නීතියේ සර­ණක් නැති උතුරේ උරුම | සිළුමිණ

නීතියේ සර­ණක් නැති උතුරේ උරුම

 

වු­නි­යාවේ පූන්තෝ­ට්ටම් අන්නා­න­ගර් පළාතේ නිව­සක් තුළ නිධා­න­යක් හෑරුවේ පසු­ගිය දින­කය.

''දෙන දෙවියෝ ළග­ටම ගෙනැ­විත් දෙනවා'' යන කිය­මන මෙන් නිධා­න­යක් තිබෙන බව කිසි­වකු විසින් හෝ කියා තිබුණේ ඔවුන්ගේ පැල්පත් නිවසේ සාලය මැද ය.

නිවසේ සිටි සහෝ­ද­රයෝ තුන් දෙනා මේ නිධා­නය ගොඩ ගැනී­මට සිතා වැඩේ ආරම්භ කළහ. නමුත් වටේ නිවෙස් වල පිරිසේ ඊර්ෂ්‍යාව නිසා ඔවුන් මේ පිළි­බ­ඳව පොලී­සි­යට දැනුම් දීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් පොලී­සිය ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන වවු­නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

නිධා­නය ගොඩ දැමී­මට ගිය සහෝ­ද­ර­ය­න්ගෙන් බාලම සහෝ­ද­රයා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින අපේ­ක්ෂ­ක­යකු බැවින් අධි­ක­ර­ණය ඔහුව ඇප මත නිද­හස් කොට විභා­ග­යට ලිවී­මට අව­ස්ථාව සලසා දෙන ලදී.

නිධන් හෑරීම සහ එ් නිධන් වල ඇති දේ සන්ත­ක­යට ගැනීම අපේ රටේ නීතියේ හැටි­යට වර­දක් ය. අන්නා­න­ග­රයේ නිධා­නය හෑරූ නිවස හා වත්ත ඔවුන් සතු පෞද්ග­ලික දේප­ලක් වූවත් ඒ ඉඩමේ පොළොව යට ඇති සිය­ලුම දේ අයත් වන්නේ රජ­යට ය. ඒ බව ඉඩම් හිමි­යන් වෙත බොහෝ ඉස්සර නිකුත් කළ ඔප්පුවේ පිටු­පස සට­හන් වූවේය.

මේ සියලු චෝද­නා­ව­ලට සහෝ­ද­ර­යන් තුන් දෙනා වර­ද­ක­රු­වන් වූ නිසා දැන් ඔවුන්ට එරෙ­හිව පොලී­සිය නඩු පවරා තිබේ. ඒ අපේ රටේ නීතියේ ස්වභා­වය අනු­වය.

මේ ක්‍රියාව වැරදි යැයි අපි නොකි­යමු. නමුත් නීතියේ ඇති පර­ස්ප­ර­භා­ව­යක් මේ සති­යේදී අපට දැක ගැනී­මට ලැබුණේ ද මේ වවු­නි­යා­වේදී ම ය.

වවු­නි­යාව ඕමන්ත පැරණි මාළි­ගය නමින් හැඳි­න්වෙන පුරා විද්‍යා භූමිය පළාතේ දෙදෙ­නකු විසින් ඩෝසර් කළහ. එහිදී පුරා­වස්තු වලට විශාල වශ­යෙන් හානි සිදු විය. වවු­නි­යාවේ පුරා විද්‍යා නිල­ධා­රීන් මේ පිළි­බ­ඳව ඕමන්ත පොලී­සි­යට පැමි­ණිලි කිරී­මෙන් පසුව මාස­ය­කට පසුව සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට පත් වූහ.

ඔවුන්ට එරෙ­හිව වූ නඩු විභා­ග­යේදී ඔවුන්ට නිද­හස ලැබුණි.

නඩු විහා­ග­යේදී ඉදි­රි­පත් වූ තර්ක හා ගැටලු වූයේ මේ ඕමන්ත පැරණි මාළි­ගය සහිත පුරා­විද්‍යා භූමිය ගැසට් කළ බවට වූ ගැසට් නිවේ­ද­නය පිළි­බඳ ව වූ ප්‍රශ්න­යයි. නීති­ඥ­යන් කියා සිටියේ ඒ ස්ථානය පුරා විද්‍යාව විසින් නීති­ගත කොට නැති බවයි. ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කොට නැති බවයි. ඒ භුමිය තහ­වුරු කොට නැති බවයි.

මේ අව­ස්ථා­වේදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පාර්ශ්ව­යෙන් ඒවා තමන්ට අයත් ඉඩම් හා පුරා­විද්‍යා ස්ථාන බව සනාථ කිරී­මට ඉදි­රි­පත් වූ ලිපි ලේඛන වල අඩු­වක් පැව­තුණි.

නමුත් පළාතේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් විසින් රජ­ය­ටත් අධි­ක­රණ අම­ත්‍යං­ශ­ය­ටත් ලිපි යව­මින් ප්‍රකාශ කොට තිබුණේ පුරා­වි­ද්‍යා­වට අයත් නොවන ස්ථාන සම්බ­න්ධ­යෙන් ඔවුන් ව්‍යාජ තොර­තුරු සපයා දෙමළ ජාති­ක­යන්ව අත් අඩං­ගු­වට ගන්නා බවයි. නීති­ඥයෝ මේ ලිපි ද අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කොට තිබීම ඔවුන්ට නිද­හස ලැබී­මට හේතු වූ තවත් කාර­ණා­වක් විය.

නිධා­න­යක් හෑරී­මත් පුරා­වස්තු වලට හානි කොට ඒවා විනාශ කිරී­මත් යන කාරණා දෙකම එකි­නෙ­කට වෙනස් වූ කාරණා දෙකක් ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද මේ දෙකම එක හා සමාන වර­ද­වල් ය. පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ වර්ගී­ක­ර­ණ­යන්ට අනුව වසර සීය­කට වඩා පැරණි දේ පුරා වස්තු ලෙස නම් කළ හැකිය. නිධන් ද වසර සීය­කට වඩා පැරණි ය.

නමුත් උතුරේ මේ දින­වල දකි­න්නට ලැබෙන බොහෝ නිධන් වසර විස්ස­කට වඩා පැරණි ඒවා නොවේ.

ඊට හේතුව ඒ නිධන් කොටි ත්‍රස්ත­වා­දීන් විසින් වළ­ලන ලද නිධන් වීම ය. ඒ නිධන්වල ඇත්තේ මුදල් නෝට්ටු හා රත්ත­රන් ය. අවි ආයුධ නිධන් කොට ඇති නිධන් ද වෙයි. මේ නිධන් ගොඩ ගැනී­මට බහි­රව පූජා පැවැ­ත්වී­මට අවශ්‍ය නොවේ. පොලී­සිය ඇතුළු ආර­ක්ෂක අංශ වලට කොටු නොවී නිධා­නය හාරා ගැනී­මට හැකි­නම් ඔවුන් ගොඩේ ගොඩ ය.

වවු­නි­යාවේ අන්නා­න­ගර් ප්‍රදේ­ශයේ සහෝ­ද­ර­යන් තුන් දෙනාද හාරා ඇත්තේ එවැනි නිධා­න­යකි.මේ නිසා බිලි දීමක් මල්තටු සැක­සී­මක් නොකොට ඔවුන්ට වැඩේ නිද­හසේ කරගෙන යෑමට හැකි වුණි. නමුත් පොලී­සිය ඔවුන්ට බහි­ර­වයෝ මෙන් විරෝ­ධය පෑහ.

මේ කොටි ත්‍රස්ත­වා­දීන්ගේ නිධා­නය ගැනී­මට වෙහෙ­සුණු පිරිස දැන් හිර ගෙදර ය. පුරා වස්තු විනාශ කළ පිරිස ගෙදර ගොසින් ය. මේ සිද්ධීන් දෙස ඉතා වුව­ම­නා­වෙන් බලන විට කොතැ­නක හෝ විශාල වැරැ­ද්දක් ඇති බව පෙනෙයි.

වවු­නි­යාවේ නෙඩු­න්කේණී වෙඩු­ක්කු­නාරී නමින් හඳු­න්වන පුරා විද්‍යා ස්ථාන­යේද සිදු වූයේ එවැ­න්නකි. පුරා විද්‍යා නිල­ධා­රීන් ඒ පිළි­බ­ඳව නෙඩු­න්කේණී පොලී­සි­යට කියා සිටියේ මෙවැනි පැමි­ණි­ල්ලකි.

'' මේ ස්ථානය පුරාණ සෙල්ලි­පි­යක් කටා­රම් ලිපි­යක් සමඟ ඇති බෞද්ධ සිද්ධ­ස්ථා­න­ය­කුයි. ගල් කණු පාදම් ගුහා කටා­රම් ආදී වශ­යෙන් වූ බෞද්ධ සංකේත ගණ­නා­වක් මේ කන්ද හා ගුහා ආශ්‍රි­තව තිබෙ­නවා.

මේ නිසා පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මේ ස්ථානය බෞද්ධ පුරා­වස්තු සහිත ස්ථාන­යක් බවට ප්‍රකා­ශ­යට පත් කොට තිබෙ­නවා.ඒ සඳහා වූ ගැසට් නිවේ­ද­න­යක්ද තිබෙ­නවා.

යුද සම­යේදී පුරා­විද්‍යා නිල­ධා­රීන්ට මේ ස්ථානය ආරක්ෂා කිරී­මට නොහැකි වුණා. මේ ස්ථාන­යට නුදු­රින් පිහිටි ගම්මාන වල හින්දු ජන­තාව සම­හර දාට ඇවිත් මේ ගුහා ඉදි­රි­පිට පහන් දැල්වූවා.

ඔවුන් මුල් කාල­යේදී ගුහා ඉදි­රි­පිට කළු­ග­ලක් තබා ඒ මත තමයි පහන් දැල්වී­මක් කළේ. පසු­කා­ලී­නව ගණ­දෙවි රූප­යක් ඒ මත තබා පහන් දැල්වුවා. යුද්ධය අව­සන් වන විට ඔවුන් එතැන බල­හ­ත්කා­ර­යෙන් කෝවි­ලක් හදා­ගෙන ඒ කෝවිලේ පුද­පූජා පව­ත්ව­න්නට වුණා.

යුද්ධ­යෙන් පසුව අපේ නිල­ධා­රීන් ඒ ස්ථාන­යට යන­විට එතැන තිබුණේ කෝවි­ලක් විත­රයි. නිල­ධා­රීන් ගමේ අයට කාරණා පැහැ­දිලි කරලා දීලා ආවා. නමුත් ඔවුන් ඒ බව දෙමළ ජාතික සන්ධා­නයේ පිරි­සට දැනුම් දුන්නා. ඒකේ මන්ත්‍රී­වරු විශාල පිරි­සක් ඇවිත් ඒ ස්ථානය අයත් වන්නේ හින්දු ජන­තා­වට බව කිය­මින් විශාල අර­ග­ල­යක් ඇති කළා.

මේ අර­ග­ල­යේදී ඔවුන් මේ ස්ථානය් බෞද්ධ පුරා­විද්‍යා ස්ථාන­යක් ලෙස හඳු­නා­ගැ­නී­මට තිබූ සියලු ම දේ විනාශ කළා. අපේ නිල­ධා­රීන්ට තර්ජ­නය කර­න්නට වුණා.''

වවු­නි­යාවේ නෙඩු­න්කේණී පොලී­සි­යට ගිය පුරා විද්‍යා නිල­ධා­රීහු ඒ ඉති­හා­සය හා පුරා­විද්‍යා ස්ථාන­යට වූ හානිය ගැන කිය­මින් ඒ අන්ද­මට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරණු ලැබූහ.

පොලී­සිය පැමි­ණිල්ල ඉදි­රි­පත් කරන අත­ර­තුර දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී­වරු මේ ස්ථාන­යට පැමිණ අඛණ්ඩ ව විරෝ­ධ­තා­ව­යක් පළ කර­මින් මේ ස්ථාන­යෙන් නොගොස් රජ­යට මේ පිළි­බඳ ව කරුණු ඉදි­රි­පත් කර­න්නට වූහ.

අව­සා­න­යේදී දෙමළ ජාතික සන්ධා­නයේ නායක ආර්.සම්බ­න්ධන් මන්ත්‍රී­ව­රයා රජ­යට ලිපි­යක් යව­මින් මේ ස්ථානය අයත් වන්නේ හින්දු ජන­තා­වට බව දැනුම් දුන්නේය. එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් ඉහළ පෙළේ පුරා විද්‍යා නිල­ධා­රීන් පිරි­සක් නෙඩු­න්කේණී වෙඩු­ක්කු­නාරී ප්‍රදේ­ශ­යට පැමිණ පුරා­විද්‍යා ස්ථාන­යට මීටර් පන්සී­යක් දුරින් හින්දු බැති­ම­තුන්ට කෝවි­ලක් ඉදි කර ගැනීම සඳහා අව­සර ලබා දීමෙන් පසුව අර්බූ­දය නිමා­වට පත් විය.

නමුත් ඔවුන් කෝවිල ඉදි කළේ බෞද්ධ පුරා­වස්තු පිහිටි ස්ථානයේ ම ය. එය වළ­ක්වා­ලී­මට කව­ර­කු­ට­වත් නොහැකි විය.

පොලී­සි­යට මුලින් පුරා­විද්‍යා නිල­ධා­රීන් කරණ ලද පැමි­ණි­ල්ලට අනුව වවු­නි­යාව අධි­ක­ර­ණයේ නඩු විභාග වූයේ වෙඩු­ක්කු­නාරී ගණ­දෙවි කෝවිලේ බාර­කාර මණ්ඩ­ලයේ තුන් දෙනෙ­කුට එරෙ­හි­වය. ඔවුන් තුන් දෙනාද නඩු විභා­ග­යේදී නිද­හස ලබා ගෙදර ගියහ. සිදු වූ එකම දේ වූයේ වෙඩු­ක්කු­නාරී බෞද්ධ පුරා­විද්‍යා නට­බුන් සහිත් ස්ථානය අහිමි වී යෑම පම­ණකි.

වවු­නි­යාවේ සම­ල­න්කු­ලම පුරා විද්‍යා භූමිය සංව­ර්ධ­නය කිරී­මට ගිය පුරා විද්‍යා නිල­ධා­රීන්ට තරු­ණ­යන් පිරි­සක් පොලු කඩා ගෙන එළව එළවා පහර දීමට ගිය සිද්ධි­යක් ද වාර්තා වුණි.

සම­ල­න්කු­ලම පුරා­විද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ වවු­නි­යාවේ කෝවි­ල්කු­ලම ගම්මා­න­යට මදක් ඈතිනි. යුද සම­යේදී මේ පුරා­විද්‍යා ස්ථානය හින්දූන් විසින් අත්පත් කර­ගෙන ඒ ස්ථානයේ කෝවි­ලක් ඉදි­කොට තිබේ.

යුද්ධය හමාර වීමෙන් පසුව පුරා­විද්‍යා නිල­ධා­රීන් ඒ ස්ථානය සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය ගඩොල් රැගෙන ගොස් පුරා විද්‍යා වැඩ බිම අස­ලම තැන්පත් කොට ආපසු පැමි­ණි­යහ.මහා යුද්ධ­යක් ආරම්භ වූයේ ඔවුන් ඒ ස්ථානයේ සංව­ර්ධන කට­යුතු කිරී­මට ගිය අව­ස්ථා­වේ­දීය.

වවු­නි­යාවේ නෙඩු­න්කේණී කුරු­දු­මලේ පුරා­විද්‍යා ස්ථාන­යට සිදු වූයේ ද මේ ටිකම ය. ගැසට් මගින් නිවේ­ද­නය කොට ඇතත් මේ වන තුරු ඒ ස්ථානයේ පුරා­විද්‍යා කාර්යා­ල­යක් විවෘත කොට වැඩ බිමක් වශ­යෙන් පවත්වා ගෙන යෑමට හැකි­යා­වක් පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී නැත.

නමුත් මේ ස්ථානයේ ඇති වැද­ගත් කම සුළු­පටු නොවේ.

1905 වස­රේදී නිකුත් වූ පුරා­විද්‍යා වාර්තා­වට අනුව කුරු­න්දා­ව­ශෝක විහා­රයේ කියැ­විය හැකි සෙල්ලි­පි­යක් තිබූ බවට තොර­තුරු වාර්තා වේ. තුන්වන මිහිදු රජු විසින් කර­වන ලද එ් සෙල්ලි­පියේ කුරු­න්දක විහා­රය පිළි­බඳ ව පූර්ණ විස්ත­ර­යක් සඳ­හන් බව පව­සන පුරා­විද්‍යා වාර්තාව එකල මේ පළාත කුරු­න්ගම වශ­යෙන් සද­හන්ව තිබූ බව ද පෙන්වා දෙයි.

කුරු­න්ගම වැවේ ජලය සම්බ­න්ධ­යෙන් ඇතිවූ ප්‍රශ්න­යක් සංසිදු වීම පිණිස තුන්වන මිහිදු රජු සිය බිසව හා දිය­ණිය සමග කුරු­න්ග­මට පැමිණි අව­ස්ථා­වේදී එ් සෙල්ලි­පිය කර වූ බවත් එහි අක්ෂර හා යෙදුම් වල දෝෂ කීප­යක් ම සෙල්ලි­පිය පිහි­ටු­වන අව­ස්ථාවේ සිදු වුවත් ඒවා නිවැ­රදි නොක­රණ ලෙස නියෝග කළ බවත් 1905 දී නිකුත් වූ පුරා­විද්‍යා පාලන වාර්තාවේ සද­හන් වෙයි.

වර්ත­මා­න­යේදී මේ කුරු­දු­මලේ විහා­රයේ නට­බුන් අතර උස්බිම් ස්ථර කීප­යක නෂ්ඨා­ව­ශේ­ෂ­යන් හා පැති බැමි ගණ­නා­වක නෂ්ඨා­ව­ශේෂ ද දැකිය හැකිය.

අඩි 140 ක විෂ්ක­ම්භ­ය­කින් හා අඩි 21 ක උසින් යුතු කබොක් ගල් වලින් කරණ ලද ස්ථූප­යක නට­බුන් මේ ස්ථානයේ දක්නට ලැබෙන අතර අනු­රා­ධ­පුර මුල් යුග­යට අයත් කැට­යම් සහිත සද­කඩ පහන්,කොර­ව­ක්ගල් යනා­දි­යද දැකිය හැකිය.

මේ කුමක් තිබුණ ද මේ වන විට බෞද්ධ අයි­තිය හෝ පුරා­විද්‍යා අයි­තිය තහ­වුරු කර­ගැ­නී­මට නොහැ­කිව සියලු දෙනාම අස­ර­ණව සිටිති.

උතු­රේදී විශාල අර්බූ­ද­ය­කට ලක් වූයේ මුල­තිව් ගුරු­කන්ද රජ­මහා විහා­ර­ස්ථා­න­යයි. තව­මත් මේ විහා­ර­ස්ථා­නය නිසා සිදු නොවී ඇත්තේ මිනී­මැ­රී­මක් පම­ණකි. නමුත් ඒ තත්ත්ව­යට මේ ගමන ගියේ පුරා­වි­ද්‍යා­වට ඒ ස්ථානය සම්බ­න්ධ­යෙන් ඔවුන්ගේ අයි­තිය නිවැ­ර­දිව පෙන්වා දීමට නොහැකි නිසාය. මේ නිසා ගුරු­කන්ද වලි­ක­න්දක් වී අව­සා­න­යේදී නඩු කන්දක් බවට පත්ව ඇතත් තව­මත් එහි අර්බූ­දය අව­සන් වී නැත.

ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ වැඩ වාසය කළ කොළඹ මේධා­ලං­කාර හිමි­යන් අප­වත් වීමෙන් පසුව එ් විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් වූ නඩු සිය­ල්ලක් ම අව­සන් වන බවට දැන් තර්ක­යක් ගොඩ නැගී තිබේ. එනම් උන්ව­හන්සේ නඩු කියන ලද්දේ විහා­ර­ස්ථා­නයේ අයි­තිය සම්බ­න්ධ­යෙනි. නඩු අව­සන් වී ඇතැයි යන්නෙහි අර්ථය වනුයේ දැන් ඒ ස්ථානයේ අයි­තිය හින්දු කෝවිල සතු­විය යුතු යැයි යන්නයි. නමුත් පුද්ග­ල­යකු මිය ගිය පම­ණින් එ් නඩු අව­සන් වී තීන්දු තීරණ අනෙක් පාර්ශ්ව­යට වාසි­දා­යක වන අන්ද­මට නිකුත් වන බවක් අප අසා නැත.

කෙසේ වෙතත් විහා­රා­ධි­පති හිමි­යන් අප­වත් වීමෙන් පසු­වද අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට නඩු­වක් ගොණු කර­මින් ගුරු­කන්ද පිල්ල­යාර් අඩි ගණ දෙවි කෝවිලේ පිරිස ඉල්ලා සිටින්නේ එහි අයි­තිය ඔවුන්ට ලැබිය යුතු බවයි.

තවද විහා­රා­ධි­පති හිමි­යන් අප­ව­ත්වී­මෙන් පසුව අධි­ක­රණ

ඒ නඩුවේ තීන්දුව මත ගුරු­කන්දේ අයි­තිය පිළි­බඳ ව යම් තීර­ණ­යක් ලැබෙනු නිය­තය.

නමුත් මේ දින­ව­ලද යළි ගුරු­කන්ද විහා­ර­ස්ථා­නයේ අර්බූද ය. අප­වත්වී වදාළ කොළඹ මේධා­ලං­කාර හිමි­යන්ගේ තුන්මස පින්කම යෙදී ඇත්තේ දෙසැ­ම්බර් මස 20 හා 21 යන දින­ය­න්ව­ලට ය. ඊට ද බොහෝ බාධා පළාතේ හින්දු භක්ති­ක­ය­න්ගෙන් හා ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන් එල්ල වන බවට කිසිදු සැක­යක් නැත.

ඔවුන් කියා සිටින්නේ ගුරු­කන්ද විහා­ර­ස්ථා­න­යට අයි­ති­යක් නොමැ­තිව ඒ ස්ථානයේ කිසි­වක් කළ නොහැකි බව ය.

පසු­ගිය දිනක ගුරු­කන්ද විහා­රයේ ධාතු මන්දි­ර­යට බුදු පිළි­ම­යක් වැඩ­මවූ අව­ස්ථා­වේ­දීද දෙමළ ජාතික සන්ධා­නයේ මුල­තිව් දේශ­පා­ල­න­ඥ­යකු වන රවි­හ­රන් මහතා ඊට විරෝ­ධය පළ­කොට කෑ කෝ ගසා තිබේ.

ඔහු කියා සිටින්නේ මේ විහා­ර­ස්ථා­නය සම්බ­න්ධ­යෙන් නඩු කීප­යක්ම ඇති අව­ස්ථා­වක විහා­ර­ස්ථා­න­යට නව අංග එකතු කිරීම නීති­යට පට­හැනි බවයි.

මේ අනුව බලන විට උතුරේ පුරා­විද්‍යා ස්ථාන ඉතාම දැඩි අන­තු­රක පව­තින බවක් පෙනෙ­න්නට තිබේ. ඒවා විනාශ වන අව­ස්ථා­ව­ලදී නිධන් හොරුන්ට නීති­යෙන් ලැබෙන දඩු­වම් ඔවුන්ට නොලැ­බෙන බවක් ද එකම සිද්ධි­ය­කදී නීතිය ක්‍රියා­ත්මක වන්නේ මහා අරුම පුදුම ආකා­ර­ය­කට බවත් පෙනී යයි.

Comments