චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය වීමේ ක්‍රම­වේ­දය ගැන මගේ සතු­ටක් නැහැ : ‘සුනාමි’ චිත්‍ර­ප­ටයේ නිෂ්පා­දිකා ජන­ප්‍රිය නිවේ­දිකා ‍ෙර්ණුකා බාල­සූ­රිය | සිළුමිණ

චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය වීමේ ක්‍රම­වේ­දය ගැන මගේ සතු­ටක් නැහැ : ‘සුනාමි’ චිත්‍ර­ප­ටයේ නිෂ්පා­දිකා ජන­ප්‍රිය නිවේ­දිකා ‍ෙර්ණුකා බාල­සූ­රිය

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සමනල තටු, සිරි පැරකුම්, බින්දු, සරිගම, සුනාමි සහ ප්‍රසන්න ජයකොඩිගේ සංකාරා චිත්‍රපටයේ නිෂ්පාදකවරිය ඇයයි. කුසපබා, සෙවණැලි, තණ්හා රති රඟා, දැවෙන විහඟුන්, තුන්පත් රෑන ආදි චිත්‍රපට සඳහා නිෂ්පාදන දායකත්වය දුන් ඇය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියයි. එපමණක් නොව වැඩිම ආදායම් වාර්තා තැබූ සිරි පැරකුම් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සූරිය අරණ වැඩිම අන්තර් ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපට ගණනාවක නිෂ්පාදිකාව වූයේ ද ඇයයි. දෙසැම්බර් 26 වැනිදා සිට තිරගත වීමට නියමිත සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටයේ නිෂ්පාදිකාව ලෙස නැවතත් අප හමුවට පැමිණෙනු ඇත. මේ කතාබහ රේණුකාගේ නවතම චිත්‍රපටය ගැනයි.

ඔබ නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය නැරඹූ විට හැඟී යන්නේ විශාල පිරිවැයක් ඒ සඳහා ආයෝජනය කර තිබෙන බවයි. නිෂ්පාදිකාව ලෙස ඔබ එම අභියෝගයට මුහුණ දුන්නේ කෙලෙසද?

සෝමරත්නගේ මූලික අරමුණ වූයේ සුනාමි ව්‍යසනයේ බිහිසුණු ස්වභාවය ප්‍රේක්ෂකයා තුළ තාත්විකව ජනනය කිරීමටයි. ඒ තාත්වික දර්ශන රූගත කිරීමට පමණක් නොවෙයි චිත්‍රපටය පුරා තිබෙන සියලුම දර්ශනවල තාත්විකත්වය රඳා පැවැත්වීමට විශාල මුදලක් ආයෝජනය කිරීමට සිදුවුණා. එය රුපියල් ලක්ෂ 1300ක් වගේ විශාල මුදලක්. පුස්තකාල දර්ශන භාවිතා නොකර විශාල පිරිවැයක් යොදවා සුනාමි දර්ශන පෙළ රූගත කළේ. මේ විශාල මුදල මට දරාගන්නට නොහැකි නිසා මහජන බැංකුව, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වගේ ආයතනවල ණය මුදල් ලබාගෙනයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. 2015 චිත්‍රපටය රූගත කිරීම ආරම්භ කළේ. සෝමරත්න මුදල් පිරිමසාගෙන නිර්මාණය ‍කරන කෙනෙක් නොවෙයි. එසේ වුවහොත් නිර්මාණය අසාර්ථක වන බව ඔහු හොඳින් දන්නා නිසා ඔහුගේ නිර්මාණවලට වැය වන මුදල පාලනය කළ නොහැකියි.

ඔබ සුනාමි නිෂ්පාදනය කළේ අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්කගත කරගෙනද?

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට පමණක් සුනාමි නිෂ්පාදනය කළ යුතු යැයි මම සිතුවේ නැහැ. ඉන් ඔබ්බට ගොස් අන්තර්ජාතික වෙළෙඳපොළටත් සරිලන අන්දමින් මේ නිර්මාණයට දායක වීමයි මගේ සහ අධ්‍යක්ෂවරයාගේ අරමුණ වුණේ. එයට හොඳම නිදසුන ලෙස සුනාමි රළ පෙළ නගන දර්ශන පෙළ ඉතා අසීරුවෙන් සහ මහා කැපවීමෙන් අධ්‍යක්ෂවරයා නිර්මාණය කළේ එහි තාත්වික බව රඳවා ගන්නට. මාධ්‍ය දර්ශනය නැරඹූ ඇතැමුන් පැවසුවා එම දර්ශන අප මුහුණ දුන් සත්‍ය සුනාමියක් ලෙස ඔවුන්ට දැනුණු බව. විශාල මුදලක් වැය කිරීමට සිදුවුණේ ඒ තාත්වික දර්ශන පෙළ රූගත කිරීමටයි.

මෑතකදී නව නිර්මාණකරුවන් විසින් බිහි කළ ඇතැම් නිර්මාණ වාණිජ හෝ සම්භාව්‍ය හෝ වේවා ඉතා ආකර්ෂණීය, ගුණාත්මක මට්ටමින් පැවතුණා. නමුත් අපට හිතෙනවා නිෂ්පාදකයා අධ්‍යක්ෂවරයා බලාපොරොත්තුවූ ආකාරයට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ නැහැ වගේ හැඟීමක්. එය ඔබටත් අභියෝගයක් නේද?

ගෝලීයකරණය සමඟ විශ්වයීය සන්නිවේදනයේ විශාල පෙරළියක් සිදුවුණා. රසවින්දනය පිණිස සිනමා ශාලාවට, වේදිකාවට එන ප්‍රේක්ෂකයෝ අද ක්‍රමයෙන් ඈත්වෙලා. ‍ෙහ්තුව ස්මාට් ෆෝන් එක ඔවුන් ඉල්ලන දේ ලබාදෙන නිසා විය හැකියි. මුහුණු පොත, සමාජ වෙබ් අඩවි නොමැති යුගයක සෞන්දර්යයට, රසවින්දනයට චිත්‍රපටයක්, නාට්‍යයක්, සංගීත ප්‍රසංගයක් නැරඹීම පොතක් පතක් කියවීම වර්තමානයේ ගිලිහී ගොසින්. සියල්ල උඩුයටිකුරු වී තිබෙනවා. ස්මාට් ෆෝනය තුළින් සියල්ල ඉටුකර දෙන නිසා සිනමා ශාලාවලට එන ප්‍රේක්ෂක පිරිසේ යම් අඩුවක් තිබෙනවා. ඒත් සෝමේ අධ්‍යක්ෂණය කළ අපේ චිත්‍රපට නම් කවදාවත් ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කළේ නැහැ.

චිත්‍රපට ප්‍රදර්ශනය වීමේ ක්‍රමවේදය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

නැහැ. කර්මාන්තය තුළ විධිමත් ප්‍රදර්ශන ක්‍රමවේදයක් නොමැතිවීම චිත්‍රපට ප්‍රදර්ශනයේ අසාර්ථකත්වයට බලපානවා.

චිත්‍රපටයක් නරඹන්නට ප්‍රේක්ෂකයා පැමිණෙන්නේ චිත්‍රපටය පිළිබඳ ලැබෙන ප්‍රචාරය මතයි. රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය සඳහා රූපවාහිනි නාළිකාවල තත්පර 30ක ගුවන් කාලයට ලක්ෂ 5ක් අය කරනවා. ප්‍රේක්ෂකයා විවිධ නාළිකා නරඹනවා. ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට නාළිකා පහකවත් දැන්වීම් ප්‍රචාරය කළ යුතුයි. චැනල් පහක දැන්වීම ප්‍රචාරය කළොත් දිනකට ලක්ෂ 25ක් වැය කළ යුතුයි. චිත්‍රපටයක් ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීමේදී දිනකට ලක්ෂ 25ක ආදායමක් ලබාගත නොහැකියි.

අනිත් කරුණ චිත්‍රපටයක් මුදා හැරීමෙන් පසු දිනකට ලැබෙන ආදායමෙන් නිෂ්පාදකට ලැබෙන්නේ 1/3 පමණයි. ශාලාවට 1/3 සහ චිත්‍රපට බෙදා හැරීමේ අංශයට 1/3 ලබාදිය යුතුයි. නිෂ්පාදකවරයා ආයෝජනය කරන මුදලට සාධාරණයක් ඉටු නොවන්නේ නම් නිෂ්පාදකවරයා නිර්මාණවලට මුදල් ආයෝජනය කරන්නේ නැහැ. එසේ වුණොත් කර්මාන්තය රැ‍ඳේවිද? තර්ක විතර්කවලින් පලක් නැහැ. සුදුසු විසඳුමක් වැඩපිළ‍ිවෙළක් දියත් කර කර්මාන්තය රැක ගත යුතුයි. ‍

වර්තමානයේ චිත්‍රපට ප්‍රදර්ශන කාලසීමාවල වෙනසක් ඇති කිරීම රසිකයන් චිත්‍රපට ශාලාවට රැගෙන ඒමට බාධාවක් කියා ඔබ සිතනවාද?

ප්‍රදර්ශන වේලාවේ වෙනසක් ඇති කිරීම සාර්ථක පියවරක් නොවෙයි. එකම වහල යට චිත්‍රපට ශාලා කිහිපයක් තිබෙන මැජස්ටික් සිටි, ගෝල්ෆේස් 1 වැනි (Multiplex) ස්ථානවලට මේ ක්‍රමය ගෝචර වුණත් එක සිනමා ශාලාවක චිත්‍රපට 3ක් නැරඹීම සඳහා කාලය වෙන් කිරීම සුදුසු නැහැ. එක සිනමා ශාලාවක චිත්‍රපට 3ක් ප්‍රදර්ශනය වුවහොත් නිෂ්පාදකවරුන් තිදෙනාටම සිදුවන්නේ අසාධාරණයක්. ගෝලීයකරණය තුළ මේ නව ප්‍රවණතාවය විදෙස් රටවල දක්නට ලැබුණත් එය කොතරම් දුරට ලංකාවට ගෝචරදැයි සිතා බැලිය යුතුයි. ඇතැම් චිත්‍රපට දවසින් දෙකෙන් ගැලවීමට මෙයත් එක්තරා හේතුවක් යයි මම විශ්වාස කරනවා.

සුනාමි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කරන්නේ ඔබගේ පුත් විශ්වා බාලසූරිය. ඔහුගේ හැකියාව තුළ ඔබ සහ අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් වෙනවාද?

සෝමේ ඥාති සබඳතාවලට ප්‍රමුඛස්ථානය දෙන කෙනෙක් නොවෙයි. ඔහු අවස්ථාව දෙන්නේ දක්ෂයන්ට පමණයි. හේතුව ඥාති සබඳතා මත පිරිස චිත්‍රපටවලට දායක කර ගැනීමෙන් නිර්මාණය අසාර්ථක වෙනවා.

ප්‍රසන්න ජයකොඩිගේ සංකාරා චිත්‍රපට‍ෙය් විශ්වා කැමරාකරණය කළා. උදාර අබේසේකරගේ සෙවණැලි චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් පුතා ඇමරිකාවේ සම්මානයකට පවා පාත්‍ර වුණා. සෝමේ පුත‍ාගේ හැකියාවන් පිළිබඳ විමසලා තමයි ඔහුගේ ‘සරිගම’ චිත්‍රපටයේ කැමරාකරණයට පුතාට දුන්නේ.

වෘත්තියෙන් නිවේදිකාවක් ලෙස කලා ජීවිතය ඇරඹූ ඔබ අද වෘත්තියෙන් නිෂ්පාදිකාවක්. පැමිණි ගමන පිළිබඳ ආපසු හැරී බැලීමක් කළොත්?

මම තවමත් නිවේදන කටයුතු නතර කරලා නැහැ. ජාතික ලොතරැයියේ මහජන සම්පත වැඩසටහනේ මම නිවේදන කටයුතු කරනවා. සෝමරත්න දිසානායක මගේ සැමියාගේ නිර්මාණ සියල්ලන්ටම නිෂ්පාදන දායකත්වය දුන්නේ මම. නිවේදිකාවක් ලෙස දිගු ගමනක් යාමට අවකාශ නිෂ්පාදිකාවක් ලෙස නොලැබී ගියත් සිනමා කර්මාන්ත‍ෙය් උන්නතිය පිණිස චිත්‍රපට 16ක් සඳහා නිෂ්පාදන කාර්යයට අත ගැසීමට ලැබීම ගැන මම අද අවංකවම සතුටු වෙනවා. 

 

Comments