රුව­න්පුර රණ හඬ නිහඬ විය | සිළුමිණ

රුව­න්පුර රණ හඬ නිහඬ විය

ත්න­පුර ජන­තා­වගේ නොමඳ ආද­රය දිනා­ගත් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පසු­ගිය බදාදා (04) සිය අව­සන් හුස්ම පොද සිංග­ප්පූ­රුවේ රෝහ­ල­කදී වාත­ල­යට මුසු කොට සිය ජීවන චාරි­කාව නිම කළේය.

රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ගොඩ­ක­වෙල ආස­නයේ ගොවි මහ­තකු වූ ටී. ඇඩ්වින් ද සොයිසා මහ­තාට දාව රංජිත් ද සොයියා උපත ලබන්නේ 1962 වසරේ මැයි මස 03 වැනි­දාය. ගොඩ­ක­වෙල රාහුල විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබූ හෙතෙම ඇක්ව­යි­නාස් විද්‍යා­ල­යෙන් කෘෂි ඩිප්ලෝ­මා­වක් ලබා තිබේ. සිය ජීවි­තය වැවිලි කර්මා­න්තය සමඟ ඇරඹූ හෙතෙම පසුව එයට ආයු­බෝ­වන් කියා 1994දී ක්‍රියා­කාරි දේශ­පා­ල­න­යට පිවි­සි­යේය.

වාමාං­ශික දේශ­පා­ල­නය විශ්වාස කළ රංජිත් ද සොයිසා සිය දේශ­පා­ලන ගම­න්මඟ ආරම්භ කර­නුයේ 1997දී අට­ක­ල­ම්පන්න ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා ලෙසය. ඒ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­යකු වශ­යෙනි. 2002 වස­රේදී රක්වාන ප්‍රාදේ­ශීය සභාවේ විපක්ෂ නායක ධුර­යට පත් වන හෙතෙම 2004දී සබ­ර­ග­මුව පළාත් සභා­වට ඉහ­ළම මනාප ලබා මන්ත්‍රී­ව­ර­යකු ලෙස තේරී පත් වීය. පළාත් සභා­වට තේරී පත් වු පළමු අව­ස්ථා­වේ­දීම කෘෂි­කර්ම, සුළු වාරි­මාර්ග හා සත්ව නිෂ්පා­දන ඇමැ­ති­ධු­ර­යෙන් පිදුම් ලැබී­මට ඔහු වාස­නා­වන්ත වීය. 2008 වස­රේදී හෙතෙම රක්වාන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ ආසන සංවි­ධා­යක ලෙස පත් වීය. යළිත් වරක් පළාත් සභා­වට තේරී පත් වූ හෙතෙම එවර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ වනිතා කට­යුතු ඇමැති ධුර­යට පත් කෙරිණි.

ඔහු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස තේරී පත් වන්නේ 2010 මහ මැති­ව­ර­ණ­යට රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කර­මිනි. 2015 අගෝස්තු මස පැවැති මහා මැති­ව­ර­ණ­යේ­දීද මනාප ඡන්ද 60,000කට වඩා ලබා­ග­නි­මින් දෙවන වර­ටත් ඔහු පාර්ලි­මේ­න්තු­වට පැමි­ණි­යේය.

සිය වාග් චාතූ­ර්යය නිසා රත්න­පුර ජන­තාව අතර කෙටි­ක­ල­කින් ගෞර­වා­ද­ර­යට පත් වන රංජිත් ද සොයිසා ගමේ පොඩි මිනි­සාට වඩාත් සමීප දේශ­පා­ලන චරි­ත­යක් ලෙස ප්‍රක­ටය. ඔහු කව­දත් රත්න­පුර ජන­තා­වගේ දහ­ඩිය සුවඳ හොඳින් හැඳි­නු­වේය. රත්න­පුර එජාප දේශ­පා­ලන අධි­කා­රියේ වුව­ම­නා­වට දැනට මාස කීප­ය­කට පෙර ඔහුට කුරු­විට බන්ධ­නා­ගා­රයේ සිර­බත් කන්නද සිදු වීය. ජන­තාව ඔහුගේ සුව-දුක් බැලී­මට කුරු­විට බන්ධ­නා­ගා­ර­යට පොදි කමින් පැමිණි හැටි මේ ලියු­ම්ක­රුද සිය­සින්ම දුටු­වේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ගැන මුළු රටම දැන-හඳු­නා­ගත්තේ 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජ­යට පත් වූ පසුව බව මේ ලියු­ම්ක­රුගේ පෞද්ග­ලික හැඟී­මය. ඒ තර­ම­ටම යළිත් මහින්ද රාජ­පක්ෂ යුග­යක් බිහි කිරීමේ අව­ශ්‍ය­තාව හෙතෙම හඳු­නා­ගෙන සිටි­යේය. ඒ වෙනු­වෙන් ඔහු දිවා-රෑ නොබලා වැඩ කළේය. 2015 ජන­වාරි 08 බිහි වූ යහ­පා­ලන ආණ්ඩුව එළවා-දමා යළිත් මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටේ නාය­ක­ත්ව­යට ගෙන ඒමේ ජනතා බලා­පො­රො­ත්තුව ඉටු කිරී­මට 2015 පෙබ­ර­වාරි මාස­යේදී ආරම්භ වූ මහින්ද සුළඟ ජන­රැලි මාලාවේ රත්න­පුර දිස්ත්‍රික් රැලිය සංවි­ධා­නය කළේ රංජිත් ද සොයිසා සහ ජානක වක්කු­ඹුර පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යාය. එතැන් සිට ආරම්භ වු මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටේ අග්‍රා­මාත්‍ය ධුර­යට පත් කිරීමේ ජනතා සටනේ පෙර­ග­ම­න්ක­රු­වකු ලෙස රංජිත් සොයිසා කැපී­පෙ­නෙන කාර්ය­භා­ර­යක් ඉටු කළේය.

ඇතැම්හු ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ දේශ­පා­ල­නය එළි­පිට කිරී­මට මැළි­ක­මක් දක්වද්දී රංජිත් ද සොයිසා මන්ත්‍රී­ව­රයා සිය මන්ත්‍රී­ධු­ර­යට වඩා රටේ ජන­තා­වගේ දේශ­පා­ලන අභි­ලා­ෂය වෙනු­වෙන් පෙනී සිටි­යේය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නිර්මා­ණය වූ පසු ඒ පක්ෂයේ ශාඛා සමිති රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ සහ රට පුරා පිහි­ටු­වීමේ කට­යුත්තේ ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් ඔහු අතින් ඉටු වීය. 2018 වසරේ පළාත් පාලන මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තරග වදිද්දී එහි ජය­ග්‍ර­හ­ණය උදෙසා ඔහු වැඩ කළේ මන්ත්‍රී­ධුර, ශ්‍රීල­නිප ආසන සංවි­ධා­යක ධුර තුට්ටු­ව­කට මායිම් නොක­ර­මිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ලේක්හවුස් ප්‍රතිගිශීලි සේවක සංගමයේ සාමාජිකයන් සමග

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි කිරීමේ පුරෝ­ගාමි මන්ත්‍රී­ව­ර­යකු ලෙස රංජිත් ද සොයි­සාගේ නම දේශ­පා­ලන ඉති­හා­සයේ ලිය­වෙනු ඇත. මන්ද යත්: ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි කිරීම උදෙසා ඍජුව, නොබි­යම පෙනී සිටි එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් අත­ළොස්ස අතර රංජිත් සොයිසා ඉදි­රි­යෙන්ම සිටි බැවිනි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ වෘත්තීය සමිති ව්‍යාපා­රය ගොඩ­නැං­වීම උදෙසා රංජිත් ද සොයි­සාගේ කාර්ය­භා­ර­යද ඔහුට උප­හා­ර­යක් ලෙස සට­හන් කළ යුතු­මය. රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ තේවතු ආශ්‍රිත වෘත්තීය සිමිති කීප­යක්ම ඔහුගේ මූලි­ක­ත්ව­යෙන් ආරම්භ කෙරිණි. ඒ වෘත්තීය සමිති පසු කාලී­නව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ 'පොදු­ජන වතු සේවක සංග­ම­යට' අනු­බද්ධ කෙරිණි. පොදු­ජන වතු සේවක සංග­මයේ භාණ්ඩා­ගා­රි­ක­ව­රයා ලෙස සුවි­සල් කාර්ය­භා­ර­යක් ඔහු අතින් ඉටු වීය. වර්ත­මා­නයේ රටේ දැවැ­න්තම වෘත්තීය සමිති ජාලය වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ප්‍රග­ති­ශීලි වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­න­යට අනු­බද්ධ වෘත්තීය සමිති ව්‍යාපා­රය ගොඩ­නැං­වී­මට රංජිත් සොයිසා මන්ත්‍රී­ව­රයා ගාමිණී ලොකුගේ මන්ත්‍රී­තුමා සමග කැප වීය. ප්‍රග­ති­ශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍ය­ස්ථා­නයේ ලේකම් නීතිඥ සුමිත් විජේ­සිංහ, හේම­සිරි ජය­ලත්, සුදත් අබේ­ව­ර්ධන ඇතුළු කණ්ඩා­යම සමග රංජිත් ද සොයිසා මන්ත්‍රී­ව­රයා කළ මෙහෙ­වර මිල කළ නොහැ­කිය.

මාධ්‍ය­වේ­දීන් අතර ද ජන­ප්‍රිය චරි­ත­යක් වූ හෙතෙම මාධ්‍ය­වේ­දීන් සමඟ සැම විටම මිතු­රුව කට­යුතු කළ චාම් නිහ­ත­මානි මිනි­සෙකි. ඔහු ලේක්හ­වුස් පොදු­ජන පෙර­මුණේ වෘත්තීය සමි­තිය සමඟ ඉතා කිට්ටු­වෙන් වැඩ කළේය.

රංජිත් ද සොයිසා මන්ත්‍රී­ව­රයා 2018 දෙසැ­ම්බර් මාසයේ කුරු­විට බන්ධ­නා­ගා­රයේ සිටි­යදී 'දින­මිණ' හිටපු කර්තෘ ගාමිණී ජය­ලත් සහ මා ඔහුගේ සුව දුක් බල­න්නට ගිය මොහොතේ මන්ත්‍රී­ව­රයා කී කතා­ව­කින් මේ සට­හන නිමා කර­න්නට සිතු­වෙමි:

"මල්ලී, මොන නඩු දැම්මත් මහින්ද මහ­ත්ත­යාගේ ගමන වගේම මගේ දේශ­පා­ලන ගමන නව­ත්වන්න එජා­පයේ අර නෝනට බෑ!" ඔහු සුපු­රුදු සිනා­වෙන් කීය.

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දේශ­පා­ලන ගමන නව­ත්වන්න කිසි­ව­කුට නොහැකි වූවා සේම, රංජිත් ද සොයිසා මන්ත්‍රී­ව­රයා ජීව­තුන් අතර සිටියේ නම් ඔහුගේ දේශ­පා­ලන ගමන නව­ත්ව­න්නද කිසි­ව­කුට නොහැකි වනු ඇත. ඒ බව පසක් වන්නේ පසු­ගි­යදා ගෝඨා­භය රාජ­පක්ෂ සහ මහින්ද රාජ­පක්ෂ රජයේ රාජ්‍ය ඇමැ­ති­ව­රුන් දිවු­රුම් දුන් මොහොතේ රාජ්‍ය ඇමැ­ති­ව­ර­යකු ලෙස ඔහුද දිවු­රුම් දීමට නිය­මි­තව සිටි නිසාය. ඔහු අප අතර සිටියේ නම් අද රාජ්‍ය ඇමැ­ති­ව­ර­යෙකි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි කිරීම උදෙසා සුවි­සල් මෙහෙ­ව­රක් කළ ඔහුට දේශ­පා­ල­නයේ දිගු ගම­නක් යෑමට හැකි­යාව තිබිණි. ඔහුගේ වාග් චාතූ­ර්යය, හඬ පෞරු­ෂය ශ්‍රී ලාංකික ජන හද­වත් සිප­ග­ත්තේය. ඒකා­බද්ධ විප­ක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවි­ධා­ය­ක­ව­රයා වු ඔහුට දේශ­පා­ලනයේ දිගු ඉනි­මක් ක්‍රීඩා කිරී­මට දෛවය හරස් වූයේය. එහෙත් ඔහු ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ වෙනු­වෙන් කළ මෙහෙ­වර සහ ඔහුගේ නාමය සදා­ක­ල්හිම අප අතර පව­තිනු ඇත.

 

ඔබට අමා මහ නිර්වාණ

සුව­යම පතමි!

Comments