අපි කව­දා­වත් ගීත­යක් ප්‍රචා­රය කර­වා­ගන්න මුදල් දුන්නේ නැහැ | Page 2 | සිළුමිණ

අපි කව­දා­වත් ගීත­යක් ප්‍රචා­රය කර­වා­ගන්න මුදල් දුන්නේ නැහැ

විටෙක ඈ මා වෙනුවෙන් එක කඳුළක් හෙළන්න යැයි ගැයුවාය. තවත් විටෙක මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි යනුවෙන්ද ගැයුවාය‍. ලක්ෂ්මන් විජේසේකර සමඟ ප්‍රේම සීමා මාලකේ තනි වීම ගැනද ගැයූ ඈ රසික හද පත්ලටම මියුරු ගීත රැසක්ම තිළිණ කළ ප්‍රවීණ ගායිකා විශාරද නිර්මලා රණගුංග නම් වෙයි. ප්‍රවීණ තබ්ලා වාද්‍ය ශිල්පී විජේරත්න රණතුංගගේ ප්‍රිය බිරිය වූ ඈ, මල්කාන්ති නන්දසිරි සහ නිරංජලා සරෝජිනී යනු එක කුස උපන් සහෝදරියෝ ද වෙයි. මේ නිර්මලාගේ නවතම වගතුගයි.

 මුලින්ම කියන්නකෝ ඔබේ නවතම තොරතුරු ගැන?

මේ දවස්වල වෙනදා වගේම හරිම කාර්යබහුලයි. සුපුරුදු විදිහට මගේ සංගීත පන්ති කරගෙන යනවා. එහි ළමයි මේ දිනවල සංගීත විභාග සඳහා සූදානම් වෙනවා. ඒ නිසා මම ඊට උපරිමයෙන් ඒ දරුවන්ට මඟ කියා දෙනවා. විශාරද විභාගයට පෙනී ඉන්න දරුවන්ටත් එහෙමයි. මගේ සංගීත පන්තියේ ඉගෙන ගන්න ළමයි එක්ක ගත කරනව ිට කාලය යනවා තේරෙන්නේ නැහැ. පුදුම ආත්ම තෘප්තියක් ඉන් ලැබෙනවා. ඊටත් අමතරව මම සුපුරුදු විදිහට ගීත ගායනා කිරීමේ කටයුතු කරනවා. ඒ වගේම ගායනා තරගවල විනිශ්චය කටයුතුවලටත් මම දායකත්වය දක්වනවා.

ඔබ කරන සංගීත විනිශ්චය කටයුතු ගැන ටිකක් පැහැදිලි කළොත්?

අපේ රටේ විවිධ ගායනා තරග පැවැත්වෙනවානේ. ඒවා රූපවාහිනී හෝ ගුවන්විදුලි නාළිකාවලින් විතරක් නෙමෙයි, වෙනත් ආයතන මට්ටමින් පවා පැවැත්වෙනවා. රූපවාහිනියෙන් කළ ‘මුතුහර‘ ළමා ගායනා තරගය, පසුගිය වසරකදි ලෝක ළමා දිනය වෙනුවෙන් අයි ටී එන් නාළිකාවෙන් කළ තරගය මා විනිශ්චය කළ වැඩසටහන් කිහිපයක්.මේ දවස්වල ‘දෙරණ‘ නාළිකාවේ ‘ඩීම් ස්ටාර්‘ ලිට්ල් ස්ටාර්‘ වගේම ‘ෆිෆ්ටි ප්ලස්‘ ගායනා තරගයේත් විනිශ්චය කටුයුතු කරනවා.

වැඩිහිටියන්ගේ ගායනාවලට විනිශ්චයන් ලබාදීම අපහසු කාරණාවක් නෙමෙයිද?

අනේ නැහැ. හොඳ හැකියාවක් තිබෙන අය ඒ අතර ඉන්නවා. ඒ අයගේ හැකියාවන් ගැන රටට කියන්න තිබෙන අවස්ථාවන් හරිම අවමයි. ඒ නිසා ඒ අයටත් ඒක හොඳ අවස්ථාවක්. අනික තරඟයක් කියන්නේ දිනුම පැරදුම දෙකම තිබෙන තැනක්. හිත නොරිදෙන අයුරින් අඩු පාඩු කියලා දුන්නාම ඒ අය ඒක පිළිගන්නවා.

ඔබ වැනි ගායිකාවන් අද බිහිවෙනවා හරිම අඩුයි. ඒයට හේතුවක් තිබෙනවාද?

ජනප්‍රිය නොවී ප්‍රසිද්ධ වෙන්න ගියොත් ඔය තත්ත්වය ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් දැන් දැන් තත්ත්වය අවබෝධ කරගෙන ගමනක් යන බවකුත් පෙනෙනවා. වෙනදාට වඩා දරුවන් කුඩා කාලයේදීම සංගීතයට යොමුවීමක් දකින්න ලැබනවා. එය ඇත්තටම සුභවාදී ලක්ෂණයක් බව කිව යුතුමයි. එලෙස කුඩා අවධියෙන්ම දරුවන් සංගීතය හැදෑරීමට යොමුකිරීමෙන් අනාගතයේ හොඳ පිරිසක් බිහිවේවි. වෙ‍ෙළඳ අරමුණු පස්සේම නොයා අසන්නාට, නරඹන්නාට හොඳ යමක් දෙන්න මාධ්‍යත් වගබලාගත යුතුයි. අපි මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමක් කරලා. ඒ සඳහා ඉවසීමෙන් කාලයක් බලන් හිටියා. ඒ වගේ දේවල් නිසා අපි අතින් බිහිවුණෙත් හොඳ දේවල්. ඒවා කාලයක් පවතින නිර්මාණ බවට පත්වෙලා. එයින් අපිව රැකෙනවා.

ඔබේ ගීත අතරන් තවමත් අසන්නට ලැබෙන්නේම පැරණි ගීතමයි. ඇයි නව නිර්මාණ නොකරන්නේ?

අලුත් ගීත මා ගායනා කරලා තිබෙනවා. ඒවාට මුදල් වියදම් කළෙත් මා නෙමෙයි. බ්‍රිගේඩියර් ලක්ෂානන්ද සිල්වා ලියපු මහින්ද බණඩාර සංගීතවත් කරපු ලස්සන ගීතයක් කළා ළඟදි.

ඈත් වෙලා ඔබ යන්න හදනවද.. ඔහොම තමයි ජීවිතේ හැටී..

තනි මඟ ආ ඔබ දෙදෙනකු වී අද.. සුසුම් හෙළන හැටි හිතට මදී... තමයි එහි මුල් පද ටික. වෛද්‍ය දුමින්ද හඳපානාගොඩ ලියපු ඔබ මා හමුවුණු මුල් දිනයේ කියන ගීතයත් ඒ වගේ ලස්සන ගීතයක්. තවත් ලස්සන ගී නිර්මාණ රාශියක් මා කළා. ඒ වගේ ගීත නාළිකාවලට දුන්නත් ඒවා ප්‍රචාරය නොකර අපේ පැරණි ගීත තමයි ප්‍රචාරය කරන්නේ. අපි කොතරම් හොඳ නිර්මාණ කළත් ඒවා රසිකයන්ට අහන්න විදිහක් නැතිවෙලා අද. ඒක නිර්මාණවලට වගේම රසිකයාට කරන අසාධාරණයක්.

මේ තත්ත්වයට වගකිවයුත්තේ ගුවන් විදුලි නාළිකාද?

එහෙම හැමෝම කියලා කියන්න බැහැ. ඉස්සර ගුවන් විදුලියේ හොඳ රසයක් තිබෙන නිවේදක නිවේදිකාවෝ හිටියා. හැම අංශයකම ගුණාත්මක බවක් තිබුණා. ඒ අය අපේ අලුත් ගීත අහගෙන හොයාගෙන ආවා. ඒ අය බොහොම අවංකව තමන්ගේ කාර්යය කළා. අපි කවදාවත් ගීතයක් ප්‍රචාරය කරවාගන්න මුදල් දුන්නේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ අතර ඇතැම් අය හොඳ දෙයක් කරන්න උත්සාහ කිරීමත් පැසසිය යුතුයි.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඔබ දකින්න නැහැ වැඩිපුර. එයට හේතුවක් තිබෙනවාද?

මම එළිමහන් ප්‍රසංගවලට වැඩිපුර සහභාගී වුණේ නැහැ. නමුත් ගෘහස්ථ ප්‍රසංගවලට එදාත් අදත් සහභාගී වෙනවා. ගෘහස්ථ ප්‍රසංගයක ගීත ගායනා කිරීම තුළ ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළයි. ඉඩක් ඇති වෙලාවක එළිමහන් ප්‍රසංගවලටත් තෝරා බේරාගෙන සහභාගි වෙනවා.

ඔබේ දියණිය සෙව්වන්දි රණතුංගත් දැන් ගායිකාවක්. නමුත් ඇය වැඩිපුර ගායනා කරන්නේ ඔබේ සොයුරිය නිරංජලා සරෝජිනීගේ ගීත. ඒ ඇයි?

නිරංජලා නංගීගේ සැමියා අබේවර්ධන බාලසූරිය මිය ගිය පසුව දැන් ඇය ගීත ගායනා කරන්නේ නැහැ. ඉස්සරම දවසක නිරංජලා නංගි සහභාගී වුණු ප්‍රසංගයකදි සෙව්වන්දිටත්, අනුරාධා නන්දසිරිටත් ආරාධනා කළා පුංචිගේ ගීත ගයන්න කියලා. දෙන්නම එහිදී හොඳට ගායනා කළා. රසිකයොත් ඊට කැමති වුණා. නිරංජලාත් කැමති වෙලා එයාගේ ගීත ඉදිරිටත් ගායනා කරන්න කිව්වා. නමුත් දුව එයාගෙම ගීත නිර්මාණය කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. මගේ ගීතත් ඇය ගායනා කරනවා.

ඔබත් සමඟ දිවි ගමනේ ආ අත්වැල මීට කලකට ඉහතදී බිඳුණා. ඒ ගැන මොන වගේ හැඟීමක්ද අද ඔබට ඇති වෙන්නේ?

මගේ සැමියා සංගීත ක්ෂේත්‍ර ප්‍රවීණ තබ්ලා වාදකයෙක් පමණක් නෙමෙයි සංගීත නිර්මාණ ශිල්පියෙක්ද වුණා. ඔහු විජේරත්න රණතුංග. එයාගේ වැඩවලට ප්‍රධාන තැන දීලා තමයි මගේ සංගීත වැඩ සිදු වුණේ. මීට අවුරුදු 08 කට කළින් ඔහු අප අතරින් වියෝ වුණා. සියලු දේවල් අස්තිරයි ඉතිං. මට මතකයි ඔහු අසනීප වෙලා රෝහලේ ඉන්න විටත් මම බලන්න ගිය විට ඔහු අහනවා මගෙන් ‘ඇයි මෙහෙම එන්නේ ඔයාගේ පන්ති වැඩ කරන්න. ඒවා නොබලා ඉන්න එපා‘ කියලා.සෙව්වන්දි දුව එයා වෙනුවෙන් ඔහුගේ ආගම අනුව දානයක් දෙනවා සෑම වසරකදිම. මමත් මගේ ආගම අනුව ඔහු ගැන සිහිපත් කරනවා. ඔහු නැති වීම මට විශාල පාඩුවක් වගේ දුකක්. 

Comments