පත්ත­ර­කා­ර­යකුට ස්වාධීන වෙන්න අමා­රුයි | සිළුමිණ

පත්ත­ර­කා­ර­යකුට ස්වාධීන වෙන්න අමා­රුයි

 

 

 “ගිනි අවි සහ ගිනි කෙළි“ පාතාල ලෝකය පිළිබඳ ලියැවුණ කෘති අප කියවන්නට වුයේ මීට කලකට පෙර ය. නමුදු අද ද මේ කෘතිවලට සමාජයේ යම් ඉල්ලුමක් ඇත්තේය. දිගු කාලයක් තිස්සේ රටින් බැහැරව සිටින ගිනි අවි සහ ගිනි කෙළි කෘතියේ කර්තෘ මාධ්‍යවේදී අනුර හොරේෂස් මහතා මේ දිනවල ලංකාවට පැමිණ සිටි. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

 

ඔබ පුවත්පත්වලින් ඈත් වුණත් තවමත් ඔබ පුවත්පත් කලාව ගැන උනන්දුයි නේද?

මම පුවත්පත්වලින් ඈත් වී වසර නවයක් පමණ වෙනවා. නමුත් මම විදේශයක හිටියත් මා නියැළුණ මාධ්‍ය ගැන මම තාමත් උනන්දුයි. සාමාන්‍යයෙන් මාධ්‍ය කලාව ඇතුළේ පත්තරකාරයෙක්ට ස්වාධීන පවතින්න බැරිකමක් තියෙනවා. මම මේ බව කියන්නේ මා ලබා තිබෙන අත්දැකීම් එක්ක. මම පුවත්පත් කලාවට යොමු වී අවුරුදු හතළිහක් පමණ වෙනවා. නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට සත්දින, ඉරිදා, විජය ළමා පුවත් පත් වල මා සේවය කළා. 1983 වර්ෂයේ දිවයින පුවත්පත ආරම්භ කරද්දි මටත් එහි කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. එය තමයි පත්තර කලාවට පිවිසි අපේ ජීවිත අලුත් කළේ. එහි දී අපට මුණගැහෙනවා අපේ රටේ ජනප්‍රිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ව. ඔවුන්ව ඇසුරු කරන්නට ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ගාමිණි සුමනසේකර, දයාරත්න රණසිංහ, මෙරිල් පෙරේරා, උපාලි තෙන්නකෝන් ආදි වු ජ්‍යෙෂ්ඨයෝ ඇසුරේ වැඩ කරන්නට ලැබෙනවා. මේ අය අප හඳුනාගෙන තිබුණේ සිළුමිණ පත්තරයෙන්. ඔවුන් දැවැන්ත සමාජ මෙහෙවරක් කළ අය. ඔවුන් අපට ආලෝකයක් වුණා අපේ ගමන් මඟ හදාගැනීමට. ඔය කාලේ රටේ තිබුණේ ඉතාම අනාරක්ෂිත, භිෂණයක් තිබුණේ. මට මතකයි දයාසේන ගුණසිංහ මහතා කතුවැකියක් ලිව්වා අරාජික රටක් කියලා. එහි ප්‍රතිඵලය වුණේ ඉරිදා දිවයින නියෝජ්‍ය කර්තෘ වුණ ගුණසිංහ මහත්තයාට කිසිම වැඩක් නොපැවරුණ කෙනෙක් බවට පත්කිරීම. එය වුණේ රජයේ බලපෑම් මතයි. මෙන්න මෙවැනි අත්දැකීම් නිසයි මම කියන්නේ පුවත්පත් කලාව ඇතුළේ පත්තරකාරයෙක්ට ස්වාධීන වෙන්න අමාරුයි කියලා.

 

ඔබ පාතාලය ගැන ලියන්න ගත්තෙත් මේ කාලයේ නේද?

ඔය කාලේ තමයි කොළඹ කොම්පඤ්ඤ විථියේ නම් දරාපු කුඩුකාරයෙක් වුණ ඩේලූ ඝාතනය කරන්නේ. මෙයට රටේ ඉහළ ම ඇමැතිවරයකුගේ නමක් ඈඳිලා තිබුණා. එඩ්මන් රණසිංහ මහත්තයා කර්තෘ මණ්ඩල රැස්වීමේදි ඇහුවා කාටද මේ ගැන ලියන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ චන්ද්‍රසිරි කටුදෙණිය කිව්වා ඔය වැඩේ අනුරට කරන්න පුළුවන් කියලා. ඒ තමයි ආරම්භය. එතැනින් ආරම්භ වූ ගමන සෝඩා බෝතලේ මූඩිය ඇරියා වගේ පාතාල ලෝකය ගැන අනාවරණය කරමින් ලිපි ලියන්න ගත්තා. පොලිසියේ ඉහළ ම නිලධාරියෙක් ප්‍රශ්න කරන්න ගත්තා පාතාල ලෝකයක් කොහෙද තියෙන්නේ කියලා. පාතාල ලෝකය කියන වචනය ප්‍රචලිත වුණේ ඉන් පස්සේ. දිගින් දිගටම පාතාලය ගැන ලියන්න ගත්තාම පාර්ලිමේන්තුවේ පවා මේ ගැන කතා කළා. මගේ ජීවිතයටත් යම් යම් තර්ජන එල්ල වුණා. දේශපාලනයෙන්, පාතාල ලෝකයෙන් නාඳුනන තුවක්කු කරුවන්ගෙන් බලපෑම් තිබුණා. අපේ මාධ්‍යවේදීන් ඔය කාලයේදී ඝාතනය කෙරුණා. එක්කෝ පහැර ගැනීම් වලට ලක් වුණා. එවැනි වාතාවරණයක් තියාගෙනත් මම ලිව්වා.

 

ඔබ නියෝජනය කළ යුගයත් අද මාධ්‍යවේදියා නියෝජනය කරන යුගයත් වෙනස්. නමුත් අදත් පාතාල ලෝකය පිළිබඳ ලිපි ලියැවෙනවා. ඔබ මෙහි වෙනසක් අඩුවක් දකිනවාද?

එදව සිදු වූ දේ අදත් වෙනවා. අද එදාට වඩා වැඩියෙන් අපරාධ සිදුවෙනවා කියලා මට හිතෙනවා. නමුත් නුතන අය මේවා ගවේෂණය කරනවා අඩුයි කියලා හිතෙනවා. මට හිතෙන්නෙ ඔවුන්ට නිසි මෙහෙයවීමක්, අධ්‍යයනය කිරීමක් නැහැ කියලා. අද අපේ කාලෙට වඩා මාධ්‍ය ගැන ඉගෙන ගන්න තියෙනවා. නමුත් අත්දැකිම් බහුල, ගුරුහරුකම් ගන්න, පළපුරුදු මාධ්‍යවේදීන්ගේ අඩුවක් තියෙන බවයි මට හැගෙන්නේ. අද බොහෝ විට වෙන්නේ මාධ්‍ය ආවරණ මිස ගවේෂණාත්මකව තොරතුරු සෙවීමෙන් කරන ලියැවිල්ලක් නොවෙයි.

 

ගිනි අවි සහ ගිනි කෙළි කෘති නැවතත් මුද්‍රණය වෙලා?

ඔව් වසර ගණනකට පසුව නැවත මේ පොත් මුද්‍රණය කෙරුණා. අන්තර්ජාලය ඔස්සේ බොහෝ පාඨකයෝ පොත ගැන විමසන්න ගත්තා. එ් නිසයි සරසවි ප්‍රකාශකයෝ මේ පොත නැවත මුද්‍රණය කළේ.

 

ඔබ තවදුරටත් පුවත්පතින්, ලේඛනයෙක් ඈත් වී ද සිටින්නේ.?

යම් යම් හේතුන් නිසා මම ලංකාවෙන් ගියේ. ඒ ගිය ගමනේදි මට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා. නමුත් අද වන විට මම හොඳ ස්ථාවරත්වයක ඉන්නවා. ඒ කාලයේ මගෙන් ලිවීම මඟහැරුණා. මම මේ දිනවල අලුත් චිත්‍රපට තිරපිටපතක් ලියනවා. ඒ වගේම මම අපෙ රටේදී මෙන්ම ඔස්ට්‍රේලියාවේදී ලැබූ අත්දැකිම් ඇසුරෙන් පොතක් ලියනවා. මම ඒ රටේදී රැකියාව කළාට යම් යම් දේශනවලට සහභාගි වෙනවා; මම තාමත් දැනුම සොයනවා; ලෝකය ගැන අලුත් වෙනවා. මට දැනුණ දෙයක් තමයි අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහට වඩා ලෝකයේ මිනිස්සු හිතන විදිහ වැඩියි කියලා. දවසක් මම ගියා මානව හිමිකම් පිළිබඳ පැවැත්වෙන දේශනයකට. ඒ වෙලාවේ අප කිහිප දෙනෙක් කතාබහ කරමින් හිටියා. අප සමඟ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන කොට කලිමක් ඇදගෙන ටීෂර්ට් එකක් ඇදලා රැවුල වවාගෙන හිටිය කෙනෙක් කතා කරමින් හිටියා. ඒ කතා බහ යන අතරතුර නිවේදකයා ඇවිත් දේශනය පටන් ගන්න බව කියා දේශකයාට ආරාධනය කළා. ඒ වෙලාවේ අප සමඟ සිටි රබර් සෙරෙප්පු දාගත්ත කොට කලිසම සහ ටීෂර්ට් ඇදි මහත්මයා ගිහිල්ලා දේශනය කරන්න ගත්තා. එත් අපේ රටවල් වල තවමත් මිනිස්සු හිතන පතන විදිහ වෙනස්. මම හිතන්නේ අපේ රටේ මිනිස්සු ආකල්පවලින් වෙනස් වෙන්න ඕන යුගය දැන් එළැඹිලා තියෙනවා. මොන රටක හිටියත් මම මගේ රටට ආදරෙයි. පුවත්පත් කලාවට මම තාම ආදරෙයි. 

Comments