‘කළු’ දැන් ලස්ස­නයි | සිළුමිණ

‘කළු’ දැන් ලස්ස­නයි

ළු පැහැ සමක් පැව­තීම තව­දු­ර­ටත් විරූපී යැයි පිළි­ගැ­නී­මට හේතු­වක් නොවන බව ප්‍රත්‍යක්ෂ කර­මින් මෙවර විශ්ව රූ රැජන ලෙස දකුණු අප්‍රි­කාවේ සොසි­බිනි ටුන්සි පසු­ගි­යදා කිරුළු පැලඳු­වාය.

ලෝක රූ රැජන තේරීමේ ඉති­හා­සයේ වැඩිම ජය­ග්‍රා­හි­කා­වන් පිරි­සක් සුදු පැහැ සම ඇත්ති­යන් වූ අතර කළු පැහැ සමක් සහිත තර­ගකා­රි­යන් ඉදි­රි­පත් වුවද ඔවුන් අත­රින් ඉතා සුළු­ත­ර­යක් හැර ජය­ග්‍ර­හා­හි­කා­වන් වාර්තා වූයේ නැත. එහෙත් මේ වන විට අඳු­රු­වන් සම කෙරෙහි එතෙක් පැවති මත වෙනස් වෙමින් පව­තින අතර අඳුරු පැහැ සම සුදු පැහැ­යට වඩා ආක­ර්ෂ­ණීය බවට මත­යක් ඇති වී තිබේ. ඒ බව සනාථ කර­වන රූ රැජින තර­ගා­වලි ජය­ග්‍ර­හණ කිහි­ප­යක්ම පසු­ගි­යදා වාර්තා විය. ඒ අත­රින් එක ජය­ග්‍ර­හ­ණ­යක් අප රට­ටද හිමි වූ අතර ඒ ලෝක විවා­හක රූ රැජන කිරු­ළයි.

විශ්ව රූ රැජන තේරීම වෙනු­වෙන් අමෙ­රි­කාවේ පැවති තර­ඟ­යේදී දකුණු අප්‍රි­කාවේ සොසි­බිනි ටුන්සිගේ ජය­ග්‍ර­හ­ණ­යත් සමග අඳුරු පැහැ සම වඩාත් සුන්දර බවට වන මතය සනාථ වී තිබේ. මේ වස­රේදී අමෙ­රි­කාවේ පැවති රූ රුජින තරගාවලි සිය­ල්ල­නේම ජය­ග්‍ර­හ­ණය කර ඇත්තේ අඳුරු පැහැ සම ඇති යුව­ති­යන් වේ. 2019 අමෙ­රිකා රූ රැජන වූ නියා ෆ්රෑන්ක්ලින්ද කළු පැහැ සමක් ඇත්ති­යකි. වයස අවු­රුදු 19ට අඩු තරු­ණි­යන් වෙනු­වෙන් පැවැ­ත්වෙන මිස් ටීන් තර­ගය ජය­ග්‍ර­හ­ණය කළ කෙලිෆා ගාරිස් ද මිස් යූඑස්ඒ තර­ඟය ජය­ග්‍ර­හ­ණය කළ චෙස්ලි ක්‍රිස්ටිද කළු පැහැ සමින් යුතු තරු­ණියෝ වෙති. ඒ අනුව තව­දු­ර­ටත් කළු පැහැ සම විරූපී ලෙසින් නොව වඩාත් සුන්දර ලෙසින් මිනිස් ඇසට ගෝචර වනු ඇත. සුදු ජාති­ක­යන් විසින්ම තම හමේ පැහැය උත්ක­ර්ෂ­යට නැංවීම වෙනු­වෙන් වෙනස් කරන ලද ලෝක ඉති­හා­සය සහ මිනිස් චින්ත­නය සිය­වස් කිහි­ප­ය­කට පසු මිනිසා විසින්ම යළි නිවැ­රැ­දිව ස්ථානගත කර­ගෙන ඇති බව පැව­සිය හැකිය.

Comments