ජෝ අයියා කියන්නේ නියම ශ්‍රී ලාංකික ගැමියෙක් : ‘සිනමා දිවියේ මගේ පියා ජෝ අබේ­වි­ක්‍ර­මයි’ | Page 2 | සිළුමිණ

ජෝ අයියා කියන්නේ නියම ශ්‍රී ලාංකික ගැමියෙක් : ‘සිනමා දිවියේ මගේ පියා ජෝ අබේ­වි­ක්‍ර­මයි’

අතීත මතකයන් දිගේ නෙක සිහින පෙළින් පෙළ අමුණන ඇය ඔබෙත් මගෙත් සිහින කුමරිය වූවාය. රුවින් උදුල දඟකාර යෞවනියක හා පෙමින් බැඳෙන්නට අප තුළ නොතිත් ආශාවක් වී නම් ඒ ඇය මැවූ සුන්දරත්වයම නොවන්නේදැ විටෙක මට සිතේ. නෙතු පැහැර සිත සොරාගත් සුරූපී සඳවතිය වෙනකෙකු නොව මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සෙනෙහේවන්තියකි. ඒ සෙනෙහස විඳින්නට ගහකොළ සතා සිව්පාවා ද පිං කර ඇති සේය. මා එහි යන විටත් ඇය ඔවුන් හා සම්මුඛව සිටියා ය. සිනා පිරුණු මුව සරසාගෙන ඈ මා පිළිගත්තාය. ඇගේ අතීත මතකයන් එකින් එක පෙළ ගැසී වචන බවට පෙරැළිණි.

 

මට ඉස්සෙල්ලම ජෝ අයියා (ජෝ. අබේවික්‍රම) හම්බ වුණේ “පුංචි බබා” චිත්‍රපටියෙදි. ඒ චිත්‍රපටයේ රගපාන්න පසුබිම හැදුනු විදිය හරිම සුන්දරයි. ඒ කාලේ ගෑනු ළමයින්ට ගෙදරින් පිට කොහේවත් යන්න බැහැ. ඒ වෙද්දි අපේ පවුලේ කිසිම කෙනෙක් සිනමාවට හරි වේදිකාවට හරි සම්බන්ධවෙලා හිටියේ නැහැ. නමුත් මගේ සීයා (මවගේ පියා ඒබ්‍රහම් සිල්වා) නාඩගම් ලියලා පෙන්නපු බව අම්මා කියනවා මට මතකයි. ඒ විදියට සීයා පෙන්නන නාඩගම් ගෙදර අල්ලපු වැටේ තිබුණත් ඒවා බලන්න අවස්ථාවක් අම්මලාට තිබිලා නැහැ. දවසක් අම්මා ආච්චිත් එක්ක ගිහින් සීයට හොරෙන් නාඩගමක් බලලා. සීයට ඒක ආරංචිවෙලා බූවලු කැඩෙනකම් ගැහුව්වලු.

ඒ කාලෙ නාඩගම්වල කාන්තා චරිත රඟපෑවෙත් පිරිමි අය. ඒ විදියට නිදහස සීමා කරපු පරිසරයක තමයි මම හැදුණේ. ඒත් අපේ පාසලේ (කැලණිය ගුරුකුල විද්‍යාලය) නැටුම් උගන්නපු එස්. මලල් මහත්තයගේ අනුදැනුම යටතේ විවිධප්‍රසංගවලට නර්තනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (කැලණිය විශ්වවිද්‍යාලය) ගැහැනු ළමයි හිටියෙ නැහැ. හාමුදුරුවොයි ශිෂ්‍යයොයි විතරයි හිටියේ. ඒගොල්ලො ගුත්තිල නාට්‍ය පෙන්නන කටයුතු කරමින් තිබුණා. ඒ අය එස්. මලල් මහත්තයගෙන් නාට්‍යයේ සුරංගනාවන් විදියට නැටුම් කණ්ඩායමක් ඉල්ලල තිබුණා. ඒකට මටත් සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. මොකද ඒ වෙද්දි සර්ගෙ හොඳම ගෝලය මම. විද්‍යාලංකාරෙ හිටියා එච්. ඩි. වීරසිරි කියලා අපේ පවුලෙ අය දන්න හඳුනන අයියා කෙනෙක්. එයාලා විද්‍යාලංකාරේ නාට්‍ය කලා සංගමයක් හදාගෙන නාට්‍ටියක් පෙන්නන්න පුහුණුවීම් කරමින් හිටියා. ‘රත රත’ තමයි ඒ කලා සංගමයෙන් කරපු පළවෙනි නාට්‍යය. ඒකේ උදුම්බරා දේවියගේ චරිතය කරන්න ගැනු ළමයෙක් හිටියේ නැහැ. දවසක් වීරසිරි අයියා මගෙන් ඇහුව්වා, “අපේ නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන්න ඔයා කැමැති ද“ කියලා. මට අදහ ගන්න බැරි වුණා. ඒත් මං කිව්වා “අම්මගෙන් අහන්න ඕන“ කියලා. “මං අම්මගෙන් අහලයි තියෙන්නේ, ඔයා කැමැතිද? ” කියල. මම ගෙදර ගිහින් අම්මට කිව්වා. අම්මගෙ අකමැත්තක් තිබුණේ නැහැ. ඒත් තාත්තා ඒකට කැමැති වුණේ ම නැහැ. ඉගෙනීම පැත්තෙන් ටිකක් ඉස්සරහට ඇවිත් තිබුණ නිසා එයාට ඕන වුණේ මට හොඳට උගන්වන්න. ඒ වෙද්දි මම විද්‍යා විෂයයන් හදාරමින් හිටියේ. ඒව කඩා කප්පල්වෙයි කියන බයෙ නිසා තාත්තා ටිකක් තදින් හිටියා. ඒත් අම්මා කොහොම හරි තාත්තව කැමැති කරගෙන මට යන්න අවසර දුන්නා.

අම්මා මේ ගැන සීයට කිව්වාම සීයා කියල තියෙනවා “ඒපාර ඒකිව ටීටර්වලටත් ඇරියද? පුළුවන්නම් ඊළඟට බයිස්කෝප්වලටත් ඇරපන්” කියලා. එයාගෙ ලොකු මිනිපිරි නිසා සීයා මට හරිම ආදරෙන් හිටියේ. එයා මම ගෙදරින් එළියට යනවට කැමැති නැහැ. මං කලා කටයුතුවලට සහභාගි වෙනවට මගේ අයියල දෙන්න නම් හරිම ආසාවෙන් හිටියේ. විශේෂයෙන්ම ලොකු අයියා (දයානන්ද ෆොන්සේකා). නංගි ඔයා ගිහින් හොඳට රඟපාන්න කියලා ඒයා මාව දිරිමත් කළා. එතකොට මට අවුරුදු 15ව සම්පූර්ණවෙලා 16යට ලැබුව විතරයි. ‘කැලණි කල්යානි’ කියලා ගමේ තිබුණු රූපසුන්දරිය තේරීමේ තරගයකට මං ඉදිරිපත් වුණා. ඒකෙන් පළමු තැනට පත්වෙලා ගමේ ජනප්‍රිය චරිතයක් බවට මා පත් වුණා. ඉන්පස්සේ ටිකෙන් ටික මා වේදිකාවට එකතු වුණා. මේ අතර සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වගේ වේදිකාවේ දැවැන්තයින් කිහිප දෙනකුගේම වේදිකා නාට්‍යවල කටයුතු කරන්න මට අවස්ථාව හිමි වුණා. ඔය අතරෙ ධර්මදාස ජයවීර සහ එස්. කරුණාරත්න බණ්ඩාර නිර්මාණය කරපු ‘අකල්වැස්ස ‘(1965 දී)වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයෙන් හොඳම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ මට ලැබුණු පළමුවෙනි සම්මානය. එහි මා සමඟ අනෙක් ප්‍රධාන චරිතය රඟපෑවේ සුමන ආලෝක බණ්ඩාර.

හැව්ලොක් ටවුන්වල මේ නාට්‍යය පෙන්වද්දි ඒක බලන්න ජෝ. අබේවික්‍රම, තිස්ස ලියනසූරිය, සුගතදාස මාරසිංහ, ඇන්ටන් අල්විස්, සිසිර සේනාරත්න ඇවිත් තිබුණා. එයාලා ‘පුංචි බබා’ චිත්‍රපටයට උපප්‍රධාන නිළියක් අවශ්‍යවෙලා කෙනෙක්ව හොයමින් ඉඳලා. පස්සේ මං ගැන කොහෙන් හරි ආරංචිවෙලා මගේ රඟපෑම දකින්න ඕන නිසා නාට්‍යය බලන්න ඇවිත් තිබුණා. පස්සෙ ඒ අය අපේ ගෙදරටත් ආවා. ඒත් අද වගේ මාධ්‍ය ඒ කාලෙ නැති නිසා ඒ අය කවුද කියලවත් මා දැනන් හිටියෙ නැහැ. අපේ අයිය මට ඇවිත් කිව්වා ‘‘අන්න ජෝ. අබේවික්‍රම මහත්තය ඇවිත් ඉන්නවා ඔයාව හම්බ වෙන්න” කියලා. මට එච්චර තේරුමක් නැහැ. මොකද ඒකාලේ වෙද්දි අපි එහෙමටයි කියල චිත්‍රපටි බලලත් නැහැ. මම යනකොට අම්මත් එක්ක එයාල කතා කර කර හිටියේ. මං ගියාම ජෝ අයියා ඇහුව්වා, ‘‘අපි කැමැතියි අපේ චිත්‍රපටයේ මාලි කියලා චරිතයක් තියෙනවා ඒකට ඔයාව ගන්න. ඔයා කැමතිද කියලා.” මම ඉතින් දෙගිඩියාවෙන් අම්මගෙ මූණ බලනවා. තාත්තා ගේ ඇතුළේ ඉඳන් කුටු කුටු ගානව. අයියලා දෙන්න නම් එකපයින්ම කැමතියි මාව යවන්න.

පස්සේ අම්මා ගේ ඇතුළට ගිහින් තාත්තව පෙරැත්ත කරල කැමැති කරගෙන ඇවිත් “ හා හොඳයි අපි කැමැතියි” කිව්වා. “එහෙම නම් අපි ඔයාව මේ චරිතයට තෝරගන්නව ඔයාට චිත්‍රපටයෙ රඟපානවට රුපියල් 1250ක් දෙනව” කිව්වා. මට නිකං හීනයක් වගේ. ඒ වෙද්දි රුපියල් 50යි ලොකු මුදලක් විදියට මං දැකල තිබුණෙ. ඒකත් මං වැඩිවියට පැමිණිච්ච වෙලාවෙ සීයා තෑගි දීපු රුපියල් පනහ. මට ඒ වෙලාවෙ නිකං මුදලට ගියාවගේ හැඟීමක් ඇති වුණා. මම කිව්වා “නැහැ, මට සල්ලි ඕන නැහැ. මං ආසාවට රඟපාන්නෙ” කියලා. මට මතකයි එතකොට ජෝ අයියා හිනාවෙලා කියනව ‘‘හරි හරි ඒකට කමක් නැහැ. මීට පස්සෙ ඔයාව චිත්‍රපටිවලට ගන්න කට්ටිය ඒවි. එතකොට ඔයාට ගණන් කියන්න බැරි නම් අම්මට කියන්නකෝ” කියල. පස්සේ ‘‘ඔයාගෙ මේකප් ටෙස්ට් එකක් කරන්න ඕන. ඒකට විජය ස්ටූඩියෝ එකට යන්න ඕන කියලා ජෝ අයියා කිව්වා”. පස්සෙ දවසක් තිස්ස ලියනසූරිය මහත්තයත් එක්ක ඇවිත් ඔස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක දාගෙන මාවයි අම්මවයි විජය ස්ටූඩියෝ එකට අරන් ගියා. මමයි අම්මයි පිටිපස්ස සීට් එකේ හිටියේ. ජෝ අයියා ඉස්සරහ සීට් එකේ ඉඳන් යනගමන් එක එක ප්‍රශ්න අහනවා. වත්තල හරියෙදි විතර “මාලනී මීට ඉස්සෙල්ල ස්ටූඩියෝ එකකට ගිහින් තියෙනවද?” කියල මගෙන් ඇහුව්වා. මම ටිකක් කල්පනා කරල කිව්වා “ඔව්” “ඒ කොහේද?” “ආර්. ටී ස්ටුඩියෝ එකට”. මොකද ලොකු අයියා ඒ දවස්වල ගෙදර ඇවිත් “මං අද ආර්. ටී ස්ටූඩියෝ එකට ගියා. එතන ෆිල්ම් හදනවා” කියල. මම ටක්ගාලා ඒ නම කිව්වා. ඒ වෙනකොට එහෙම තැනක් මං දැකලවත් තිබුනේ නැහැ. ඒත් මට ඕන වුණේ නැහැ; මං ඒවා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියල අඟවන්න. අපි එතනට ගියාම ඇන්ටනී කියලා මේකප් ආර්ටිස්ට් කෙනෙක් හිටියා. එයා මාව මේකප් කළා. ඒ තමයි මගේ පළවෙනි මේකප් ටෙස්ට් එක. මේ මනුස්සයට බොරුවක් කිව්වේ ඇයි කියලා මගේ හිත හරියට වද දුන්නා ඇයි. පස්සේ දවසක මං ගිහින් ජෝ අයියට කව්වා. ‘‘මං එදා කිව්වෙ බොරුවක්. එදා මේකප් ටෙස්ට් එකට ඉන්න කලින් මං කවදාවත් මේකප් ටෙස්ට් එකකට ඉඳල නැහැ” කියලා. “බලාපල්ලා මේකි පටන් ගන්නකොටම බොරුවක් කියලනෙ පටන් අරන් තියෙන්නේ ” කියලා. හරිම විහිළුවෙන් තහළුවෙන් තමයි එයා වැඩ කළේ.

ජෝ අයියත් එක්ක සෙට් එකේ එකට වැඩ කරන එක හරිම විනෝදයි. මට මතකයි අපි දවසක් රූගත කිරීම් වගයකට ගැමි පළාතකට ගියා. ජෝ අයියා කොහේ ගියත් ඒ පළාත පුරාම කරක්ගහලා ඒ වටාපිටාව ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නවා. එක පැත්තකින් අපිටත් ඒක ලොකු ආරක්ෂාවක්. නන්නාඳුනන පළාතකට ආවම කවුද කින්ද මන්ද දන්නෙ නැහැනෙ. ඊට පස්සේ එයත් ඒ පළාතෙම කෙනෙක් බවට පත්වෙනවා. ඉතිං එදා එයා එහෙම ඇවිදින ගමන් ඒ පැත්තේ ගෑනු උදවිය එක්ක ටිකක් වැඩිපුර කතා කර කර ඉඳපු බව; ජෝ අයියත් එක්ක ඇවිදින්න ගිය සෙට් එකේ කෙනෙක් අපිට ඇවිත් කිව්වා. ‘‘ආව් ආව් මෙහෙන් පෙළවහක් කරගන්න වගේ කල්පනාව” කිය කියා අපිත් විහිළු කළා. ටිකක් වෙලා යන කොට ගමේ ගෑනු උදවිය එක එක කෑම ජාති හදාගෙන එනවා. හැමෝම ‘‘මේවා හරිම ගුණයි නෝනා, මේ කාලෙට කන්න” කිය කිය කෑම ගෙනත් දෙනවා. පොඩි දරුවොත් වෙරළු ලොවි එක එක ඇඹුල් ජාති ගෙනත් දෙනවා. මට හිතා ගන්න බැහැ ඇයි කියලා. ජෝ අයියා ගමේ ගැනුන්ට ළංවෙලා මොකක්ද කියල තියෙන්නෙ කියලා පස්සෙ තමයි මං දැන ගත්තේ. “මාලනිට බබෙක් හම්බ වෙන්න ඉන්නවා. එයා හරිම ආසයි ගමේ කෑමවලට” කියලා. මෙයාගෙ කතාවට රැවටිලා ඒ ගෑනු උදවියත් එක එක ජාතියේ කෑම හදාගෙන ඇවිල්ලා.

මම රංගනය ගැන හුඟක් දේවල් ඉගෙන ගත්තේ ජෝ අයියගෙන්. මං ඉස්සෙල්ලම පෙම්වතියක් විදියට රඟපෑවේ ජෝ අයියත් එක්ක. ජෝ අයිය කියන්නේ හරිම දුර්ලභ ගතිගුණ තියෙන හරිම ගුණයහපත් මනුෂ්‍යයෙක්. ඔහු අපේ සිනමවට පහළ වෙච්ච මහාර්ඝ සම්පතක්. ඒ කාලේ ඉන්දියානු සිනමාවේ බලපෑමත් එක්ක සිනමාව සඳහා තෝරගත්තෙ හැඩකාර, කෙස් ගහක්වත් හෙල්ලෙන්නෙ නැති නළුවෝ. නමුත් ඒ හැමෝම පරයා ජෝ අයියා ඉදිරියට ආවා. ඒ එයා තුළ තිබිච්ච විශිෂ්ට රංගන හැකියාව නිසයි. හොඳ නළුවෙක් වෙන්න කඩවසම්කම විතරක් මදි හොඳ රගපෑමක් තියෙන්නත් ඕන කියන මතය ප්‍රචලිත වෙන්නේ ඔහුගේ රංගනය නිසා. ඒ නිසා මෙරට සිනමාව එතෙක් පැවති මඟ වෙනස් මගකට යොමු කරන්න පුරෝගාමී වෙච්ච පුරෝගාමී නළුවෙක් විදියට තමයි මම ජෝ අයියව දකින්නේ.

ඔහු මුලින්ම සිනමාවට එකතු වෙන්නේ හා‍ෙස්‍ය­ා්ත්පාදක රංගන ශිල්පියෙක් විදියටයි. ඔහු ගේ හා‍ෙස්‍යාත්පාදක රංගනය වුණත් වෙනස්ම රංග විධික්‍රමයක්. ඔහු සිනමාවට එන්න කලින් හාස්‍යෝත්පාදක රංගන ශිල්පින් කියල අපි දැකපු අයගෙ රංගනයයි ඔහුගේ රංගනයයි හාත් පසින්ම වෙනස්. ඔහු හාස්‍ය මතු කිරීම සඳහා යොදා ගත්තේ වෙනස්ම ශෛලියක්. ඒක ඔහුටම අනන්‍ය වූවක්. ඒ සඳහා ඔහු යොදාගත්තේ ගැමි ශාන්තිකර්මවල ආභාසය කියල මට හිතෙනවා. අනෙක් අතට ජෝ අයියා කියන්නේ නියම ශ්‍රී ලාංකික ගැමියෙක්.

අනික ඔහු කොහේවත් ගිහින් රංගනය හැදෑරු අයෙක් නෙමෙයි. ඒ වුණත් ඕන මූඩ් එකක ඉඳල අදාළ චරිතයට අවතීර්ණ වෙන්න පුදුම හැකියාවක්; දක්ෂකමක් ඔහු සතුව තිබුණා. ඒක මහා පුදුම දක්ෂකමක්, ඩී.බී නිහාල්සිංහ මහතා අධ්‍යකෂණය ‘වැලිකතර’ චිත්‍රපටයෙ ගෝරින් මුදලලාලිගේ චරිතය අරන් බැලුවොත්, අතිවිශිෂ්ට රංගනයක්. එදා ඔහුගේ ප්‍රතිවාදියා වුණ වික්‍රම රන්දෙනියගේ චරිතය නිරූපණය කළේ මේ විශිෂ්ට රංගන ශිල්පියකු වූ ගාමිණි පොන්සේකා මහතා යි. ඔහුට නොදෙවෙනි වෙන්න ජෝ අයියා ගෝරිං මුදලාලිගේ චරිතය ඉතාම දක්ෂ ලෙස රඟපෑවා. මං හිතන්නේ ඔහුගේ නළු භූමිකාවේ හැරවුම් ලක්ෂය ‘වැලිකතර’.

ඔහු වගේ කලාකරුවන් අපේ රටේ හරිම විරලයි. මගේ සිනමා දිවියේ පියා ලෙස මම සලකන්නේ කාවද කියලා කෙනෙක් මගෙන් ඇහුව්වොත් මම දෙවරක් නොසිතා කියන්නේ ඒ ජෝ අබේවික්‍රම නම් අතිවිශිෂ්ට කලාකරුවා කියලයි. 

 

Comments