වැළලී ගිය නටබුන් මැද විරා­ජ­මාන ගිරි­හඬු සෑ පුද බිම | සිළුමිණ

වැළලී ගිය නටබුන් මැද විරා­ජ­මාන ගිරි­හඬු සෑ පුද බිම

පාසල් නිවාඩුව ඇරඹී මේ සමයේ මම ඔබ කැඳවාගෙන යන්නේ ඓතිහාසික වටිනාකමින් පිරිපුන්; ඒ වගේම සුන්දර මනස්කාන්ත පරිසරයක පිහිටි ඔබ අප කවුරුත් අසා ඇති ස්ථානයකට. නිලාවේලි මුහුදු තීරය බොහෝ ජනප්‍රිය ගමනාන්තයක්. මේ ලිපි මාලාවේ ම අපි නිලාවේලි සුන්දර මුහුදු තීරය ගැන ලිව්වා ඔබට මතක ඇති. ඒ නිලාවේලි මුහුදු තීරයට යාබදව ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ 37kmක් ගමන් කළ විට හමුවෙන තිරියාය හන්දියෙන් වමට හැරී7km ක් පමණ ගමන් කළ විට මා මේ ඔබට කියන්නට යන පුදබිමට ප්‍රවේශ විය හැකියි.

පුරාවිද්‍යාත්මක හා ආගමික වශයෙන් ඉතා වටිනා ස්ථානයක් වන ගිරිහඬු සෑය ගැන ඔබ බොහෝ තොරතුරු අසා දැන ඇති. කළු ගලින් නිර්මිත වට දා ගෙය ඇතුළත ඓතිහාසික ගිරිහඬු සෑ රඳුන් වැඩ සිටින්නේ බැතිබර සිත් පින්බර බවෙන් පුරවමින්. ස්තූපයක් වටා කණු ඉඳි කළ අර්ධ ගෝලාකාර වහලකින් යුත් වෘත්තාකාර කොටස හඳුන්වන්නේ වටදාගෙය නමින්. මෙය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සතු වටදාගෙවල් තුන අතරින් එකක්. අනෙක් ඒවා වන්නේ පොලොන්නරුව වටදාගෙය හා මැදිරිගිරිය වටදාගෙයයි. තිරියාය වටදාගෙය ලෙසින් හඳුන්වන මෙහි සුවිසල් විහාරස්ථානයක් පැවැති බවට සාධක පෙනෙනවා. ගිරිහඬු සෑය ගැන සඳහන් ඉපැරණි සෙල් ලිපියක් ද මෙහි අන්තර්ගතයි.

ගිරිහඩු සෑය පිහිටි බිම මනස්කාන්තයි. එහි යන ඔබට ඒ ගිනිගහන අව්වේ කරවෙන ත්‍රීකුණාමලය ම දැයි සිතෙන තරම්. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රමණීය කඳු මුඳුනක පිහිටා තිබෙන ගිරිහඬු සෑය වියළි බිමක තෙත් බවට උදාහරණයක්. නැගෙනහිර දෙසින් ඈතින් පෙනෙන නිල්වන් මහ සයුර අපූර්ව චමත්කාරයක් දෑසට ගෙන දෙනවා. ඉර නැඟ එන උදෑසන මේ භූමිය අතිශයින් මනරම්.

ටිකෙන් ටික සයුරු දියේ දියවෙමින් ගිරිහඬු සෑය සිපගන්නා හිරු එළිය සිය සේවය අරන් පුජා භූමියෙන් පිටව යන්නේ හරියට ඊට ගෞරව කරනවා වගේ. කඳු පාමුල නිල්වන් පැහැයෙන් බබළන වන වදුල රශ්මිය මකාලනවා. ඉපැරණි කළු ගල් පියගැට පෙළ තාමත් සිය පැවැත්ම රැකගෙන ඉන්නේ ප්‍රෙෞඪ බවකින් යුතුව. ගිරිහඬු සෑය මෙතරම්ම බෞද්ධ ජනයාගේ ගෞරවනීය වන්දනයට පාත්‍ර වන්නේ ඇයි දැයි ඔබ දන්නවා ඇති. ඒ ගැන විවිධ මතවාද රාශියක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම වෙන සාධකය කියන්නයි මා මේ හදන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටියදීම උන්වහන්සේ සිහිකරමින් වැඳුම් පිදුම් කිරීමට මේ ස්ථානය සෑදූ බවට වන මතය ඒ අතරින් සුවිශේෂීයි.

බුදුන් සරණ ගිය ප්‍රථම උපාසකයන් වන තපස්සු භල්ලුක වෙළෙඳ දෙපළ; ධර්මය ඇසීමෙන් පසු පුදන්නට සිහිවටනයක් ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු ස්වල්පයක් දුන් බව ඉතිහාසයේ සඳහන්. ඔවුන් ඒ කේශ ධාතු තැන්පත් කර කුඩා ස්තූපයක් තැනවූවා. පුජාවලියේ සඳහන් වන ආකාරයට ගිරිහඬු සෑය නමින් ප්‍රකට ව ඇත්තේ මේ සෑයයි. විද්වත් මතය වන්නේ ද ගිරිහඬු යන්න ගිරිකණ්ඩි වශයෙන් පෙරළිය හැකි නිසා තිරියායේ සංස්කෘත ශීලා ලේඛනයේ සඳහන් ස්ථානය ද මෙය බවයි. මේ විහාරය “නිතිපත්තාන” විහාරය ලෙසින් හැඳින්වෙන අතර ද්‍රවිඩ ජනයා “තිරියායි” “මලේ”, “කන්ද සාමි මලේ” යන නම්වලින් ද හඳුන්වනවා.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව ක්‍රි.ව. 2 වන සියවසේදී වසභ රජතුමා තැන වූ ‘නිතිත්තාන වැව’ මේ කඳු පාමුල දක්නට ලැබෙනවා. වැවට වතුර එන ඇළෙන් එගොඩ වීමට තැනූ ගල්කණු සහිත ගල් පාලම අද ද දක්නට ඇති බැව් එහි යන ඔබට පෙනෙනු ඇති. ගිරිහඬු සෑයට යන ඔබ එය වන්දනාමාන කිරීමට පමණක් නොනැවතී ඒ අවට වන සංස්කෘතික ගොඩනැඟීම් නරඹන මෙන් අප ඉල්ලා සිටින්නේ පෞඩ ඉතිහාසයක තතු අනාගත පරම්පරාවට දැකගත යුතු නිසායි. කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණික පීඩාවට මේ විහාරය ද දැඩිව මුහුණ දී තිබෙනවා. ඒ කාල වකවානුවේ බෞද්ධ ජනයා මේ ස්ථානයෙන් පළා ගිය බැවින් විහාරය අභාවයට යන්නට ඇති බව සාක්ෂි පෙන්නුම් කරනවා.

අනතුරුව පළමු විජයබාහු රජතුමා මේ පුජාභූමිය නැවත ප්‍රතිසංස්කරණය කළා. වසර 30 ක කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසාත් ගිරිහඬු සෑ යුද බිම හුදෙකලා වී තිබෙනවා. කෙසේ නමුත් වැදගත් හා පෞරාණික නටඹුන් විශාල ප්‍රමාණයක් සහිත මේ පුදබිම කවර කල්හී වුවද විවිධ පසුබෑම්වලට ලක් වුවද නැවත පුනර්ජීවය ලබා බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වන බව නොරහසක්.

ගිරිහඬු සෑ පුදබිම වන්දනාමාන කිරීමටත්; එහි පෞරාණිකත්වය විඳ ගැන්මටත් මේ වන විට කිසිවකුට බාධාවක් නැහැ. ඔබ එහි යන්නේ නම් එහි ඓතිහාසික කතාව තම දරුවන්ට කියා දීමට අමතක කරන්න එපා. ඉතිහාසයේ ප්‍රෙෞඪත්වය ගෞරවනීය වර්තමානයක් හා අනාගතයක් ගොඩනැංවීමට ඉවහල් වන බව ඔබ අප සැවොම දන්නා කරුණක්.

දවසක් පුරා අප ගිරිහඬු සෑ පුදබිමේ අනේක විධ ඓතිහාසික හා පාරිසරික විෂමතා විඳිමින් ගත කළා. උදාහිරු මහ සයුර මතින් නැඟ සෑ බිම පුරා අරුණාලෝකය විහිඳුවා බස්නාහිරින් බැස යමින් තිබූණා. සැඩ හිරු පවා ගිරිහඬු සෑය අබියස තම තේජස් වළක්වා ගත් ආකාරය පුදුම සහහතයි. මළ හිරු බැස යමින් තිබියදී අප සෑ බිමෙන් නික්ම ආවේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත ඔකඳ වෙද්දී. 

Comments