ජාතිවාදි යුද්ධයේ ලේ වැකි මතක වළලා යළි ඉපදුණ සඳවතිය | සිළුමිණ

ජාතිවාදි යුද්ධයේ ලේ වැකි මතක වළලා යළි ඉපදුණ සඳවතිය

ධෛර්ය­වන්ත මිනි­සුන් කෙසේ හෝ ජීවි­තය ජය ගනියි. හරි­ය­ටම ගලන්නා වූ ගඟ ගඟේ නිමාව දක්වා ගල­න්නාක් බඳුය. ජීවි­තයේ එදි­නෙදා ගෙව­න්නට ලැබෙන දුක් කම්ක­ටොලු ඉවසා ගැනී­මට නොහැ­කිව බොහෝ දෙනෙක් සිය දිවි හානි කර­ග­නිති. තවත් සම­හරු ඒ ප්‍රශ්න නිසාම ජීවි­තය තවත් ප්‍රශ්න ගණ­නා­වක් බවට පත් කර­ග­නිති.

අද අපි කතා කරන චන්ද්‍රා­ම­තීගේ ජීවි­ත­යට සිදු වී ඇති හැල­හැ­ප්පීම් දෙස බලන විට අපේ ජීවිත කතා­වල ඇත්තේ මොන අඩු­වක් පාඩු­වක් දැයි සිතෙන වාර ගණන අන­න්තය.

''අපි ඉස්සර පදිංචි වෙලා හිටියේ මුල­තිව් ප්‍රදේ­ශ­යේයි. මම ඉස්කෝලේ ගියෙත් එහෙම පාස­ල­ක­ටයි. මම සාමාන්‍ය පෙළ විභා­ගය මහ ඉහ­ළින්ම පාස් වුණා. අපි යුද්ධය මැද්දේ ඉගෙන ගත්තේ. හරි­යට පාඩම් කරන්න වේලා­වක් නෑ. රෑත් වෙඩි සද්දේ ඇහෙ­නවා. දවා­ල­ටත් එහෙ­මයි.

ඒ දව­ස්වල අපි ගෙදර හිටි­යට වඩා වැඩි කාල­යක් ගෙව්වේ එක්කෝ කැලේක එහෙම නැත්නම් ගමේ පාර හරහා තිබුණ බෝක්කුව යටයි.

මේ බෝක්කුව යටට අපිට රිංගන්න කියලා දුන්නේ අපේම ගෙදර අයයි. ඒක ඇතුළේ හිටි­යම කාල­තු­වක්කු මෝටාර් උණ්ඩ­ව­ලින් අපේ ජීවි­ත­ව­ලට හානි වෙන්නේ නෑ කියලා ඒ අය කිව්වා. ඉතින් අපිත් එහෙම හැංඟුණා. යුද්දෙට බයේ අපි එහෙම හැංඟු­ණත් ඒ කාලේ අපි පොඩි වයසේ හිටිය හන්දා මර­ණය ගැන ඒ තරම් තේරු­මක් තිබුණේ නැහැ. හරි­යට ඉස්කෝලේ ගිහින් හැංගි­මු­ත්තන් කර­නවා වගේ තමයි ඒ බෝක්කු යට හැංඟුණේ. පස්සේ කාලේදී අපේ ඉස්කෝ­ල­ව­ලත් බංකර් කැපුවා. යුද්දේ නිසා කාල­තු­වක්කු වෙඩි මෝටාර් වෙඩි ගුවන් ප්‍රහාර ගැන ඇහෙන කොටම අපිත් ටීච­ර්ලත් ඔක්කොම රිංගුවේ ඒ බංක­ර්ව­ලට.

කොහොම හරි අපේ ළමා කාලය ඔහොම ගෙවිලා යන අත­රෙදී මම උසස් පෙළ ඉගෙ­න­ගන්න වෙනත් පාස­ල­කට ගියා. ඒ ගිහින් දව­සක් අපි හවස පන්ති­ය­කට ගිහින් එන­කොට තමයි අපිව අල්ලන් ගියේ. මමත් එක්ක මගේ යාළු­වන් හතර දෙනෙක් අල්ල­ගෙන ගියා. අපි වැන්දා අපිට යන්න දෙන්න කියලා. ඒත් ඒ අයව අප නිද­හස් කළේ නැහැ. මුල­තිව් පළාතේදී අපිට දේශන දුන්නා. මේ රට අපිට අල්ල ගන්න දෙමළ අය යුද්ධ කරන්න ඕනේ කාලය මේ තමයි කියලා අපිට සටන් පුහු­ණුව දුන්නා.’’

එතැ­නින් පසුව චන්ද්‍රා­ම­තීගේ ජීවි­තයේ සිදු වූ දේ බොහො­ම­යක් වූවත් ඇය ඒ අතී­තය මෙනෙහි කර­න්නට කිසිදු කැමැ­ත්තක් නොදැ­ක්වූ­වාය. අපට බල කිරී­ම­ටද නොහැ­කිය. ඒ ඇයගේ සාධා­රණ අයි­ති­යකි. නමුත් එක පැත්ත­කින් බලන විට ඇය ඒ අමි­හිරි අතී­තය අම­තක කිරී­මට උත්සාහ දැරී­මද හොඳ ක්‍රියා­වක් ලෙස දැකිය හැකිය. අව­සා­න­යේදී ඇය දිග හුස්මක් ඉහ­ළට ගෙන පහ­ළට දැම්මේ ''ගිය දේවල් ඒ විදි­හ­ටම ගියාවේ'' කිය­මිනි.

කොටි සංවි­ධා­නයේ සෙබ­ළි­යක වශ­යෙන් බැඳුණු ඇය වසර කීප­යක්ම එහි සේවය කරන අත­ර­වා­රයේ අව­සන් යුද සම­යේදී බෝම්බ­යක් පිපි­රීම නිසා ඇස් දෙකම ඇයට අහිමි විය. දකුණු අතද ඇගේ සිරු­රෙන් ඉවත් වූයේ ඇයව පූර්ණ ආබා­ධිත තරු­ණි­යක කර­මිනි. ඇගේ වම් අතේ ප්‍රාණ­වත් ඇඟිලි ඇත්තේ තුනක් පමණි. ඇය පව­සන ආකා­ර­යට මුල සිට ඇයට ප්‍රති­කාර කෙරුණේ කෙසේ දැයි ඇය නොදනී.

ලෝකයේ එළිය දකි­න්නට වාස­නාව ඇතිව ඇය ඉප­දු­ණත් ජීවි­තයේ මැද භාග­යේදී ඇයට වූ මේ ඉර­ණම නිසා ඇයට ඇගේ සිරුරේ අහිමි වූ ශරී­රාංග බොහෝය.

මහා යුද්ධය අව­සන් වන විට ඇය තර­මක් සුවය ලබා සිටි­යද වෙල්ල­මු­ල්ලි­ව­යි­ක්කල් සිට නන්දි­ක­ඩාල් කල­පුව හරහා ඇය මුල­තිව් මෙගො­ඩට පැමිණ ඇත්තේ අන් අයගේ ආධාර උප­කාර මතය. ඒ පිරිස බාර­ගත් ආර­ක්ෂක අංශ ඔවුන් පිළි­බඳ කළ විම­සී­ම්ව­ලදී චන්ද්‍රා­මතී අබ­මල් රේණු­වක දෙයක් නොස­ඟවා ආර­ක්ෂක අංශ­ව­ලට ප්‍රකාශ කළාය.

ඇයගේ වච­න­යෙන්ම කිය­තොත් ඇය එසේ කියා ඇත්තේ නියත වශ­යෙන්ම ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන් මේ සිටින්නේ කොටි සෙබ­ළි­යක බව දැන­ගැ­නී­මත් සම­ඟම තමන් මරා දමනු ඇතැයි යන සිතු­විල්ල මතය.

කිසිදු පිහි­ටක් නැති කිසිදු හව්හ­ර­ණක් නැති ජීවි­ත­ය­කින් තවත් පලක් නැති බව ඇයට වැටහී ගිය බව චන්ද්‍රා­ම­තීම කීවාය. ඒ නිසා සය­න­යිඩ් කර­ලක් කා මියැ­දෙ­න්නට නොහැකි වූ තම ජීවි­තය ආර­ක්ෂක අංශ විසින් හෝ කෙළ­වර කර­න්නට ඇතැයි ඇය සිතු­වාය. නමුත් එය එසේ නොවූ­වාය.

ආර­ක්ෂක අංශ කළ වර්ගී­ක­ර­ණ­යට අනුව ඇය යුද්ධ­යෙන් ආබා­ධිත කොටි සාමා­ජික සාමා­ජි­කා­වන්ගේ ගොඩට එකතු වූවාය. ඒ රජයේ පුන­රු­ත්ථා­පන ක්‍රියා­දා­ම­යට අනුව ඔවුන් පුන­රු­ත්ථා­ප­නය කිරී­ම­ටත් ඔවුන්ට කිසි­යම් වෘත්තීය පුහුණු පාඨ­මා­ලා­වක් හැදෑ­රී­මට ඇති අව­ශ්‍ය­තා­වත් මතය.

තුව­ක්කු­ව­ලට බෝම්බ­ව­ලට කාලා­න්ත­ර­යක්ම හුරු පුරුදු වූ චන්ද්‍රා­මතී වැන්න­වුන්ට පුන­රු­ත්ථා­ප­නය යන වච­නය පවා ඉතා ගොර­හැඩි වච­න­යක් වූවාට කිසිදු සැක­යක් නැත. ජාති­වා­දය කර­පින්නා ගනි­මින් දෙමළ ජන­යාගේ එකම හතුරා සිංහ­ල­යාත් සිංහල හමු­දා­වත් යැයි කිය­මින් පොඩි දරු­වෙ­කුට දෙව­රක් චක්කරේ කට­පා­ඩම් කරන ලෙසින් කොටි නාය­ක­යන් මේ පිරි­සට දේශනා තැබීම නිසා ඔවුන්ගේ මොළ­ගෙඩි කුරු­වල් වී තිබීම ඊට හේතු­වයි.

කුරු­වල් වී ඔද්දල් වී ගිය ඒ මන­ස්ව­ලට පුන­රු­ත්ථා­ප­නය යන වච­නය ඉතා විශාල බැරෑ­රුම් වච­න­යක් වූවත් චන්ද්‍රා­ම­තීගේ ජීවි­ත­යද රජයේ පුන­රු­ත්ථා­පන කාල රාමු­වට හසු විණි.

''මම පුන­රු­ත්ථා­පන කද­වු­රේදී බොහෝ දේවල් ඉගෙ­න­ගත්තා. ඇස් දෙක නොපෙ­නීම අතක් නැති­කම අනෙක් අත හරි­යට පණ නැති­කම නිසා මට එහෙම ගොඩාක් දේවල් ඉගෙන ගන්න බැරි වුණා. කොහොම වුණත් මගේ උසස් පෙළ පන්තිය විභා­ගය අහිමි වීම විශ්ව­වි­ද්‍යා­ල­යට යන්නට බැරි වීම කියන දේව­ල්වල ලොකූ අඩු­වක් තිය­නවා කියලා මට මේ පුන­රු­ත්ථා­පන කද­වු­රේදී තේරුණා. ඒත් මම දන්නවා මට ආය ඉගෙන ගන්න බැහැ කියලා.

පස්සේ ඔහොම ඉන්න­කොට පුන­රු­ත්ථා­ප­නයේ අව­සන් කාල­යේදී මට හොඳ ගුරු­ව­රි­යක් හම්බ වුණා. ඇය තමයි මේ ඇස් නොපෙ­නෙන අයට ඉගෙන ගන්න පුළු­වන් කියන දේ මට කියලා දුන්නේ.

ඇය මේ බ්‍රේල් ක්‍රමය ගැන කියා දුන්නත් මට ඒක විශාල ප්‍රශ්න­යක් වුණා. ඒකට හේතුව තමයි මට හුරු දකුණු අත මට නොලැ­බීම. වම් අතත් මගේ හරි­ය­ටම පණ නැති නිසා බ්‍රේල් ක්‍රම­යට ගිහින් මට විශාල ප්‍රයෝ­ජ­න­යක් ලබා­ගන්න බැරි වුණා. නමුත් මේ එක එක දේවල් ගැන අහන්න ඉගෙන ගන්න ලැබීම නිසා මට ආයෙත් ඉගෙ­න­ගන්න ලොකූ ආසා­වක් ඇති වුණා. ඔහොම ඉන්න අත­රෙදී අපේ පුන­රු­ත්ථා­පන කාලය අව­සන් වෙලා අප අපේ ඥාතීන්ට බාර දුන්නා.

මේ වෙන­කොට මගේ අම්මා තාත්තා හිටියා. නමුත් ඔවුන් මුල­තිව් පළාත අත­හැ­රලා යාප­නයේ චාවා­ක­ච්චේරී මීසාලෙ ප්‍රදේ­ශ­යට ගිහින් හිටියා. පුන­රු­ත්ථා­ප­න­යෙන් පස්සේ මම ගියේ ඒ ගම්මා­න­ය­ටයි.

අපි හින්දු අය වුණත් තාත්තලා ඉතාම ළඟින් ඒ ගම්මා­නයේ පූජ­ක­තු­මෙකු අඳු­නා­ගෙන තිබුණා. මගේ ගැන විස්තර අහලා එතුමා තමයි මාව මේ වගේ ආබා­ධිත අය ඉන්න යාපනේ තැන­කට බාර දුන්නේ.

මෙතැ­නදි මට ආය ඉගෙ­න­ගන්න ලැබුණා. බ්‍රේල් ක්‍රමය ඉගෙන ගත්තත් ඒකට වඩා මට විභා­ග­ව­ලට ලියන්න ලැබුණේ සහා­යක ආධාර ක්‍රම­යයි. ඒ කියන්නේ ප්‍රශ්නය ඇහු­වම උත්තරේ මම කිය­නවා වෙන කෙනෙක් ලිය­නවා. ඒ විදි­හට තමයි මම උසස් පෙළ විභා­ගය සමත් වුණේ.

මේ මධ්‍ය­ස්ථා­නයේ හිටිය අය මට ගොඩාක් උදව් කළා. ඒ අතරේ හිටිය ඇස් පේන අය තමයි මට පොත් කිය­වලා දුන්නේ. තේරුම් කරලා දෙන්න අයත් හිටියා. මම කළේ ඒ අවු­රු­ද්දෙම මගෙත් එක්ක විභාගේ ලියන අයට ආබා­ධිත මධ්‍ය­ස්ථා­න­යට එන්න කියලා පොත් කියවා ගත්තා. ඒ අයත් ඒක ආශා­වෙන් කළා. මම ඉතාම හොඳින් උසස් පෙළ විභා­ගය පාස් වෙලා යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ කලා පීඨ­යට යන්නට තේරුණා.’’

චන්ද්‍රා­ම­තීගේ කතාව අසා­ගෙන සිටින විට මගේ මත­ක­යට එක­වර නැඟුණේ අපේ පැරැ­න්නන් ලෝවැඩ සඟ­රා­වෙන් උපුටා ගෙන කී කවි­යකි.

තිබූ තැනක සොර සතු­රන් ගත නොහෙනා
එසැඩ මනා වත් වතු­රෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැති­ඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්ප­ය­මයි මතු රැකෙනා

අපේ පැරැ­න්නන් කී මේ කවිය චන්ද්‍රා­ම­තීට හොඳින්ම වලං­ගුය. ඇගේ දෑස් නොපෙ­නු­ණත් ඇය ඉගෙ­න­ගත් ශිල්පය නැවත් කිසි­වෙ­කුට සොරා­ගත නොහැ­කිය. ඇය උසස් පෙළ සමත් වීමෙන් පසුව යාප­නය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වී කලා උපා­ධිය හිමි කර­ග­ත්තාය.

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ තිස් හතර වැනි උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය පැවති දෙසැ­ම්බර් මස අට වැනිදා යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධිය හිමි කර­ගත් ශිෂ්‍ය ශිෂ්‍යා­වන් එක්දාස් තුන්සිය හැට නව­ය­කගේ නාම ලේඛ­නය කිය­වද්දී එස්.චන්ද්‍රා­මතී ගේ නමද ඒ අතර විය.

ඒ නාමය කිය­ව­මින් ලෝගුව පොර­වා­ගෙන සිටි ඇය අතට උපාධි සහ­ති­කය මහා­චා­ර්ය­ව­රයා අතින් පිරි­නැ­මු­ණත් ඒ දසුන සියැ­සින් දුටු පිරි­සට වඩා උපාධි සහ­ති­කයේ ඇති දේ පියවි ඇසින් කිය­වා­ගැ­නී­මට නොහැකි වූ චන්ද්‍රා­ම­තීට ඒ සහ­ති­කය ඇගේ ජීවි­ත­යට යළි ඉප­දී­මට ලද ලිය­වි­ල්ලක් වුවාට කිසිදු සැක­යක් නැත.

''මට විශ්ව­වි­ද්‍යා­ල­යේ­දීත් යාළු­වන් හැම දේටම උදව් කළා. සම­හර වේලා­වට මට දැනුණා මම ඉන්නේ රෝහ­ලක වගෙයි කියලා. මොකද යාළු­වන් මට ඒ තර­ම­ටම උදව් කළා.

මට අවශ්‍ය දේම කරලා දුන්නේ එයාලා. ඉතින් මම උපා­ධිය සමත් වුණා. මම යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ 34 වැනි උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී සහ­ති­කය ලබා­ගෙන ආවට පස්සේ මගේ යාළු­වන උප­න්දි­න­යක් සම­ර­නවා වගේ කේක් කපලා එයා­ලගේ සතුට පළ කළා. ඒ කේක් ගෙඩියේ මගේ නම ලියලා උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය ගැන ඒකේ ලියලා ලොකූ දේවල් ගොඩාක් කරලා තිය­නවා. මම හිතන්නේ යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉති­හා­සයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­ය­කදී මෙහෙම කේක් කපලා මෙහෙම පිළි­ගැ­නීම් කරලා සේරම සතු­ටෙන් හිටිය දව­සක් නැතුව ඇති කියලා මම හිත­නවා.

දැන් මගේ අර­මුණ තවත් ඉදි­රි­යට ඉගෙ­න­ග­න්නයි. ඉගෙ­න­ගෙන රස්සා­වක් කරන්න පුළු­වන් වෙයි. එහෙම නැති වුණත් ඉගෙ­න­ගත්ත දේ කව­දා­වත් අහක යන්නේ නෑනේ. ඒක නිසා ඉගෙ­න­ග­න්නවා.

ඉතින් මේ මගේ ගමන මම තනි­යම උත්සා­හ­යෙන්ම ආව එකක් නෙමෙයි. මට නෑයෝ ආර­ක්ෂක අංශ අම්මා තාත්තා යාළු­වන් හැම කෙන­කුම උදව් උප­කාර කළා. ඒවා මට කව­දා­වත්ම අම­තක වෙන්නෙත් නැහැ. අම­තක කර­න්නෙත් නැහැ. මම කොහොම හරි රටට සේවය කර­නවා. එත­කොට ඒ අය මගෙන් බලා­පො­රොත්තු වුණු දේවල් මම ඉෂ්ට කළා වෙනවා.

මගේ ජීවිතේ මට ලොකු දුකක් තියෙන්නේ මගෙත් එක්ක උසස් පෙළට ඉගෙන ගනි­මින් හිටිය මගේ අනෙක් යාළු­වන් තුන් දෙනාට අපි කතා කර­ගෙන හිටිය මේ ඉල­ක්කෙට එන්න බැරි වුණා. ඔවුන් වරින් වර සට­න්ව­ලදී මිය­ගියා. ඒක එයා­ලගේ දෛවය කියලා මම හිත හදා­ග­න්නවා. සංවි­ධා­නයේ අය මාව පැහැ­ර­ගෙන ගිහින් මාව මේ තත්ත්ව­යට පත් කළත් මම මගේ ඉල­ක්කය ජය­ගත්තා ඉතින් මම ඒ ගැන තවත් සතුටු වෙනවා.''

චන්ද්‍ර­ම­තීගේ සංවේදී සහ හැඟු­ම්බර ඒ කතාව අව­සා­න­යේදී මම ඇගෙන් විමසා සිටියේ යුද්ධ­යේදී ඔබ දෘෂ්‍යා­බා­ධිත මෙන්ම ශාරී­රික ආබා­ධි­ත­යෙකු වූ අන්ද­ම­ටම මේ රටේ දකු­ණේත් උතු­රේත් විශාල පිරි­සක් එවැනි තත්ත්ව­ය­කට පත් වීම ගැන ඔබේ හැඟීම් කොහො­මද ? යනු­වෙනි.

''ඒ එක­ක්වත් මගේ මන­සක තිබුණු දෙයක් හෝ අර­මු­ණක් නොවෙයි. මගේ තිබුණු එකම අර­මුණ කොහොම හරි හොඳට ඉගෙ­න­ගෙන විශ්ව­වි­ද්‍යා­ල­යට යන­වයි කියන එක. මම අතී­තය ගැන හිතලා සිද්ධ වුණු වැරදි ගැන හිතලා දුක් වෙන වාර ගණන අන­න්තයි. ඒකයි මම ඒ අතී­තය ගැන කවු­රු­වත්ම අහ­න­වාට මතක් කර­න­වාට කැමති නැත්තේ. ආය මගෙන් මේ ලෝකේ කිසිම කෙනෙ­කුට කිසිම වැරැ­ද්දක් වෙන්නේ නැහැ.’’

Comments