දායක සභාවේ අලුත් සභාපති ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ | සිළුමිණ

දායක සභාවේ අලුත් සභාපති ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ

මේ රටේ විහා­ර­ස්ථා­න­වල දායක සභා සැල­කු­ව­හොත් මෑත කාලයේ රටේ වඩාත් කතා බහට ලක් වූ දායක සභා­වක් වේ නම් ඒ කැල­ණිය රාජ­මහ විහා­රයේ දායක සභාවයි. ලොව්තුරු බුදුන් ගේ පා පහස ලද කැල­ණිය පින් බිමේ දායක සභාවේ හිටපු සභා­ප­ති­ව­රයා වූයේ හිටපු අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිං­හයි. පසුගිය දින පැවැති දායක සභා රැස්වී­මේදී දායක සභාවේ බහු­ත­රය ඔහු සභා­පති තන­තු­රින් ඉවත් කිරී­මට ගත් තීර­ණය දැඩි කතා­බ­හට ලක්විය.කෙසේ වුවද පසු­ගිය ඉරිදා යළි රැස්වූ දායක සභාව නව සභා­ප­ති­ව­ර­යෙක් පත් කර ගත්තේ ය. මේ සභා­ප­ති­ව­රයා වන්නේ වෛද්‍ය සමන් වීර­සිං­හයි. වර්ත­මා­නයේ මැක්සිම්ස් හෝල්ඩංග්ස් ව්‍යාපාර සමු­හයේ සභා­ප­ති­ව­රයා සහ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා වන ඔහු වරක් රුසි­යාවේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා වශ­යෙන් දසේවය කළේය. මේ සිළු­මිණ ඔහු සමඟ කළ පිළි­ස­ඳ­රයි.

 

 

 

• ඔබ අද පත්ව සිටින්නේ මේ රටේ වඩාත්ම කතා බහට ලක්වූ විහා­ර­ස්ථාන දායක සභාවේ සභා­ප­ති­ව­රයා ලෙසයි. මේ තන­තුර ලැබීම ගැන ඔබේ අද­හස කුමක්ද?

මම මුලින් ම කියන්න ඕන කැල­ණිය රාජ­මහා විහා­ර­ස්ථා­නය එක්ක මගේ වසර 15ක විතර සබ­ඳ­තා­වක් පව­ති­නවා. මගේ මව පියා ඉන්න කාලේ ඉඳල ම ඔවුන් මේ පන්සල එක්ක සම්බන්ධ වෙනවා. මම පසු­ගිය වසර 15 බැලු­වොත් වැඩි කාල­යක් ගත කළේ රුසි­යාවේ. නමුත් රුසි­යාවේ හිඳි­ද්දීත් මම පසු­ගිය වසර 15 තුළ කැල­ණිය විහා­ර­ස්ථා­නය සමඟ සම්බන්ධ වෙලා ඔවුන් සමඟ වැඩ කට­යුතු කළා. විශේ­ෂ­යෙන් විහා­රා­ධි­පති ආචාර්ය මහා­චාර්ය කොල්ලු­පි­ටියේ මහින්ද සංඝ­ර­ක්ඛිත නායක හාමු­දු­රු­වන් වහන්සේ සමඟ එකතු වෙලා මම මේ විහා­ර­ස්ථා­න­ටත් ඒ විහා­ර­ස්ථා­න­යෙන් සිදු කෙරෙන ආග­මික සහ සමා­ජ­යීය කට­යුතු රාශි­ය­කට මගේ උප­රිම දාය­ක­ත්වය කැප කිරීම ලබා දුන්නා. ළම­යින් 4000ක් පමණ ඉ‍ගෙනුම ලබන කැල­ණිය රාජ­මහා විහාර දහම් පාස­ලට මම හැකි උප­රිම අයු­රින් මගේ දාය­ක­ත්වය සහ­යෝ­ගය ලබා දුන්නා. ඒකේ ශාන්ත ජෝන් ප්‍රථ­මා­ධාර ඒක­ක­යට මම උදව් කළා. පොත්පත් සහ ශිෂ්‍ය­යන්ට අවශ්‍ය උප­ක­රණ ආදිය ලබා දුන්නා. ඒ වගේම නායක හාමු­දු­රු­ව­න්ගෙන් මටත් උප­දෙස් අනු­ශා­සනා මේ කාලය තුළ ලැබුණා. මේ නිසා මට කැල­ණිය සමඟ පසු­ගිය වසර 15 තුළම ඉතා සමීප සම්බ­න්ධ­යක් තිබුණා.

මම කැල­ණිය පන්සලේ දායක සභාවේ ප්‍රශ්න­යක් ගැන දැන ගෙන සිටියා. එයට සභා­ප­ති­ව­ර­යකු පත් කරන බවත් මම දැන­ගෙන සිටියා. එහෙත් මම මේ පත් වීම ගැන කිසිදු බලා­පො­රො­ත්තු­ව­ක්වත් ඉල­ක්ක­ය­ක්වත් තිබුණේ නැහැ.

ළඟදී දව­සක මම මිය ගිය මගේ අම්මාගේ සහ තාත්තා සිහි කර දානය දෙන්න පන්ස­ලට ගිය වෙලා­වක නායක හාමු­දු­රුවෝ මට කිව්වා මහ­ත්තයා අපි හිතා­ගෙන ඉන්නවා ඔබ අපේ දායක සභාවේ සභා­පති කරන්න කියලා. එතෙක් මම මේ ගැන දැන සිටි­යෙත් නැහැ. මේ සිදු­වී­මෙන් පසුව දෙසැ­ම්බර් මාසේ දව­සක නායක හාමු­දු­රුවෝ කතා කරල මට කිව්ව දෙසැ­ම්බර් 08 වැනිදා දායක සභාවේ රැස්වීම තියෙ­නවා ඒකට එන්න කියලා. එහිදී තමයි මාව සභා­ප­ති­ව­රයා ලෙසින් තෝරා ගත්තේ. මම ඒ තන­තුර බාර ගත්තා.

ඔන්න එහොම තමයි මගේ කැල­ණිය පන්සල සමඟ පැවති සම්බ­න්ධය සහ දායක සභාවේ සභා­පති වුණු ආකා­රය. ඊට එහා කිසිදු සම්බ­න්ධ­යක් නැහැ. ඒ වගේම දායක සභාවේ හිටපු සභා­ප­ති­තුමා ඉවත් කිරීම ගැනත් මගේ කිසිම සම්බ­න්ධ­යක් නෑ.

 

• ඔබ මේ සභා­පති තන­තුර ගත්තේ කැමැ­ත්තෙන්?

ඔව්. මෙය යෝජනා කළාම මම ඒ වෙලාවේ ඊට කැමැති වුණා. අනෙක මේකට කවුරු හරි සභා­පති තන­තුර ගන්න එපායැ. මේ වෙලාවේ කිය­වුණු දෙයක් තමයි සභාවේ ඒක­ම­තික තීර­ණ­යෙන් මේ තන­තුර මට පිරි­න­මන බව. කැල­ණිය රාජ­මහා විහා­ර­ස්ථා­නයේ දායක සභාවේ සභා­පති ධූරය කියන්නේ සමා­ජයීය වශ­යෙන් සහ ආග­මික වශ­යෙන් බැලු­වාම ලොකු වග­කී­මක්. එය බාර අර­ගෙන ඉදිරි කාලය සඳහා අදාළ වැඩ කොටස මම කර­න්නම් කියල මා එයට එකඟ වුණා.

 

• එත­කොට ඔබ හිටපු සභා­ප­ති­ව­රයා ඉවත් කරන විවා­දා­ත්මක රැස්වී­ම­ටත් සහ­භාගී වුණාද?

නැහැ. නැහැ මම එයට සහ­භාගි වුණේ නැහැ. මම ගියේ මේ මා පත් කළ රැස්වි­ම­ටයි.

 

• නව සභා­ප­ති­ව­රයා හැටි­යට මොන­වද කැල­ණිය විහා­රය සම්බ­න්ධ­යෙන් ඔබේ පව­තින සැල­සුම්?

අපි විහා­රා­ධි­පති අපේ නායක හාමු­දු­රු­ව­න්ගේත් උප­දෙස් අනු­ශා­සනා පරිදි විහා­ර­ස්ථා­නයේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් කළ යුතු වැඩ­ක­ට­යුතු ගැන මේ වන­විට සැල­සුම් කර­මින් සිටි­නවා. විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් පව­තින නව සංව­ර්ධන කට­යුතු ගැන යම් යම් අද­හස් තිබෙ­නවා. ඒ වගේම මේ විහා­ර­ස්ථා­න­යට දින­පතා පිට­තින් එන වන්ද­නා­ක­රු­වන්ට අවශ්‍ය පහ­සු­කම් තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරීම සම්බ­න්ධ­යෙන් සලකා බල­නවා. ඒ වගේම බුදුන්ගේ කාලයේ සිට වන්ද­නී­ය­ත්ව­යට පත්ව තිබෙන කැල­ණිය පුද බිම සම්බ­න්ධ­යෙන් වාර්ෂික පෙර­හැර සම්බ­න්ධ­යෙන් ලෝකය තුළ පුළුල් ප්‍රචා­ර­යක් ලබා දීමට අවශ්‍ය වැඩ කට­යුතු ද අප සැල­සුම් කර­මින් සිටි­නවා. විශේ­ෂ­යෙන් අන්ත­ර්ජා­ලය හරහා අද පව­ති­න­වාට වඩා වැඩි ප්‍රචා­ර­යක් ලෝකයේ බෞද්ධ ජන­තාව අතර කැල­ණිය සම්බ­න්ධ­යෙන් ගෙන යෑමට අපේ අද­හ­සක් තියෙ­නවා.

මේ සියලු කට­යුතු සඳහා දායක සභා­වේත් අනු­මැ­තිය අර­ගෙන රජයේ සහ පෞද්ග­ලික අංශයේ පුළුල් සහ­භා­ගී­ත්ව­යක් ලබා ගැන­මට අප අද­හස් කර­ගෙන සිිට­නවා. මෙවර පෙර­හැ­ර­ටත් මේ වන­වි­ටත් අග­මැති තුමා අවශ්‍ය මුදල් ආධර ලබා­දී­මට පිය­වර අරන් තිබෙ­නවා. මේ ආකා­ර­යට අවශ්‍ය දේ නිය­මා­කා­ර­යෙන් ඉටු කිරීම තමයි හාමු­දු­රු­ව­න්ගේත් අපේත් එකම ප්‍රාර්ථ­නය.

 

• කලින් කිය­වුණ කරු­ණක් තමයි කැල­ණිය විහා­රස්ථ දායක සභාව නිසි ආකා­ර­යෙන් රැස් වී තිබුණේ නැහැ; කට­යුතු කළේ නැහැ කියන එක. මේ ගැන ඔබට අව­බෝ­ධ­යක් සහ සැල­සු­මක් තිබෙ­න­වාද?

ඇත්ත­ටම විශාල දායක පිරි­සක් කැල­ණිය රාජ­මහා විහා­ර­ස්ථා­න­යට ඉන්නවා. ඔවුන්ගේ නම්, ලිපින, දුර­ක­ථන අංක ඇතුළු සම්බ­න්ධතා සම්බ­න්ධ­යෙන් අපට තොර­තුරු ඒක­රාශි කර­ගැ­නීමේ සැල­සු­මක් තිබෙ­නවා. මේ දායක පින්ව­තුන්ගේ හැකි­යා­වන් විවි­ධයි. ඔවුන්ගේ එක් එක් හැකි­යා­වන් සහ සම්බ­න්ධතා විහා­ර­ස්ථා­නයේ දියු­ණුව සඳහා යොදා ගැනී­මට අප අද­හස් කර­නවා. ඔවුන් සිය­ලු­දෙ­නාම මේ සඳහා සහ­භාගි කරවා ගත යුතුයි. නැතිව තනි­වම මට වැඩ කරන්න බැහැ. ඒ වගේම මාස­ය­කට වරක් අපි දායක සභාව රැස් කරල කළ යුතු වැඩ පිළි­බ­ඳව කතා කරල මාස තුනෙන් තුනට මේ ගැන සමා­ලෝ­ච­න­යක් කරල ඉදි­රි­යට යෑම තමයි මගේ බලා­පොරො­ත්තුව.

 

• කැල­ණිය විහා­රය කියන්නේ අති හැකි තැනක්. එහි දායක සභා­වත් එහෙ­මයි. නමුත් අපේ රටේ බොහෝ ප්‍රදේශ­වල විහා­ර­ස්ථාන තිබෙ­නවා; දාය­ක­යන්ට ලොකු හැකි­යා­වක් ශක්ති­යක් නැති. මේ නිසා ඇතැම් ස්වාමීන් වහ­න්සේ­ලාට තමන්ගේ ආග­මික කට­යුතු පවා කර­ගෙන යා නොහැකි ආකා­රයේ දුෂ්ක­ර­තා­ව­ලින් පෙළෙ­නවා. ඔබගේ දායක සභා­වට අද­හ­සක් නැද්ද එවැනි දුෂ්කර විහා­ර­ස්ථාන සඳහා උදව් කිරීමේ වැඩ­ස­ට­හ­නක් කරන්න?

ඔබ කියන කතාව ඇත්ත. මම පෞද්ග­ලි­කව පසු­ගිය කාලය තුළ එවැනි විහා­රා­රා­ම­ව­ලට මගේ පෞද්ග­ලික ධන­යෙන් සහ පෞද්ග­ලික සම්බ­න්ධතා උඩ උදව් විශාල ප්‍රමා­ණ­යක් කරල තිබෙ­නවා. එවැනි කට­යු­ත්තක් ගැන ඔබ ඇසූ ප්‍රශ්නය හොඳයි. නමුත් දායක සභාවේ සභා­ප­ති­වයා ලෙස එහිදී මට තනි අද­හ­සක් දෙන්න බෑ. ඔබ කියූ කරුණ දායක සභාව සමඟ සාකච්ඡා කර ගත යුතු හොඳ පිය­ව­රක් ලෙස මා විශ්වාස කර­නවා.

 

• කැල­ණිය කියන්නේ බුදුන් වැඩි සමයේ සිට අනු­රා­ධ­පුර පොලොන්නරු ආදී සෑම යුග­ය­කදී ඉති­හා­සයේ සඳ­හන් වන තැනක්. විවිධ කාල­ව­ලදී මේ පුද­බි­මට විවිධ දේ එක් වී තිබෙ­නවා. පසු­ගි­යදා දායක සභාව සම්බ­න්ධ­යෙන් වුණු ප්‍රශ්න­යේ­දීත් මේ ගැන කතා වුණා. ඔබ රාජ්‍ය තාන්ත්‍රික වශ­යෙන් විශාල සම්බ­න්ධතා තිබෙන ව්‍යව­සා­ය­ක­යකු වශ­යෙන් ශක්ති­යක් තිබෙන පුද්ග­ල­යෙක්. ඔබට මේ විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් එවැනි පව­තින දෙයක් කිරීම ගැන අද­හ­සක් නැද්ද?

අපි දැන් බලන්න ඕන වර්ත­මා­නයේ පව­තින ප්‍රශ්න ගැන. මේක ඓති­හා­සික තැනක්. ඔබ ඔය කියන ආකා­ර­යෙන් මට හැඟෙන්නේ ඉති­හා­ස­යට එකතු වන ආකා­රයේ දෙයක් ගැන. නමුත් මට අද මේ විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් ලොකු වග­කී­මක් තිබෙ­නවා. මම හිත­නවා මාසෙන් මාසෙට මම කරන්නේ මොකක්ද; මේ දායක සභාවේ අලුත් තත්ත්වය මොකක්ද කියල බලා­ගෙන ඉන්න, සොයන පිරි­ස­කුත් ඉන්නවා කියලා. මට පක්ෂ අයත් ඉන්න පුුළු­වන්; විරුද්ධ අයත් ඉන්න පුළු­වන්. මේක ලෝකය­ටම; බෞද්ධ ලෝක­ය­ටම අයත් පොදු තැනක්. ඒ තුළ යමක් කර­නවා නම් එය වඩාත් වග­කි­ම­කින් නිසි අධ­ය­ය­න­ය­කින් තමයි කළ යුත්තේ.

 

• ඔබ කියන කතා අනුව, ඔබ ඔබේ ශක්තිය අනුව මේ ශාස­න­යට සෑහෙන වැඩක් කළ කෙනෙක්. ඔබ­තු­මාගේ මේ බෞද්ධ පද­නම ගැන යමක් සද­හන් කළොත්?

මගේ දෙමා­පි­යන් දෙදෙනා ලංකාවේ බොහෝ වෙහෙර විහාර සමඟ ඉතාම කිට්ටු සම්බ­න්ධ­යක් තිබුණා. අපි කුඩා කාලයේ හැදී වැඩුණේ ගාල්ලේ. ගාල්ල යට­ගල විහා­ර­ස්ථා­නය තමයි අපේ සමී­ප­තම විහා­ර­ස්ථා­නය. මම ගියේ ගාල්ල මහින්ද විද­යා­ල­යට. එයත් මගේ බෞද්ධ පද­න­මට ශක්ති­යක්. අපේ පවුලේ අය රටේ විහා­රා­රා­ම­ව­ලට කෙත­රම් සම්බ­න්ධ­යක් තිබු­ණාද කිය­නවා නම් මගේ මවගේ මර­ණය වෙලාවේ ස්වාමීන් වහ­න්සේලා 180නමක් වැඩම කළා. මට අභි­යෝ­ග­යක් වුණේ මේ ස්වාමීන් වහ­න්සේලා සියලු දෙනාට අඩු­පා­ඩු­ව­කින් තොරව සත්කාර කිරීම. පියාගේ මර­ණය වෙලාවේ ස්වාමීන් වහන්සේ 200 නමක් විතර වැඩියා. ඒ වෙලාවේ තමයි මටත් දැන ගන්න ලැබුණේ මගේ දෙමා­පි­යන්ගේ පැවැති සම්බ­න්ධය. මම අද­ටත් අනු­රා­ධ­පුර අට­ම­ස්ථාන විහා­රා­ධි­පති නා හිමි­යන් රුව­න්මැලි සෑ විහා­රා­ධි­පති හේම­ර­තන නාහි­මි­යන් ථූපා­රාමේ නාහි­මි­යන් ඇතුළු ස්වාමින් වහන්සේ සමඟ සමීප ඇසු­රක් තිබුණා.

 

• ඔබ රුසි­යාව සමඟ විශාල සම්බ­න්ධ­තා­වක් තිබෙන පුද්ග­ල­යකු ලෙස ප්‍රක­ටයි. එයට හේතුව කුමක්ද?

මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ රුසි­යාවේ. මට රජයේ ශිෂ්‍ය­ත්ව­යක් ලැබුණා; රුසි­යාවේ මොස්කව් සර­ස­වි­යට යන්න.

එහිදී මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන වෛද්‍ය­ව­ර­යෙක් වුණා. මම රුසි­යාවේ ඉනෙ ගන්න කාලේ තමයි සෝවි­යට් දේශය බිඳ වැටුණේ. එහි සිදුවූ දේශ­පා­ල­නික සහ සමා­ජීය ප්‍රති­සං­ස්ක­රණ අත් විඳි කෙනෙක්. එය වෙනම කතා කළ යුතු දෙයක්. සෝවි­යට් දේශය බිඳ වැටෙ­න­කොට මම වෛද්‍ය විද­යා­ල­ය­යෙන් පිට වුණු ගම­න්මයි. කො‍හොම වුණත් මම වෛද්‍ය­ව­ර­යකු වී ලංකා­වට ආවත් මම වෛද්‍ය වෘත්තියේ යෙදුණේ නෑ. ව්‍යාපා­ර­වල යෙදුණා. මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා ජනා­ධි­ප­ති­ව­රයා වුණාට පසුව ජනා­ධි­පති උප­දේ­ශ­ක­යකු වි සිටියා. ඒ වගේම වසර දෙකක් රුසි­යාවේ ශ්‍රී ලංකා තානා­පති ලෙසින් ක්‍රියා කළා. මේ වසර දෙකක කාලය හැරෙ­න්නට මම රජ­යට සම්බ­න්ධව කරන වැඩ­ව­ලදී ශත­ය­ත­ක්වත් වැටුප් ලබා ත්තේ නැහැ.

 

• ඔබ රුසි­යානු දේශ­පා­ල­නය සමඟ ඉතා සමීප සම­බ­න්ධ­යක් තිබෙන එරට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ දැඩි සබ­ඳ­තා­වක් පව­තින පුද්ග­ලයකු ලෙස ප්‍රක­ටයි?

මම රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා අවස්ථා කිහි­ප­ය­කදී හමුවී තිබෙ­නවා. තානා­පති ලෙස ක්‍රියා කරද්දි ඔහු එසේ හමු­වෙන්න අව­ස්ථාව ලැබුණා. සම්ම­න්ත්‍රණ කිහි­ප­ය­කදී හමු වුණා. ඒ හැරෙ­න්නට මට රුසි­යානු සමූ­හා­ණ්ඩු­වෙන් රුසි­යානු ගෞර­වය කියන සම්මා­නය ලැබුණා. ඒකට අත්සන් කළේ ජනා­ධි­පති පුටින් මහතා සහ අග­මැ­ති­ව­රයා. මම එහේ හිටපු හැම වෙලා­වේම ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සමා­ජ­යීය, සංස්කෘ­තික හෝ වෙනත් කවර හෝ පසු­බි­මක් හරහා දෙරට අතර සම්බ­න්ධ­යක් ඇති කිරී­මට ක්‍රියා කළා. ඒ නිසායි මට ඔය විදි­හට දැඩි සම්බ­න්ධ­යක් තිබෙන පුද්ග­ල­යකු ලෙස පව­සන්නේ.

 

• ඔබට අද­ටත් රුසි­යාව සමඟ ව්‍යාපා­රික සම්බ­න්ධ­යක් තිබෙ­ණවා. දෙරට අතර වෙළෙ­ඳාම ගැන ඔබ දරන අද­හස?

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ආන­ය­න­ක­රුවා වන්නේ රුසි­යාව. එහෙම වෙලත් ශ්‍රී ලංකාව සහ රුසි­යාව අතර වෙළෙ­ඳාමේ වටි­නා­කම වාර්ෂි­කව ඩොලර් මිලි­යන 400ක් විතර. එය ඉන්දි­යාව බංග­ලා­දේ­ශය වගේ රට­වල් එක්ක බැලු­වාම ඉතාම සුළුයි. නමුත් මේ රට­වල් දෙක අතර ව්‍යාපා­ර­වල විශාල විභ­ව­යක් තියෙ­නවා. විශේ­ෂ­යෙන් සංචා­රක කර්මා­න්තය. ඒ වගේම විවිධ නිෂ්පා­දන සඳහා අපට රුසි­යාව සමඟ මීට වඩා විශාල ව්‍යා­පාර කළ හැකියි. ඉදි­රි­යේදී මම විශ්වාස කර­නවා ශ්‍රී ලංකා­වට රුසි­යාව සමඟ අදට වඩා පුළුල් ව්‍යාපා­රික සම්බ­න්ධ­තා­වක් පවත්වා ගැනි­මට හැකි­යාව ලැබෙයි කියලා.

Comments