පළමු තර­ග­යෙන්ම ලොවම දිනූ කැරො­ල­යින් | සිළුමිණ

පළමු තර­ග­යෙන්ම ලොවම දිනූ කැරො­ල­යින්

අද ඇය ලොවටම රැජනක් නමුත් ඇගේ ලෝකෙම මමයි දරුවයි.‍

ආදරණී සැමියා - දීපාල්

මම අමාරුවෙන් ගිය ඒ ගමනේ ජයග්‍රාහිකාව වෙන්න මට හැකි වුණා. නමුත් මගේ හිස මත පැලඳි මේ කිරුළ මට පමණක් අයිති හෝ මගේ මහන්සියෙන්ම පමණක් ගෙනා දෙයක් නෙමෙයි. මේ තරගයට සහභාගී වෙන්න මට දෙපාරක්ම වීසා ලැබුණේ නෑ. තුන්වැනි පාර තමයි අමාරුවෙන් හදාගත්තේ. ඒ වෙනුවෙන් උපකාර කළ සියල්ලන්ටම මම හිස නමා ආචාර කරනවා. ලංකාවෙන් මෙවැනි තරග නියෝජනය කරන අයට සහාය ලැබෙනවා අඩුයි. ඉදිරියේදී එහෙම වෙන්න දෙන්න එපා. ජාති ආගම් බේදයකින් තොරව අපේ රටට කිර්තියක් අත් කර දීමට උත්සාහ කරන සියල්ලන්ට උදව් කරන්න.“

 

“වසර තිස් පහකට පසු ලාංකේය කාන්තාවක් යළි ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළු පැළැඳුවාය. ‘කැරොලයින් ජූරි’ නම් වූ ඇය මවුබිමට පැමිණිමෙන් පසු එලෙස අදහස් පළ කළේ පැමිණ සිටි සියල්ලන්ගේ දෑස් අඟ මොහතකට කඳුලු කැට පුරවමිනි. 1984 දී ලෝක විවාහක රූ රැජන කිරුළ දිනාගත් රෝසි සේනානායකට පසු නැවැත එම කිරුළ ලක් මව කරා ගෙන එන්නේ කැරොලයින්ය. රටවල් 51 නියෝජනය කළ තරගකාරියන් අබිබවා කිරුළ දිනා ගත් කැරොලයින් එම වේදිකාවේදීම වෛරය හා ආතතිය නිසා පීඩාවට පත් දරුවන් එයින් මුදා ගැනීමට තමන් කැපවනවා යැයි දුන් ප්‍රතිඥාව සියල්ලන්ගේ අවධානයට යොමු විය.

විසිහත් හැවිරිදි කැරොලයින් වෘත්තීයෙන් ඩුබායි හී පෞද්ගලික ආයතනයක ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය. වයස අවුරුදු දෙකක සිඟිති දියණියකගේ ආදරණීය මව වූ ඇගේ ගමනට නිබඳ දිරිය වූයේ ආදරණීය සැමියා නිශාන්ත දීපාල්ය. කැරොලයින්ට කිසි දිනෙක නිරූපිකාවක ලෙස කටයුතු නොකළාය. නමුත් නිරූපණ ක්ෂේත්‍රයටත් එම තරගවලට සහභාගී වීමටත් ඈ තුළ කැමැත්තක් තිබුණි. හා පුරා කියා එසේ ඉදිරිපත් වූ පළමු තරගයෙන්ම ලොව ඉදිරියේ ලාංකේය අභිමානය රඳවන්න තරම් කැරොලයින් වාසනාවන්තියකි.

කැරොලයින් රූ රැජන තරගයකට අයදුම් කිරීමට කැමැත්තක් ඇති වෙන්නේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජන තරගාවලිය ඇරැඹෙන බව දැනගත් පසුය. ඒ සඳහා සිය සැමියාගෙන් ලැබූ සහාය හා අවබෝධය ඇගේ ගමනට මහඟු ශක්තියක් විය. ඒ අනුව ඩුබායි හී සේවය කරමින් සිටි කැරොලයින් ලංකාවට පැමිණියාය. ඇගේ ආශාව සහ කැපවීම නිසාම ලාංකේය විවාහක රූ රැජන ලෙස කිරුළ පලඳින්නට කැරොලයින් සමත් විය. එය ලෝක විවාහක රූ රැජන තරගාවලියට ඉදිරිපත් වන්නට නව බලාපොරොත්තු එක් කළේය. නමුත් එය අභියෝගයක් බව වැටහුණේ එවැනි තරග පිළිබඳ ඇයට අත්දැකීම් ​නොතිබූ නිසාය. නමුත් ඇය දිරිය ගැහැනියකි. තම සැමියාගේ සහායද ඇතිව සිඟිති දියණියගේ සියලු වැඩකටයුතු කරන අතරම තරගය වෙනුවෙන් අපමණ කැපවීම් කළාය. ඇය කොතරම් කැප වුණාද යත් එතෙක් නියැළෙමින් සිටි රැකියාවෙන් පවා සමුගන්න තීරණය කළාය. ඇය ලංකාවට පැමිණ තරගයට සූදානම් වෙද්දි නිවෙසේත්, දියණිගෙත් සියලු වැඩකටයුතු බලාගත්තේ ඇගේ සැමියා සහ ඔහුගේ මවය.

තරගය පැවැත්වීමට දිනකට පෙර කැරොලයින් සමාජ ජාලා වෙබ් අඩවියකට වීඩියෝවක් මුදා හැරියාය. ‘‘මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මාතෘ භූමියයි. මගේ මාතෘ භූමියට ගෞරවයක් ගෙන එන්න මම සූදානමින් ඉන්නවා. මට ගමනට උදව් කළ සියල්ලන්ටම බොහොම ස්තූතිය.’’ යැයි එම වීඩියෝවේ සඳහන් විය.

ඇගේත් ඇයට සුබ පැතූ සියල්ලන්ගේත් යහපත් ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් දෙසැම්බර් 07 වැනිදා රාත්‍රියේ ඇ‍ෙමරිකාවේ ලාස් වේගාස් හි පැවති අවසන් තරගයෙන් ලෝක විවාහක රූ රැජන කිරුළ තම හිස මත පලඳවාගන්නට කැරොලයින් එසේ සමත් වූවාය.

‘‘මගේ බිරිය ගැන දැනෙන්නේ ගෞරවනීය ආඩම්බරයක්, භක්තියක්. ඇය හරිම සාමාන්‍ය ගැහැනියක්, යහපත් බිරියක්, ආදරණීය මවක්. අපේ දරුවාගේ වැඩ කිසිවක් ඇය මගහැරියේ නෑ. උදේම කෑම හදලා, දරුවටත් කවලා ගෙදර වැඩ සේරම කරලයි ඇය වැඩට යන්නේ. අද ලොවටම ඇය රැජනක්. නමුත් ඇගේ මුළු ලෝකෙම මමයි මගේ දරුවයි.“ එසේ පවසන ඔහු සිය බිරිය අද හිස මත දරා සිටින කිරුළට ගිය ඒ ගමනට නිබඳ දිරියක් වෙමින් අද ඇය හා ඒ උතුරා යන සතුට විඳින ආඩම්බරකාර සැමියාය.

 

 

Comments