කත්මන්ඩු පදක්කම්ලාභීන් ආණ්ඩුවට දුන් පණිවිඩය | සිළුමිණ

කත්මන්ඩු පදක්කම්ලාභීන් ආණ්ඩුවට දුන් පණිවිඩය

ශ්‍රී ලාංකිය ක්‍රිඩක ක්‍රිඩිකාවන් එක් තරගාවලියකදී ජවන හා පිටිය තරගවලදි ලද විශාලතම පදක්කම් ගොන්න ලබාගත් 13වන දකුණු ආසියානු ක්‍රිඩා උලෙළ “සාග්“ පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී නිමා විය. එහිදි ඉන්දියාව රන් පදක්කම් 174ක් ද රිදී පදක්කම් 93ක් ද ලෝකඩ පදක්කම් 45ක්, සමස්ත පදක්කම් 312ක් ලබාගනිමින් ප්‍රථමස්ථානය හිමිකරගත් අතර නේපාලය රන් පදක්කම් 51ක් ද රීදි පදක්කම් 60ක් ද ලෝකඩ පදක්කම් 95ක් ද, සමස්ත පදක්කම් 206 ලබාගනිමින් දෙවන ස්ථානය හිමකරගැනීමට සමත් විය. විශිෂ්ට දක්ෂතාවන් දැක් වු මැතිව් අබේසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම් 40ක් ද රීදී පදක්කම් 83ක් ද ලෝකඩ පදක්කම් 128ක් ද සමස්ත පදක්කම් 251 ලබාගනිමින් එදා මෙදා තුර ක්‍රිඩා තරගාවලියකදි දිනා ගත් විශාලම පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කියමින් තුන්වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

රටවල් හතක් වෙනුවෙන් රන්පදක්කම් 317ක්, රීදී පදක්කම් 317ක් හා ලෝකඩ පදක්කම් 481 පිටුපස හඹා ගිය 2500 කට අධික දකුණු ආසියාතික ක්‍රිඩක ක්‍රීඩිකාවන් බොහොමයක බලාපොරොත්තු සඵල විය. තවත් සමහරුන්ගේ බලාපොරොත්තු බලාපොරොත්තු පමණක්ම විය. තවත් කිහිප දෙනෙකුට පිටියටවත් පිවිසිමට නොහැකි විය. ඒ කෙසේ වෙතත් 13වන දකුණු ආසියා තරගාවලිය නිමාවී ඇත. සත්කාරක නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින හා පාකිස්තානය එක් ධජයක් යටතට වු 13 වන දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලිය දිහා ආපසු හැරී බලන විට අපට පසක් වන එක් කරුණක් ඇත. එනම් සමස්ත දකුණු ආසියාවම ක්‍රීඩාවට ඇති නැඹුරුවයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද පසක් කර ඇති දක්ෂතා ගැනත් අගය කළ යුතුය. නිමා වු තරගාවලියේදී අපට හැඟී යන්නේ කළ හැකි දේ බොහෝයි ඒ වගේම කළයුතු දේ බොහෝයි කියයි.

13 වන දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 564ක් නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා තරග බිමට ප්‍රවිශ්ට විය. සහභාගි වු තරගකරුවන්ගේ ගණනට සරිලන හරි අඩකට කිට්ටු සංඛ්‍යාවක් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රිඩක ක්‍රඩිකාවන් සමත් විම මෙවර තරගාවලිය තුළ දැක ගත හැකි වු විශේෂ සිදුවීමයි. එමෙන්ම සමස්ත මලල ක්‍රිඩා ඉසව් වලින් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගැනිමද සුවිශේෂි ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ නායකත්වයෙන් තරගාවලිය නියෝජනය කළ අතර කණ්ඩායම් ප්‍රධානී ලෙස හෑන්ඩ්බෝල් සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් දම්පත් ප්‍රනාන්දු තරගාවලියට එක් වීය. කණ්ඩායම් නායකයා ලෙස තම කාර්යභාර්ය නොපිරිහළා ඉටුකළ මැතිව් අබේසිංහ පිහිනුම් ඉසව් වෙනුවෙන් සමස්ත තරගාවලියට වෙන්ව තිබූ රන් පදක්කම් 38කින් රන්පදක්කම් 7ක් දිනාගැනිමට සමත් විය.මැතිව් අබේසිංහ එපමණකින් නොනැවතී තමාගේ නමින් ලියවී තිබු දකුණු ආසියානු වාර්තාව සමකිරිමට ද සමත් විය. ඔහුට ගිලිහි ගියේ මීටර් 4 x 200 නිදහස් ආර කණ්ඩායම් පිහිනුම් ඉසව්වයි. එම පිහිනුම් තරගයේ රිදී පදක්කම දිනා ගැනිමට මැතිව් අබේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2016 වසරේදී ද රන්පදක්කම් 7ක් දිනාගත් මැතිව් මෙරට විශිෂ්ටම පිහිනුම් ශූරයකු ලෙස දක්ෂතා දැක්වු ජුලියන් බෝලිං තබා තිබු දකුණු ආසියානු තරගාවලියකදී එක් ක්‍රිඩකයෙකු දිනාගත් රන්පදක්කම් 06ක වාර්තාවද බිඳ හෙලීමට සමත් විය. මැතිව් මේ වන විට ඒ හපන්කම දෙවතාවක් තම නම ඉදිරියේ සටහන් කරගෙන සිටී.

තමන් නියෝජනය කළ තනි පිහිනුම් ඉසව්වන්ගෙන් රන් පදක්කම් 6ක් දිනාගත් මැතිව් මෙවර සාග් තරගාවලිය නියෝජනය කරමින් ප්‍රථමයෙන් සහභාගී වුයේ මීටර් 200 නිදහස් ආර ඉසව්වටයි. එම ඉසව්වෙන් රන් පදක්කම් ගමන ඇරැඹු මැතිව් මීටර් 100 සමනල ආර, මීටර් 100 නිදහස් ආර, මීටර් 50 නිදහස් ආර, මිටර් 50 සමනල ආර, මීටර් 4 x100 මිශ්‍ර ආර (ප්‍රමුඛ අකලංක පීරිස්, ස්ටෙෆාන් පෙරේරා හා කවින්ද්‍ර නුගවෙල යන කණ්ඩායම සමග)හා මීටර් 200 මිශ්‍ර ආර යන ඉසව්වන්ගෙන් රන් පදක්කම් දිනා ගැනිමට සමත් විය.

මැතිව් රනින් බැබළවු ශ්‍රී ලංකාවට අනගි සහායක් ලබාදුන්නේ ධිල්ෂි කුමාරසිංහයි. ඇය රන්පදක්කම් තුනක් දිනාගැනිමට සමත්වූවා. ඇය මීටර් 400, මීටර් 800 හා 4 x 400 සහාය දිවිමේ තරග ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත්වූවා.

13වන දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් බැබලවීමේ පෙරගමන් කරු වුයේ එන්. පී.ඩී. රනුක ප්‍රභාත්ය. ‘තයිකොන්ඩෝ පුමිසේ‘ කේවල ඉසව්වෙන් තරග වැදුණු රනුක පළමු රන් පදක්කම දිනාගැනිමට සමත් විය. වයස අවුරුදු 17 – 23 අතර වයස් කාණ්ඩයෙන් ‘පුම්සෙ‘ තරග කරමින් ඉසුරි සුහාරා දෙවන රන් පදක්කම දිනාදිමට සමත් විය. ටයිකොන්ඩෝ වයස අවුරුදු 23න් පහළ යුගල තරග ඉසව්ව නියෝජනය කළ නිශ්ශංක ජයසිංහ හා ක්‍රිෂාන්ත විරසිංහ දෙදෙනා තෙවන රන් පදක්කම දිනා දිමට සමත් විය.

“ වුෂු තියජි ජියැන්‘ තරග ඉසව්වෙන් රන් පදක්කමක් දිනා දීමට තිළිණ ගුණසේකර සමත් වු අතර කි.ග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලිමේ තරග ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු වයි. ඩී. ඉසුරු කුමාරද ශ්‍රී ලංකා රන් පදක්කම් එකතුවට රන් පදක්කමක් එක් කිරීමට සමත් විය.

එසේ ඇරැඹෙන ශ්‍රී ලංකා ගමන් මග වේගයෙන් ජයටැඹ කරා රැගෙන යෑමට මලල ක්‍රීඩක ක්‍රිඩිකාවෝ සමත් වුහ.

කණගාටුවට කරුණ නම් මෙම රන් පදක්කම් ගොන්නට තවත් රන් පදක්කම් කිහිපයක් එක් කිරිමට තිබූ අවස්ථාව අපගෙන් ගිලිහී යෑමයි. ඒ අපගේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම ඩෙංගු උණ රෝගය වැලැඳීමයි.

ශ්‍රි ලංකා කණ්ඩායම සමග ‘සාග්‘ තරගාවලියට ගිය වෛද්‍ය ලාල් ඒකනායක බී.බී.සී. නේපාල සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගිවන ක්‍රිඩක ක්‍රිඩිකාවන් කිහිපදෙනෙකුට ශ්‍රි ලංකාවේදි ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බවයි. එසේ අසාදනය වු ක්‍රිඩක ක්‍රිඩිකාවන් නේපාලයේ කත්මන්ඩු අගනුවර “ බිලූ ක්‍රෝස්“ පෞද්ගලික රෝහලට ඇතුළත් කරනු ලැබ ති‍බුණී. එයින් තිදෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබුණත් එක් ක්‍රීඩකයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඔහු පවසා තිබුණේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක්ද දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණී.

මුලින්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පෙරනිමිති පහළ කළේ ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ඩෙංගු වැලැඳී ඇතැයි තහවුරු විමත් සමගයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට යාබද සුගතදාස ක්‍රීඩා හෝටලයේ නේවාසික පුහුණුව ලබමින් සිටියදි මෙම තත්ත්වයට ගොදුරු වි ඇත. ක්‍රීඩා වෛද්‍ය ලාල් එ්කනාකය බී.බී.සී. සේවය සමග පැවැති සංවාදයේදී අදහස් දක්වමින් පවසා සිටියේය.

“අශ්වයා ඉස්තාලෙන් පැන ගොස් ඇත. දැන් ඉස්තාලය වසා තැබීමට පියවරගෙන ඇත.ක්‍රිඩක ක්‍රීඩිකාවන් ගැන මීට වඩා අවධානයක් යොමු කිරිමට බලධාරින් කටයුතු කල යුතුය. තමන් තමන්ගේ මඩිය තර කර ගැනිම සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා නොදිම පිළිබඳ ගැටලු මතුව ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් නොසලකා හැර කටයුතු කිරිම කනගාටුදායකය. රෝගයක් වැලැඳීම, රෝගයකට ගොදුරු විම සාමාන්‍ය දෙයක් නමුත් විශේෂයෙන් කලාපිය ක්‍රීඩා තරගාවලියක් ආසන්නයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඩෙංගු වැනි වසංගත වෛරස් රෝගයකට ගොදුරු විම බැහැර කළ හැකි කරුණක් නොවේ. පහසුකම් සහිත නවාතැන් නිලධාරින්ට වෙන් කර ගෙන අඩු පහසුකම් සහිත තැන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත සපයා ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාට වැඩ කිරිමට හැකි කාලය මාස කිහිපයක් වුවත් මෙවැනි දැ සොයා බැලිම සඳහා එකි කාලය පවා යෙදවීම අනාගතයට වැඩ දායක විය හැකිය. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛස්ථානය දෙන වැඩ පිළිවෙළකට අත ගැසිම මෙකී ජයග්‍රහණයට පවා රුකුලක් වනු ඇත. තවත් ක්‍රීඩා තරගාවලියක් අත ළඟට පැමිණි විට ක්‍රිඩක ක්‍රීඩිකාවන් ටොරින්ටන් හෝ සුගතදාස ක්‍රිඩාගාරවල ගාල් කිරිමෙන් ඔබ්බට යන වැඩ පිළිවෙළකට අත ගැසීම අනාගතය පිළිබඳ සිහින දකින්නන්ට සුබ අනාගතයකට දොරගුළු විවර වනු ඇත.

Comments