කඩුවෙල හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායක සමයං කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනය වීමත් සමඟ ඔහුගේ හිඩැසට ඇති වන්නේ සිව් කොන් සටනකි. ඒ ඔහුගේම ගොලයන් වන ඌරුජුවා, චමියා, ඉන්ද්‍රා සහ ගොත අසංක අතරය. මේ තරගය ඇති වන්නේ කඩුවෙල පැත්තේ ව්‍යාපාරික ආයතනවලින් මාසිකව සමයං විසින් උපයාගත් කප්පම් මුදල්වල රසය ඔවුන්ටද දැනී තිබුණු බැවිනි.
කඩුවෙල සහ නවගමුව පැත්තේ පිහිටි බහු ජාතික සමාගම්වලින් එකල සමයං කප්පම් ගත්තේ ලක්ෂ ගණනෙනි. කප්පම් ගෙවීමකින් තොරව එම බහුජාතික සමාගම්වලට මෑන් පවර් සේවාව ලබාගන්නට සමයංගෙන් ඉඩක්ද නොවීය.
සමයංගේ සෙසු ගෝලයන් පරයා යමින් අද වන විට සමයංගේ තැන අල්ලාගෙන සිටින්නේ ඌරු ජුවාය. සමයං ජීවතුන් අතර සිටි සමයේදී බුලත්විට කඩෙන් පවා කප්පම් ගත්තේය. ඌරු ජුවාද සමයංගේ අධිපාරේ යමින් කඩුවෙල රණාල සහ හංවැල්ල යන පැතිවල කප්පම් භීෂණයක් පසුගිය කාලයේ ඇති කරවන්නේ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරික ස්ථාන පවා වසා දමන තැනට වට්ටවමි. ඌරු ජුවා හැම දෙයක්ම කළේ බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයෙනි.
බන්ධනාගාරය තමාගේ ආරක්ෂක බළකොටුව බවට පත් කරගත් ඌරු ජුවා කඩුවෙල පැත්තේ ඇතැම් සමාගම්වල නිෂ්පාදන කටයුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු ජුවාට බන්ධනාගාරයෙන් පිටත ගෝලබාලයෝ රොත්තක්ම සිටිති. එම ගෝලයන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු විස්සේ තිහේ තරුණයෝය. ඒ අය අතර මෑත කාලයේ සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය ලැබූ තරුණයෝද සිටිති. එම තරුණයන් උසස් අධ්‍යාපනයක් ලබා රටට බරක් නැති රැකියාවක නිරත වෙනවා වෙනුවට තෝරාගෙන ඇත්තේ ඌරු ජුවාය. ඒ ඔහු කප්පම්වලින් උපයාගන්නා මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ගෝලබාලයන් නඩත්තු කිිිරීමට වැය කරන නිසාය. සිය ගෝලයන්ට ඔහු කම්සැපද දෙන්නේ සුරූපී තරුණියන් යොදාගෙනය. රාත්‍රී සමාජ ශාලාවල සැරිසරන ඔවුන් හිතන්නේ තමන්ගේ ලෝකය එය බවය.
ඌරු ජුවා සිය පාතාල අධිරාජ්‍ය ගොඩනඟන්නේ දැඩිගමුව කේන්ද්‍රකරගෙනය. ජුවා සිහින මවන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නටය. ඔහු කණ්ඩායමක් නඩත්තු කරන්නේ ඒ අරමුණෙනි. එම ගෝලයන් රැකබලාගන්නට මුදල් උවමනාය. ඉවක් බවක් නැතිව ඔහු කප්පම් ගැනීමට පෙලඹන්නේ ඒ නිසාය.
ජුවාගේ කප්පම් ගැනිල්ලට මුලින්ම එරෙහි වන්නේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි අහංගම පොලිසියේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්වාය. මංජුල සිල්වාට ඌරු ජුවාගෙන් මරණ තර්ජන පවා එල්ල විය . ඒ බන්ධානගාරයේ සිට ජංගම දුරකතනයකිනි. ජුවාගේ තර්ජනවලට ඔහු බිය වූයේ නැත. විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ පවා සේවයේ කර ඇති මුංජුල ද සිල්වා, ජුවාගේ කප්පම් වලට නවගමුවේ නැවතීමේ තිත තැබුවේය. මංජුලද සිල්වා නවගමුවෙන් අහංගමට ස්ථාන මාරුව ලැබීමත් සමඟ නැවතත් ඌරු ජුවා නවගමුවේ පාතාල බලය ඇල්ලුවේය. ඒ වන විට ඔහුගේ පාතාල බලය හංවැල්ල දක්වාම ව්‍යාප්තව පැවතිණි. ජුවාට කප්පම් ගෙවන්නට බැරිව වෙළෙඳසල් වසා දැමූවන් වැඩියෙන්ම සිටින බව කියන්නේ හංවැල්ල පැත්තේය. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ජුවාට බියෙන් ගේදොර පවා අතහැර ගොසිනි.
ඌරු ජුවාගේ කප්පමෙන් කැලණි මිටියාවතේ ව්‍යාපාරිකයන් බේරාගැනීමට නිරන්තර පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් ඒ මෙහෙයුම් පසුගිය කාලය පුරාවටම පැවැතියේ අසංවිධානාත්මකවය. ජුවාගේ කල්ලියේ කිසිදු මර්දනයක් සිදු නොවූයෙන් කප්පම් ගැනිල්ලට නැවතීමේ තිත තැබුණේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයත්, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ සහ පාතාල මර්දන අංශයත් මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයත් දැන් වැඩට බැස ඇත්තේ දේශපාලන වෙනසත් සමඟ පාතාල අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ලැබුණු නිදහසද ඇතිවය. ඒ අනුව ඌරු ජුවාගේ කල්ලිය පස්සේ පන්නමින් සිටි විශේෂ පොලිස් ඒකකයක ස්ථානාධිපතිවරයෙකුට මෑතකදී දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඌරු ජුවාගෙනි. බන්ධනාගාරයේ සිට ලැබුණු එය තර්ජනාත්මක ඇමතුමක්දැයි පැහැදිලි නැතත් ඔහු අවසානයේදී ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ ගෝලබාලයන් අත්අඩංගුවට නොගන්නා ලෙසය. ඌරු ජුවාට එරෙහි පොලිස් මෙහෙයුම් දැඩි වන්නේ ඒත් එක්කමය. ඒ අනුව මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී විදුර ජයසිංහ මහතාගේ අධික්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයැවීමෙන් වැටලීම් මාලාවක් ක්‍රියාත්මක වන්නේ එතෙක් නිදහසේ සිටින ඌරු ජුවාගේ ගෝලබාලයන් කොටු කරගන්නටය. උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර , සැරයන්වරුන් වන සුනිල් (5651), ප්‍රසන්න (40248), කොස්තාපල්වරුන් වන උපුල් (48614), ලලන්ත (72338), සමීර (81600), කුමාර ( 84762)සහ තිලකසිරි (18818) යන නිලධාරීන් එක්ව ඉකුත් සතියේ කළ වැටලීමේදී අල්ලාගන්නේ ඌරු ජුවාගේ ප්‍රධාන ගෝලයන් සිව් දෙනෙකි. ඌරු ජුවාගේ කප්පම් මුදල් බැරවූයේ ඒ අයගෙන් දෙදෙනෙකුගේ බැංකු ගිණුම්වලටය. වයස අවුරුදු දහඅටේත් විසි එකේත් පසුවූ ඔවුන්ට ඌරු ජුවා කප්පම් මුදල්වලින් අතමිට සරු කර තිබිණි. දැඩිගමුව සහ අතුරුගිරිය පෝරේ පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනාම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අයය. සෙසු දෙදෙනා කඩුවෙල සහ නවගමුවේය. ඔවුන්ද සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෝය. විමර්ශනවලින් හෙළි වී ඇති අකාරයට අනුව ඌරු ජුවාගේ මූල්‍ය පරිපාලකයන් වන්නේ ඔවුහුය.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එසේ ඌරු ජුවාගේ මුදල් පරිපාලකයන් කොටු කරගන්නා විට කැලණි මිටියාවත හොල්ලාගෙන සිටි ඌරු ජුවාගේ ගෝලබාලයන් රොත්තක්ම අල්ලන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය සහ මෙහෙයුම් අංශය විසින් කරනු ලබන ඒකාබද්ධ වැටලීමකදීය. එහි නියමුවා වන්නේ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාය. විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක වූ එම වැටලීම්වලට ඌරු ජුවාගේ ගෝලයින් 09 දෙනෙක් කොටු වන්නේ මත්කුඩු සහ මත්ද්‍රව්‍යද සමඟිනි. ජල්තර, හංවැල්ල, රණාල, බෝමිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඒ අය අතර කැළෑ මංජු, ඩිලා, කබරයා සහ චොරා යන නම්වලින් හඳුන්වන ප්‍රධාන ගෝලයෝද සිටියහ. ඒ අතර සිටින චොරා නැමැත්තා පොලිස් පරීක්ෂකවරයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමකට චෝදනා එල්ලවූවකි. ප්‍රකෝටිපති කාන්තාවකගෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව එම පොලිස් පරීක්ෂකයා ඝාතනය කර තිබුණේ මෙයට වසර කිහිපයකට පෙරය. පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් වන විට ඔහු සිටින්නේ එම ඝාතනයට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබාය.
එම වැටලීම්වලදී විශේෂ කාර්ය බළකාය නම ගිය පාතාල අපරාධකරුවෙකු වන ඉන්ද්‍රා ද ඔහු පදිංචි වී සිටි ජල්තර නිවසේදී කොටු කරගත්තේය. විසි හය හැවිරිදි ඉන්ද්‍රා සහ ඌරු ජුවා අතර ඇත්තේ බල අරගලයකි. එම අරගලයට දෙපැත්තේම තරුණයන් කිහිප දෙනෙකුම දැනටමත් බිලි වී හමාරය. එම අරගලයට මුල ඉන්ද්‍රාගේ රාජධානිය වූ හැංවැල්ලට ඌරු ජුවා අත පෙවීමය. ඉකුත් සැත්තැම්බර් 15 වැනිදා හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී ඉන්ද්‍රාට වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නේද එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා ඉන්ද්‍රාගේ දිවි රැකෙන්නේ ජුවාගේ ගෝලයන්ට ඉලක්කය වැරදී යන බැවිනි. වෙඩි වැදී සුළු තුවාල ලැබූ ඉන්ද්‍රා පිඹුරුපත් සකස් කරමින් සිටියේ ජුවාටත් ඔහුගේ ගෝලබාලයන්ටත් වැඩක් දෙන්නටය.
ජුවා බන්ධනාගාරයේ සිටින බැවින් ඉන්ද්‍රා සැලසුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළේදී හෝ අධිකරණයට ඉදිරිපත් කරන්නට රැගෙන එන අවස්ථාවක් බලා වැඩේ දෙන්නටය. එහෙත් ඔහුට ඒ සැලසුම නිසි ලෙස සකස් කරමින් ක්‍රියාවට නැංවීමට ඉඩක් නොවීය. විශේෂ කාර්ය බළකායට කොටු වන්නේ ඊට පෙරය.
කෙසේ වෙතත් දැන් පාතාලයට ඉස්සර දැමූ සෙල්ලම් දමන්නට කිසිසේත්ම ඉඩක් නැත. පොලීසිය මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ පාතාලයට ගෑවුණු සෑම අයෙකුම නීතියේ රැහැනට කොටු කර සුරක්ෂිත රටක් බිහි කිරීමට ඇවැසි මඟ සකසන්නටය. ඒ අනුව ව කැලණි මිටියාවත කප්පම්කරුවන්ගෙන් මෙන්ම පාතාල අපරාධකරුවන්ගෙන් මුදාගත් කලාපයක් බවට පත් වීමේ දිනය වැඩි ඈතක නොවනු ඇත.