සම්ප්‍ර­දා­යට පයින් ගැසූ ඇෆ්ගන් ගී තරුව | සිළුමිණ

සම්ප්‍ර­දා­යට පයින් ගැසූ ඇෆ්ගන් ගී තරුව

‘හැම ඇෆ්ගන් කාන්තාවක්ම කියන්නේ එයාලා අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා කියලයි. ඒත් මහන්සි දැනුණම වැඩේ අමාරුයි කියලා දැනුණම ඒ සටන නතර කරනවා. මම එයාලාට කියනවා අර්යානා සයීඩ්ට කවදාවත් මහන්සි දැනෙන්නේ නෑ කියලා. මම නැවත නැවතත්

ඇෆ්ගනිස්තානයට එන්නේ

අපි ගැහැනුන් වුණත් තවදුරටත්

ඔයාලට නම් බයවෙන්නෙ නෑ කියලා මුල්ලාවරුන්ට පෙන්වන්නයි.

එසේ කියන්නේ දැඩි මතධාරී ඉස්ලාම් අන්තවාදීන්ගේ තර්ජන ගර්ජන මැද ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නිදහසේ මිහිර කියා දුන් අර්යානා සයිඩ්. 34 හැවිරිදි මේ ඇෆ්ගන් පොප් ගී තරුව කවුරුත් හඳුන්වන්නේ මරණය අතේ අරන් ගී ගයන ඇෆ්ගනිස්තානයේ විප්ලවීය ගායිකාව කියලයි.

ඇෆ්ගනිස්තානයේ වඩාත්ම ජනප්‍රිය ගායිකාව ඇය වුණත් ඉස්ලාම් අන්තවාදයේ සිරකාරියන් බවට පත්වූ දහස් සංඛ්‍යාතත කාන්තාවන් ජීවත්වන ඇෆ්ගනිස්තානයේ ගී ගැයිමට ඇයට සිදු වී ඇත්තේ කොයි මොහොතේ වෙඩි පහරකට ලක්වේදැයි අවිනිශ්චිත පසුබිමකදියි. මරණ තර්ජන කොතෙක් එල්ල වුණත් ඇය සෑම වසරකම ඇෆ්ගන් නිදහස් දිනයදා ගී ගැයීමට මවුබිමට පැමිණීම පුරුද්දක් කරගත්තා.

මුස්ලිම් කාන්තාවන්ට අඟපසඟ කැපී පෙනෙන ඇඳුම් නිවෙසේ බිත්ති හතරට සීමා වූවක්. ඒත් සම්ප්‍රදායට පයින් ගැසූ මේ දිරිය සම්පන්න තරුණිය එවැනි බටහිර මෝස්තරවලින් හැඩ වැඩ වූවා පමණක් නොව අවුරුදු ගණනාවක් තිස්සේ එවැනි ඇඳුම්වලින් සැරසී ප්‍රසිද්ධියේ ගී ගැයීමෙන් අඩුවැඩි නැතිව ජනතාවත්.

අර්යානා බටහිර විලාසිතා අනුගමනය කරන්නට පටන් ගත්තේ අවුරුදු 8දී සිය මවුබිම හැරදා මාපියන් සමග ස්විට්සර්ලන්තයට පැන ගියදා සිටමයි. දැන් ලන්ඩනයේ ජීවත්වෙන අර්යානා ගී ගයනු ඇසීමට දහස් සංඛ්‍යාත ඉංග්‍රීසි රසික රසිකාවියන් එක්රොක් වන්නේ ඇගේ නිර්භිත බව ඉහළට ඔසවා තබමිනුයි.

‘මට ඕන කළේ තලිබන් ඝාතකයන් එල්ලා දමන්නට ලැයිස්තු හදන අපේ රටේ අසරණ මිනිස්සුන්ගේ මුහුණට සිනා පොදක් ගෙන දීමටයි. මුස්ලිම් අන්තවාදීන් මගේ සංගීත ප්‍රසංගය එළිමහන් ක්‍රීඩාංගණයේ පවත්වන්න තහනම් කරනවා. මගේ සින්දු අහන්න යන්න එපා කියලා මිනිස්සුන්ට තර්ජන කරනවා.

ඒත් මං එයාලට කියනවා මට ඕනෙ නම් මහ පාරේ වුණත් මං සින්දු කියනවා. මේ අන්තවාදින් අපේ රටේ මිනිස්සුන්ගේ භයානක හතුරෝ. එයාලා ප්‍රීතිමත්බවේ හතුරෝ..‘

ඇය එක එල්ලයේම චෝදනා කරන්නේ ඇෆ්ගනිස්තානයේ ආගමික ප්‍රධානියා කාබුල් නුවර උලමා සභාවේ ප්‍රධානී මුල්ලා අතාවුල්ලා ෆයිසානිටයි.

‘මුල්ලා තමයි අපේ රටේ මිනිස්සුන්ගේ සතුට නැති කරන්නේ. එයාට ඕනේ අපේ රටේ ගැහැනු හැමදාම කුස්සිය මුල්ලේ ඉන්නවා දකින්නයි‘ ඇය එසේ කියනවා.

‘ඇයි එයාලා මට බයවෙන්නේ...? මේ අසරණ මිනිස්සුන් ඝාතනය කරන තලිබාන් ත්‍රස්තයන්ට එරෙහිව සටන් කරන්නේ නැතිව ඇයි එයාලා මගේ පස්සේ හඹා එන්නේ..? මම සාමාන්‍ය ගායිකාවක් විතරයි.‘

නිතර නිතර රාගය අවුස්සන ආකාරයේ සිරුරටම ඇලුණු ඇඳුමින් සැරැසී ගී ගයන, දුටුවන් මන් මත්කරවන අයස්කාන්ත පෙනුමකින් යුතු අර්යානා හැම අතින්ම අමෙරිකාවේ මෝස්තර නිරූපන ශිල්පිනි කිම් කාඩිෂන්ට සමාන නිසා කවුරුත් අර්යානා ආමන්ත්‍රණය කරන්නේ ‘ඇෆ්ගනිස්තානයේ කිම් කාඩිෂන්‘ යනුවෙනුයි.

ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ පළමු ‘හිප් හෝප්‘ සහ පොප් ගායිකාව බවට පත්වූ අර්යානාගේ ගීත එරටේ ඉස්ලාම් සම්ප්‍රදාය අනුමත නොකරන බොහෝ ඇෆ්ගන් ජාතිකයන්ගේ විසිත්ත කාමර‍වල නිතර නිතර ඇසෙන්නට පටන් ගත්තා. එක අතකින් කියනවානම් එය ඇය හදිස්සියේම අත්පත් කරගත් ජනප්‍රියත්වයක්. ඇෆ්ගන් නිවාසවල මුළුතැන්ගෙට සීමාවූ, මුළු සිරුරම වැසෙන අන්දමේ කළු කබායෙන් සැරසුණු සම්ප්‍රදායික මුස්ලිම් ගැහැනුන්ගේ නිදහසේ වීරවරිය ඇයයි.

මරණ තර්ජන නිසා සැහෙන කාලයක් ඇෆ්ගනිස්තානට පා නොතැබුවත් අර්යානා කියන්නේ මුළු ඇෆ්ගන් කාන්තා පරපුර අතර ආදරය දිනාගත්තු වීරවරියක්. ඔවුන්ට කළ නොහැකි සම්ප්‍රදාය අබිබවා යෑම මේ හිතුවක්කාර යුවතිය කිසි අපහසුවකින් තොරව සිදු කළා.

ආදරය විෂයය කරගත් ගී වැඩිපුර ගැයූවත් නිදහස සොයන ඇෆ්ගන් තරුණියන්ගේ මානසික පීඩනය ගීතයෙන් කතා කළ අවස්ථාත් ඇගේ ගීතවල නැතුවා නොවේ. එවැනි බොහෝ ගීත ඇෆ්ගනිස්තාන රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් වූ අවස්ථා ද එමටයි. එසේ වුවත් අර්යානා ගී ගැයීම නතර කළේ නෑ. ඇෆ්ගන් තරුණ පරපුර ඇගේ ගීත ශ්‍රවණය කිරීම නතර කළේත් නෑ.

බටහිර ආරයේ ගී ගැයීමත්, ඊටම සරිලන ඇඳුමින් සැරසීමත් නිසා ඇෆ්ගනිස්තානයේ අන්තවාදීන්ගේ උදහසට ලක් වීම වැඩිවෙද්දී ඇය තව තවත් හිතුවක්කාර වුණා. එවැනි තර්ජන වැඩි වෙද්දී ඇය කළේ සිරුරට කිටි කිටියේ තදවූ ඇඳුම් පැලඳුම්වලින් සැරසී බටහිර රටවල පැවැත්වූ ගී ප්‍රසංගවලට සහභාගි වීමයි. ඉන් ඇෆ්ගන් පාලකයන්ගේ කෝපය තවත් වැඩිවුණා.

ඇෆ්ගන් මුලධර්මවාදීන්ගේ කෝපය අවුස්සා දමමින් ඇය වතාවක් පැරිස් නුවර දී පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයේදී හැඳ සිටි පිරිමින්ගේ මනස කිතිකැවූ ඇඳුමක්. එය ඇගේ සමේ පැහැයෙන්ම යුතු සිරුරට ඇලුණු ඇඳුමක් වුණා. සැබැවින්ම ඈතට දිස්වූයේ නිරුවත් ගැහැනියක වේදිකාවේ ගී ගයන ආකාරයක්. මේ සිදුවීම ඇෆ්ගනිස්තානය උණුසුම් කරවූවා.

ඇගේ අදහස වී ඇත්තේ ගැහැනු ළමුන්ට පාසල් යාම තහනම් කළ, කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කළ ඇෆ්ගනිස්තාන මූලධර්මාදීන්ට යස පාඩමක් ඉගැන්විය යුතු බවයි. අර්යානාගේ ගායනයත්, මුස්ලිම් කාන්තාවක් ලෙස ඇය ඉතා නිදහස් ජිවිතයක් ගත කිරීමත් නිසා යුද ගිනිදැල් මැද අන්ත අසරණ ජීවිතයක් ගෙවන ඇෆ්ගනිස්තානයේ දුගී දුප්පත් ජන සමාජය අතර ඇයට ඇත්තේ විශාල ගෞරවයක්. දැනට ලොව පුරා සංගීත ප්‍රසංග 50කටත් වඩා පවත්වා ඇති අර්යානා කියන්නේ ඒ සියල්ල ඇෆ්ගන් කාන්තාවන් වෙනුවෙන් කළ උපහාර බවයි. 

Comments