මහ­සෑයේ සිළු­මිණ නිමැවූ අංක එකේ නිමැ­වු­ම්ක­රුගේ කතාව | Page 2 | සිළුමිණ

මහ­සෑයේ සිළු­මිණ නිමැවූ අංක එකේ නිමැ­වු­ම්ක­රුගේ කතාව

නු­රා­ධ­පුර රුව­න්මැලි මහ­සෑයේ කොත මුදුනේ ලෙළ­දෙන දැවැන්ත චූඩා­මා­ණි­ක්‍යය පසු­ගිය 25 වැනි දා උත්ස­ව­ශ්‍රී­යෙන් අභි­න­ව­යෙන් පැලැ­න්දුවේ සුව­හ­සක් බොදු බැති­ම­තුන්ගේ සාධු­කා­රය මධ්‍ය­යේය. රුව­න්මැලි සෑ චූඩා­මා­ණික්‍ය සුවි­ශේෂ හා ගෞර­ව­නීය වස්තු­වක් ලෙස සැල­කෙන අතර, එය සක­සන ලද්දේ මිහි මව බිහි කළ, මිනිසා විසින් දැනට හඳු­නා­ගෙන ඇති වටි­නා­ක­මින් වැඩිම හා දුර්ලභ ඛනිජ වර්ග කිහි­ප­යක එක­තු­ව­කිනි. විශ්ව පාරමී පද­නම විසින් මේ නව චූඩා­මා­ණි­ක්‍යය ස්වණ­මාලි මහ­සෑය වෙනු­වෙන්ම විශේ­ෂ­යෙන්ම තනවා ගෙන්වා­ගැ­නීමේ දුෂ්කර හා අධික මූල්‍ය පිරි­වැ­යක් දරන කාර්යය ඉටු කර­වා­ගන්නා ලද්දේ ලොව ප්‍රමි­ති­යෙන් උසස්ම පළිඟු නිෂ්පා­ද­කයා ලෙස නම් දරා සිටින ඔස්ට්‍රි­යාවේ ස්වොරොව්ස්කි (Swarovski) සමා­ග­මෙනි.

ස්වොරොව්ස්කි සමා­ගම පිහි­ටු­වන ලද්දේ සිය­ව­ස­ක­ටත් එපිට කාල­යක එනම් 1895දීය. ඒ ඔස්ට්‍රි­යාවේ වැට­න්ස්හි­දීය. මෙය චෙච් ජාතික ඩැනි­යෙල් ස්වොරොව්ස්කි විසින් ආරම්භ කරන ලද්දකි. ඩැනි­යෙල්ගේ පියා වීදුරු කපන පුද්ග­ල­යකු ලෙස කට­යුතු කළ අයෙකි. ඔහුට පසු­කා­ලී­නව කුඩා වීදුරු කපන කර්මාන්ත ශාලා­වක් හිමිව තිබිණි. මේ හේතු­වෙන් පුංචි ඩැනි­යෙල් වීදුරු කැපී­මෙහි අති­ද­ක්ෂ­යකු බවට පත් විය. 1892 වන විට වීදුරු කැපීම සඳහා විද්යුත් යන්ත්‍ර භාවි­තය වෙනු­වෙන් ඔහු පේටන්ට් අයි­තිය හිමි කර­ග­ත්තේය.

ඔස්ට්‍රියාවේ Swarovski කර්මාන්ත ශාලාව

1895 වන විට දාන­ප­ති­යකු වූ ආර්මන්ඩ් කොස්මන් හා ෆ්‍රාන්ස් වීස් යන දෙදෙ­නාද සමඟ ඩැනි­යෙල් වටෙ­න්ස්හිදී වීදුරු පළිඟු කැපීම සදහා නව සමා­ග­මක් පිහි­ටු­වීය. එය පළ­මුව නම් කර තිබුණේ ඒ. කොස්මන්, ඩී. ස්වොරොව්ස්කි සහ සමා­ගම ලෙසයි. ඒ කාල­යේදී තීව්‍ර ඇඹ­රුම් ක්‍රියා­ව­ලීන් සඳහා අවශ්‍ය බල­ශ­ක්තිය නිෂ්පා­ද­න­යට දේශීය ජල විදු­ලි­යෙන් ප්‍රයෝ­ජන ගැනී­මට ඩැනි­යෙල් ස්වොහොව්ස්කි පේටන්ට් බල­ප­ත්‍රය හිමි කර­ග­ත්තේය. පළිඟු ව්‍යාපා­ර­යේදී හැම විටම ස්වොරො­ව්ස්කිගේ දැක්ම වූයේ “දැරිය හැකි මිල­කට සෑම කෙන­කු­ටම දිය­ම­න්ති­යක්” ලබා­දීමේ අර­මු­ණය.

1899දී තම සමා­ගමේ සංකේ­තය ලෙස ඔවුන් තෝරා­ගත්තේ ඊඩ­ල්ව­යිස් මලය. ඉන් පසුව ඔවුන්ගේ ව්‍යාපා­රය ප්‍රංසය තෙක් විහිදී පැති­රිණි. 1919දී ස්වොරොව්ස්කි විසින් ටිරො­ලිට් සමා­ගම පිහි­ටු­වනු ලැබීය. ඇඹ­රුම් යන්ත්‍ර­වල සීරුම් මෙව­ලම් නිෂ්පා­ද­නය එහි කාර්ය­භා­රය විය. ඒ අනුව ස්වොරොව්ස්කි වෙත වෙනස් වෙළෙ­ඳ­පො­ළක් අත්පත් කර­ගැ­නීම එතැ­නින් ආරම්භ විය.

1935දී ස්වොරො­ව්ස්කිගේ පුතු වන විල්හෙම්, ස්වොරොව්ස්කි ඔප්ටික් සමා­ගම බිහි කළේය. ඒ දූරේක්ෂ නිප­ද­වීම හා රයි­ෆල් සදහා දුරේක්ෂ කාච නිප­ද­වීම වෙනු­වෙනි. අඛ­ණ්ඩව ලෝකය පුරා පැති­රෙ­මින් තිබූ ස්වොරොව්ස්කි සමා­ගම අමෙ­රි­කාවේ වෙළෙ­ඳ­පොළ අත්පත් කර­ගන්නේ 1977දීය. අද වන විට ස්වොරොව්ස්කි සමා­ගමේ වත්මන් උරු­ම­ක්කා­ර­යකු මෙන්ම අනා­ග­තය ගොඩ­න­ඟ­න්නකු වන නද්යා ස්වොරොව්ස්කි යනු නිර්මාතෘ ඩැනි­යෙල් මීමු­ත්තාගේ මිනි­පි­රි­ය­ක­ගේද මිනි­පි­රි­යකි. ඇය එතෙක් පැවත ආ ස්වොරොව්ස්කි සමා­ගමේ පළමු කාන්තා අධ්‍යක්ෂ ධුර­යට පත් වුණේ 2012 වස­රේ­දීය.

මේ සමා­ගම අද­ටත් පව­තින්නේ පවුලේ ව්‍යාපා­ර­යක් ලෙසය. අද වන විට ලොව පුරා රට­වල් 170ක විහිදී පැතිරී සිටින මේ සමා­ගම වර්ත­මා­නයේ මෙහෙ­ය­වනු ලබන්නේ ස්වොරොව්ස්කි පර­පුරේ 5 වැනි පර­ම්ප­රා­වයි. ස්වරොව්ස්කි සමා­ග­මට අනු­බද්ධ සමා­ගම් ලෙස ස්වොරොව්ස්කි ඔප්ටික් හා ටිරො­ලිට් සමා­ගම්ද ස්වොරොව්ස්කි සමූහ ව්‍යාපා­ර­යට අයත්ව ක්‍රියා­ත්මක වේ. ස්වොරොව්ස්කි සමා­ගම මූලික වශ­යෙන් පළිඟු ආශ්‍රිත සියලු ආභ­රණ නිෂ්පා­දන හා බෙදා­හැ­රීම් සිදු කරයි. ස්වොරොව්ස්කි ඔප්ටික් සමා­ගම විසින් නිෂ්පා­ද­නය කරනු ලබන්නේ දුරේක්ෂ හා රයි­ෆල් සදහා දුරේක්ෂ කාචයි. ටිරො­ලිට් සමා­ගම විසින් ඇඹ­රීම්, කියත්, විදුම් සහ කණ්නාඩි මෙව­ලම් සහ යන්ත්‍ර ආදිය නිෂ්පා­ද­නය හා සැප­යුම් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් ස්වොරොව්ස්කි ක්‍රිස්ටල් නැත හොත් පළිඟු නිෂ්පා­ද­නය යනු ඒ සමා­ගම විසින් වැඩිම ආදා­ය­මක් උප­යන සමා­ගම බවට පත්ව තිබේ.

ස්වොරොව්ස්කි පළිඟු නිෂ්පා­දන සමා­ගමේ පම­ණක් රට­වල් 170ක විසි­රුණු ජාලය ශාඛා 3000කට අධි­කය. ශ්‍රී ලංකා­වේ­දීද ස්වොරොව්ස්කි නිෂ්පා­දන මිල දී ගැනීමේ අව­ස්ථාව උදා කරදී තිබේ. පසු­ගිය වසරේ ඒ සමා­ගමේ දළ ආදා­යම යූරෝ බිලි­යන 2.7කි. සහෝ­දර සමා­ගම් දෙකත් සමග ස්වොරොව්ස්කි සමූහ ව්‍යාපා­රය 34,500ක සේව­ක­ය­න්ගෙන් යුත් වන අතර, පසු­ගිය වසර වන විට යූරෝ බිලි­යන 3.5ක දළ ආදා­ය­මක් උප­යන, දැවැන්ත ලාබ ලබන සමූහ ව්‍යාපා­ර­යක් බවට පත්ව ඇත.

නවී­න­තම මෙව­ලම් සමඟ නව්‍ය­ක­ර­ණය වෙමින් පව­තින තාක්‍ෂ­ණය උප­යෝගි කර­ග­නි­මින්, ලොව වටා සිටින පළිඟු නිෂ්පා­ද­නයේ දක්ෂ­තම ශිල්පීන්ගේ දාය­ක­ත්වය ලබ­මින් ස්වොරොව්ස්කි සමා­ගම සිය පළිඟු නිෂ්පා­දන බිහි කරයි. සිය­ව­ස­කට අධික කලක් ගත වුවත් ලොව උසස්ම හා දුර්ලභ මෙන්ම වටි­නාම පළිඟු නිෂ්පා­ද­නයේ පුරෝ­ගා­මියා ලෙස ස්වොරොව්ස්කි සමා­ගම අද­ටත් සිය කීර්තිය සමව පව­ත්වා­ගෙන යෑම සුවි­ශේෂ තත්ත්ව­යකි. තම නිෂ්පා­දන දිනෙන් දින වඩාත් ඉහළ ප්‍රමි­ති­ය­කට, ඉහළ තල­ය­කට ගෙන යන ස්වොරොව්ස්කි වෙත මෑත කාල­යේදී ලද විශා­ල­තම ජය­ග්‍ර­හ­ණය වූයේ බ්‍රිතාන්‍ය රාජ­කීය පවුලේ වග­කීම් සහ­ති­කය දෙවැනි එලි­සෙ­බෙත් රැජන විසින් 2019 වස­රේදී පිදී­මත් සම­ඟය. ලොව උසස්ම හා සීමිත නිෂ්පා­දන සමා­ගම් කිහි­ප­යක් පම­ණක් මේ රාජ­කීය බල­ප­ත්‍රය හිමි කර­ගෙන තිබේ. ලොව පුරා දහස් ගණ­නින් උසස් නිෂ්පා­දන සමා­ගම් තිබු­ණද බ්‍රිතා­න්‍යයේ රාජ­කීය බල­ප­ත්‍රය හිමි සමා­ගම් ඇත්තේ 816ක් පමණි. ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල ආභ­රණ, ඔල­රෝසු ආදි­යෙහි නිෂ්පා­ද­කයා හා නිර්මා­ණ­ක­රුවා බව­ටද ස්වොරොව්ස්කි සමා­ගම පත්ව තිබේ.

සිය­වස් ගණ­නා­වක් තිස්සේ ලෝක බෞද්ධ ජන­තා­වගේ අති­ම­හත් වන්ද­නී­ය­ත්යට පත් වන ස්වර්ණ­මාලි මහ­සෑ­ර­දුන් වෙනු­වෙන් නව චූඩා­ඩා­මා­ණි­ක්‍ය­යක් සැප­යීමේ කට­යුත්ත ගැන සිත් යොමා සිටි විශ්ව පාරමී පද­නමේ සභා­පති ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­තාට අවශ්‍ය වූයේ ලෝකයේ හොඳම පළිඟු නිමැ­වු­ම්ක­රු­වන් අතින් එය ඉටු කර­වා­ගැ­නී­ම­ටය. එහිදී ඔහු දැන­ගත් කරු­ණක් වන්නේ ස්වොරොව්ස්කි සමා­ගම හැර ලෝව ඒ තැන ගැනී­මට වෙනත් කෙනකු නැති බවය. එසේ වුවද මේ භාර­ධුර කාර්යය වෙනු­වෙන් මේ සමා­ගම සම්බන්ධ කර­ගැ­නී­මද ලේසි-පාසු නැත. ඒ ඔවුන් ඒ තර­ම­ටම ඉහළ මට්ට­මක පැවති සමා­ග­මක් නිසාය. මේ කාර්ය­යයේ හැටි­යට මේ සමා­ගමේ හිමි­ක­රු­වන්ම සම්බන්ධ කර­ගැ­නී­මට අවශ්‍ය විය. ප්‍රභාත් නානා­ය­ක්කාර මහතා මේ සඳහා යොදා­ගත්තේ මොන්ටි­කා­ලෝහි වෙසෙන තම හිත­වත් ධන­වත් පවු­ලකි. ඔවුන්ට ස්වොරොව්ස්කි පවු­ලත් සමඟ සම්බ­න්ධ­යක් තිබිණි. මේ සම්බ­න්ධය තර කර­ගැ­නීම සඳහා නානා­ය­ක්කාර මහතා ඇමෙ­රි­කාවේ හාවඩ් සර­ස­වියේ තම සර­සවි මිතු­ර­කුගේ හිත­ව­ත­කුගේ සහය ලබා­ගැ­නී­මට සමත් විය. ඔවුන් ඉහළ සම්බ­න්ධතා තිබූ අය බැවින් ඒ හරහා මේ සුප­තළ ඔස්ට්‍රි­යාවේ ස්වොරොස්ව්කි පවුල සම්බන්ධ කර­ගත හැකි විය.

නානා­ය­ක්කාර මහතා මුලින්ම තම අව­ශ්‍ය­තාව කී සැණින් ඔවුහු විම­ති­යට පත් වූහ. ස්වොරො­ව්ස්කිලා කවු­රු­න්දැයි නොදන්නා පුද්ග­ල­ය­කු­දැයි ඔවුන්ට යම් කුතූ­හ­ල­යක්ද එන්නට ඇත. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මේ තරම් සුවි­සල් මිල අධික කට­යු­ත්තක් කිරී­මට තරම් හැකි­යා­වක් සහිත පුද්ග­ල­යන් සිටීද යන්න ස්වොරො­ස්ව්ස්කිලා පුදු­ම­යට පත් කළ පළමු කරුණ විය. ඒ නිසා ඔවුන්ට මෙය ඇත්තම අව­ශ්‍ය­තා­ව­ක්දැයි මුලින්ම පැහැ­දුණු බවක් පෙනුණේ නැත. එමෙන්ම ඔවුන්ට මේ පළිඟු පාෂා­ණය මන­රම් චූඩා­මා­ණි­ක්‍ය­යක් ලෙස කපා ඔප-මට්ටම් කිරී­මට තරම් ප්‍රමා­ණ­වත් උප­ක­රණ සහ යන්ත්‍ර-සූත්‍රද ඒ වන විට තිබුණේ නැත. තම අව­ශ්‍ය­තා­වෙහි වැද­ග­ත්කම මෙන්ම මේ කට­යුත්තේ වැද­ග­ත්කම නිරූ­ප­ණය කිරී­මට නානා­ය­ක්කාර මහතා දුන් සහ­ති­කය වූයේ අදාළ පළි­ඟු­වල සහ එය නිමා කිරී­මට අවශ්‍ය යන්ත්‍ර-සූත්‍ර අලු­තින් නිර්මා­ණය කිරී­මට අවශ්‍ය සියලු මුදල් තමා ගෙවන බව ඔවුන්ට පොරොන්දු වීමය. පොරොන්දු වූ පරි­දිම ඒ මුදල ඉක්ම­නින්ම ස්වොරොව්ස්කි සමා­ගම වෙත සැප­යී­මට නානා­ය­ක්කාර මහතා කට­යුතු යෙදු­වේය. එයින් ඔවුන් තුළ මේ කෙරෙහි ලොකු විශ්වා­ස­යක් සහ වුව­ම­නා­වක් පහළ වී ඇත.

නානා­ය­ක්කාර මහතා තමා සමඟ සම්බ­න්ධතා පැවැත්වූ ස්වොරොව්ස්කි පවුලේ සාමා­ජි­කයා තුළ විශ්වා­සය සහ සුහ­ද­ත්වය තවත් තහ­වුරු කිරී­මට කළේ අදාළ පුද්ග­ල­යාගේ නමද කැට­යම් (එන්ග්‍රේව්) කළ, මිලි­යන ගණ­නාක් වටිනා Mont Blanc පෑනක්ද තිළිණ කිරී­මය. මේ අති­ශය වටිනා ත්‍යාග­යද ශ්‍රී ලාංකි­ක­ය­කු­ගෙන් ලැබීම ස්වොරොව්ස්කි සමා­ගමේ විශ්වා­සය සහ බැඳීම තහ­වුරු කිරී­මට හේතු වූ කරු­ණක් වී තිබේ.

ස්වොරොව්ස්කි සමා­ගම මේ කට­යු­ත්තට අත­ගැ­සුවේ ඉතා වටිනා තද පළිඟු විශේ­ෂය තමන් වෙත ලබා­ගත් පසු­වය. මේ චූඩා­මා­ණි­ක්‍යය සැක­සී­මට යොදා­ගැ­නුණු පළිඟු විශේ­ෂය අවුව සමඟ තව-තවත් දැඩි වන, වසර 150කට වඩා කලක් කිසිදු හානි­යක් නොවී පව­තින එකකි. ස්වොරොව්ස්කි සමා­ගම මේ කට­යු­ත්තට යොදා­ගත්තේ ඔවුන් සතු විශි­ෂ්ට­තම කලා ශිල්පි­යාය. එසේම චූඩා­මා­ණි­ක්‍යයේ පාදම සකස් කළ සිංග­ප්පූරු සමා­ග­මද මේ කාර්ය­ය­යේදී ස්වොරොව්ස්කි සමා­ගම සමඟ සම්බන්ධ කෙරිණි. මේ සිංග­ප්පූරු සමා­ග­මද ලෝකයේ රජ පවු­ල්ව­ලට රන් නිර්මාණ කරන ඉහ­ළම පෙළේ සමා­ග­මකි. ඊට සම්බන්ධ කෙරුණු වටිනා මැණික් ගල් ශ්‍රී ලංකා­වෙන්, මැලේ­සි­යා­වෙන් සහ තායි­ල­න්ත­යෙන් සප­යා­ගෙන තිබිණි. මේ කර්ත­ව්‍ය­යෙහි පව­තින මහා වැද­ග­ත්කම ඔස්ට්‍රි­යානු සමා­ගම මනාව තේරුම් ගත් නිසා ඔවුහු අව­සා­නයේ ඉතා වුව­ම­නා­වෙන් සහ කැප වීමෙන් එයට උර දුන්හ. ලෝකයේ අග්‍ර­ගණ්‍ය සමා­ග­මක් වන ඔවු­න්ටද මේ අනර්ඝ කාර්යය ඓති­හා­සික එකකි. එසේ වුවද ඔවුන් නානා­ය­ක්කාර මහ­තාට පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ අන්ත­ර්ජා­තික වෙළෙඳ ප්‍රව­ර්ධන කට­යු­තු­ව­ලදී කිසිදු ආකා­ර­යෙන් මේ අද්වි­තීය කාර්යය භාවිත නොක­රන බව­ටය.

මේ කරුණු සලකා බැලී­මේදී ශ්‍රී ලංකා ඉති­හා­සයේ සිය­වස් ගණ­නා­වක් පැරණි සුවි­ශේෂ සිද්ධ­ස්ථා­න­යක් වූ, ද්‍රෝණ­යක් සර්වඥ ධාතූන් වැඩ සිටින ස්වර්ණ­මාලි මහා­සෑ­යෙහි කොත මුදුනේ පැලඳි චූඩා­මා­ණි­ක්‍යය, ඒ වෙනු­වෙන්ම අති­ශය දුර්ලභ පළි­ඟු­ව­කින් හා ලොව උසස්ම ප්‍රමි­ති­යෙන් යුත් නියම මැණික් යොදා­ගෙන ඔස්ට්‍රි­යා­වෙන් නිර්මා­ණය කර­වා­ගන්නා ලද්දේ පළිඟු ආභ­රණ නිෂ්පා­ද­නයේ ලොව ප්‍රමු­ඛ­තම සමා­ග­ම­කින් වීම මිල කළ නොහැකි තරමේ වටි­නා­ක­මක් ඒ වෙත තව­දු­ර­ටත් එක් කර ඇති සේය.

Comments