බැන්ක්සි තමයි වීරයා | සිළුමිණ

බැන්ක්සි තමයි වීරයා

තාප්ප පාට කිරීමේ කලාව එහෙමත් නැතිනම් වීදි චිත්‍ර කලාව = දැන් අපේ රටේ තරුණ පරපුර එහෙම පිටින්ම වෙනම ලෝකයකට තල්ලු කරගෙන යන රැල්ලක් බවට පත්වෙලා. මේ අපූරු රැල්ලට දැන් දැන් කොළඹ හා ඒ ආශ්‍රිත ජනාකීර්ණ නගරත්, ඉන් ඔබ්බටත් ඇදී ගිහින්. කොටින්ම කියනවා නම් රට හැමතැනම තාප්පයක් තාප්පයක් ගානේ තරුණ පිරිස් එක පොදියට චිත්‍ර අඳින්න පටන් අරගෙන. Street Arts නොඑසේ නම් graffiti නමින් බටහිර ලෝකය හඳුන්වන තාප්ප පාට කිරීමේ කලාවෙන් එදිනෙදා මඟතොට ගැවසෙන මිනිසුන්ගේ මනස සුවපත් කිරීමත්, පරිසරයට ඉන් ලැබෙන අමුතු ආලෝකයත් වෙනම කතා කළ යුතු කාරණාවක්.

අපි මේ කියන්නට යන්නේ වීදි චිත්‍ර කලාවත්, තාප්ප පාට කිරීමත් ලොවට දායාද කළ අපූරු චිත්‍ර ශිල්පියා ගැනයි. චිත්‍ර නිර්මාණ ලෝකයේ ලොකුම අභිරහස බවට පත්වී සිටින මේ චිත්‍ර ශිල්පියා එහෙම පිටින්ම අදිසි මිනිසෙක් බව ඔබ දන්නවාද?

අනූව දශකයේ සිට එංගලන්තයේ වීදි චිත්‍ර කලාවෙන් ලොකුම පෙරළිය සිදු කරමින් සිටින මේ අදිසි මිනිසා කවුරුත් හඳුන්වන්නේ බැන්ක්සි (banksy) නමිනුයි.

දේශපාලනික හා සමාජීය ගැටලු ඉස්මතු කරමින් එක්තරා අන්දමකින් උපහාසයත් කැටිවුණු බැන්ක්සිගේ චිත්‍ර අද වෙද්දී එංගලන්තයේ තාප්ප පුරවා දමා ඇත්තේ පුදුමාකාර විදිහේ ජනතා ආකර්ෂණයකට ලක් වෙමිනුයි. බැලූ බැල්මටම මේවා බැන්ක්සිගේ චිත්‍ර බව ඔප්පු කරන්නට තරම් ඔහුටම ආවේණික ශෛලියක් ඒ තුළ ගැබ්ව තිබෙන බවයි එංගලන්ත තරුණ පරපුර කියන්නේ. සිය විරෝධාකල්ප ජනතාව අතරට ගෙනියන්න අනූව දශකයේදී එංගලන්තයේ තාප්ප පාවිච්චි කළ බැන්ක්සි ඊළඟට ආක්‍රමණය කළේ අමෙරිකාවයි. ඊළඟට එය මුළු යුරෝපය පුරාම පැතිර ගියේ වසංගතයක් වගේ. හරියටම කියනවානම් මේ අදිසි මිනිසා එකම වේලාවක ලෝකයේ රටවල් දෙකක කොතැනක හෝ තාප්පයක චිත්‍රයක් අඳිමින් සිටින බව සාක්ෂි සහිතව ඔප්පු කරන්නත් ලොව පුරා තරුණ පරපුර ඉදිරිපත් වෙලයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි කිසිම තර්කයකින් තොරව එවැනි කතා විශ්වාස කරන්නත්, මේ අදිසි මිනිසා දේවත්වයෙන් අදහන්නත් ලොව පුරා චිත්‍ර කලාවට ආශක්ත බොහෝ පිරිස් පසුබට වෙන්නෙත් නෑ.

ලොව පුරා විවිධ නගරවල වීදි, බිත්ති හා පාලම් පාට කරන බැන්ක්සිගේ චිත්‍ර කලාව ඇත්තටම තනි පුද්ගලයකු විසින් කරනු ලබන්නක්දැයි හරියටම කියන්න කවුරුවත් දන්නෙ නෑ.

බැන්ක්සිගේ තොරතුරු සොයමින් එංගලන්තය පීරන ඇතැම් නූතන ෂර්ලොක් හෝම්ස්ලාට අනුව නම් ඔහු වයස අවුරුදු 14 දී එක්තරා චිත්‍ර පාසලක ඉගෙනීම ලබමින් සිටියදී එංගලන්තයේ ඇතැම් ආගමික විශ්වාසයන් උපහාසයට ලක් වන ආකාරයේ චිත්‍ර ඇඳීම නිසා පාසලෙන් නෙරපා හරිනු ලැබුවෙක්. ඒ විතරක් නෙවෙයි තවත් සමහරු කියන්නේ ඔහු ඒ කාලයේ සුළු අපරාධ සම්බන්ධව සිරගතවී සිටි පුද්ගලයෙක් කියලයි. බ්‍රිස්ටල් පළාතේ උපන් බව කියන මේ තරුණයා විවිධ අකටයුතුකම් නිසා අසල්වාසීන් විසින් පළවා හරිනු ලැබීමෙන් පසුව ලන්ඩනයේ පදිංචියට පැමිණි අයකු බවයි තවත් සමහරු කියන්නේ. ඔහු මේ කියන විදියේ අදිසි මිනිසකු බවට පත්වූයේ ලන්ඩනයේ දකින දකින තාප්පවල ඔහුගේ විරෝධාකල්පවලට පණ දීමෙන් බවයි වාර්තා වෙන්නේ.

දුම්රිය ස්ථාන, බස් නැවතුම්පළ, අධිවේගී මාර්ග, පාලම් ආදී එකී නොකී හැම තැනකම තාප්පයක් තාප්පයක් ගාණේ මිනිහා චිත්‍ර අඳින්න පටන් ගත්තේ ඇඟේ අමාරුවට නෙවෙයි; මොකක් හරි පණිවිඩයක් මිනිසුන්ට දෙන්නයි.

ඒ කොහොම වුණත් වීදි චිත්‍ර කලාව බිහිවුණේ බැන්ක්සිගෙන් නම් නෙවෙයි. ඒක ලෝකයට හඳුන්වලා දුන්නේ අමෙරිකාවේ කීත් හැරීන් කියන තරුණයායි. ඔහු තමයි 70 දශකයේදී වීදි චිත්‍ර සංස්කෘතිය අමෙරිකාවට හඳුන්වලා දුන්නේ. ඒ කාලයේ නිව්යෝක් නුවර හූස්ටන් වීදියේ අත්හැර දමන ලද තාප්ප තනිකරම අයිති කරගෙන හිටියේ මේ තරුණ චිත්‍ර ශිල්පියායි. තවත් සමහරු කියන්නේ වීදි චිත්‍ර කලාව දෙවැනි ලෝක මහා යුද්ධයේ නිමාවත් සමඟ ඇතිවූ තරුණ අසහනය ලොවට කියා පෑමට බොහෝ තරුණ පිරිස් තාප්ප පාවිච්චි කරමින් මේ කලාවට පණ දුන්නා කියලයි. ඒ කොයි හැටි වෙතත් නූතන වීදි චිත්‍ර කලාව ජීවමාන කළේ බැන්ක්සි කියන අදිසි පුද්ගලයා බව නම් නොකියාම බෑ.

මිනිහා දේශපාලන, සමාජීය අවුල් ගැන හරි ලස්සනට මේ කලාවෙන් මිනිස්සුන්ට කතා කළා. පුදුමාකාර විදිහේ පණිවුඩ දුන්නා.

හාස්‍යජනක රූප, යුද විරෝධී, ධනේශ්වර විරෝධී චිත්‍ර තුළින් බැන්ක්සි එයාගේ මතවාදය හරි අපූරුවට සමාජගත කළා. මිනිහාගේ ඇතැම් චිත්‍රවලට මීයන්, වානරයන්, පොලිස් නිලධාරීන්, සොල්දාදුවන්, ළමයින් පමණක් නෙවෙයි වැඩිහිටියන් ද ඇතුළත් වුණා.

මිනිස්සු එයාට ආදරය කරන්න පටන් ගත්තා. ඒත් මිනිහා කවුද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. එයාගේ නිර්මාණ හැම රටකටම වගේ පැතිරිලා ගියා. හැමෝම එයා ගැන හොයන්න පටන් ගත්තා. සමහරු කිව්වා බැන්ක්සි කියන්නේ රිදී පාට දත් ඇති, රිදී පාට මාලයක්, කරාබුවක් පැලඳගත්තු අපිරිසුදු විදියට හැඳගත්තු රස්තියාදුකාරයෙක් කියලා. තවත් සමහරු සැක කරන්නේ බැන්ක්සි එංගලන්තයේ බ්‍රිස්ටල් පළාතේ 46 හැවිරිදි රොබින් කනින්හැම් කියන පුද්ගලයා කියලයි. හැබැයි ඒකටත් හේතු තිබ්බා. මිනිහා ඇසුරු කළ සමහර තරුණ ළමයි එක්ක එයා බැන්ක්සි ගැන නිතරම වර්ණනා කළා. රොබින්ටත් නිර්මාණකරණය කජු කනවා වගේ වැඩක්. මිනිහත් graffiti කලාවේ විශිෂ්ටයෙක්.

ඒත් බැන්ක්සි කියන්නේ හරියටම රොබින් ද...? එහෙම නැත්නම් වෙන කවුරුවත් ද..? ඒක අදටත් කවුරුවත් තවම දන්නේ නෑ. එක අතකට ඒක නොදැන සිටීමත් එක්තරා විදියකින් බැලුවම හරි අපූරු වැඩක්.

බැන්ක්සිගේ චිත්‍රවලට විතරක් නෙවෙයි ඇතැම් ප්‍රකාශවලටත් තරුණ පරපුරේ පුදුමාකාර ආදරයක් ඇතිවුණා.

‘අපි හැමෝම දෙපාරක් මිය යනවා. පළමු වතාවේ ඔබ හුස්ම ගැනීම නතර කළ වහාම. දෙවැනි වතාව ඊට මොහොතකට පසුව කවුරුහරි අන්තිම වතාවට ඔබගේ නම කියද්දී...!

‘තාප්පයක් කියන්නේ ලොකු ආයුධයක්. ඔබට පුළුවනි එයින් ඔබේ හතුරා මරා දමන්න..‘

‘මිනිසුන්ට මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. ආහාර, නින්ද, ලිංගික ජීවිතය හා පළිගැනීම...‘

බැන්ක්සි කළාය කියන මෙන්න මේ වගේ පුදුමාකාර ප්‍රකාශ. දැන් දැන් එක්තරා අන්දමක උදාන පාඨ හැටියට තරුණ පරපුර අතර ජනප්‍රියයි.

ආගමට දහමට දැඩි ලෙස භක්තිමත් වුණු එංගලන්තයේ වැඩිහිටියන්ට නම් බැන්ක්සි කියන්නේ සාතන්ගේ පුත්‍රයෙක්. දක්ෂිණාංශික දේශපාලකයන්ට අනුව නම් බැන්ක්සි තරම් විනාශකාරී චිත්‍ර ශිල්පියෙක් තවත් නැති තරම්. හැබැයි එංගලන්තයේ විතරක් නෙවෙයි ලොව පුරා වීදි චිත්‍ර කලාවට ළැදි ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ට නම් බැන්ක්සි තමයි වීරයා.

Comments