කලි­ගි­යුලා රංගනය අම­තක නොවන මත­ක­යක් | සිළුමිණ

කලි­ගි­යුලා රංගනය අම­තක නොවන මත­ක­යක්

ගංගා ජීවනී වැලිවත්ත වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එක්වන්නේ රංජිත් ධර්මකීර්තිගේ ‘මේඝ‘ වේදිකා නාට්‍යයෙනි. පසුව ඔහුගේම ‘මෝදර මෝල‘ ,රොජර් සෙනෙවිරත්න ගේ‘ පස්වැන්නා‘, ප්‍රසන්න ජයකොඩිගේ ‘සෙවණැලි සහ මිනිස්සු‘, සමන් පුෂ්ප ලියනගේ ‘මැක්බත්‘ ,නලින් මාපිටිය ගේ ‘සංහිඳියාව‘, තනුජ් අනවරත්න ගේ ‘හෙට කළුවර නෑ‘ ,ධනංජය කරුණාරත්නගේ ‘ජූරිය‘, හා ‘තනියාමය‘ ,කපිල කුමාර කාලිංගගේ ‘බැංකු වීරයා‘, ආදී නාට්‍ය ගණනාවක ප්‍රධාන භූමිකා නිරූපණය කළ ඇය ඇල්බෙයා කැමූගේ ‘කලිගියුලා‘ ආචාර්ය ජගත් බංඩාර විසින් අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනයෙහි ප්‍රධාන ස්ත්‍රී භූමිකාවට පණ පොවයි. ඇය වේදිකාව රූපවාහිනිය මෙන්ම සිනමාවේ ප්‍රශස්ත වූ නිර්මාණහි නියැළෙන චරිතාංග රංගන ශිල්පිනියකි. මේ මස 15වැනි සවස 6.30 මරදාන එල්ෆිස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිත ‘කලිගියුලා‘ නාට්‍යය පිළිබඳ ඇය හා යෙදුණු පිළිසඳරයි මේ.

‘කලිගියුලා‘ මේ දිනවල වේදිකාගත වෙනවා. ඔබ එහි ප්‍රධාන චරිතය වන සිසිලියා ට පන පොවනවා ඒ චරිතය ගැන කෙටියෙන් කතා කළොත්?

මේ නාට්‍යය ඇල්බෙයා කැමූගේ පිටපතකට අනුව පරිවර්තනය වී වේදිකාවට නිර්මාණය කරන්නේ ආචාර්ය ජගත් බණ්ඩාර. මෙහි නාට්‍ය අත්දැකීම දාර්ශනික ප්‍රවේශයකින් ගොඩනැගෙන්නක්. කලිගියුලා සීසර් පරම්පරාවේ රාජ්‍යත්වය තුළ සාකච්ඡා වන චරිතයක්. නාට්‍ය අත්දැකීම ඉතාමත් සංයමයකින් ගොඩනැඟුණු සම්භාව්‍ය රීතිය ඉල්ලා සිටින නාට්‍යයක් විදිහටයි හඳුනාගන්න ලැබෙන්නේ. රාජ්‍යත්වය හා රාජ්‍ය පාලනය හා සම්බන්ධ පාලකයකුගේ මිනිස් චෛතසිකය විශ්වීය දෘෂ්ටියකින් සාකච්ඡාවන නාට්‍යයක් කලිගියුලා ලෙස දිගහැරෙන්නේ.

මෙම නාට්‍ය සමඟ ඔබ සම්බන්ධ වීම දෛවෝපගත කාරණයක් වනවා?

ඔව්. මා නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ප්‍රවීණ රංගවේදී රොජර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ ‘පස්වැන්නා‘ නාට්‍ය මේ පිටපත ආශ්‍රයෙන් ගොඩනැගුණු නාට්‍යයක්. එම නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායක වන්න මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය සඳහා නිර්දේශ වීමටත් යෞවන සම්මාන උලෙළ විශිෂ්ටතා සම්මානයක් හිමි කරගන්නටත් මට හැකි වුණා. එම නාට්‍යයේ රඟපෑ බොහෝ ශිල්පීන් අද ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිර්මාණකරුවන් වීමත් අමතක කරන්න බැහැ.

අතීතයෙන් වර්තමානයට ආවොත් මේ නාට්‍ය අත්දැකීම දැන් ඔබට දැනෙන්නේ කොහොමද?

කොළඹ ප්‍රධාන රංග ශාලාවල වගේම පහුගිය දවසක පෙරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයෙත් මෙය වේදිකා ගත වුණා. උසස් ප්‍රමිතියකට ගොඩනැගුණු මෙම නාට්‍ය අපේ වේදිකා නාට්‍යය පෙම් බඳින ප්‍රේක්ෂකයින්ට කාලෙකට පසුව නැරැඹීමට ලැබෙන අත්දැකීමක් කියලා මට විශ්වාසයි.

කලිගියුලා ගේ භූමිකාව නිරූපණය කරන්නේ ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි. කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය?

ජෙහාන් නාට්‍ය ක්ෂේත්‍රයට ආධුනිකයෙක් නොවේ. ඔහු කාලයක පටන් වේදිකාවේ ජව සම්පන්නව වැඩ කරන තරුණයෙක්. මේ චරිතය ඔහු ඉතාමත් ගැඹුරින් ග්‍රහණය කරගත් බවයි සහෝදර රංගන ශිල්පිණියක් විදිහට මට හැඟෙන්නේ. විටෙක ඔහු මේ චරිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා සමඟ ඔහුට දැනෙන අසීරුතා පිළිබඳ කතා කළා. ඒ තරමටම මානසිකව සූදානම් විය යුතු වෙහෙසකර ප්‍රබල චරිතයක්. අලුත් පරම්පරාවේ රංගන ශිල්පීන් අතර මෙවන් චරිතයකට ඇත්තටම ඔහු වඩාත් උචිතයි කියලා මට හිතෙනවා. ඒ වගේම ඔහුගේ චරිතයත් සමඟ නාට්‍ය පුරා කටයුතු කරන්න වන්නේ මාහටයි. එහිදී ඔහු සමඟ කටයුතු කරන්න ලැබීම මට පහසුවක් වුණා. සහෝදරත්වයෙන් කාලයක් සිට දැන හඳුනන කෙනෙක් නිසා මගේ රංගනයටත් ඔහුගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

කලිගියුලා නාට්‍යය නිර්මාණය කරන්නේ ජගත් බංඩාර ඔහු සමඟ කටයුතු කරන්නට ලැබීම රංගන ශිල්පිනියක් විදිහට පහසු කටයුත්තක් වුණාද?

ජගත් සමීපතම මිතුරෙක්. ඔහු වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගතව සිටි අවධියකයි නාට්‍ය පිළිබඳ කතාබහ අපි අතර ඇති වන්නේ. අධ්‍යක්ෂවරයෙක් විදියට ඔහු සමඟ වැඩ කිරීම පහසු නැහැ. ඔහුට අවශ්‍ය අර්ථ මතුකර ගන්නට නළු නිළියන් උපරිම අයුරින් මෙහෙයවන්න ඔහු කටයුතු කරනවා. මෙහි පුහුණුවීම් වසරකට ආසන්න කාලයක් අපි සිදුකළා. ඔහුගේ කැපවීම හා ඔහුගේ දැක්ම නාට්‍ය පුරා විශේෂයෙන් අප දකිනවා. ඒ වගේම නාට්‍යයෙහි දාර්ශනික පසුබිම ඔහු නිරන්තරයෙන්ම සියලු දෙනා සමඟම සාකච්ඡාවක දෙනවා. මා වේදිකා නාට්‍ය තුළ වැඩ කළ අසීරුම අධ්‍යක්ෂකවරයා විදිහට හඳුන්වන්න පුළුවන්.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

සමීපම ප්‍රතිචාර තමයි මගේ දියණියන් ගෙන් ලැබෙන ප්‍රතිචාර. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වියේ පසුවෙන ඒ දෙදෙනා බොහෝ නිර්මාණ රසවිඳින අය. බොහෝවිට ඔවුන් සෑම නිර්මාණයකම අඩුලුහුඩුකම් දකිනවා. නමුත් මෙම නාට්‍ය ඔවුන් නැවත නැවතත් බලන්න මට ඇවිටිලි කරනවා. ඒ වගේම නාට්‍යය නැරඹූ බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැක්වූවා. කලකට පසුව මෙවැනි නාට්‍යයක් වේදිකාව තුළ දකින්නේ. එයත් විශේෂයි.

වේදිකා නාට්‍යයක ප්‍රබල චරිතයක් නිරූපණය කිරීම රංගන ශිල්පිනියකට ලැබෙන විරල අවස්ථාවක්?

ලෝක නාට්‍ය කලාව තුළ සුවිශේෂී නාට්‍යයක් විදිහට කලිගියුලා නාට්‍ය හඳුන්වන්න පුළුවන්. මෙහි මුල් නිෂ්පාදනයේ දී මා කෑමු පිළිබඳ හෝ සාන්දෘෂ්ටිකවාදය පිළිබඳ හෝ ගැඹුරු කියවීමක සිටියේ නැහැ. ඒ දවස් වල රොජර් අයියා කලිගියුලා චිත්‍රපටය බලන්නට පවා මට එපා කියලා තිබුණා. ඒ තරමටම ඒ චරිතය තිබුණු සංකීර්ණභාවය මගේ ඒ වයසට අවබෝධ කරගන්න නොහැකි බව ඔහු තේරුම් ගෙන තිබුණා. මෙවර ජගත් අලුතෙන් නාට්‍ය පරිවර්තනය කර ගොඩනගන නිෂ්පාදනය වඩාත් පරිණත තලයකින් දකින්න ලැබූ අත්දැකීම් හා හැදෑරීම් තුළ පහසු වුණා. වේදිකාවේ ශිල්පිනියකට මෙවැනි විරල අවස්ථාවක් ලැබෙන්නේ ඔබ කිව්වා වගේ ඉතාමත් කලාතුරකින්. මේ චරිතය රඟපාන්න පෙර මූලික කතාබහේ දී මම අධ්‍යක්ෂවරයාට කිව්වේ මේ චරිතය රඟපෑමෙන් පසු මට වේදිකාවේ තවත් රඟපෑමට අවශ්‍ය නොවන බවයි. ඒ තරමටම සම්පූර්ණ චරිතයක්. ඒ නිසා කලිගියුලා නාට්‍ය මගේ රංගන ජීවිතයේ අමතක නොවන මතක සටහනක්.

Comments