ල­න­ඥ­යන් සම්බ­න්ධ­යෙන් නිර්දේශ ඉදි­රි­පත් කර තිබුණේ නම් වඩාත් වැද­ගත්ය.

ජනා­ධි­ප­ති­ව­ර­යකු පක්ෂ දේශ­පා­ල­නය බදා­ගත් විට තම ආර­ක්ෂාව ගැන කට­යුතු කර­නවා මිස රටේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන්නේ නැත. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සෑම අව­ස්ථා­ව­ක­දීම තම වග­කීම් අත­පසු කර ඇති බව මේ වාර්තාවේ පැහැ­දි­ලිව දක්වා තිබේ. මේවා සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත් හිටපු ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන්, තවත් උප­දේ­ශ­ක­ය­න්ගෙන් උප­දෙස් ගෙන තිබෙන නමුත් නිවැ­රදි උප­දෙස් ගෙන නැති බවද පෙනී යයි. මේ පිළි­බඳ තොර­තුරු ලැබුණු විට පොලී­සිය හෝ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් සීරු­වෙන් තැබිය යුතුව තිබිණි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධා­නියා තමන්ගේ වග­කීම් පැහැර හැරීම නිසා මේ ප්‍රහා­ර­යට වග කිව යුතු අයකු බව පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ දක්වා ඇත. එහෙත් මේ වන තෙක් ඔහු සම්බ­න්ධ­යෙන් කිසිදු නෛතික පිය­ව­රක් ගෙන නැත. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධා­නියා තම වග­කීම් නිසි ආකා­ර­යෙන් ඉටු නොකි­රීම බර­ප­තළ ආකා­රයේ අස­මත් වීමක් බව වාර්තාවේ සඳ­හන් කර තිබේ. බුද්ධි අංශ සම්බ­න්ධ­යෙන් ඔහු අදාළ අංශ සම්බ­න්ධ­යෙන් පිය­වර ගෙන නැත. කාත්ත­න්කුඩි වැනි ප්‍රදේ­ශ­ව­ලින් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් නිසි ආකා­ර­යෙන් කට­යුතු නොකි­රීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඔවුන් නිද­හස් වී තිබිණි. ඒ අනුව බලන කල රාජ්‍ය බුද්ධි ප්‍රධා­නියා මේ ප්‍රහා­රය ගැන කල් ඇතිව දැන සිටියා පම­ණක් නොව තමන්ගේ වග­කීම්ද පැහැ­ර­හළ බව පෙනී යයි. මේ සම්බ­න්ධ­යෙන් මොහු­ගෙන් ප්‍රශ්න කළා නම් නිවැ­රදි තොර­තුරු ලබා­ගැ­නී­මට හැකි­යාව ඇත.

අමා­ත්‍යාං­ශ­යක ප්‍රධාන ගණන් තැබීමේ නිල­ධා­රියා වන අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාගේ පිට මේ වග­කීම් පටවා තමා නිද­හස් වීම ඍජු නාය­ක­ත්ව­යක් නැති වීමේ ප්‍රති­ඵ­ල­යයි. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ හිටපු ලේක­ම්ව­රයා පිට මේ වරද පැට­වී­මට උත්සාහ ගැනීම තනි­කර පාවා­දී­මකි. මෙය ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාගේ පිට තබා හිටපු ජනා­ධි­ප­ති­ව­රයා තමා නිර්දෝශී වීමට උත්සාහ ගනී. එහෙත් ඔහුට ඒ වග­කී­මෙන් මිදිය නොහැ­කිය. තමාගේ කාල­යේදී ආර­ක්ෂක කවු­න්සි­ලය අවස්ථා කීය­කදී රැස් කළාද, රටට තිබෙන තර්ජන සම්බ­න්ධ­යෙන් අවස්ථා කීය­කදී සාකච්ඡා කර තිබේද, ඒවා­යේදී ආර­ක්ෂා­වට ඇති තර්ජන ගැන සාකච්ඡා කළාද යන්න ගැන අව­ධා­නය යොමු කළ යුතුය. ත්‍රිවිධ හමු­දා­වට අණ දෙන්නා ලෙස තමා නාය­ක­ත්වය දෙන­වාද යන්න ගැන ඔහු මීට වඩා සැල­කි­ලි­මත් විය යුතුව තිබිණි.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා කාර්ය­බ­හුල වන්නට ඇත. එහෙත් රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය තමා යටතේ තබා­ගෙන සිටින්නේ නම් නිසි ආකා­ර­යෙන් කට­යුතු කළ යුතුව තිබිණි. තමාට ලැබෙන ආර­ක්ෂක වාර්තා ගැන සොයා බල­න්නට තිබිණි. ඒ අනුව බලන විට හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ සම්බ­න්ධ­යෙන් තිබෙන වග­කී­මෙන් මිදී­මට නොහැ­කිය.

රටේ සිදු වූ සෑම ප්‍රහා­ර­යක් සම්බ­න්ධ­යෙන්ම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා වග­කිව යුතු­යැයි අද­හස් කර­මින් වග­කීම ඔහු මත පව­රන්න උත්සාහ ගන්නේ නම් එය බර­ප­තළ වැරදි පූර්වා­ද­ර්ශ­යකි. රටේ සිදු වූ සෑම ප්‍රහා­ර­යක් සම්බ­න්ධ­යෙන්ම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා අත්අ­ඩං­ගු­වට ගන්නට ගියේ නම් මේ රට පව­ත්වා­ගෙන යෑමට නොහැකි වනු ඇත. එමෙන්ම මේ වැරදි පූර්වා­ර්ද­ශය ඉදි­රි­යට ගෙන ගිය හොත් එයද රටට බර­ප­තළ ආකා­ර­යට බල­පායි. එවිට ඇමැ­ති­ව­රයා නිදැල්ලේ සිටි­මින් සියලු වග­කීම් ලේක­ම්ව­රයා මත පැට­වී­මට කට­යුතු කරනු ඇත. එවිට ඇමැ­ති­ව­රයා තමන් නිර්දේශ දුන්නේ මේ අය කී නිසා­යැයි කිය­මින් ඇමැ­ති­ව­රයා අත පිස­ගැ­නී­මට කට­යුතු කරනු ඇත. අමෙ­රි­කාව, රුසි­යාව පම­ණක් නොව මා වෙසෙන ජැමෙ­යි­කාවේ වුව මේ ආකා­ර­යට කට­යුතු කරන්නේ නැත. පසු­ගි­යදා ජැමෙ­යි­කාවේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඇමැ­ති­ව­රකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. එහෙත් ලේක­ම්ව­රයා අත්අ­ඩං­ගු­වට ගත්තේ නැත. දේශ­පා­ල­න­ඥ­යන් තමන්ගේ බේරීම සදහා අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන් පිට වරද පට­වන්නේ නම්, ලේක­ම්ව­රුන් පවා දෙන්නේ නම් මේ රට ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑමට හැකි­යාව ලැබෙන්නේ නැත.

මේ තත්ත්වය හමුවේ අලුත් ආණ්ඩු­වට පැහැ­දිලි වග­කී­මක් තිබේ. ආර­ක්ෂාව ඉතා පහත් තති­ත්ව­ය­කට පත්ව ඇති බවත්, රාජ්‍ය නොවන සංවි­ධා­න­වල බළල් අත් ජනා­ධි­පති හරහා ක්‍රියා­ත්මක වී බුද්ධි අංශ අඩ­පණ වූ බවත් පැහැ­දි­ලිය. හිටපු ජනා­ධි­ප­ති­ව­රයා වටා එන්ජීඕ නඩ­යක් තිබිණි. ඔවුන් කළේ මුස්ලිම් අන්ත­වා­දය ප්‍රව­ර්ධ­නය කිරී­මය. එහෙත් වර්ත­මාන ආණ්ඩුව බල­යට පත් වූ වහා බුද්ධි අංශ ශක්ති­මත් කිරී­මට පිය­වර ගනු ලැබීය. බුද්ධි සේවාවේ ඉහ­ළින්ම සිටින බ්‍රිගේ­ඩි­යර් සුරේෂ් සලේ වැනි අයකු රාජ්‍ය බුද්ධි ප්‍රධා­නියා බවට පත් කෙරිණි. දැන් ආණ්ඩුව බුද්ධි අංශ නිව­ර­දිව ක්‍රියා­ත්මක කර, ජන­තා­ව­ගෙන් තොර­තුරු ලබා­ගෙන ශක්ති­මත් ජාල­යක් ගොඩ­නැ­ගිය යුතුය. රට­කට බුද්ධි අංශ­ව­ලට පම­ණක් තනි­වම කට­යුතු කළ නොහැ­කිය. ඒ සඳහා ජන­තා­වගේ සහාය ලබා­ගත යුතුය. අප නොද­න්නවා වන නමුත් ඉන්දි­යාවේ රෝ සංවි­ධා­නය ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වෙයි. ඊශ්‍රා­ය­ලයේ මොසාඩ් සංවි­ධා­නයේ නියෝ­ජි­තයෝ මෙරට සිටිති. ශ්‍රී ලංකා­වට ප්‍රහා­ර­යක් එල්ල වන බව රෝ සංවි­ධා­නය දැන සිටි­යේය. මේ සංවි­ධාන කට­යුතු කරන ආකා­රය කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුය.

බඩු මිලට වඩා වටින ජාතික ආර­ක්ෂාව

දැන් බල­යට පත්ව තිබෙන්නේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් හොඳ අව­බෝ­ධ­යක් ඇති ජනා­ධි­ප­ති­ව­ර­යෙකි. මේ ජනා­ධි­ප­ති­ව­ර­යාට වග­කීම් දෙකක් තිබේ. එකක් නම්: රාජ්‍ය ආර­ක්ෂාව හා ජාතික ආර­ක්ෂාව ඉහළ මට්ට­ම­කට රැගෙන ඒමය. බඩු මිලට වඩා ජාතික ආර­ක්ෂාව වැද­ගත් බව තේරුම් ගනි­මින් කට­යුතු කළ යුතුය. දෙවැන්න නම්: ත්‍රස්ත­වා­දීන්ගේ මුදල් මෙර­ටට ලැබෙන ආකා­රය ගැන අව­ධා­න­යෙන් යුතුව කට­යුතු කළ යුතුය. ඒ අත­රම මේවාට සම්බන්ධ පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට නොප­මාව කට­යුතු කළ යුතුය.

ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් නිවැ­රදි තොර­තුරු ලෝක­යට ලබා­දීම වැද­ගත්ය. දැනට ලෝකයේ එහා කොනේ සිටින අපට ශ්‍රී ලංකාව ගැන ලැබෙන්නේ වැරදි තොර­තු­රුය. මේ නිසා තොර­තුරු බෙදා­හැ­රීමේ මධ්‍ය­ස්ථා­න­යක් රට තුළ ස්ථාපිත කළ යුතුය. මුස්ලිම් ප්‍රජා­වත්, අනෙ­කුත් ප්‍රජා­ව­නුත් එකට එක්ව මේ ගමන යා යුතුය. මුස්ලිම් දේශ­පා­ල­න­ඥ­යන් හා දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් ඇතැම් අව­ස්ථා­වල අව­ස්ථා­වා­දිව අන්ත­වා­දීන් සමඟ කට­යුතු කරයි. මේ පිළි­බ­ඳ­වද අව­ධා­නය යොමු කර­මින් සියලු දෙනාම එකට එක් කර­ග­නි­මින් ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරීම වඩාත් වැද­ගත්ය.

Comments