ආහාර ලොවේ යකඩ රැජන සකල රෝග නිවාරණය කරන අරුම පුදුම මල | සිළුමිණ

ආහාර ලොවේ යකඩ රැජන සකල රෝග නිවාරණය කරන අරුම පුදුම මල

කෙසෙල් ශාකයේ නිජ භූමිය වන්නේ දකුණු අග්නි­දිග ආසි­යානු කලා­ප­යයි. කෙසෙල් මූසා කුල­යට (Musa) අයත් වන අතර, පල­තුරු ලෝකයේ කොම­ඩු­ව­ලට පම­ණක් දෙවන වන වැඩිම නිෂ්පා­ද­න­යක් තිබෙන පල­තුරු බෝගය වේ. සාමා­න්‍ය­යෙන් වස­ර­කට කෙසෙල් මෙට්රික් ටොන් මිලි­යන 114 ක් පමණ නිෂ්පා­ද­නය වෙයි. ලෝකයේ සෑම රට­කම කෙසෙල් පල­තු­රක් ලෙස ජන­ප්‍රි­යව පැව­තිය ද, කෙසෙල් මල් ආහා­ර­යක් ලෙස ගන්නේ ඉන්දි­යාව, ශ්‍රී ලංකාව සහ අග්නි­දිග ආසි­යානු රට­වල් පමණි. එහෙත් එළ­ව­ළු­වක් ලෙස තායි කෑම වල බහු­ලව දක්නට ලැබෙයි.

ආහා­ර­යට ගන්නා කෙසෙල් මලට මෙරට ජන­තාව “කෙසෙල් මුව ”, “වතු­මුහ” යන නම් ද භාවිත කරයි. පැරැ­න්නන් අතර කෙසෙල් මුව ඉතා­මත් පෝෂ­ණීය එළ­ව­ළු­වක් ලෙස ප්‍රක­ටව තිබුන ද, වර්ත­මා­නය වන විට බොහෝ දෙනෙ­කුගේ ආහාර ප්‍රමු­ඛතා ලැයි­ස්තුවේ මෙය පහ­ළට වැටෙ­මින් තිබෙන එළ­ව­ළු­වකි. මිලෙන් අඩු වුවද, සොයා ගැනී­මට පහසු වුව ද, නොද­න්නා­කම නිසා­වෙන් ඒ හැටි වටි­නා­ක­මක් හිමි නොවුණු මෙම එළ­ව­ළුව බර­ප­තල රෝගා­බාධ රැස­කට විස­දුම් දෙන අරුම පුදුම ඹෟෂ­ධීය සහ පෝෂ­ණීය ගුණ සම්භා­ර­යකි.

යකඩ යනු රුධිර නිෂ්පා­ද­නය සඳහා අත්‍ය­වශ්‍ය අංග­යකි. මිනිස් සිරුරේ යක­ඩ­ව­ලින් සිය­යට 70 ක් පමණ හීමො­ග්ලො­බින් ලෙස හඳු­න්වන රුධි­රයේ රතු රුධිර සෛල­වල හා මයෝ­ග්ලො­බින් නම් මාංශ පේශි සෛල තුළ දක්නට ලැබේ. ඔක්සි­ජන් පෙණ­හ­ලු­වල සිට පටක වලට මාරු කිරීම සඳහා හිමො­ග්ලො­බින් අත්‍ය­වශ්‍ය වේ.

යක­ඩ­ව­ලින් සිය­යට 6 ක් පමණ ශ්වස­නය හා බල­ශක්ති පරි­වෘ­ත්තීය සඳහා අත්‍ය­වශ්‍ය වන ඇතැම් ප්‍රෝටීන වල සංඝ­ට­ක­යක් වන අතර, කොල­ජන් හා සම­හර ස්නායු සම්ප්‍රේ­ෂක සංස්ලේ­ෂ­ණ­යට සම්බන්ධ එන්ස­යිම වල ද යකඩ සංඝ­ට­ක­යක් වෙයි.

ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තියේ නිසි ක්‍රියා­කා­රි­ත්වය සඳහා ද යකඩ අවශ්‍ය වෙයි. මේ අනුව, මිනිස් රුධි­රයේ සහ යහ­පත් කායික මාන­සික පැවැත්මේ අති­ශය තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් සඳහා ආහාර මඟින් අප ලබා ගන්නා යකඩ පදා­ර්ථය වැද­ගත් වෙයි. රුධි­රයේ යකඩ පදා­ර්තය අඩු වීම, ලේ හිඟ­කම නොහොත් රක්ත හීන­තා­වය සඳහා බල­පානු ලබන ප්‍රමුඛ සාධ­ක­යක්ද වෙයි.

රක්ත­හී­න­තා­වය යනු ලොව පුරා ළමුන් සහ ගර්භනී මවු­වරු අතර දිගු කලක් තිස්සේ පැවති මහ­ජන සෞඛ්‍ය ගැට­ලු­වකි. ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමී­ක්ෂ­ණය (2012) වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ළමුන් අතර රක්ත­හී­න­තා­වය සිය­යට 15.1 ක් බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජ­නක වයසේ කාන්තා­වන් අතර රක්ත­හී­න­තා­වය සිය­යට 32.60 ක් තරම් ඉහළ අග­යක් ගන්නා අතර ආසන්න වශ­යෙන් සෑම දරු­වන් හත් දෙනෙ­කු­ගෙන් එක් අයෙකු සහ කාන්තා­වන් තිදෙ­නෙ­කු­ගෙන් එක් අයෙකු රක්ත හීන­තා­ව­යෙන් පෙළෙයි. රක්ත හීන­තා­වය සඳහා බල­පාන ප්‍රමු­ඛම සාධ­ක­යක් වන්නේ යකඩ ඌණ­තා­ව­යයි. යකඩ ඌණ­තා­වය නිසා හට ගන්නා රක්ත­හී­න­තා­වය තව­මත් ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ සෞඛ්‍ය ගැට­ලු­වක් බවට සැළ­කෙයි.

යකඩ ඌණ­තා­වය සඳහා ප්‍රමු­ඛ­තම සාධ­ක­යක් වන්නේ අප ගන්නා ආහා­ර­ව­ලින් සිරු­රට ප්‍රමා­ණ­වත් ලෙස යකඩ නොලැ­බී­මයි. සිරු­රට අවැසි යකඩ පදා­ර්ථය ලබා ගැනීම සඳහා පෝෂ­ණ­වේ­දීන් නිර්දේශ කරන්නේ යකඩ බහුල ආහාර සුල­භව ලබා ගන්නා ලෙසයි. ආහා­රය තුළ තිබෙන යකඩ දෙයා­කාර වෙයි.

මාංශ­මය ආහා­ර­වල තිබෙන යකඩ පදා­ර්ථ­යට හීම් යකඩ ලෙස හැදි­න්වෙන අතර. සාමා­න්‍ය­යෙන් හීම් යකඩ සිරු­රට ප්‍රයෝජ්‍ය කර ගැනී­මට පහ­සුම ආකා­ර­යයි. ශාක­මය ආහා­ර­වල තිබෙ­නුයේ හීම් නොවන යකඩ වන අතර, ඒවා හීම් යකඩ මෙන් ශරී­ර­යට ප්‍රයෝජ්‍ය කර ගැනීම දුෂ්කර ලෙස සැල­කෙ­නවා. හීම් නොවන යකඩ පහ­සු­වෙන් සිරු­රට අව­ශෝ­ෂ­ණය කර ගැනීම සඳහා විට­මින් සී සහිත ආහාර සමග හෝ හීම් යකඩ අඩංගු මාංස­මය ආහාර සමඟ ලබා ගැනීම පෝෂණ විද්‍යා­ත්මක උප­දේ­ශය වෙයි.

බට­හිර පෝෂණ විද්‍යා පොත් පත් කට පාඩම් කර ගෙන ඉන්නා අප දන්නා පරිදි යකඩ බහු­ල­වම අඩංගු වන්නේ මස් මාංශ, පීකුදු වැනි ආහාර වර්ග වලය. යකඩ අඩංගු ශාක­මය ආහා­රය ලෙස ජන­ප්‍රි­යව තිබෙන්නේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ග වෙයි. එකී ආහාර ග්රෑම් සිය­යක යකඩ මිලි ගරෑම් 3 - 4 ක් අතර ප්‍රමා­ණ­යක් තිබෙන අතර, පීකුදු ග්රෑම් සිය­යක යකඩ මිලි ගරෑම් 6.5 ක් පමණ අන්ත­ර්ගත වෙයි.

ලොව ආහාර අතු­රින් යකඩ පදා­ර්ථය අධි­කම ආහා­රය ලෙස පෝෂණ විද්‍යා­ඥ­යින්ගේ සැල­කුම් ලැබ ඇත්තේ සාමා­න්‍ය­යෙන් මිල අධික උෂ්ණ ආහා­ර­යක් ලෙස සැල­කෙන බෙල්ලන් ය. මට්ටියා නැමති බෙල්ලන් විශේ­ෂයේ ග්රෑම් සිය­යක යකඩ මිලි ග්රෑම් 28 ක් තිබෙන අතර එය සාමාන්‍ය ගර්භනී ස්ත්‍රිය­කට දෛනි­කව අවශ්‍ය වන යකඩ ප්‍රමා­ණ­යට සමාන වෙයි.

එහෙත්, නව­තම සොයා ගැනී­ම්ව­ලට අනුව කෙසෙල් මල් ග්රෑම් සිය­යක යකඩ මිලි­ග්රෑම් 56.4 ක් තිබෙන බව සොයා ගෙන තිබෙ­නවා. වෙනත් ආකා­ර­ය­කට පැව­සු­ව­හොත්, දෛනි­කව ගර්භණී මව­කට අවශ්‍ය යකඩ ප්‍රමා­ණය ලබා ගැනී­මට ආහා­ර­යට ගත යුත්තේ කෙසෙල් මල් ග්රෑම් 50 ක් පම­ණකි.

සාමා­න්‍ය­යෙන් තඹ ඛණිජ ලව­නය සුල­භම ආහාර ලෙස සැල­කෙන්නේ, කකු­ලු­වන්, බෙල්ලන් වැනි ආහා­රයි. මේවා ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 3 - 4 ක් අතර ප්‍රමා­ණ­යක් අඩංගු වන අතර, තල ඇට වල මිලි ගරෑම් 2.5 ක් ද, කජු මද ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 2.2 ක් පමණ ද අඩංගු වෙයි. කෙසෙල් මල් ග්රෑම් 100 ක තඹ මිලි ග්රෑම් 13 ක් අඩංගු වන අතර, එය තඹ සුල­භ­වම අන්ත­ර්ග­ත­වන ආහාර වල උප­රිම අන්ත­ර්ගත වන ප්‍රමා­ණය මෙන් තුන් හතර ගුණ­ය­ක­ටත් වඩා වැඩි වෙයි. තඹ අධි­කව ශරී­ර­යට ලබා ගැනීම අතුරු ආබාධ සඳ­හාද හේතු වන බැවින්, දින­පතා ආහා­ර­යට කෙසෙල් මල් සුදුසු නොවන බව ද මේ අනුව අව­ධා­ර­ණය කළ යුතුව ඇත.

මෙයට අම­තර කෙසෙල් මල් පොටෑ­සි­යම්, කැල්සි­යම්, මැග්නී­සි­යම්, සෙලෙ­නි­යම්, සින්ක් යන ඛණිජ ලවන වර්ග පිරි ආහා­ර­යකි. කෙසෙල් මල්වල අන්ත­ර්ගත තවත් සුවි­ශේෂි පෝෂණ ගුණ­යක් වන්නේ මෙහි සුල­භව ආහා­ර­මය කෙදි අඩංගු වීමයි. කෙසෙල් මල් විට­මින් සී, ඒ, සහ විට­මින් ඊ යන ශරී­ර­යට හානි කරන විනා­ශ­කාරි නිද­හස් මුක්ත ඛණ්ඩක විනාශ කිරී­මට ද ඉව­හල් වන ප්‍රති­ඔ­ක්ෂි­කා­රකි. මෙයට අම­ත­රව කෙසෙල් මල්වල ප්‍රෝටීන් බහු­ලය.

කෙසෙල් මලේ විෂ­බීජ නාශක ගුණය

 

කෙසෙල් මල් ආසා­දන වලට ප්‍රති­කා­ර­යක් ලෙස භාවිත කළ හැකි බවට වන පර්යේ­ෂ­ණා­ත්මක සාක්ෂි ඇත. කෙසෙල් මල තුවාල සුව කිරී­මට උප­කාරී වන බවත්, කෙසෙල් මල් සාරය මඟින් මැලේ­රියා පර­පෝ­ෂි­ත­යාගේ වර්ධ­නය වළක්වා ගත හැකි බවත් ඇතැම් අධ්‍ය­යන මගින් සොයා ගෙන ඇත.

විද්‍යා­ඥ­යින්ගේ අව­ධා­නය වැඩි­පු­රම යොමු වී ඇත්තේ කෙසෙල් මල සතු රුධි­රයේ සීනි මට්ටම පාල­නය කිරීමේ ගුණය පිළි­බ­ද­වය. මේ පිළි­බද පර්යේ­ෂණ කිහි­ප­යක්ම සිදු­කර ඇති අතර, ඒ සියලු පර්යේ­ෂ­ණ­වල ප්‍රති­ඵල බලා­පො­රොත්තු ඇති කර­වන සුලු වෙයි. ඉන්දි­යාවේ මයි­සූර්හී මධ්‍යම ආහාර තාක්ෂණ පර්යේ­ෂණ ආය­ත­න­යට අනු­බද්ධ ජෛව රසා­යන හා පෝෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විද්‍යා­ඥ­යින් පිරි­සක් සිදු කර තිබෙන පර්යේ­ෂ­ණ­ය­කට අනුව, කෙසෙල් මල මෙන්ම කෙසෙල් ගසේ බොඩය ද දිය­වැ­ඩියා රෝගය සහ තර­බා­රුව පාල­නය කිරීම සදහා සුවි­ශේෂී ලෙස ක්‍රියා­ත්මක වන බව සොයා ගෙන තිබෙ­නවා.

ප්‍රති­ඔ­ක්සිකා­රක ගුණ ඉහ­ළයි

ශරී­රය තුළ නිද­හස් මුක්ථ ඛණ්ඩක ඇති වීම බර­ප­තළ සෞඛ්‍ය ගැටලු සදහා හේතු වෙයි. වාස­නා­ව­කට මෙන්, එම මුක්ථ ඛණ්ඩක විනාශ කරන ප්‍රති­ඔ­ක්සි­කා­රක කෙසෙල් මලෙහි යහ­මින් තිබෙන බව සොයා ගෙන තිබෙ­නවා. මේ අනුව අක­ලට විය­පත් වීම, ස්නායු ආබාධ, හද­වත් රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටළු රැස­කට පිළි­ය­මක් ලෙස කෙසෙල් මල් භාවිත කළ හැකි වෙයි.

මනෝ­භා­වය වැඩි කර කාංසාව අඩු කරයි

එහි සුල­භව අන්ත­ර්ග­ත­ මැග්නී­සි­යම් නිසා­ කෙසෙල් මල්, කාංසාව සහ මාන­සික අව­පී­ඩ­නය අඩු කොට මනෝ­භා­වය වැඩි දියුණු කිරීම කරයි.

ආර්ථව රුධිර වහ­නය අඩු කරයි

ඔසප් වීමේ දී ඇතැම් කාන්තා­වන්ට අධික වේදනා ගෙන දෙන අතර ඇතැම් කාන්තා­වන්ට අධික ලෙස ඔසප් සමඟ රුධි­රය වහ­නය වෙයි. පිසූ කෙසෙල් මල් වැංජන හැන්දක් ඔබේ බත්ප­තට බොදා ගැනී­මෙන් මෙම විශ්මිත ප්‍රති­ඵල ලැබිය හැකිය. යෝගට් සමඟ පිසූ කෙසෙල් මල් ශරී­රයේ ප්‍රොජෙ­ස්ට­රෝන් හෝමෝ­නය ද වැඩි කරන අතර ලේ ගැලීම් ද අඩු කරන බව සොයා ගෙන ඇත.

කිරි දෙන සහ ගර්භිණී මවුව­රුන්ට ඉතා ගුණයි

කෙසෙල් මල් ගර්භනී සහ කිරි දෙන මව­කට වස විස­ව­ලින් අවම උසස් පෝෂ්‍ය පධාර්ථ ලබා දෙන බවට සහ­තික කරන ලාබ­දායි සහ විශ්වා­ස­ව­න්තම ආහා­ර­යකි. ගර්භනී සමයේ දී ඇතැම් මවු­ව­රුන්ට දිය­වැ­ඩියා රෝගය වැළ­දීමේ අව­දා­න­මක් තිබෙන බැවින්, එවැනි අව­දා­න­මක් මග හරවා ගැනීම සඳහා ද කෙසෙල් මල් ආහා­ර­යට ගැනීම වැද­ගත්. එමෙන්ම උදෑ­සන ඔක්කා­රය සම­නය කිරීමේ ගුණ­යක් ද කෙසෙල් මල්වල ඇත. තව ද මළ බද්ධය වළ­ක්වන ආහා­ර­යක් ද වන බැවින් ගර්භනී මවු­ව­රුන්ගේ ආහාර වට්ටෝ­රුවේ සති­ය­කට දෙතුන් වේල­ක්වත් කෙසෙල් මල් අන්ත­ර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්‍රති­ලාභ සදහා හේතු වන බව කිව හැකිය. මව්කිරි දීමේදී විශේ­ෂ­යෙන් නවක මව්ව­රුන් බොහෝ ගැට­ලු­ව­ලට මුහුණ දෙයි. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැට­ළු­වක් වන්නේ කිරි සැප­යුම අඩු වීමය. කෙසෙල් මල් කිරි සැප­යුම වැඩි කරන අතර, නව මව්ව­රුන්ට තම ළද­රු­වන් වඩා හොඳින් පෝෂ­ණය කිරී­මට උප­කාරී විය හැකිය.

කෙසෙල් මල කිසිදු අතුරු ආබා­ධ­යක් නොමැති ආහා­ර­යක් වෙයි. කෙසේ වෙතත් රෝග මර්ධන ඖෂ­ධ­යක් ලෙස කෙසෙල් මල නිර්දේශ කිරීම සඳහා තව දුර­ටත් පර්යේ­ෂණ සිදු කළ යුතුව තිබේ.

Comments