ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී එල්.ටී.ටී.ඊ. ය වරක් ඝාතනය කිරීමට උත්සහ දරන්නේ කොල්ලුපිටියේ පිත්තල හන්දියේදී ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමිනි. යුද්ධය දරුණුවටම පැවැති ඒ සමයේදී එල්ල කළා වූ එම ප්‍රහාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සීරීම් තුවාලයක් වත් නොවුණේ ජාතියේ වාසනාවටය.
පිත්තල හන්දියේ ප්‍රහාරයෙන් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ එල්.ටී.ටී.ඊ.යේ උත්සහය නොනැවතිණි. ඉඩ ලැබෙන කුමන අවස්ථාවකදී හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්නට එදා එල්.ටී.ටී.ඊ.ය මිනිස් බෝම්බකරුවන් රැසක්ම යොදවා සිටියේය. ඒ අයගෙන් බොහොමයක්ම ආරක්ෂක අංශවලට කොටු වූයේ බෝම්බ ඇදුම් කට්ටලද සමඟිනි.
යුද්ධය නිමා වූයේ යැයි කියා ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබුණු ජීවිත තර්ජන පහව ගියේ නැත. එල්.ටී.ටී,ඊ. ඩයස්පෝරාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමට කළ සැලසුම් ගැන විටෙන් විට බුද්ධි අංශ විසින් හෙළි කරනු ලැබීය. නාමල් කුමාර නැමැති තරුණයෙක්ද හිටි හැටියේම මාධ්‍ය ඔස්සේ මතු වෙමින් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියන්නේ එම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බොහෝ පිරිසකගේ නම් ගම්ද ඇතිවය. ඒ ඉකුත් වසරේදීය. එම හෙළිදරව්ව ඔහු කරන්නේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව, එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාද එම ඝාතන සැලසුමේ සිටි බව ඔහු කීවේය. එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නාලකද සිල්වා එම කුමන්ත්රණයේ සිටි කොටස්කරුවකු බවද නාමල් කුමාර කීවේය. එකල ඩුබායි හී රැදී සිටිමින් මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර්ගේ චරිතයට පණ පෙවූ මාකදුරේ මධුෂ් ද එම ඝාතන කුමන්ත්රණයේ සිටින බව නාමල් කුමාර හෙළි කළේය.
ප්‍රභූ ඝාතන සැලසුම් චෝදනා
ප්‍රභූ ඝාතන සැලසුම් චෝදනාවක් මාකඳුරේ මධුෂ්ට එල්ල වන්නේ පළමු වතාවට නොව, ඩුබායි පනින්නට පෙර ඔහු එල්.ටී.ටී.ඊ. ය සමඟ එක්ව එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීමට කළ සැලසුමක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබිණි. එම ඝාතන කුමන්ත්‍රණයට ඔහු සම්බන්ධ වන්නේ මැගසින් බන්ධනාගාරයේ සිටය. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය එල්.ටී.ටී.ඊ.ය සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයට ගෙන වසර කිහිපයක් තිස්සේම රඳවාගෙන සිටි මාකඳුරේ මධුෂ්ට නිදහස උරුම වන්නේ 2015 වසරේ සිදු වන ආණ්ඩු පෙරළියත් සමඟිනි. ඔහු නතර වන්නේ ඩුබායි රටට පලාගොසිනි. මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් බවට ඔහු පත් වන්නේ ඩුබායි රටේ රැඳෙමිනි.
මේ සියල්ල අතරේ පසුගියදා නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන එදා රටට හෙළි කළ නාමල් කුමාර මෙන්ම මාකඳුරේ මධුෂ්ද දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. නැවතත් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් ගැන තොරතුරු හෙළි වන්නේ කටුනායකිනි. එම ප්රභූවරයා වෙන කිසිවෙකු නොව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.
එම ඝාතන කුමන්ත්‍රණ කතාව සිදු වන්නේ කටුනායක අමන්දොළුවේ ශ්‍රි ජයවර්ධනපුර පිහිටි බෝඩිමක් තුළදීය. ඒ ඉකුත් නොවැම්බර් 28 වැනිදාය. කුමන්ත්‍රණකරුවා ලෙස හඳුනාගෙන සිටින්නේ වාලච්චේන ඔඩ්ඩමාවඩි මිරාවෝඩි හී ආලිම්පාරේ පදිංචිකරුවකු වන හකීම් මොහොමඩ් රිස්ඛාන්ය. විසි හය වියැති ඔහු කටුනායකට එන්නේ මාස තුන හතරකට පෙරය. ඒ පැමිණි ඔහු රුපියල් 2500ක මාසික කුලියකට කාමරයක බෝඩිම් වෙමින් නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක සේවයේ නිරතව සිටියේය. මාසකට දෙකකට වැඩි කාලයක් ඔහු එහි සේවයේ නිරතව සිටියේ නැත. රැකියාවෙන් ඉවත් වූ ඔහු බෝඩිමට වී නිකරුණේ කාලය ගත කළේය.
මත්පැන් සාද
එම බෝඩිමේ ඔහු නවාතැන් ගන්නේ එහි හිමිකාරියට සිය අනන්‍යතාව ගැන කිසිවක් ඉදිරිපත් නොකරමිනි. ඇයටද ඔහු ගැන එතරම් විමසිලිමත් වන්නට උනන්දුවක්ද නොවීය. ඒ වේලාවට කලාවට බෝඩිම් ගාස්තු අතට ලැබුණු නිසා විය හැකිය. එම බෝඩිමේ වැඩි හරියක් දෙනා සිටියේ උතුරු පළාතේ සහ මධ්‍යම පළාතේ දෙමළ තරුණයෝය. එ අය සමග රිස්ඛාන් හිතවත් කමක් ගොඩ නඟාගෙන සිටියේ සිය වියදමින් මත්පැන් සාද පවා ඔවුන් වෙනුවෙන් සංවිධානය කරමිනි. එදා 28 වැනිදාත් රිස්ඛාන් බෝඩිමේ සගයන් වෙනුවෙන් මත්පැන් සාදයක් සංවිධානය කළේය. සියලු විය හියදම් රිස්ඛාන්ගෙනි. එදා සාදයේ රැදී සිටියේ වේලු කෝනේෂ්වරන්, අරිය රාජන් කමලන්, නගුලේෂ්වරන් ගනේෂ් ලිංගම් යන සිව් දෙනාය. වේලු තිස් අට වියැතිය. නගුලේෂ්වරන් පසු වූයේ විසිපස් වැනි වියේය. ඔවුන් දෙදෙනාම විශ්වමඩු පදිංචිකරුවෝය. කමල රාජ් විසි අට හැවිරිදිය. ඔහු මස්කෙළියේය. සිව් වැන්නා අක්කරායන් කුලම්හීය. විසි එක්වියැති ඔහුට මදන් යැයිද කියති.
මේ සිව් දෙනා අතර මදන් විශේෂිත වූවෙකි. ඒ ඔහු එල්.ටී.ටී,ඊ. මහවිරු පවුලක සාමාජිකයෙකු වූ බැවිනි. ගනේෂ් ලිංගම් හෙවත් මදන් අක්කරායන්කුලම් හී සිට කටුනාටයකට පැමිණ වසර තුනකි. ඔහු කටුනායකට එන්නේ සිය සහෝදරයා සමඟිනි. ඔහුද නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෙකි. ඔහු සිටින්නේ වෙනත් බෝඩිමකය.
මදන්ගේ වැඩිමහල් සහෝදරිය එල්.ටී.ටී.ඊ.ය උතුර පාලනය කරමින් සිටියදී බිහි කරගත් ඊලාම් පොලීසියේ සාමාජිකාවකි. දෙවැනි සහෝදරිය එල්.ටී.ටී.ඊ. සන්නද්ධ සාමාජිකාවකි. මදන්ගේ පවුල මහ විරු පවුලක් බවට පත් වන්නේ එම සහෝදරිය යුද්ධයෙන් මිය යාමත් සමඟිනි. යුද්ධය නිමා වන විට වයස අවුරුදු 12ක පාසල් ශිෂ්‍ය යෙකු වූ මදන් හෝ ඔහුගේ සහෝදරයාට එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් කිසිවක් නොවීය. එහෙත් මහ විරු පවුලක් වූ බැවින් ආරක්ෂක අංශවල අධික්ෂණයෙන් කාලයක් යන තුරුම ඔවුන්ට ගැලවිල්ලක් නොවීය. ඒ බව රිස්ඛාන්ද දැන සිටියේය.
එදා මත්පැන් සාදය අතරතුර රිස්ඛාන් මේ අයට අමුතුම ආකාරයේ යෝජනාවක් ගෙන ආවේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ කණ්ඩායමේ කවුරුන් හෝ ඝාතනය කරන්නටය. රිස්ඛාන් පවසන්නේ ජනාධිපතිවරයාව හෝ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඝාතනය කරන්නේ නම් ලොකු මුදලක් ලබාගැනීමට හැකි මඟක් තමා දන්නා බවය. ඒ වෙනුවෙන් වියදම් කිරීමට සූදානමින් සිටින පුද්ගලයෙකු ගැනද ඔහු කීවේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නමකි. ඔහු මුස්ලිම් මන්ත්‍රීවරයෙකි. අවශ්‍ය නම් එම ඝාතනයෙන් පසු පිටරටකට පවා යන්නට අවස්ථාව සලසා දීමට හැකි බවද ඔහු කීවේය.
ඊට මදන්ගෙන් හෝ ඔහු සමඟ මත්පැන් පානය කරමින් සිටි කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොවීය. රිස්ඛාන් උත්සාහ දරන්නට වූයේ ඔහුගේ අදහසට මදන් ඇතුළු කණ්ඩායමේ අදහස් දැන ගන්නටය. ඊට ඒ අයගේ කිසිදු පෙලඹවීමක් නොවූ තැන මත්පැන් සාදයද වෙනත් කතාබහ ඔස්සේ නිමාවට පත් විය.
මේ කතාව නැවත දිග හැරෙන්නේ පසුගිය 02 වැනිදාය. මදන් සිය සහෝදරයාට රිස්ඛාන් ගැන කියන්නේ එදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කළ කතාව ඔහු මුල සිටම සිය සහෝදරයාට කීවේය. ඒ කතාවේ ඇති බරපතළකම මදන්ගේ සහෝදරයාට හොඳින්ම දැනිණි. ඔහු වහාම ඒ බව කියන්නේ තමන් දැන හඳුනාගෙන සිටි කටුනායක පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාටය.
වහාම ක්‍රියාත්මක වූ ඉන්දික කුමාර මහතා සිය නිලධාරීන් සමඟ අමන්දොළුවට ගොස් රිස්ඛාන්ව බෙල්ලෙන්ම අල්ලාගෙන පොලිස් ස්ථානයට ගෙන එන්නේ බෝඩිමේ සගයන්ද සමඟිනි. ඒ අතර මදන්ද, නගුලේෂ්වරන්ද, වේලුද සිටියහ. දීර්ඝ ලෙස ඒ අයගෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්දික කුමාර ප්‍රශ්න කරන්නේ සිය උසස් නිලධාරීන්ටද ඒ ගැන පවසාය.
දේශපාලන සම්බන්ධකම්
දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඉන්දික කුමාර මෙන්ම විශේෂ පොලිස් අංශ ගණනාවකටම පෙනී යන්නේ මදන්, වේලු සහ නගුලේෂ්වරන් අහිංසකයන් බවය. එම විශේෂ අංශ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන අංශ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි අංශය වැනි බුද්ධි අංශ ගණනාවක්ම විය. ඒ අයගෙත් තහවුරුකිරීම්වලට අනුව මදන් වේලු සහ නගුලේෂ්වරන් නිදහස ලබන්නේ පොලිස් ඇප මතය.
එහෙත් රිස්ඛාන්ව මුදාහැරීමට පොලීසියට කිසිදු උනන්දුවක් නොවීය. ඒ ඔහු සම්බන්ධයෙන් යම් සැකයක් මතු වන්නට වූ බැවිනි. ප්‍රශ්න කිරීම් හමුවේ රිස්ඛාන් පවසන්නේ තමන් මත්පැන් පානය නොකරන බවත් ඒ අය සමඟ මත්පැන් පානය නොකළ බවත්ය. එහෙත් බෝඩිම පරීක්ෂා කිරීමේදී මත්පැන් කෑන් කිහිපයක්ම හමුවන්නේ ඔහුගේ කාමරයේ තිබියදීය. එසේම රිස්ඛාන් පවසන්නේ තමන් ජනපති ඝාතනයක් ගැන කතා නොකළ බවය. එහෙත් ඒ බව කී බවට ඔහුට එරෙහිව ඒ වන විටත් තිදෙනෙකුම සාක්ෂි දී තිබිණි. තුන්වැන්නා කමල රාජ්ය. ඔහුද රිස්ඛාන් ගැන පසුව පොලීසියට කීවේය.
ඒ අනුව රිස්ඛාන්ට ගැලවිල්ලක් නොවීය. එම සාක්ෂි පදනම් කරගෙන පොලීසිය ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම් ගැන විමසුවේය. එහිදී රිස්ඛාන් පවසන්නේ තමන් ඒ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුරුන්දැයි දන්නේත් නැති බවය. නමුත් රිස්ඛාන්ගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එම මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම සඟ ඔහු නිරන්තර සමබන්ධකම් ඇති බවය. එවන් මන්ත්‍රීවරයෙකු දන්නේත් නැති බව කී රිස්කාන් එහිදී පවසන්නේ මන්ත්‍රීවරයා සමඟ තමාට ඇත්තේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ඇති දැන හැඳුනුම්කමක් පමණක් බවකි.
එසේම ඔහු මාස දෙකක් තිස්සේ බෝඩිමේ රැදී සිටින්නේ රැකියාවක් නොකරමිනි. එහෙත් ඔහුට මත්පැන් සාද පැවැත්වීමට තරම් මුදල් යහමින් අතේ ගැවසී තිබේ. ඒ ගැන විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ඔහුගේ බැංකු ගිණුමට විටෙන් විට මුදල් බැරවී ඇති බවකි. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසියට පවසන්නේ පියා විසින් ඒ මුදල් බැංකු ගත කර ඇති බවය. කෙසේ වෙතත් ඔහුගේ ජංගම දුරකතනයේ වැඩි වශයෙන් ගබඩා වී තිබී ඇත්තේ නිල් චිත්‍රපට සහ නිරුවත් ජායාරූපය. ඒ වන විටත් විවාහ තුනක් කරගෙන සිටි රිස්ඛාන් වාලච්චේනෙන් කටුනායකට පනින්නේ කාන්තාවගේ ගෙල බැඳි ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකෑමකට පොලීසිය සොයමින් සිටියදීය. දැනට හෙළි වී ඇති අකාරයට අනුව රිස්ඛාන් ලෝක හොරෙකි. ස්ත්‍රී ලෝලියෙකි. ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති මංකොල්කෑම් ගණන දෙකකි. සොරකම් ගණන තුනකි. ඒ සියලු කොල්ලකෑම් සහ සොරකම් ගැන පොලිස් අපරාධ ලේඛනාගාරයේද ඔහුගේ නම ඉදිරියේ ලේඛනගතව ඇති ඒවාය. ඒ හැරුණු කොට තවත් එවන් අපරාධ ඔහුට එරෙහිව තිබෙන්නට පුළුවන. ඒ ගැනද දැන් සොයන්නට පොලීසිය පටන්ගෙන හමාරය.
එසේම ඔහු සිය ජංගම දුරකතනයේ ඇතැම් ඇප්ස් තබාගෙන සිටින්නේ රහස් පද යොදාගෙනය. ඒවා ඔහු එළියට දෙන්නේ නැත. මේ නිසාම වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් තීරණය කරන්නේ රිස්ඛාන් සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්නටය. ඒ වන විටත් කටුනායක පොලීසිය ඔහු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරමින් දින 03ක් රදවාගෙන විමර්ශන පැවැත්වීමට නියෝගයක්ද ලබාගෙන තිබිණි.
එම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් දින 30කට දීර්ඝ කර ගනු ලබන්නේ රටේ ජනාධිපති ඝාතනය කිරීමක් ගැන පවා කතාබහ කිරීම සහ කුමන්ත්‍රණය කිරීම සුළුපටු ගණයේ අපරාධයක් නොවන බැවින් ඒ ගැන වඩාත් පුළුල්ව යම් සොයාබැලීමක් කළ යුතුව ඇති බැවිනි.