ගාලු කොටුව මැද තුන් මුණින් බෑවුණු ලෝක උරු­මය | සිළුමිණ

ගාලු කොටුව මැද තුන් මුණින් බෑවුණු ලෝක උරු­මය

 

මීට වසර දෙක­කට පෙර එනම් වර්ෂ 2017 ජූනි මාසයේ දී තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­කයෝ වීදි බටහ. දෙව­ර­ක්‌ ම මහ පාරට බැස වර්ජ­නය කළහ. ඒ තමන්ගේ උරු­මයේ අක් මුල් රක්ෂා කර­ගැ­නීම වෙනු­වෙන් ය. තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ අතී­තය සාධ­නය කළ රම­ණීය ස්මාරක බඳු වූ ගොඩ­නැ­ගිලි 4ක් තිබිණි. නුව­ර­එ­ළිය, මහ­නු­වර හා ගාල්ල කොටුව තුළ පැවති එ් ගොඩ­නැ­ගිලි තැපැල් දෙපා­ර්මේ­න්තුවේ අභි­මා­නය හා ඓති­හා­සි­ක­ත්වය ලෝක­යට කියා පෑවේය. ඒ පෞරා­ණික ඉදි­කි­රීම් පුද්ග­ලික අංශ­යට බදු දීමට හෝ විකි­ණී­මට පසු­ගිය රජය ගෙන ඇති තීන්දු­වට එරෙ­හි­වය.

 

අදාළ ගොඩ­නැ­ගිලි වෙනත් කාර්ය­ය­ක්‌ හෝ වෙනත් සංව­ර්ධන අව­ශ්‍යතා හෝ සඳහා යොදා­ගැ­නීමේ දී තව­දු­ර­ටත් තැපැල් සේවා එම ස්‌ථාන­වල පව­ත්වා­ගෙන යෑමේ හැකි­යාව සැල­සෙන පරිදි හා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ අන­න්‍ය­තාව ආරක්‌ෂා වන පරිදි තව­දු­ර­ටත් අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඇති­කර ගනු ලබන එක­ඟතා මත කට­යුතු කිරී­මට රජය එකඟ විය. වර්ජ­නය නැව­තිනි.

මේ අත­රින් ගාලු කොටුවේ ලෝක උරු­ම­යක් ලෙස නම් කර තිබූ පෞරා­ණික ගොඩ­නැ­ගිල්ල වැද­ගත් ස්මාර­ක­යක් විය. වර්ෂ 2017 වන විටත් ගාලු කොටුව තැපැල් කාර්යා­ලය පව­ත්වා­ගෙන යනු ලැබුවේ මේ ගොඩ­නැ­ගිල්ලේ ය. මේ ඉදි­කි­රීම සිදු­වන්නේ 18 වැනි සිය­වසේ මුල් භාගයේ දී පමණ ය. ඡේ. ඩබ්ලිව්. හෙයි­ඩ්ට්‌ ­නම් ඕලන්ද ජාති­කයා විසින් 1744 දී රචනා කරන ලද "හෙයි­ඩ්ට්‌ ගේ ලංකාව" නම් කෘතියේ එක්‌ රූප ඵල­ක­යක මේ ගොඩ­නැ­ගිල්ලේ මුල් ස්‌වරූ­පය දැකිය හැකි ය. එකල එ් ගොඩ­නැ­ගිල්ල ලිපි කට­යුතු භාර නිල­ධා­රි­යකු ගේ හෝ සහ­කාර නිල­ධා­රි­යකු ගේ හෝ වාස­ස්‌ථා­නය ලෙස භාවිත වී තිබිණි. පසු කලක 19 වැනි සිය­වසේ බ්‍රිතාන්‍ය යුගයේ දී මෙය ගාල්ලේ අණ දෙන නිල­ධා­රියා ගේ වාස­ස්‌ථා­නයේ කොට­ස­ක්‌ වූ බව සඳ­හන් ය. අඩුම තර­මින් 19 වැනි සිය­වසේ සිට මෙතැන තැපැල් කාර්යා­ල­යක් පැව­තිණි. කඩා වැටෙන මොහොත දක්වා මෙය නඩත්තු වූයේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මි­තීන්ට යටත්ව ය.

කෙසේ වෙතත් අප මේ කිය­න්නට යන්නේ ඒ කතාව නොවේ. තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­ක­යන් මරා­ගෙන මැරෙ­න්නට ගොස් තමන්ට පව­රා­ගත්, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් නඩත්තු කර­න්නට නියම වූ එ් පෞරා­ණික ගොඩ­නැ­ගිල්ල ඉකුත් 07වැනි­දින රාත්‍රියේ බිමට කඩා පාත් වුණේ ය.

හාත්පස වසර තුන්සි­ය­ය­ක්වත් පැරණි ගඩොළු විසිරී තිබිණි. ගොඩ­නැ­ගිල්ල රාත්‍රි­යේදී කඩා වැටුණේ වාස­නා­වට ය. දිවා කල මේ ස්ථානය ජනා­කීර්ණ ය. සිදු­වී­මට නිය­මි­තව තිබූ විශාල අන­තු­රක් වැළැකී තිබීම පම­ණක් සැන­සු­මක් ඇති කළේ ය. සංචා­රක පාරා­දී­සි­යක් වූ ගාල්ල කොටුව තුළ ඇති ස්මාරක අතර බ්‍රිතා­න්‍ය­යන්ගේ අති­ශය අව­ධා­න­යට ලක් වූ, බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ආරම්භ වුණ පැරණි තැපල් කාර්යාල පහෙන් එකක් ලෙස පැවති ඓති­හා­සික ගොඩ­නැ­ගිල්ල එසේ සිය ඉති­හාස ගමන හමාර කළේය.

18වන සිය­වසේ මුල් භාගයේ ඉදි වූ මේ ගොඩ­නැ­ගිල්ල මුලින් ම නිල­ධාරී නිව­ස්න­යක් විය. වර්ෂ 1760 වර්ෂයේ දි පෙර­දිග ඉන්දීය වෙළෙඳ සමා­ගමේ වෙළඳ කාර්යා­ල­යක් ලෙස පැව­තිණි. එහි පොත් තබ­න්නන් 18 දෙනකු හා ලිපි­ක­රු­වන් 18 දෙනෙකු සේවය කළහ. ප්‍රස්තුත ගොඩ­නැ­ගිල්ල හා දැනට ගාලු කොටුවේ පුස්ත­කා­ලය පව­ත්වා­ගෙන යන ගොඩ­නැ­ගිල්ල එක් ගොඩ­නැ­ගි­ල්ලක් ලෙස එකල භාවිත විය. පුස්ත­කා­ලය පැවති කොටස ගෙවීම් කාර්යා­ලය ලෙස භාවිත කොට තිබිණි. පසු­කා­ලයේ දී මෙහි විවිධ වෙන­ස්කම් සිදු­විණි. ලන්දෙසි පාලන සම­යේදී ගොඩ­නැ­ගිල්ලේ රවුම් කුළුණු තිබුණේ නැත. පසුව එහි එ් කුළුණු ඉදි විය. බ්‍රිතා­න්‍ය­යන් විසින් 1831 දී මේ ගොඩ­නැ­ගිල්ල කියැ­විම් ශාලා­වක් හා තොර­තුරු හුව­මාරු මධ්‍ය­ස්ථා­න­යක් පව­ත්වා­ගෙන ගියේය. එය 1871 වර්ෂයේ දී පුස්ත­කා­ල­යක් බවට පරි­ව­ර්ත­නය විණි. පසුව 1857 දී ගොඩ­නැ­ගිල්ලේ කොට­සක් ටෙලි­ග්‍රාෆ් කාර්යා­ල­යක් බවට පත් විය. පසුව එය තැපැල් කාර්යා­ල­යක් බවට පරි­ව­ර්ත­නය විණි. ගොඩ­නැ­ගිල්ලේ තැපැල් ඉති­හා­සය ගොඩ­නැ­ගෙන්නේ එතැන සිට ය.

මේ ගොඩ­නැ­ගිල්ල තුළ පව­ත්වා­ගෙන ගිය තැපල් කාර්යා­ලය පළ­මුව ආරම්භ කළේ ගාලු­කො­ටුවේ පෙඩ්‍රල් විදියේ ය. ඒ 1820 වර්ෂයේ දීය. පෙඩ්‍රල් වීදියේ පැවති තැපල් කාර්යා­ලය පල්ලිය හර­ස්වි­දියේ පිහිටි මෙම ගොඩ­නැ­ගිල්ල වෙත රැගෙ­න­විත් ඇත්තේ 1872 වර්ෂයේ දී ය.

ගාල්ලේ තැපැල් කන්තෝ­රුව ඍජු සම්බ­න්ධතා පැවැ­ත්වූයේ කොළඹ තැපැල් කන්තෝ­රුව සමඟ ය. ගාල්ලට එන ලියුම් කොළ­ඹට රැගෙන යන්නට යොදා­ගෙන සිටියේ කඩින් කඩ දිවී­මට දක්ෂ මිනි­සුන් ය. එහෙත් වර්ෂ 1838 දී කොළඹ ගාල්ල අශ්ව කරත්ත සේවාව ආරම්භ වූ පසු අශ්ව කෝච්චියේ තැපැල් ඇදීම ආරම්භ විය. උදෑ­සන පහට කොළ­ඹින් පිටත් වූ අශ්ව කර­ත්තය ගාල්ලට ළඟා වූයේ සවස 6.00 ට පමණ ය. අශ්ව කර­ත්ත­යට සැත­පුම් හැත්තෑ දෙක­ක්‌ ­ග­මන් කිරීම සඳහා පැය දොළ­හ­ක්‌ ­ගත්තේ ය. එහෙත් එය සාපේ­ක්ෂව යහ­පත් කාල­යක් සේ සැල­කිණි. එකල ගාලු වරාය ලංකාවේ ප්‍රධාන වරා­ය­ක්‌ ­ව­ශ­යෙන් පැව­තිණි. මේ නිසා බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ ගාලු වරා­යට ළඟා වූ දුම් නැව් මගිනි. විශේ­ෂ­යෙන් ම පුව­ත්ප­ත්වල පළ­කි­රීම සඳහා මේ ප්‍රවෘත්ති තැපැල් අශ්ව කරත්ත සේවාව මගින් කඩි­න­මින් කොළ­ඹට යැවී­මට හැකි විය.

කෙසේ වුවද 1850 වස­රේදී (pagen Express) (පරවි සේවය) මගින් තැපැල් සේවා­වක්‌ observer (ඔබ්ස­වර්) පුව­ත්පත මගින් ආරම්භ කරනු ලැබීය. ගාල්ලට පළ­මු­වැනි විදේ­ශීය විදුලි පණි­වු­ඩය ලැබුණේ ඇම­රි­කාවේ නිව්යෝ­ක්‌ ­න­ග­රයේ සිට ය. ඒ 1866 වස­රේදී ය. එකල ටෙලි­ග්‍රාෆ් කාර්යා­ලය ගාලු කොටු­වෙහි පිහිටි පැරණි තැපැල් කාර්යාල

 

ගොඩ­නැ­ඟි­ල්ලෙහි හා වත්මන් හමුදා කඳ­වුර ඉදි­රි­පිට පිහිටි පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක පිහිටා තිබිණි. ගාලු කොටුවේ සිට ද අශ්ව කරත්ත සේවා­ව­ක්‌ ­මා­තර, කළු­තර හා කොළ­ඹට ක්‍රියා­ත්මක විය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ආරම්භ වු මේ තැපල් කාර්යා­ලය පව­ත්වා­ගෙන ගිය ගොඩ­නැ­ගිල්ල මේ වන­විට බිමට සම­තලා වී හමා­රය. මේ අප­රා­ධය සිදු­වන්නේ අපේ ඇස් පනා­පිට ය. වර්ෂ 2014 වන­විට මේ ස්ථානය ජරා­වාස වී පැව­තුණ අයුරු පෙනුණි. ඊට වස­ක­රට පමණ පසු ‘අන­තු­රු­දා­ය­කයි‘ ලෙස සඳ­හන් පුව­රු­වක් දක්නට ලැබිණි. ඊටත් වස­කට පසු ගොඩ­නැ­ගිල්ලේ වහල බිමට පාත් විය. කඩා වැටුණු ආකා­ර­යෙන්ම දින ගණ­නක් ගොඩ­නැ­ගිල්ල පැව­තිණි. ගොඩ­නැ­ගිල්ලේ බිත්ති නිමවා තිබුණේ කොරල්, කබොක්, ගල් සහ මැටි සහත වරිච්චි බිත්ති­යෙනි. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ඔවුන්ගේ ක්‍රම­වේද අනුව සංර­ක්ෂ­ණය කර­න්නට සූදා­නම් වන­තුරු මේ බිත්ති වැස්සට තෙමුණේ ය. අව­ව්වට වේළුණේ ය. අන­තු­රුව වහල මුළු­ම­නින්ම ගලවා දැම්මේය. බිත්ති ඉටි­කොළ වලින් වැසු­වේය. ගාලු උරුම පද­නම වහ­ලට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනත් දුන්නේය. වහල ගසා නිමා කර ටික දිනක් යන­විට වහල පිටින්ම බිත්ති බිමට පාත් වුණේය.

“මේක ගැසට් කරපු පුරා­විද්‍යා ස්මාර­ක­යක්. ඒත් මේකෙ අයි­තිය තියෙන්නේ තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට. ඔවුන් මේ ස්ථානය නඩත්තු කර පව­ත්වා­ගෙන යන්න කාට­වත් දුන්නෙත් නෑ. අපි ඔවුන්ට කීවා මේ ගොඩ­නැ­ගිල්ල කවු­රු­හරි ආයෝ­ජ­ක­ය­කුට පව­රලා රජයේ තියන ක්‍රම­වේ­ද­යක් යටතේ නඩත්තු කරන්න. සංර­ක්ෂණ මැදි­හ­ත්වීම උප­රි­ම­යෙන් අපි කර­න්නම් කියලා. මොකද මේ ගොඩ­නැ­ගිල්ල අපට පවරා ගන්න පුළු­ව­න්කම තිබු­ණත් පව­රා­ගෙන පූර්ණ සංර­ක්ෂ­ණ­යක් කරන්න මුදල් අපට නෑ. ඒ නිසා තමයි හිමි­කම කාට තිබු­ණත් විකල්ප ක්‍රම­ව­ලට ගිහින් එ් ගොඩ­නැ­ගිල්ලේ පුරා­විද්‍යා වටි­නා­කම ජාති­යට ආරක්ෂා වෙන ආකා­ර­යට විවිධ ප්‍රායෝ­ගික යෝජනා අපි තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට ඉදි­රි­පත් කළේ. ඈෂ්ලි ඩිවෝස් මහ­ත්තයා 1995 ඉඳලා මේ සඳහා විකල්ප යෝජ­න­ව­ලි­යක් ඉදි­රි­පත් කළා. ඉන් කිව්වෙ තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට ඔවුන්ගේ කට­යුතු සඳහා කොට­සක් වෙන් කරලා ගොඩ­නැ­ගිල්ලෙ ඉතිරි ටික වාණිජ ව්‍යාපෘ­ති­ය­කට වෙන් කරන්න, ඒ ආයෝ­ජ­කයා හරහා මේ ගොඩ­නැ­ගිල්ල සංර­ක්ෂ­ණය පහ­සු­කම් ලබා ගන්න, අපි ඊට අවශ්‍ය මැදි­හ­ත්වීම කර­න්නම් කියලා. ඒත් මේ කිසිම දේකට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව ඉඩ දුන්නෙ නෑ. එය සංර­ක්ෂ­ණය කරන්න තරම් වත්ක­මක් ඔවුන්ට තිබු­ණෙත් නෑ. ඒ නිසා නඩත්තු කළෙත් නෑ. පසු­ගිය වක­වා­නුවෙ පැවති පොදු­රාජ්‍ය මණ්ඩල සමු­ළුව වක­වා­නු­වෙදි ගාල්ලෙ පැවැ­ත්වුණු අනු සමු­ළු­වක් මුල් කර­ගෙන මුළු ගාලු කොටු­වෙම නඩත්තු ව්‍යාපෘ­ති­යක් පව­ත්වා­ගෙන ගියා. ඒ අව­ස්ථා­වෙ­දි­වත් මේ ගොඩ­නැ­ගිල්ලෙ ප්‍රායෝ­ගික භාවි­ත­යක් සඳහා ඔවුන් ඉඩ හසර ලබා දුන්නෙ නෑ. අපට කරන්න පුළු­වන් අධී­ක්ෂ­ණ­යක් විත­රයි. එ් ගොඩ­නැ­ගිල්ල ඇසු­රෙහි දී අපට ඉඩ දිය හැක්කේ පුරා­විද්‍යා වටි­නා­කම ආරක්ෂා කරන පද­න­මක් මත කෙරෙන සංර­ක්ෂණ කට­යුතු සඳහා පම­ණයි. ඒ සඳහා පූර්ණ දාය­ක­ත්ව­යක් ලබා­දී­මට අපි සූදා­න­මින් හිටියා. ඒත් කිසිම දෙයක් වුණේ නෑ. මේ විනා­ශයේ මූලික වග­කීම තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව බාර ගත යුතුයි.” පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පාර්ශ්ව­යෙන් කිය­න්නේය.

“ අපි මොන­වත් කරන්නෙ කොහොම ද? මේ ස්ථානයෙ කිසිම නඩ­ත්තු­වක් කරන්න පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අපට ඉඩ දුන්නෙ නෑ; ඔවුන් එය කළෙත් නෑ. අපිට අවශ්‍ය වුණේ අපේ උරු­මය ලෝක­යට කියන මේ සංකේ­තය රැක ගන්න. මේ විනා­ශය පුරා­විද්‍යා දෙපා­ර්­ත­මේ­න්තුව නිසා සිදු­වුණ දෙයක්.” තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ ය.

“මෙතන වුණේ ආය­තන හත­රක අර­ග­ල­යක්. තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, ගාලු උරුම පද­නම වගේම පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මේ වැඩේ හතර අතට ඇද්දා. අන්ති­මට අපේ වැද­ගත් උරු­ම­යක් නැති වුණා.” මැදි­හත් නිල­ධා­රීන් පෙන්වා දෙන්නේය. ඒ උරු­මය දැන් සුන් බුන් ගඩොල් ගොඩක් බවට හැරී ගාලු කොටුවේ, පල්ලිය වීදි­යත්, පල්ලිය හරස් වීදි­යත්, රැජිණ වීදි­යත් එක­තු­වෙන හන්දියෙ මහ­පා­රෙහි ගොඩ ගැසී ඇත.

ගොඩ­නැ­ගිල්ලේ අන­තු­රු­දා­යක කොටස් ඉව­ත්කි­රි­මට ගාල්ල දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්විමේදී තීන්දු වී තිබේ. අව­සන උරු­මය කල­ම­ණා­ක­ර­ණය වන්නේ එසේය.

Comments