HOLLYWOOD & BOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD & BOLLYWOOD

අනුරාග් - ප්‍රවීණා

ඇත්තටම පෙම්වත්තුද?

‘කාසොටි සින්ද ගී කේ’ හෙවත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ‘ප්‍රවීණා’ ටෙලි නාට්‍යයේ අනුරාග් බාසු ලෙස රඟන පාත් සම්තාන් ගැන කට කතාවක් පසුගිය කාලය තුළ විදුලි වේගයෙන් පැතිරී ගියා. ඔහු සහ ප්‍රවීණා ගේ චරිතය රඟන එරිකා ෆර්නැන්ඩස් අතර පෙම් සබඳකමක් පවතින බවයි. ඒ තත්ත්වයට පාදක වුණේ. මේ දෙදෙනා ඉඩක් ලද මොහොතකදී විනෝද සවාරිවලට එක් වෙන බවත් පැවසෙනවා.

ඒත්, පසුගියදා ඉන්දීය වෙබ් අඩවියක් සමඟ පැවති කතා බහකදී පාත් පැවසුවේ තමන් සහ එරිකා අතර කිසි ම විශේෂ සබඳකමක් නැති බවයි. “අපි දෙන්නා හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කරනවා මිසක ඔය කියන විදිහේ සම්බන්ධයක් නම් නැහැ. අපි හරිම හිතවත්ව තමයි ‘කසොටි සින්ද ගී’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන ඉන්නෙ. රූපගත කිරීම් අතරතුරදී අපි අතරෙ පුංචි වාද විවාද එහෙමත් සිද්ධ වෙනවා. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. මේ මෑතකදී ටෙලි නාට්‍යයට සම්බන්ධ හැම කෙනෙක් ම මගේ අලුත් ගෙදරට ආවා. එදා අපි හරියට සතුටු වුණා. එරිකාත් ආවා. විශේෂයක් නැහැ. මම නම් ඔය කටකතා ගණන් ගන්නෙ නැහැ.” පාත් එලෙස පැවසුවා.

ඔහු පසුගිය සතියේ නේපාලයේ සුන්දර ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. දින කිහිපයක් එරටෙහි ගත කළ පාත් එම සංචාරයේදී ගන්නා ලද ඡායාරූප රැසක්ම සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඇතුළත් කර තිබුණා. එරිකා ෆර්නැන්ඩස් සමඟ ඔහු සංචාරය කරන බවට ආරංචි පැතිරී ගියත්, නේපාලයේ ගත කළ දින කිහිපයේදී නම් ඇය ගැන කිසිවක් සඳහන් වී තිබුණේ නැහැ. ඇයත් ඔහු සමඟ ඒ ගමනට එක් වූවා නම් එය රහසක් ලෙස තබා ගන්න නම් කොහෙත්ම නොහැකි වේවි.


විවාහ සැමරුමට

බලු සුරතල්

ප්‍රී - නික් යුවළ ගැන නොදන්නේ කවුරුද? ඔවුන් දැන් අලුත් පෙම් යුවළක් නම් නොවෙයි. දෙදෙනා දැන් විවාහ වෙලා වසරකුත් ගෙවී ගිහින්. මේ වෙනින් කවුරුවත් ‍නොවෙයි. ප්‍රියංකා චොප්රා සහ නික් ‍ජෝනස්. දෙසැම්බර් 01 දාට ඔවුන් දෙදෙනා අතිනත ගෙන දවස් 365කුත් ගෙවිලා.

ඉතින්, යුගදිවියට වසරක් පිරෙන මොහොතේ නික් පුදුමයට පත්කරන්න හිතා ගත්තු ප්‍රියංකා ඔහුට පණ ඇති තෑග්ගක් දෙන්න තීරණය කළා. ඔබට හිතා ගන්න පුළුවන්ද ඒ මොකක්ද කියලා. ඒ පණ තියෙන තෑග්ග තමයි, සුරතල් සුනඛයෙක්. සැලකිය යුතු මුදලකට ප්‍රියංකා බලු සුරතලා නි‍ෙවසට රැගෙන පැමිණි බව නික් දැනගෙන හිටියේ නැහැ. නික්ට මේ ගැන ඉඟියක් හෝ පළ නොකළ ප්‍රියංකා බලු සුරතලාව තම නි‍ෙවසේ තැනක සඟවා තැබුවා. එදින රාත්‍රියෙ නික් සමඟ නින්දට ගිය ප්‍රියංකා, පසුවදා උදේ පාන්දරම අවදි වුණා. ඒ වන විට නික් අවදිව සිටියේ නැහැ. හිමින් සීරුවේ ‘පණ ඇති’ තෑග්ග යහන වෙතට රැගෙන පැමිණි ප්‍රියංකා, නික් ගේ පිටට සෙමෙන් තට්ටු කළා. ඇය ඒ සමඟම බලු සුරතලාව මුදා හැරියා. ඉතින්, ඒ සුරතලාත් නික්ව කාලෙක පටන් හැඳිනගෙන සිටියා වාගේ ඔහු අසල දැවටෙමින් දඟලන්න පටන් ගත්තා. ඒ අතර තම අත රැඳි ජංගම දුරකථනයෙන් ඒ දසුන් වීඩියෝ කළා. ඒ විතරක් නොවෙයි ඒ වීඩියෝ දර්ශනය ට්විටර් පිටුවටත් මුසු කළා. සටහනකුත් තැබුවා. ‘ප්‍රි’ ඊයෙ ගෙදර ආවෙ අද උදේ ඔහුව පුදුමයට පත් කරවන තෑග්ගකුත් අරගෙනයි. අපේ අලුත්ම සාමාජිකයා ‘හිනෝ’ ව පිළිගන්න.” ප්‍රියංකා එලෙස සටහන් කළා.

 


රන්බීර්ට ඇබැද්දියක්

ලබන වසරේදි තිරගත වීමට නියමිත චිත්‍රපටයක් තමයි, ‘බ්‍රහ්මස්ත්‍රා’. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ රන්බීර් කපූර් සමඟ අලියා භාට්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආයාන් මුඛර්ජි. මෙහි රූගත කිරීම් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ ඉන්දියාවේ හිමාචාල් ප්‍රාන්තයේ හිමාල කඳු වැටිය ආසන්නයේ පිහිටි මනලි ප්‍රදේශයේදී.

‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපටයේ සටන් ජවනිකා රැසක්ම ඇතුලත් වෙනවා. මේ රූගත කිරීම් වලට එක්ව සිටි රන්බීර් එක්තරා පාපන්දු ක්‍රීඩා තරගයකටත් සහභගි වෙලා. එහිදී සිදුවී ඇත්තේ නොසිතූ දෙයක්. ක්‍රීඩා තරගයේදී කිසියම් ඇත් වැරැද්දකින් රන්බීර්ගේ දකුණු අත ආබාධයකට ලක්වෙලා. ඒ නිසා රූගත කරමින් තිබුණු රන්බීර්ගේ ජවනිකා පෙළක්ම දින නියමයක් නැතිව කල් දමන්නට අධ්‍යක්ෂවරයාට සිදුවෙලා. රන්බීර් කිසියම් ආබාධයකට ලක්වී ඇති බව කාටත් දැන ගන්නට හැකි වුණේ ඔහු මුම්බායි ගුවන් තොටුපළින් නික්ම යන ඡායාරූප කිහිපයක් වෙබ් අඩවියක පළවීමෙන් පසුවයි. ඒ ඡායාරූපවල දැක්වුණේ රන්බීර් ගේ දකුණු අත බැන්ඩේජ් පටිවලින් වෙළා ඇති ආකාරයක්. මෙය දුටු බොහෝ දෙනෙකු රන්බීර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණා. රන්බීර් සමඟ ආලියා භාට් ද ගුවන් තොටුපළේ ගමන් කරන අයුරු එම ඡායාරූපවල සටහන් වී තිබුණා. රන්බීර් සමඟ ආලියා එකම ගුවන් යානයකින් මුම්බායි ගුවන් තොටුපළට පැමිණීම සමහරුන්ගේ දැඩි අවධානයට ලක්වූ කාරණයක් වුණා. ආලියාටත් එලෙස පැමිණෙන්න සිදු වුණේ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. ‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපටයේ රූගත කිරීම් කල් දැමුණු නිසයි.

Comments