රැකෙ­න­වාද? වැන­සෙ­න­වාද? තීර­ණය තිබෙන්නේ අපේ අතේමයි | සිළුමිණ

රැකෙ­න­වාද? වැන­සෙ­න­වාද? තීර­ණය තිබෙන්නේ අපේ අතේමයි

ස්ථානය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.වර්ෂය, 1963. දිනය, මාර්තු 31 දා. වේලාව දහවල් 11.20. ප්‍රවීණ නිවේදක කරුණාරත්න අබේසේකරයන් එදා ගුවන් විදුලි මැදිරියේ මයික්‍රෆෝනය අසලට විත් මෙලෙස පැවසුවා. ‘‘අද මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. මල් වෙඩිල්ලක් පත්තු වෙලා නිවිලා ගියත්, අද මේ පත්තුකරන මල් වෙඩිල්ල සැමදා අහසේ දැල්වී පවතීවි“

‘ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්

මං ආස කරන මැණික් කැටේ නිල්

දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්

ලස්සන මගේ කිරිල්ලි සුරතල්...'

මේ ගීතය මෙන්ම ගැයූ ගායකයා ද එදා මෙදා තුර අතිශය ජනාදරයට පත් විය. ඔහු අන් කව‍රකුවත් නොව හිත හොඳ නිහාල් අයියා නමින් කවුරුත් හඳුන්වන, ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් නම් වෙයි.

“ලස්සනට පිපුණු ගීතය මට ලිව්වේ මගේ පාසල් කාලයේ මිත්‍ර‍ෙයක් වුණු සරත් මුණසිංහ. ඒ 1962 වසරේ අග බාගයේ. මං ඒකට තනුවක් දාලා ප්‍රවීණ සංගීවේදී චන්ද්‍රෙස්න මාස්ටර්ට ගිහින් පෙන්නුවා. ඔහු එයට ලස්සනට සංගීතය නිර්මාණය කරලා දුන්නා. පස්සෙ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙලා ජනප්‍රිය වූ දා සිට මං හෙමි හෙමිහිට දිගු ගමනක් ආවා.“

ඔහු කියූ ලෙසම එ් ගමන දිගු එකක් විය. ගායකයකු ජනප්‍රිය වීමට ප්‍රථම ප්‍රවීණයන්ගේ ගීත ගැයීම සිරිතක් නමුත්, නිහාල් අයියා ආධුනිකයෙකුව සිටියදී පවා අනුන්ගේ ගීත ගයා නැත. එදා සිට ඔහු ගැයූ ගීත ගණන දහස් ගණනකි. එනමුත් මෑතකදී ඔහුගෙන් නව නිර්මාණ බිහිවූයේ නැති තරම්ය.

“ඉස්සර කැසට් පට, සී ඩී පට, ඇල්බම් වගේ නිකුත් කළා. එදා එය කර්මාන්තයක් බවට පත්වුණා. නමුත් අද එහෙම කරන්න බැහැ. කෙනෙක් විශාල මුදලක් වියදම් කරලා අපේ නිර්මාණ පටිගතකරලා සී ඩී පටයක් ලෙස එළිදැක්වූ විට, එය පසුවදාම පේව්මන්ට් එකේ රුපියල් පනහට විකුණනවා. පසුව අර නිෂ්පාදකයා අමාරුවේ. ඒ නිසා අද සිදු වෙන්නේ පුද්ගලයින් ලෙස ගීත හදාගෙන එයාම සී ඩී කරලා දන්න දන්න අයට විකුණන එක. ඒක කර්මාන්තයක් නෙමෙයිනේ. මං කැමති නෑ නිෂ්පාදකයෝ අමාරුවේ දාන්න. ඒ නිසා අවුරුදු හතරකින් විතර අලුත් සින්දු කියලා නැහැ.“

එනමුත් ඔහුගේ කාර්ය බහුලත්වය කිසිදු අඩුවක් වී නැත. එළිමහන් ප්‍රසංග, විවිධ සංගීත වැඩසටහන්, විදෙස් ප්‍රසංග සදහා නිරතුරු ඔහු සහභාගී වෙයි. ඔහු ක්ෂේත්‍රයට ඇවිත් දැනට වසර 56කි.

‘‘අපි නිර්මාණ ඉදිරිපත් කරලා නමක් හදාගෙන ඉවරයි. දැන් ඉතිං ඒක පවත්වාගෙන යන එක තමයි කරන්නේ. මේක අපි තනියම හදාගත්තු තැනක් නෙමෙයි. අපි ලස්සන නිර්මාණ මිනිස්සුන්ට අහන්න දුන්නා. ඒ අය තීරණය කරලා අපිට අයිති තැනින් ඔසවා තැබුවේ වෙනත් රැකියාවක් නොකර, ගීත ගායනයම කරන ලෙසයි. අපි දැනගන්න ඕන අපේ ගෞරවයත් රැකගෙන, ඒ අයටත් සුහදව ඉඳලා, දුන්නු තැන රැකගන්න. රැකෙනවාද නැතිවෙනවාද තීරණය තියෙන්නේ අපේ අතේ“

බොහෝ විට නිහාල් අයියා ගයන ගීත වේග රිද්මයේ ඒවා වෙයි. එවැනි ගීත හැඳින්වෙන්නේ බයිලා ගීත නමින්ද?

“ඕක අපි මුලින්ම වරද්දාගත්තු තැනක්නේ. බයිලා කියලා වචනයකුත් නැහැ. පෘතුගීසි වචනයක්නේ ඕක. එහි කියැවෙන්නෙත් බයිලෙ කියලා. බයිලෙ කියන්නේ නැටුමකට. ඕන සින්දුවකට නටන්න පුළුවන්. නටන්න පුළුවන් හැම එකක්ම බයිලෙද එතකොට? මේක ඒ කාලෙ ප්‍රබුද්ධ අප්‍රබුද්ධ කියලා ගහගත්තු ඉරක්. දැන් නම් ඕවා නැහැ. ඒ නිසා මං එදත් අදත් බයිලා ගායකයෙක් නෙමෙයි. එහෙම හඳුන්වනවාටවත් කැමති නැහැ. මං ගායන ලෝකයේ ගායකයෙක් විදිහට හැඳින්වූවාම ඇති. වෙන පට්ටම් නම්බු නාම ඕනා නැහැ.“

ඔහු ගීත ගයන විට ගායන ශෛලිය මෙන්ම ඉදිරිපත් කිරීමේ කලාවද අපූරුම එකකි. විටෙක මයික්‍රෙෆෝනය අතින් අතට මාරුකරමින් ගී ගයන හැටි අපූරුය. ඒවා ඔහු විසින්ම ගොඩනඟාගත් ඉදිරිපත්කිරීම් මිස කිසිවෙකුගේ කොපියක් නොවේ. මේ අතරතුරු ඔහු නිහඬවම කරන පින් දහම් වැඩද අති විශාලය.

“ඒවා මම කරන පෞද්ගලික වැඩ. පන්සල් හදන උදව් කරන ඒවා මං දැනගත්තාම ඇති. නමුත් මගේ “කිරි දුන්නේ දරුවන්ටයි“ කියන ගීතය ලියූ සරත් මුණසිංහ අද මහණ වෙලා ඉන්නේ මීගහවිල සුමනශාන්ත නමින්. උන්වහන්සේගේ උපන්දිනේ යෙදිලා තියෙන්නේ නොවැම්බර් මාසේ 05 වැනිදා. ඒ නිසා උන්වහන්සේත් මමත් හිතවත් ව්‍යාපාරික වසන්ත නානායක්කාර සහ චිත්‍රපට නිෂ්පාදවරයෙකු වන අරුණ වීරසිරි ඇතුළු අපේ එකතුවක් විසින් 14 වැනි වතාවටත් ගවයෙකු නිදහස් කළා පහුගිය වතාවේ. ඒ වගේම අපි එකතුවෙලා දුෂ්කර පළාත්වලට වියළි ආහාර බෙදා දෙනවා කාලයක සිට. මේ පාර අපි කොළඹ අවට රෝගී පිරිසකට ඉස්තරම්ම රෝද පුටු පරිත්‍යාග කළා. ළමයින්ට පොත් පත් පවා බෙදා දුන්නා එහිදී.'

එදා ඔහු ගැයූ කිරිදුන්නේ දරුවන්ටයි වැනි ගීත මඟින් අදටද සමාජ මෙහෙවරක් සිදුවන්නේ එලෙසිනි. නමුත් වර්තමානයේ බිහිවෙන ගීත තුළින් එවැනි සමාජ මෙහෙවරක් සිදුවනවාදැයි ඇත්තේ අපූරුම පැනයකි?

“ඇත්තටම අද ඉන්න තරුණ අයට හොඳ හැකියාවක් තියෙනවා. හැකියාව තිබුණට රැකියාව කරගෙන යන්න බැහැ වැඩේ හරියට නොකළොත්. එදා හිටපු එම්.එස් ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, ජෝති, බෙග් මාස්ටර්, මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් අපි වගේ පිරිසක් කාමරයකට දාලා වහලා එළියෙන් ගීත අහන්නට සැලැස්වුවොත් අහවල් ගායකයාගේ හඬ කියලා කවුරුත් කියාවි හරියටම. නමුත් අද ඉන්න අයට එහෙම කළොත් හඬවල්, පද, සංගීතය එකම වගෙයි. ඉතින් සමාජ මෙහෙයක් තියා පවතින්නෙවත් නැහැ. නමුත් ඔය අතරින් එක්කෙනෙක් දෙන්නෙක් ඒක කඩාගෙන එළියට එනවා.‘

මේ තත්ත්වය හදාගන්න ප්‍රවීණයන්ට එකතු වී බැරිද? ඒ ප්‍රශ්නයත් ඔහුට මා යොමු කළා.

“ඒක තමයි හොඳම ප්‍රශ්නය. ඉස්සර සින්දු කියන කාලේ ප්‍රවීණයන් අපිව ළඟට අරගෙන අඩුපාඩු කියලා දුන්නා. නමුත් අද තත්වය වෙනස්. කියන කෙනාගෙ දේවල් අහන්නෙත් නැහැ. එහෙම සූදානමකුත් නැහැ. ඒ නිසා කියන්නෙත් නැහැ. ඉතින් හැදෙන්නෙත් නැහැ. ඉස්සර තිබුණු සමීප සම්බන්ධතාව අද ඇත්තෙම නෑ. අපි ඒ කාලෙ සින්දු කිව්වේ සල්ලි මතම ඉඳලා නෙමෙයි. ඒ නිසයි අදටත් පවතින්නේ.“

නිහාල් අයියා දයාබර පියෙකි. ඒ විතරක් නොව අදවන විට මිනිපිරියකගේ ද හිමිකාරයෙකි.

“මගේ කැදැල්ල මං ලස්සනට හදාගෙන තියෙන්නේ. මගේ පුතා තරංගටත් හොඳට ගීත ගයන්න පුළුවන්. නමුත් එයා මගේ ගීත නොගයා එයාගෙම ගමනක් යනවාටයි මා කැමැති. ඔහු විවාහ වෙලා ඉන්න ගයනිත් මගේම දියණියක් වගෙයි. අද මගේ මිනිපිරිය කයිලි තමයි මගේ අලුත්ම ලෝකය වෙලා ඉන්නේ. මේ හැමදේම ලැබෙන්නේ සෙවණැල්ලක් වගේ මගේ පිටුපසින් සිටි මගේ බිරිඳය මාලි නිසයි.“

ඒ ආදරය අදටද එලෙසමය. ඒ නිසාම එදා ඇය වෙනුවෙන්ම ඔහු පදමාලා ගොතා ගැයූ ගීතයකින් මේ සටහන මා අවසන් කරමි.

‘මාලි ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලි..

බොරු කරන්නේ නෑනෙ ඔබට ඇත්තයි මගේ මාලි..

සරු දිවියක රස බලන්න කාලෙ ළඟයි මාලි..

පෙරූ රත්තරං වාගෙයි අපෙ ආදරෙ මාලි..' 

Comments