මම අභි­යෝගවලට හරිම කැමැ­තියි | සිළුමිණ

මම අභි­යෝගවලට හරිම කැමැ­තියි

හේමන්ත ප්‍රසාද් අප හඳුනා ගන්නේ වසර ගණනක සිට වේදිකාවේ ඔස්සේ ගමන් කරමින් හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නාට්‍ය රචකයා ලෙස රාජ්‍ය සම්මානයෙන් ඇගැයීම් ලැබූ කලාකරුවකු ලෙසයි. ඉන්පසු ඔහු ටෙලි නාට්‍ය සහ සිනමාවේ ද රංගන ශිල්පියකු ලෙස තම ගමන ස්ථාවර කරගත්තා. දැන් ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රවිෂ්ටව සිටිනවා. ඒ “උලලේනී” සිය ප්‍රථම සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරමින්.

 

“උලලේනී” නිර්මාණයෙන් අපේ කතාව අරඹමු?

මෙය මගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. උලලේනී “ත්‍රිලර්” ශානරයට අයත් සිනමා කෘතියක්. ලංකාවේ මේ ශානරයට ඉල්ලුමක් තිබුණත් එවැනි චිත්‍රපට නිර්මාණය වෙන්නේ අඩුවෙන්. ඒ නිසා මම තීරණය කළා මගේ පළමු චිත්‍රපටය ලෙස මේ ශානරීය නිර්මාණයක් කරන්න. එය එක්තරා විදිහක අත්හදා බැලීමකට හසුවූ මනෝවිද්‍යාත්මක භීෂණ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. මම නැරැඹු හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක යම් කතා තේමා මෙයට පාදකව තිබෙනවා.

 

‘උලලේනී‘ වැනි නමක් යෙදීමට විශේෂ හේතුවක් තිබෙන්න ඇති?

මේ චිත්‍රපටය තුළ යම් රහසක් තිබෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයාට, උසස් රසවින්දනයකට කැමැති අයට, තරුණ පරපුර හා පවුලේ සියල්ලන්ට එක්ව නැරැඹිය හැකි වඩා ආකර්ෂණයෙන් හා කුතුහලයෙන් යුතු කතාවක් මෙහි අන්තර්ගතයි. මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයටත් විශාල ප්‍රතිචාර ලැබුණා. ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයට “උලලේනී” නැවුම් අත්දැකීමක් වේවි. චිත්‍රපටය නැරැඹු පසු නම එයට ඉතා උචිත යැයි ප්‍රේක්ෂකයනුත් තේරුම් ගනීවි.

 

වේදිකාව ඔබට අලුත් නොවුණත් සිනමා අධ්‍යක්ෂණය අලුත් අත්දැකීමක් වෙන්න ඇති?

මට තේරෙන වයසේ සිට මම චිත්‍රපට නරඹනවා. මේ වෙන කොටත් මම චිත්‍රපට පිස්සෙක්. මගෙ ළඟ ලෝකේ පළවැනි චලන චිත්‍රපටයේ සිට මෙතෙක් නිර්මාණය වූ හොඳම චිත්‍රපට එකතුවක් තිබෙනවා. මෙතෙක් චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළාට මම ඒ විෂයය තුළ හැමවෙලේම ගනුදෙනු කරන කෙනෙක්. අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරද්දි මේ සියලු අත්දැකීම් සමඟ අපහසුවක් දැනුණේ නැහැ.

 

කලා ක්ෂේත්‍රයේ විවිධ භූමිකා ඔස්සේ සැරි සැරූ ඔබ සිනමා නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වන්නේ වසර ගණනකට පසු?

ලංකාව වගේ රටක සිනමා නිර්මාණයක් එළිදැක්වීමේ සිහිනය සැබෑ කරගන්න හරිම අසීරුයි. මම වේදිකා නාට්‍ය කලාවේ විවිධ භූමිකා ඔස්සේ වසර විසිපහක් පමණ ගැවසෙන කෙනෙක්.

ඒ තුළ පිටපත් රචකයෙක්, නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට සම්මාන රැසකට හිමකම් කියන්න හැකි වුණා. නමුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගියහම නිෂ්පාදකයෙක් සොයා ගැනීම හරිම අපහසුයි. එනිසා මම හිතුවා මගේ පළමු සිනමා කෘතිය මගේම නිෂ්පාදනයක් ලෙස එළිදක්වන්න. මේ නිර්මාණයේ තිර රචකයා, අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා ලෙස එහිදි මට තීරණය කරන්න වුණා මට තිබෙන ප්‍රාග්ධනය තුළ මම නිර්මාණය කළ යුත්තේ කිනම් ආරයේ චිත්‍රපටයක්ද යන්න.

මට තිබුණු ප්‍රාග්ධනයෙන් මහා පරිමාණයේ චිත්‍රපටයක් කරනවට වඩා මට යා හැකි දුර තුළ කළ හැකිව තිබූ වඩාත්ම හොඳ නිර්මාණය කළා. පසුකාලීනව ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මෙහි විධායක නිෂ්පාදකවරයා ලෙස එකතු වෙනවා. ඔහු මට විශාල සහයක් වුණා. ‘උලලේනී‘ නිර්මාණය වෙන්නේ 2017 දී. අපේ සිනමා පෝලිමට අනුව යම් වාසනාවකට වසර දෙකකින් පසු ප්‍රදර්ශක මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සතුටට කරුණක්.

මේ චිත්‍රපටයේ චරිත තෝරා ගැනෙන්නේ කොහොමද?

කලාවේ මගේ මුල් තිබෙන්නේ නාට්‍යකරුවෙක් ලෙසයි. නමුත් මිත්‍ර සම්බන්ධකමට, ජනප්‍රියත්වයට, ලස්සනට හෝ වෙන බාහිර කාරණයකින් මම නළුවරණය කරන්නේ නෑ. මේ නිර්මාණයට තෝරා ගැනෙන්නේ ඒ චරිතවලට වඩාත් උචිත යැයි හැඟුණු ශිල්පින් තිදෙනෙක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන සංජීව උපේන්ද්‍ර වේදිකාවේ ස්ථාවර අතිදක්ෂ නළුවෙක්. නමුත් උලලේනී නිර්මාණය කරන කාලේ සිනමා නළුවෙක් විදියට ඔහු ලොකු ජනප්‍රියත්වයක් දිනා සිටියේ නැහැ. නමුත් පසුගිය කාලේ සංජීව ‘ගින්නෙන් උපන් සීතල‘, ‘සංසාරේ දඩයක්කාරයා‘ වැනි චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයා දිනාගත්තා. ගයනි ගිසන්තිකා සිනමාවේ සම්මානනීය නිළියක්. ඇය ජනප්‍රිය තාරකාවකට වඩා අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ චිත්‍රපටය නිර්මාණය කරන කාලේ චමීර ඇල්දෙණියත් එතරම් ජනප්‍රිය චරිතයක් නොවෙයි. නමුත් මේ ගත වෙච්ච කාලය තුළ ඔහු දැන් ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පියෙක්.

උලලේනී නිර්මාණකරණයේදී වැඩිපුර මුදල් නාස්ති නොවි පිරිමහ ගන්නට අපි අලුත් විදියේ වැඩකුත් කළා. මේ චිත්‍රපටයට සූදානම් වුණේ වේදිකා නාට්‍යයකට සූදානම් වන ආකාරයටයි. තිරපිටපත රංගන ශිල්පීන්ට දුන් පසු ඒ චරිත ගැන කතා කරමින්, චරිත ස්වභාවය හඳුනා ගනිමින් එම චරිත කෙළින්ම ඔවුන්ගේ ඔළුවලට කා වද්දවීමට මාස තුනක පමණ පුහුණුවීමක් කළා. රූපගත කිරීම් ඇරැඹු පසු චරිතවලට පිවිසෙන කාලය එයින් අවම කරගන්න හැකි වුණා. මේ තිදෙනාම ඉතා බුද්ධිමත් පුහුණු ශිල්පීන් ලෙස මේ නිර්මාණයට දායක වූ නිසා රූගත කිරීම් පහසු කරගන්න හැකි වුණා.

 

උලලේනී ඔබ නම් කරන්නේ මොන ධාරාවේ චිත්‍රපටයක් ලෙසද?

මේ චිත්‍රපටය නිර්මාණය කළාට පසු අවස්ථා දෙකකදී ප්‍රදර්ශනය වුණා. එහිදී චිත්‍රපටය නැරඹූ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා, පියල් කාරියවසම් සහ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය යන මහත්වරු ඉදිරිපත් කළ කාරණයක් තිබුණා. ඒ, මේ චිත්‍රපටය ලාංකේය සිනමාවේ ස්ථානගත කරන්නේ කොතැනද යන්නයි. ඔවුන් ඉස්මතු කළ ඒ කාරණය අනුව මට හිතෙන්නේ මෙය සමාන්තර සිනමාවක තිබෙන චිත්‍රපටයක් ලෙසයි.

 

උලලේනී ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මම අභියෝගවලට හරිම කැමතියි. හිතුවක්කාරයි. මට මොනවා හරි කරන්න හිතුණොත් එය කරනවාමයි. හැමවෙලේම මගේ දුර ඉලක්කය ටිකකට පැත්තකින් තියාගෙන එයට මෙහා ඉලක්කවලට ගමන් කරන කෙනෙක්.

 

දුර තිබූ ඒ ඉලක්කයද සිනමාව?

මගේ ගමන ඇරැඹෙන්නේ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස. පසුව රංගන ශිල්පියෙක්, කෙටි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ පසු මගේ ඉලක්කය වුණේ ප්‍රධාන ප්‍රවාහයේ වේදිකා නාට්‍යය නිර්මාණයට. ඒ ඉලක්කය වෙනුවෙන් ‘රෂමොන්‘ මල්සර බිසව වැනි නාට්‍යය කළා. එයින් පසු රාජ්‍ය නාට්‍ය උලෙළේ සිව්වරක්ම සම්මානයට පාත්‍ර වුණා. ඉන් පසු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් වුණා, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල රඟපෑවා. ඊට පස්සේ මගේ ඉලක්කය වුණේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. දැන් එයත් සාර්ථකයි. මගේ ඊළඟ ඉලක්කය, ඉදිරි සිනමා නිර්මාණ ඔස්සේ ලාංකේය සිනමාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ස්ථාවරව ජාත්‍යන්තර මට්ටමක චිත්‍රපට නිර්මාණය කිරීමයි. ඒ ඉලක්කයට තවම ඇවිත් නැතත් මේ ගමනේ මෙතෙක් ආ දුර ගැන සතුටුයි.

 

ඉදිරියේදී ඔබ සිනමා නිර්මාණයට පමණක් සීමා වේවිද?

මේ වනවිටත් මගේ ඊළඟ වේදිකා නිර්මාණය අධ්‍යක්ෂණය වෙමිනුයි පවතින්නේ. කිසිම දවසක මම වේදිකාව අතහැර යන්නේ නෑ.

Comments