අයාලේ යන්නන්ගේ කෙළිබිම ගලේවත්ත පුදබිම වූ කතාව | සිළුමිණ

අයාලේ යන්නන්ගේ කෙළිබිම ගලේවත්ත පුදබිම වූ කතාව

- දෙසැම්බර් මාසේ ඈත පළාත්වලින් ඇවිත් සරුංගල් සැණකෙළි තියනවා 
- පන්ති යනවා කියලා කොල්ලෝ කෙල්ලෝ ආවේ මේ ගල්තලාවට
- ගායක අමරසිරි පීරිස්ගෙන් ගලේවත්තට පන්සලක්

“මෙතැන ඉඳලා ත්‍රීවිල් එකක තමා යන්න වෙන්නේ... ඔය කියන තැනට වාහනයකින් යෑම අපහසුයි.” කොටියාකුඹූර නගරය පසු කර අරුග්ගම්මන දක්වා ගිය අපට ගලේවත්තට යන්නට මඟ ඇසු විට කෙනෙකු කීවේ එසේය. ගමනට මඟ පෙන්වන්නා වූ සමන්ත ඔහුගේ ත්‍රීවීලයෙන් අප හා ගනේවත්තට යන්නට ඉදිරිපත් විය. අතරමඟදී හමුවූවන් කී කතාව ඇත්තක් බව වැටහුණේ ඒ දුෂ්කර මඟේ යන අතරතුරය. කවුරුත් දන්නා බෝගල පතල පිහිටා ඇත්තේද අරුග්ගම්මන ගම්මානයේය. අප ගලේවත්තට යමින් සිටියේ බෝගල පතලට යන්නට පෙර හමු වන අතුරු පාරකිනි.

“ඉස්සර මේ පාරේ මෙහෙම යන්න බෑ. යාන්තම් අඩිපාරක් වගේ තමයි තිබුණේ. මේ පැත්තට වාහන එන්නේ යන්නේ කලාතුරකින්. ගමේ මිනිස්සු මේ දුර පයින් තමයි එන්නේ.”

සමන්ත ගමන අතරතුරදී ගම ගැන කියන්නට විය. ගමන දුෂ්කර වුවද ගහකොළ පිරුණු පරිසරය සොඳුරුය.

“මෙන්න මෙතැන තමයි තැන.”

සමන්ත ත්‍රීරෝද රථය නතර කෙරුවේ විශාල ගල්තලාවක් ඉදිරියේය. ගල්තලාව පහළ සිට ඉහළ බැලු විට දක්කට ලැබුණේ අලුතින් ඉදි කෙරෙමින් පවතින විහාර මැඳුරකි, ඝණ්ටාර කුලුනකි. බෝධිඝරයකි. ඒ උදෑසනත් ගැමියෝ යුහුසුලුව යම් යම් කාර්යන්හි නියැළෙමින් සිටියහ.

“මේ බිම අක්කර පහළොවක් විතර තියෙනවා. ඒ පහළොවම වගේ තියෙන්නේ කළුගල. කලකට ඉස්සර කවුදෝ ඇවිත් කළුගල බලලා, දිරන ගලක් තියෙන්නේ කියලා ඒ අය යන්න ගියා. අපි නම් සතුටු වෙනවා ඒක එහෙම වේච්ච එක ගැන.”

ගල්තාව මත එහෙ මෙහෙ ඇවිදින අප පසුපසින් ආ ගැමියෙක් පවසන්නට විය. එය සැබැවින්ම අපූරු සොඳුරු බිමකි. කළුගල් තලාවේ එක් කෙළවරකට ගිය විට කෑගල්ල කඩුගන්නාව ආදි ප්‍රදේශ දිස්වේ.

“හොඳටම අව්ව පායලා තිබුණොත් මේ වගේ උදේට සිරිපාදය පෙනෙනවා. මේ පරිසරය බොහෝම ලස්සනයි. එත් පහුගිය කාලේ මේ ගල්තලාව නැති නාස්ති වෙන්න ගියේ. මේ තැන ගැන දැන ගත්ත සමහරු මෙතැනට පාටි දාන්න එනවා. ඒ ආවාම හැමතැනම වීදුරු බෝතල් ප්ලාස්ටික් දාලා යනවා. අපේ ගම්වල අය නම් මෙතැනට එන්නේ නැහැ. පන්ති යනවා , ඉස්කෝලේ යනවා කියලා ගැනු ළමයි කොල්ලොත් එක්ක මේ කැලෑවට එනවා. කොහොම හරි එක දවසක් පොලිසියෙන් ඇවිල්ලා ඒ වගේ තරුණ ජෝඩුවක් අත්අඩංගුවට ගත්තා. ගමේ අපිට හරි කරදරයක් වෙලා තිබුණේ. ඔහොම ඉන්න අතර තමයි අපි සමන්ත මල්ලිට කිව්වේ ගල්තලාවේ බුදුපිළිමයක් තිබ්බොත් හොඳයි නේද කියලා. ඒකට ගමේ හැමෝම කැමති වුණා.“

නිලන්ති සේපාලිකා පවසන්නේ මල් පාත්ති සකසන අතරේය.

සොඳුරු පරිසරයේ සොඳුරු බව රැකගන්නට ගැමියන්ට ඇත්තේ දැඩි උවමනාවකි. මිනිසුන් විසින්ම වනසා දමන්නට ඉඩ තිබූ මේ බිම රක්ෂා කරන්නට ඉදිරිපත් වූයේ ප්‍රවීණ ගායනවේදි අමරසිරි පීරිස් මහතාය. අභිනවයෙන් ඉදිකැරෙන විහාරස්ථානය පිළිබඳ අපට අදහස් දැක්වූයේ අරුග්ගම්මන විහාරස්ථානයේ විහාරාධිපති අරුග්ගම්මන විමලරතන ස්වාමීන් වහන්සේය.

“අපේ මේ විහාරස්ථානයට කෝපිගොල්ල, ගලේවත්ත, පහළගම, උඩගම යන ගම්මාන අයිතියි. මේ ගමත් පන්සලත් ආරම්භ වෙලා තියෙන්නේ බෝගල පතල් කර්මාන්තය ඇරඹුණාට පස්සේ. පතලේ වැඩට ආපු ඇත්තෝ මේ ගමේ පදිංචි වෙලා තියෙනවා. මුල්ම කාලේ ගෙවල් පහක් හයක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ගලේවත්ත රජයට අයිති සමාගම් ඉඩමක්. ඒ කාලෙ ඉඩම් නැති අයට ගමේ ඉඩම් බෙදාදීලා තියෙනවා. 1977න් පස්සේ වගේ තමයි ගමේ මිනිස්සු පදිංචි වෙලා තියෙන්නේ. 

පහුගිය කාලෙම ඔය ගල්තලාවට විවිධ අය ආවා ගියා. ඒ විනාශය නතර කර ගන්න ක්‍රමයක් නැතිව අපි හිටියේ. ඒ වගේම ඔතැන අනතුරුදායක තැනක්. නන්නාඳුන ගෑනු ළමයි පිරිමි ළමයි එනවා. ජීවිත හානි වෙන්න පුළුවන්. ඒ වගේම බොන්න අය එනවා. අපි කල්පනා කළා මේ පරිසරය වෙනස් කරන්න පුළුවන් ආගමික පරිසරයක් නිර්මාණය වුණොත් කියලා. සමන්ත තමයි අමරසිරි පීරිස් මහත්මයාට ඒ ගැන කියලා තිබුණේ. මෙතැන බුද්ධ මන්දිරයක් හදමු කියන එක මුල් යෝජනාව වුණත් එතුමා මෙහෙ ආවට පස්සේ ඒ තීරණය වෙනස් වෙලා තිබුණා. ඉන් පස්සේ තමයි මෙතැන අංග සම්පුර්ණ විහාරයක් ඉදි කරන්න ඔහු තිරණය කළේ. මේ පුද බිම මෙවර පෝය දවසේ විවෘත කැරෙනවා. බෝධීන් වහන්සේ රෝපණය කිරීමත්, බුදුපිළිම වහන්සේට නේත්‍රා තැබීමත් එදිනම සිදුවනවා.”

විමලරතන හිමි පවසන්නේ ගමට සෙත සැලසූ කාට කාටත් පින්දෙමිනි.

ගලේවත්තේ කළුගල් තලාව අද පුදබිමක් වුවද මීට වසර ගණනාවකට පෙර සිට එය දෙසැම්බර් විසි පස් වැනිදාට සැණකෙළි භුමියකි. ඒ රටේ නන්දෙසින් පැමිණෙන මිනිසුන් මේ ගල්තලාව සරුංගල් පිටියක් කරගත් බැවිනි.

“ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ පන්සල හදන්න මුල් ගල තිබ්බට පස්සේ තමයි දෙසැම්බර් මාසේ මිනිස්සු එන එක නතර කෙරුණේ. ඊට කලින් අවුරුද්දේ අපි මෙතැන දෙසැම්බර් විසි පහ කවි බණක් කියෙව්වා. ඊට කලින් අවුරුද්ද වෙනකම්ම විවිධ පළාත් වලින් මිනිස්සු එනවා සරුංගල් යවන්න. ලොකු සරුංගල් හදාගෙන බස් වලින් එනවා. බස් නතර කරන්නවත් ඉඩක් නැහැ. දෙසැම්බර් විසි පහ, විසි හය, විසි හත දවස් තුනම ඒ එන අය සරුංගල් යවනවා. පිට ගම්වලින් ඇවිල්ලා මේ හරියේ කඩදානවා. ඇත්තම කිව්වොත් සැණකෙළියක් වගෙයි. ඔය අතරේ එක එක්කෙනා රණ්ඩුවෙනවා. පොලිසියෙනුත් එනවා. අපි නම් කවදාවත් ඔය වැඩවලට කැමති නැහැ. අපේ ගම විනාශ වෙනවට කැමති නැහැ.

නිලන්ති පවසන්නීය.

ගලේවත්ත ගල්තලාව දුර්ලභ ශාඛ රැසකට උරුමකම් කියන බිමකි.

“ගොඩක් අය බෙහෙත් ජාති හොයාගෙන මෙහෙ එනවා. කඳුලැස්ස, හීන් බෝවිටියා , මහ බෝවිටියා, දං , මා දං , රදලිය වගේම තවත් බොහෝ ජාති මෙහෙ තියෙනවා. ජුනි ජූලි කාලයට හිඹුටු හැදෙනවා. අපේ ළමා කාලය ගෙවුණේ මේ පැත්තෙම තමයි.

රජින්ද්‍ර කියන්නට වූයේ අප හා ඇවිදින අතරය. හැත්තෑ හැවිරිදි විමලාවති අම්මා ගල්තලාවේ එහෙට මෙහෙට යමින් ඖෂධීය ශාක අප නොදන්නා ගහ කොළ පෙන්වමින් , කලකට පෙර බඹර ගඟේ පැත්තක් නාය ගිය තැන පෙන්වමින් ආගිය තොරතුරු පවසන්නට විය.

“මම හිටියේ උඩගම. විවාහ වෙලා තමයි ගලේවත්තට ආවේ. ගලේ වත්තට ඇවිල්ලා අවුරුදු තිස් හයකට වැඩියි. ඒ කාලෙ මේක ගන කැලෑව. හැම තැනින්ම දියපාරවල්. වැස්ස කාලෙට හරිම ලස්සනයි. නොයෙක් සතුන් හිටියා. දැනටත් වල් ඌරන්, මීමින්නන්, හාවුන් ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. ඒත් බලාගෙන ඉද්දි ඔය සරුංගල් අරින්න එන මිනිස්සු , කොල්ලෝ කෙල්ලෝ නිසා පරිසරය විනාශ වෙන්න ගත්තා. බීපූ අය බෝතල් දාල යනවා තැන් තැන්වල. ඒ කාලේ මේ හරියේ පවුල් දහයක් විතර ඉන්න ඇති. දැන්නම් පවුල් දාසයක් දාහතක් විතර ඉන්නවා. ඒ කාලේ මේ අද වගේ ත්‍රීවිල් එකකටවත් එන්න විදිහක් නැහැ. ගෙවල් හදන්න ගල් වැලි ඇද්දේ කරෙන්. ගහකොළ තියෙන නිසා කවුරුත් මේ කතාව විශ්වාස කරන එකක් නැහැ. කාලෙකට මෙහෙ වතුර නැතිව යනවා. මාස තුන හතරක් අපි ඒ දුක විඳින්න ඕනෑ. අපි ඒ කාලෙට වතුර ගේන්න, නාන්න යන්නේ පතලට. ඒක මහ දුකක්. අරුක්ගම්මන පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වා අපට වතුර අරන් දෙන්නම් කියලා.”

ගල්තලාවේ ඉදි වන පුද බිම ගැන අපමණ සතුටින් සිටින ගැමියෝ සියල්ලට අත්උදව් දෙමින් සිටිති.

“මේ දවස් ටිකේම අපි මෙතැනම තමයි. වැඩ කරන අයට කෑම උයලා දෙනවා. ගමේ කවුරුත් ඇවිල්ලා සහයෝගය දෙනවා. ඒ මිල මුදල් වලට නොවෙයි.” අනුෂා පවසන්නීය.

උදේට දහවලට සොඳරු බිමක් වුවද සැන්දෑ වන විට ඒ බිම බෙහෙවින් අඳුරු ගුප්ත බවක් උසලනු නොඅනුමානය. නමුදු දැන් එතැන පුදබිමක් නිසා හෙට අනිද්දා වන විට ඒ ගුප්ත බව පලවාහැරෙනු ඇත. එරමිණියා කටු ලැහැබ අතරින් රිංගා බෝවිටියා පදුරු ගඳපාන පඳුරු අතරින් ගල්තලාවෙන් පහළ පෙනෙන වෙල් යාය, ගම්මාන බලන්න යන අතරේ රජින්දලා අනූෂලා, සේපාලිකාලා ඇතුළු සැවොම තමන් බාල කළ ඇසු කතා කියන්නට වුහ.

“ ඉස්සර මෙහෙ ඉදලා තියෙනවා පොකුටා කියලා මිටි මිනිහෙක්. සමහරු කියනවා ඒ හොල්මනක් කියලා. සමහරු නම් කියනවා දැනුත් ඉන්නවා කියලා. කැලේ ගිය අය කියනවා සමහර වෙලාවට හුළඟක් නැතිවත් ගස් වල අතු අසාමාන්‍ය විදිහට සෙලවෙනවා කියලා. ඒ ගොල්ලෝ කියන්නේ පොකුටා තමයි ඒවා කරන්නේ කියලා. දවසක් පොඩි ළමයෙක් නැති වෙලා . ගෙදර අය හැමතැම හොයලා. වැඩිහිිටියෝ අතුබැදලා. (ඒ කියන්නේ පොල් ගහක් දෙවියන් වෙනුවෙන් වෙන් කරලා) ඉන් පස්සේ තමයි දරුවා ගෙදර මිදුලේ කරාබු ගහ මුදුණේ ඉන්නවා දැකලා තියෙන්නේ. දරුවා කිව්වලු එයාට කන්න පලතුරු එහෙම ගෙනැල්ලා දුන්නා කියලා. ”

ඔවුහු අතීත කතා සිහි කරති. ඒ කතා අපට ඔවුන්ගේ ගැමිදිවියේ සොඳුරු බව සිහිගන්නයි. කෙසේ වුවත් දෙසැම්බරයේ සරුංගල් අරින්නන්ට සැණකෙළි බිමක් වූ අයාලේ යන්නනන්ට කෙළි බිමක් වූ ගලේවත්ත ගල්තලාව දැන් පුදබිමකි. ඒ පුදබිම සාදන්නට මුල් වූ අමරසිරි පීරිස් මහතා පවසන්නේ මෙවැන්නකි.

“ සමන්ත මට මේ ස්ථානය ගැන කිව්වාට පස්සේ මම ඇවිත් බැලුවා. ඇත්තෙන්ම මම මේ පරිසරය වින්දා. මේ ගම නාස්ති වෙනවාට වඩා මේ ගැමියන්ටත් ප්‍රයෝජනවත් ලෙස පුදබිමක් සාදාදීමයි මගේ අරමුණ වුණේ. මේ සියල්ල දැකීමෙන් අද මට දැනෙන්නේ නිරාමිස සුවයක්.”

ඔහු පවසන්නේ බොහෝ සතුටෙනි. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක, කලාකරුවකු මෙවැනි කටයුත්තකට අතගැසීම සැබැවින්ම පැසසිය යුත්තකි. කිසි දිනෙක මාධ්‍යයට හෙළි නොවන්නට ඉඩ තිබු ගලේවත්තේ සිරි අමර විහාරය පිළිබඳ අපට හෝඩුවාව දුන්නේ ගීත නිබන්ධක රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේය.

ඡායාරූප - රුවන් ද සිල්වා

Comments