සුන­න්දට මේ තරම් වැඩ කරන්න පුළු­වන් වුණේ ‍මා දුන් නිද­හස නිසයි | සිළුමිණ

සුන­න්දට මේ තරම් වැඩ කරන්න පුළු­වන් වුණේ ‍මා දුන් නිද­හස නිසයි

ආදරය මහ පුදුමාකාර අත්දැකීමකි. වර්ණයෙන් එය පිරිසිදු ජලයේ පාටය; එහෙත් සියලු වර්ණ එහි තිබේ. එය අල්ලාගත නොහැකිය. එහෙත් සියලුම අල්ලාගැනීම් එහි තිබේ. එය ඒ තරමටම මහා සිර ගෙයකි. මිනිසුන්ට ගැහැනු මුණ ගැසුණු පමණින් හෝ ගැහැනුන්ට මිනිසුන් මුණ ගැසුණු පමණින් මේ පුදුම මානසික තත්ත්වය නිර්මාණය වන්නේ නැත.

 

මේ අපුරු විග්‍රහය තිබුණේ ජයන්ත චන්ද්‍රසිරි නම් නිර්මාණවේදියාගේ මහරජ ගැමුණු කෘතියේ. ප්‍රේමය කෙසේ කෙලෙස හටගෙන කෙලෙස කෙළවර වේ දැයි කිව හැක්කේ කාටද? ජීවත්වන කාලය පුරා එකිනෙකා කෙරෙහි වන ආදර ගෞරවය මුළු ජීවිත කාලයක් පුරා සෙනෙහසේ කැදැල්ලක් හදන්නට උපස්ථම්භක වන බවට අප අවට ඕනෑ තරම් උදාහරණ තියෙනවා.

අද ‘දිවමන් සෙවණැලි’ විශේෂාංගයට එක්වන්නේ අපූර්ව වූ ජීවිතය සොයා යන නිර්මාණ චාරිකාවක නිමග්න මාතෘ භාර්යාවක්. වරෙක ඇය සකි භාර්යාවක්.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් කිව්වම මේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්.

විශ්වවිද්‍යාලයේදී එතුමා බොහොම නිදහස් චින්තනයක් සහිත මහාචාර්ය වරයෙක්. ඒ නිදහස් චින්තනය නිකම්ම එන්නෙ නෑ කියලා අපි දන්නවා. ඒ සඳහා නිදහස් වගේම ආදරයක්, රැකවරණයක් අවශ්‍යයි. ඒ රැකවරණය සලසන ආදරණීය ඈ තමයි සීතා මහේන්ද්‍ර. සීතා මහේන්ද්‍ර කියන්නෙත් රාජ්‍ය සම්මානලාභී කතුවරියක්; පරිවර්තිකාවක්. ඇය මේ වන විට කෘති 15ක් පමණ ජනගත කර තිබෙනවා. ඒ අතර පරිවර්තන කෘති බොහොමයක් තිබෙනවා. 2018 වසරේ ඇය පරිවර්තනය කළ “ඉරි ඇඳුමේ සැගවුණු කඳුළ” නම් කෘතියට හොඳම යොවුන් පරිවර්තන කෘතියට හිමි රාජ්‍ය සම්මානය ලැබුණා. මේ වන විටත් ඇය ඇමරිකානු කෘතියක් සිංහලයට නඟමින් සිටින්නේ. ඒ වගේම සුනන්දයන්ගේ ම ඉල්ලීම පිට ඇය ඇයගේ මවගේ කතාව නවකතාවක් සේ ලියමින් සිටියා. මේ කෘති දෙකම නොබෝ දිනකින් අප අතට පත් වේවි.

සුනන්ද මහේන්ද්‍ර අපේ ආදරණීය ඇදුරුතුමා ඇයට හමුවෙන්නේ 1965 වසරේදී. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්නා කාලයේ මහාචාර්යතුමා කොළඹ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ උගැන්වීම් කටයුතු කර තිබෙනවා. ඇය සුනන්දයන්ගේ ගෝලයෙක්. ඇයට සිංහල විෂය උගන්වන්නේ ආවේ මහාචාර්යතුමා. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවනවාට ඇය මුලින්ම බය වුණේ ගෙදර මේ සම්බන්ධතාවට කැමති වේවිද කියන බිය නිසයි. මොන බාධක ආවත් සංසාරේ පතාගෙන එන අය එකතු වෙනවනේ. ඉතින් මේ දෙපළටත් ගෙදරින් ආශිර්වාදය ලැබුණා.

1966 වසරේදී විශ්වවිද්‍යාලයෙන් නික්ම යන ඇයට 1967 වසර වන විටම විවාහ වීමට සිදු වෙනවා. ඒ මහාචාර්යතුමාට බී.බී.සී. ආයතනයේ රැකියාවක් ලැබීම නිසා. ඉතින් මේ දෙපළ විවාහ වී එංගලන්තය බලා පිටත්ව යනවා. අනතුරුව සුනන්දයන් තමන්ගේ දර්ශනශූරී උපාධිය හදාරන්න ලන්ඩන් විශ්වවිද්‍යාලයට පූර්ණ කාලීන විද්‍යාර්ථියකු ලෙස සම්බන්ධ වෙනවා. ඒ කාලයේ සීතා මහේන්ද්‍ර මහත්මිය ලන්ඩනයේ රෝහලක රැකියාවක් කරමින් ඉගෙන ගන්නා තම ස්වමිපුරුෂයාට නිත්‍ය අත්වැලක්, සෙවණැල්ලක් බවට පත්වෙනවා. මෙවැනි මහගු භාර්යාවක් මෙලොව හිඟ බව ඔබ දන්නවා.

ඊ‍ට පෙර ඇය රැකියාවක් කරලා නැද්ද කියලා මේ කතාව අසන ඇසිල්ලේ ඇති වූ කුතුහලය නිසා මම ඇහුවා.

“මම ඊට කලින් විශ්වවිද්‍යාලයෙන් පිට වූ අලුතම වගේ පාසල් දෙකක සිංහල ඉගැන්වුවා. ඒත් ඒවා වැඩිකල් කරන්න වුණේ නැහැ. මහත්තයාට බී.බී.සී. සේවයට යන්න වුණු නිසා. ඒ නිසා අපි දෙදෙනාම මේ සියල්ල නවතා ලන්ඩන් ගියා. ලන්ඩන් ඉන්න කාලෙදී ඔවුන්ගේ කැදැල්ලට පුතෙක් එක් වෙනවා. ඒ විදුර සුභාෂ් මහේන්ද්‍ර. ලන්ඩනයෙන් ලංකාවට එන මේ යුවළට අනතුරුව තව පුතුන් දෙදෙනෙක් ලැබෙනවා. ඒ රවිඳු මාධව මහේන්ද්‍ර හා සචිත්‍ර ඉන්දීවර මහේන්ද්‍ර.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන විෂය ධාරාව හඳුන්වා දීමේ මූලිකත්වය ගත් තිදෙනා අතර මහාචාර්ය සුනන්දයන් සිටිනවා. අනෙක් දෙදෙනා වන්නේ මහාචාර්ය විමල් දිසානායක හා කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස. මේ සියලු විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු හා නාට්‍ය පුහුණුවීම් නිසා මහාචාර්යතුමාගෙන් ගිලිහෙන ගෙදර වැඩකටයුතු තනිවම කරද්දී ඔබතුමියට හිතේ තරහක් ඉපදුණේ නැද්ද; මම බොහොම කල්යල් බලලයි ඒ ප්‍රශ්නය ඇසුවේ.

“අනේ නෑ. මට අදටත් පුදුමයි සුනන්ද මෙච්චර වැඩ කරන්නේ කො‍හොමද කියලා. මට ඕනෑ වුණේ එයාට ඒ වැඩ නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න. එයාගේ මානසික විවේකය තමයි අපේ ශක්තිය. මේ ගෙදර හදන කාලේ මම ඒක තනියම කළේ. පොඩ්ඩන්ටත් සුනන්දටත් බරක් දැනෙන්න තිබ්බේ නෑ. මම දරුවන්ට කිව්වෙත් තාත්තට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන්න ඕන කියලයි. සුනන්දට පුදුම ධෛර්යයක් තිබෙනවා මොනතරම් දේ දැන ගත්තත් දැනුම් පිපාසයක්; ඒවා අත්හදා බලන්න වුවමනාවක් ත‍ියෙනවා. අද වෙන කොට එයා පොත් 400 කට වඩා ලියලා තියෙනවා. ඒ තරම් වැඩ කන්දරාවක් එයාට කරන්න පුළුවන් වුණේ මම නිදහස් විවේකය දුන්නු නිසයි. ඒ ගැන මම අප්‍රමාණ සතුටු වෙනවා.

“දරුවන්ට උගන්වන වැඩ වුණත් මම තමයි කළේ. ඒ කැපවීම නිසා මම අද විඳින සැනසීම අනන්තයි; අප්‍රමාණයි.

මහාචාර්යතුමාගෙන් ඔබතුමියට ලැබුණු වටිනාම දේ මොකක්ද? මම ඇගෙන් ඇසුවා.

“මට මගේ හැම වැඩක්ම කරන්න පුදුමාකාර ධෛර්යයක් එයා දෙනවා. ඒක තමයි මට එයාගෙන් ලැබුණු වටිනාම දේ.හැම තිස්සේම මට කියන්නේ ලියන්න; රටට වැඩදායක යමක් කරන්න කියලා. මම ලියන හැමදෙයක්ම එයා කියවලා බලා හොඳ නරක කියනවා. ගුවන්විදුලි සංස්ථාවට වුණත් මා එක්ක යන්නේ එයා. සන්නිවේදන කතිකාවලට, සාහිත්‍ය සංවාදවලට මාව එක්ක යනවා. ජීවිතේ වැඩදායි ලෙස ගෙවන්න මට කියලා දෙනවා.“

විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන උපාධියක් තියගෙන රැකියාවක් නොකර ගෙදර ඉන්න එක ගැන ඔබතුමියට කනගාටුවක් දැනිලා නැද්ද. මම විමසුවා. “මගේ අම්මා නම් මා රැකියාවක් නොකරන එකට කැමති වුණේ නැහැ. ඒත් මම ගෙදර ඉඳන් නවලිය, යොවුන්, ජනතා, යුවතිය වගේ පත්තරවලට ලිව්වා. මා ලන්ඩනයේදී කළ ඉංග්‍රීසි පාඨමාලාව අනුසාරයෙන් යොවුන් ජනතා පුවත්පතට ඉංග්‍රීසි පාඨමාලාවක් රචනා කළා. ඉතින් නිරන්තරයෙන් ලියමින්, කියවමින් සිටිය නිසා මට රැකියාවක් නොකර ඉදීමේ අඩුවක් තේරුණේ නෑ.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වගේ මහා වනස්පතියක සෙවණ ලබන ඇය ජීවිතය ගැන ඉතා තෘප්තිමත්ව හා සැනසීමෙන් කතා කළේ ඒ නි‍ෙවස පුරා ඇගේ මවුහත්භාවයේ සුවඳ විහිදෙමින් තිබුණා. සුනන්දයන් වගේ ලොවක් වටිනා වෙනස් ගුරුවරයෙක්, වෙනස් චින්තකයෙක් අපට පරිස්සම් කර දීම මොනතරම් පුණ්‍ය ක්‍රියාවක්ද? ඒ බව ඇයට පැවසිය යුතුම යැයි මා සිතුවා. 

 

Comments