කෙනෙකු දුටුවන් මන බඳින ප්‍රසන්න වූ රූප සම්පත්තියක් ලබන්නේ පෙර සසර මෛත්‍රී සහගතවීමේ ආනිසංසයකටය. මෛත්‍රීය භාවනාවක් ලෙස ගත් කළ සමථ භාවනාවකි. සමථයෙන් සිදු වන්නේ රාග, ද්වේශ, මෝහාදී කෙලෙස් යටපත් කිරීමකි. යළි කවදා කොතනකදී හෝ ඒ කෙලෙස් නැගී සිටිය හැකිය.
ගම්පහ උත්පලා විසි දෙහැවිරිදි සුරූපී තරුණියකි. ලංකාවේ පුරවැසිනියක වුවද ඇය වැඩි පුර කාලයක් ගත කරන්නේ විදෙස්වලය. නැත හොත් උඩු ගුවනේය. ඒ ඇය ගුවන් සේවිකාවක වූ නිසාය. ඇගේ මව ගෘහණියකි. පියා නැවක සේවය කරයි. අයියා සුද්දියක සමඟ විවාහ වී එංගලන්තයේ පදිංචි වී සිටී. තාත්තා මුදල් උපයමින් අත දිග හැර දරුවන්ට වියදම් කළේය.
ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ උත්පලා වයස අවුරුදු දහසයේ සිට තරුණයන් සමඟ හෝටල් ගාණේ අවලමේ යන්නට පුරුදු වූවාය. සමාජ ශාලාවල ගොස් මත් පැන්වලින් සිහි විකල් කැර ගත් ඇය පාන්දර වාහනවලින් ගෙදරට ගෙනත් දමා යන තත්ත්වයකට පත් වූවාය. මේ බේබද්දියගේ චර්යාවන් නිසා පියා රැකියාවෙන් ඉවත්ව මුහුදෙන් ගොඩට පැමිණිය ද ඔහුට හිමි වුයේ කලකිරීම, පසු තැවීම, සහ වේදනවා පමණි. පියා අකාලයේ මිය ගියේය. ඉන් පසු දුව ගුවන් සේවිකාවක ලෙස හිතුමතේ නිදහස භුක්ති වින්දාය.
හිටි හැටියේ උත්පලා සිහිසුන්ව වැටෙන්නටත් රාත්‍රී හීනෙන් බියට පත්ව දහදිය වගුරවා ගෙන අවදි වන්නටත් එතැන් සිට නොනිදා පහන් කරන්නටත් වූවාය. කෑම අරුචිය නිසා ශරීරය කෙට්ටු විය. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසිදු සුවයක් නොවීය. මනෝ වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් ආතතියට ඖෂධ පෙති ගිලිමින් සිටී. ඒ කිසිවකින් සහනයක් නොවුයෙන් උත්පලාගේ මව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය කැඳවා ගෙන ආවාය. එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී රෝගාබාධ තත්ත්වයන් පැහැදිලි කළාය. ගවේෂකවරයා රෝග පරීක්ෂාවේ යෙදෙන විට උත්පලා වෙවුලන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගවේෂක වරයා ශක්ති කිරණ එල්ල කරන විට උත්පලාගේ ශරීරයෙන් භූතාත්මයක් දිෂ්ටි ගැන්වී ආවේය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් අරම්භ කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?”
“මම නිහාල්” යැයි භූතාත්මය උත්තර දුන්නේය”
“කවුද නිහාල් කියන්නේ? මේ උත්පලාගේ කවුද?”
“මම උත්පලාගේ තාත්තා”
“ඇයි මේ අයට කරදර කරන්නේ?”
“මම කරදර කරන්නේ නෑ. මම මගේ දුවට ආදරෙයි. දුව අයාලෙ ගියා ජීවිතය අවුල් කරගෙන. දුව බේරාගන්න ඕනෑ.”
“දුවට මොනවද වෙලා තියෙන්නේ?”
“දුවට දැන් ජීවිතයක් නෑ. හේතු ඵල දහම අනුව දුව ඒ තත්ත්වයට පත් වුණාට මමත් වග කියන්න ඕනෑ. මම මුදල්වලට මුල් තැන දීලා මුදල්ම හොයන්න ගියා. දුව පොඩි කාලේම මම පිටරට නැවක රස්සාවට ගියා. ඒ ලොකුවට මුදල් හොයන්න. මුදල්වලින් සැනසුම සතුට හොයන්න බැහැ. මම රට ගිහින් ගෙදරට සල්ලි එව්වා. ඒ සල්ලිවලින් නෝනත් වැරදි කළා. දුවත් ඒවාට හුරු වුණා. පාපයට බය නැති වුණා. ඉන්ටර්නැෂනල් ස්කූල් යැව්වා. ආධ්‍යාත්මීය දියුණුවක් ලැබුවේ නැහැ. පුතත් සුද්දියෙක් බැඳ ගෙන පිටරට පදිංචියි. දුවගෙ රූපයේ ලස්සනටත් ඉංග්‍රීසි දැනුමටත් ගුවන් සේවයට බැඳුණා. ඒකෙන් බීමට ඇබ්බැහි වුණා. එක එකා එක්ක අවලමේ දඩාවතේ ගියා. මට යථාර්ථය වැටහිලා රස්සාවෙන් අස්වෙලා ගෙදර ආවා. දුව විනාශ වෙලා. රට රටවල වල්කම් කළා. ගෙදර ආවත් සල්ලි තියෙන නිසා දඩාවතේ ගියා. එක වතාවක් මාස අටකින් ගෙදර ආවේ නෑ. මම සමාජ ශාලාවල හොය හොයා ඇවිද්දා.මගේ දුව නේද කියන ආදරේට. මට හොයා ගන්න බැරි වෙලා මම පපුවේ අමාරුවකින් මැරුණා. මැරිලත් දුව හොය හොයා ඇවිද්දා. හිතේ අමාරුවට හිත කිලුටු වෙලා. අපාගත වෙන්නත් සිද්ධ වුණා. මම දැන් දුක් විඳින ප්‍රේතයෙක් බවත් මම දන්නවා. දැන් දුව ගෙදර ඇවිත්. දැන් ලෙඩෙක්. සල්ලි වලින් වැඩක් නැහැ. මම අහස අල්ලන්න ගිහින් දැන් පස්ස බිම ඇනිලා දුක් විඳිනවා. දුවත් එහෙමයි.
දුවගේ රූපයේ ලස්සන එයාටම විනයක් වුණා. ඉංග්‍රීසි දැනුමත් වැරදියට භාවිත වුණා. මම සල්ලි හොයන්න ගිහින් සැනසිල්ල නැති කර ගත්තා.” යි ප්‍රේතයා අඩන්නට වූයේය.
උත්පලා පියවි සිහියට පත් කළ ගවේෂක වරයා අවවාද කළේය.
“තමන්ගේ පෙර පිනකට ලැබුණු සල්ලිත්, රූප සොබාවයත්, ඉංග්‍රීසි දැනුමත් තුනම නරකට භාවිත කිරීමේ විපාක දැන් විඳිනවා. ඒ එකකවත් වටිනාකමක් නැති තත්ත්වයට පත් වෙලා. දැන් ඔයාට ගොඩ එන්න බැහැ සියයට අනූවක්ම විනාශ කරගෙන. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මරණය විතරයි. මරණයට ලැහැස්තිද?”
“අනේ මාව බේරාගන්න.” යි උත්පලා අඩා වැලපෙන්නට වූවාය.
“අවුරුදු විසි දෙකෙයි කියන්නේ මොන වයසක්ද? මේ පුංචි කාලයට මොනවද නොකරපු වැරදි. මත් පැනට ඇබ්බැහි බේබද්දියක් වුණා. පර පුරුෂ සේවනය, බහු පුරුෂ සේවනය, සමාජ ශාලා ජීවිතය. තමාගේ අධ්‍යාත්මීය දියුණුවට මොනවද කරගෙන තියෙන්නේ? දැන් මරණය ඉදිරියේ අසරණ වෙලා ශාරීරිකවත් මානසිකවත් මහා ලෙඩ කඳක්”
“අනේ මාව බේරාගන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද?”
“තියෙනවා. මම කියන විදියට වැඩ කරනවා නම් පුළුවන්”
“මොනවද මම කරන්න ඕනෑ. කියන ඕනෑම දෙයක් කරන්නම්”
ගවේෂකවරයා ඇය පන්සිල් සමාදන් කැර වීය.
“මේ සිල් පද පහ අකුරටම ආරක්ෂා කරන්න ඕනෑ. චාම් සරල ජීවිතයක් මේ දැන් ඉඳලා හුරු වෙන්න. තවත් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.
බෝධි පූජා අවසන් කොට ඇය නැවත පැමිණියාය .මේ වන විට ගවේෂකවරයා සිල් මෑණි කෙනෙකුට සිද්ධිය පවසා අවශ්‍ය පසුබිම සකස් කැර තිබිණි.
“මහත්මයා මට දැන් දුකයි. මගේ තාත්තාට මම අකීකරු වුණා. තාත්තා නැති වුණෙත් මා නිසයි” කියමින් උත්පලා අඬන්නට වූවාය.
“මහත්මයා පවරන ඕනෑම දෙයක් මම කරන්නම්. මම පැවිදි වෙන්නද?” ඇය නැවත ඇසුවාය.
එපා මහණ වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ මෙහෙණි ආරාමයට යන්න සිල් සමාදන් වෙන්න. ඒ සිල් මැණි පවරන විදියට අම්මයි දුවයි දෙන්නම කටයුතු කරන්න ඕනෑ. චාම් වෙන්න. කීකරු වෙන්න. සීලයේ පිහිටා කටයුතු කරන්න. යැයි පවසා මවත් දුවත් මෙහෙණි ආරාමයට යැවීය.
එහි දී පාන්දර හතරට අවදි විය යුතු විය. නියමිත වතාවත් ඉටු කළ යුතු විය. වැසිකිළි කැසිකිළි ඇමදීම, ආරාමය හා අවට පිරිසිදු කිරීම, බුද්ධ වන්දනාව, දානමාන ගිලන්පස සැකසීම, කය වචන සංවරය සරල භාවනාව, සක්මන් භාවනාව, මාස තුනක් ඒ වගේ පිළිවෙත් ඇය අකුරට ඉටු කළාය. අවංකවම ඉටු කළාය. ඒ මරණ බය උත්පලාගේ කය වචන සංවර කරන්නට හේතු විය.
ස්වාමීයා පිට රට සිට දුක් විඳ එවන මුදල් අපරීක්ෂාකාරීව ඉන්ද්රියයන් පිනවීමට මෝහයෙන් වියදම් කළ මව මේ දුවට මූලික වැරදි පූර්ව දර්ශය වුවාය. ඇයද ගලේ පැහැරූ බැළලියක මෙන් වරදට මානසිකව දඬුවම් වින්දාය. ආරාමයේ සිල් මෑණියෝද නිතර හේතුඵල දහමට අනුව දුක් විපාක විඳින්නට සිදු වී ඇති ආකාරය පැහැදිලි කරමින් අවවාද කළහ. බටහිර ක්‍රමයට ජීවත් වෙන්නට ගොස් “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන අධර්මතාවයෙන් කටයුතු කළ ද මාරයා දත් විලිස්සාගෙන තමන් ඉදිරියේ බිලි ගන්නට එන විට ජීවත්වීමේ ආසාව මතු වූ උත්පලා ඇත්තටම හොඳ ගැහැනියකු වූවාය. මාසයක් ආරාමයේදී දහමට හුරු පුරුදු වූවාය. මාසයක් ඉක්ම ගිය පසු ඇය මව සමඟ නැවත ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා ආවාය.
“මහත්මයා දැන් මගේ ආහාර අරුචිය, හීනෙන් බිය වීම් ආතතිය සනීපයි. මගේ තාත්තා අකාලයේ මැරුණේ මා නිසයි. තාත්තාගේ ණය ගෙවන්නට මම දැන් මොනවාද කරන්න ඕනෑ?” යි උත්පලා ගවේෂකවරයාගෙන් ඇසීය.
“තාත්තා අත දිග හැර තමුන්ට වියදම් කළා. ඒ හේතුවේ ඵලය වශයෙන් තමුන් නොමග ගියා. තාත්තා ප්‍රේතයෙක් වුණා. තාත්තාට පින් අනුමෝදන් කරන්න ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාත් ආරාමයේ සිල් මෑණි වරුන් වඩම්මා සාංඝික දානයක් පිරිනමා සංසාර ගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් තාත්තාටත් පින් අනුමෝදන් කර අනුරාධපුරයට යෑමට සූදානම් වී නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය. දානය පිරිනමා පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. අනුරාධපුරයේ දී යාචකයන්ට ආහාර පැකැට් පිරිනමා ශ්‍රී මහා බෝමළුවේදී නැවතත් පියාට පින් අනුමෝදන් කරන්නට උපදෙස් දී, පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.
උත්පලාගේ රූප සොබාව සහ චතුර ඉංග්‍රීසි දැනුම අනුව දැන් පෞද්ගලික බැංකුව සේවය කරයි. අධ්‍යාත්මීය උපදේශකවරයාගේ නියමය අනුව දිනපතා උදේ හවස නිවසේ බෞද්ධ පිළිවෙත් ඉටු කරති. යළිත් වැරදි කළොත් භූතාත්මය නැවත පැමිණ පළිගන්නට පුළුවන් බව ද අවධාරණය කළේය.