මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි | සිළුමිණ

මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි

මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද කළ අධ්‍යක්ෂවරුන්, නළු-නිළියන්, ගායක ගායිකාවන් ගැන තොරතුරු බිඳක් හෝ දැනගැනීමට ඇත් නම්, කොයිතරම් නම් අගේද. සිය අතීත මතක පෙළින් පෙළ අමුණමින් ඒ සිහින මතක ගෙත්තම් කරන ඈ වෙනකෙකු නොව අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකාය.

සිනමා අඹරේ පායා ආ සෞම්‍ය සඳ රාජිනිය, එසේත් නැති නම් සිංහල රිදීතිරයේ දෙව්දුව වන් රුක්මණී දේවී පිළිබඳව ඇය මෙසේ හඬ අවදි කළාය.

රුක්මණී දේවී කියල කියන්නේ අපේ රටේ රංගන ශිල්පිනියන්ගේ අම්මා. මට ඇය මුලින්ම මුණ ගැසෙන්නේ මගේ දෙවැනි චිත්‍රපටයෙදි. ඒ 1968 දී නිර්මාණය වුණු “අබුද්දස්ස කාලේ“ චිත්‍රපටයෙදී යි. එඩි ජයමාන්න මහත්තයත් ඇයත් තමයි එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඊට පස්සෙ අපි හම්බ වෙන්නේ ඩී.බී නිහාල්සිංහ මහත්තයා නිර්මාණය කළ “පාරාවළලු” චිත්‍රපටයෙදි. මගේ මතකයයේ හැටියට එය තමයි ඇය තරමක් වයසක චරිතයක් රඟපෑ මුල්ම චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ඩේසි අක්කගෙ ගෙදර මෙහෙකාර දැරියගේ චරිතය. ඩොක්ටර් ඇන්තනීස්ගෙ ගෙදර ෂූටින් තිබුණේ. රෙජී සිල්වා තමයි එහි මේකප් ක‍ෙළ්.

මාව මේකප් කර කර ඉද්දි ලස්සනට කොණ්ඩෙ කඩා දාල, ලස්සන සාරියක් එහෙම ඇඳලා දෙවඟනක් වගේ ඩේසි අක්ක එතෙන්ට ඇවිත් මං දිහා බලන් ඉන්නවා. එහෙම බලන් ඉඳල , මගේ ළඟට ඇවිත් නිකටින් අල්ලල “ලස්සන බියුටීස්පොට් එකක් තියෙනව නේද. ලස්සන ලිප්ස් දෙකකුත් තියෙනව. රෙජී මේ විදියට මේකප් කරන්න. ඔය විදියට කරන්න එපා“ කියල කියනවා මට අද වගේ මතකයි.

ඇය එහෙම කියද්දී මගේ ඇඟ එකපාරටම හිරිවැටිල ගියා. එහෙම කෙනෙක් ඒ විදියට ඇවිත් කියයි කියලා කාටද විශ්වාස කරන්න පුළුවන්. නවකයින් කියල නැහැ, ඇය කෙනෙක්ව හරියට අගේ කරනවා. උපදෙස් දෙනවා. මං නිකම් ඉන්න වෙලාවට මේකප් දාන්නේ නැහැ. ඩේසි අක්ක මගෙන් අහනවා “ මාලනී ඇයි ඔයා මේකප් චුට්ටක්වත් දාන්නෙ නැත්තේ.“ ඒ කාලෙ වෙද්දි එහෙ මෙහෙ යනකොට මේකප් දාන්නෙ නැහැ. ඇත්තට මං එහෙම මේකප් දාගන්න දන්නෙ නැහැ. පස්සෙ තමයි, මම මේකප් කරන්න පුරුදු වුණේ. ඒ විදියට අලුතෙන් එන අය ගැන හරිම සැලකිල්ලෙන් හොයල බලනවා. හිතේ කිසිම කහටක් නැහැ. හරිම නිහතමානී තැනැත්තියක්.

කවදාවත් ඇය තරහින් ඉන්නව මං දැකලා නැහැ. කාගෙවත් හිත පෑරෙන විදියට කතා කරන්නෙ නැහැ. මං දන්න කාලේ ඉඳල මේ ක්ෂේත්‍රයේ ඒ විදියට කටයුතු කළා නම් කෙනෙක් ඒ ඇය විතරයි. ඇය හැමෝ එක්කම හොඳට හිනා වෙලා කතා කළා.

ඇය එදා ලංකාවේ නිළි රැජන කියල හිස උදුම්මාගෙන හිටියෙ නැහැ. අනෙක් අතට චිත්‍රපට නිළියක් වුණාම අඳින්න ඕන කොහොමද තැනකට ගියාම හැසිරෙන්න ඕන කොහොමද කියන එක බොහෝ විට එයා දිහා බලල තමයි අපි ඉගෙන ගත්තේ. ඇය ඇත්තෙන්ම කලාතුරකින් කෙනෙකු තුළ පිහිටන උතුම් ගතිගුණවලින් පිරි මනුස්ස දෙව්දුවක්. තමන්ගේ රූපය නිසාවත් ජනප්‍රිය භාවය නිසාවත් ඇය ඔළුව උදුම්මා ගෙන හිටියේ නැහැ. අප වැනි ආධුනික නළු නිළියන් කවදාවත් හෙළා දැකල කතා කළේ නැහැ. ඇති තැන එකක් නැති තැන තව එකක් කියන ජාතියේ කෙනෙක් නෙවෙයි ඇය. කෙනෙකු තුළ කලාතුරකින් පිහිටන උතුම් ගතිගුණවලින් පිරි ගැහැනියක්.

ආධුනික නළු-නිළියන්ට ඇය සලකපු විදිය හරිම ප්‍රශංසනීයයි. ඇය හරිම කරුණාවන්තයි. ඒ නිසා ඩේසි අක්කා අපේ පරමාදර්ශී චරිතය බවට පත් වුණා.

පාරාවළලුවලින් පස්සේ මම ඇය සමඟ “හොඳට හොඳයි“, “කොහොම කියන්නද“, “සධානා“, “වාසනා“, “උන්නත් දාහයි මළත් දාහයි“, “සරදියල්ගෙ පුතා“, “ආදරෙයි මං ආදරෙයි“, “කුණ්ඩලකේශී“, “සිල්වා“, “බඹා කෙටූ හැටි“ ආදී චිත්‍රපට බොහොමයක රඟපෑවා. ඇත්තෙන්ම ඇය මගේ හොඳම මිතුරිය බවට පත් වුණා. හරිම ආදරෙන් ජීවිතය ගැන හුඟක් දේවල් මට කියල දුන්නා. ඒවා මගේ ජීවිතේට ලොකු ගුරුහරුකම් වුණා.

මට විතරක් සුවිශේෂිව ඇය එහෙම කළේ නැහැ. අලුතින් පමිණි හැම නිළියක් එක්කම ඇය ඒ විදියට කටයුතු කළා. තරහා ගිහින් කාගෙවත් ඇද කුද කියල බනින ගතියක් කවදාවත් ඇගෙන් දිස් වූයේ නැහැ. බොහෝ දෙනා කේළාම් කියනවා, ඕප දූප කතා කරනවා. ඒත් කවදාවත් ඩේසි අක්කා එහෙම කරනව තියා එවැනි දේට ඇහුම්කන් දෙනවාවත් මම දැකල නැහැ.

කෙනෙක් එහෙම කිය කිය හිටියොත් ඒ අයගෙ හිත නොරිදෙන්න මොනව හරි කියලා ඒක මඟ ඇරල යන උතුම් ගුණයක් ඇය සතුව තිබුණා. එවැනි නිළියක් සමඟ සමීපව කටයුතු කරන්න ලැබීම මා ලද භාග්‍යක් ලෙසයි සලකන්නේ.

ඇය උපතින් සිංහල බෞද්ධ කාන්තාවක් නෙමෙයි. කතෝලික කාන්තාවක්. විශේෂයෙන්ම ඒ යුගය ගැන සඳහන් කරන විට කතෝලික පවුල්වල ස්ත්‍රීන් වික්ටෝරියානු සදාචාරයට හැඩ ගැසිය යුතු වුණා.

එය පුරුෂාධිපත්‍ය ඉතාම දැඩිව ක්‍රියාත්මක වුණු යුගයක්.

අද තියෙන නිදහසෙන් සියයට දහයක්වත් ඒ යුගයේ කාන්තාවන්ට තිබුණේ නැහැ. මේ වගේ ක්ෂේත්‍රයකට කාන්තාවක් එනවා කියන්නෙ විශාල අභියෝගයක්.

එහෙම අභියෝග මැද්දේ ආවත්, බොහෝම පහත් විදියට තමයි ඒ අය දිහා සමාජය බැලුවේ. නාටිකාංගනාවක් කියන්නේ වෙසඟනක් විදියටයි ඒ කාලයේ සමාජ සැලකුවේ.

එවැනි අපහසුතා මධ්‍යයේ ඒවා ඉවසමින් තනිවම විඳ දරාගනිමින් ඉස්සරහාට ඇවිත් විශාල කැපකිරීමක් එතුමිය කළා. ඒක එක පැත්තකින් විප්ලවයක් කියන්න පුළුවන්.

එහි ගෞරවය එතුමියට වගේම ඉන් කොටසක් එතුමියගේ මවුපිය දෙපළටත් හිමිවිය යුතුයි. මොකද ඇගේ දක්ෂතා හඳුනාගෙන කුඩා කාලයේ ඉඳලම ඇගේ මවුපියන් විශේෂයෙන්ම පියා උදව් කර තිබෙනවා.

අනෙක් අතට අද කාලෙ වගේ නෙමෙයි, ගැහැනු දරුවෙක් ඒ විදියට කලා ක්ෂේත්‍රයට එව්වම මවුපියන්ට පවා බොහෝ නින්දා අපවාදවලට මුහුණ දෙන්න වෙනවා. ඒ විදියට කැප කිරීම් කරමින් පැමිණ ඇය ඒකාලෝක කළ එළියෙන් තමයි සිනමාවට පැමිණී බොහෝ නිළියන් ආලෝකමත් වුණේ. හරිම අමුතු පෙනුමක්, පැහැයක් ඇයට තිබුණා. ඇස් දෙක, කොණ්ඩය, සිනහව, දෙතොල්, කටහඬ භාව භාව ලීලාව මේ සෑම දෙයකින්ම ඇය අංග සම්පුර්ණයි. අදත් සිනමාවේ ඒ විදිහෙ පෙනුමක් තියෙන හෝ ඊට ළඟින් තැබිය හැකි හෝ මුහුණක් සොයා ගැනීම අසීරු කාර්යයක්. එතරම්ම ඇය සුවිශේෂී ලෙස කැපී පෙනුනා. මම ඇයට වශීවෙලා හිටියා කිව්වොත් ඒක තමයි ඇත්ත.

ඇයට හොඳ හඬක් තිබුණා විතරක් නෙමෙයි ඇය තරම් හොඳින් උච්ච ස්වරයෙන් ගායනා කළ හැකි ගායිකාවක අදත් සිටිනවාදැයි මම දන්නේ නැහැ. එය ඇගේ ගායනයේ තිබුණු සුවිශේෂී ලක්ෂණයක්. ඒ කාලෙ ඔපෙරා එහෙම අපිට දකින්න ලැබී තිබුණේ හරිම අඩුවෙන්. පස්සේ කාලෙක ඒවා අහද්දි ඇයටත් ඒ හැකියාව තිබුණ නේද, ඇයට ඒ ආභාෂය ආවේ කොහෙන්ද කියලා පුදුමත් හිතුණා. සිරියලතා චිත්‍රපටයේ එන “ආලේ කළා නම් සැපතා සොයාලා“ කියන ගීතය අවසානයේ ගායනය රඳවා තබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇය සිහිනැතිව ඇදවැටී තිබෙනවා.

ඉතාම අඩු පහසුකම් තිබුණු යුගයක බොහෝ දුෂ්කරතා මධ්‍යයයේ තමයි ඇය මේ ගමන ආවේ. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය ජීවිතය ගත්තොත් මිනර්වා නාට්‍ය කණ්ඩායමත් එක්ක වැඩ කරමින් ඇතැම් අවස්ථාවල ලයිට් නැතිව, ප්‍රවාහන පහසුකම් නොමැතිව වේදිකා නාට්‍යවලට සහභාගි වී තිබෙනවා. එවැනි අවස්ථාවල බොහෝ දුෂ්කරතාවලට ඇය මුහුණ දුන් බව මා සමඟ ඇය පවසා තිබෙනවා.

රංගනයට තිබුණු කැපවීම නිසාම නොවෙන්න කෙනෙක් ඒ තරම් දුෂ්කරතා ඉවසන එකක් නැහැ. එත් මේ හැම පීඩාවක්ම දරාගෙන හිනාවෙලා ඉන්න ඩේසි අක්කා හරිම දක්ෂයි. ඒ නිසා ඇය දුකින් කණගාටුවෙන් සිටියත් ඒක කාටවත් පිටතින් පෙණුනේ නැහැ. අද අපි ආපිට හැරිල බලද්දි ඇය එලෙස දුක්විඳිමින් මේ ගමන ආවේ නැත්නම්, අපි වගේ අයට අවස්ථාවක් උදා නොවෙන්න බොහෝදුරට ඉඩ තිබෙනවා.

මුලදී ඉන්දියානු ආභාසයෙන් යුතුව රංගනයේ නිරත වුණත් පසුකාලීනව ඇයටම අනන්‍ය වූ වෙනම රංගන ශෛලියක් ඇය විසින් ගොඩනගා ගන්නවා.

ඇගේ හඬ පෞරුෂය නිසා සිනමා පසුබිම් ගායනය වෙනස් මඟකට යොමුවෙනවා. රඟපාමින් ගායනා කළ නිළියක් ලංකාවේ සිනමාවේ සිටියා නම් ඒ රුක්මණී දේවියයි. ඒ විතරක් නොවේ ඇය රූපසේන මාස්ටර් සමඟ එක්ව වයස අවුරුදු දහතුනේ දි පමණ ගායනා කරන “සිරි බුද්ධගයා විහාරේ” ගීතය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වෙනවා. පසුකාලීනව ලංකාවේ ගීත කෝකිලාව බවට පත්වන්නේ ඇයයි. ග්‍රැමෆෝන් යුගයේ විශාල පරිවර්තනයක් ඇගේ මැදිහත් වීම නිසා සිදුවනවා. හෙළ සිනමාවෙත් ගායන ක්ෂේත්‍රයෙත් එක ලෙස සිය නිසග හැකියාවෙන් ඉහළට පැමිණ ජනප්‍රසාදය හිමිකරගත් එකම කලාකාරිනිය ඇය පමණයි.

සිය ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වීමට දිනයක් ඉතිරිව තිබියදී ඉතාම අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ඇය මියගිය පුවත අපේ කන වැකුන ගමන් සිහිනැති වෙන්න වගේ කම්පනයක් මා තුළ ඇති වුණා. මට ඒක දරාගන්න අමාරු වුණා.

අම්මාවගේ ළඟ ඉඳගෙන ගුරුහරුකම් දීපු අපේ පරමාදර්ශී චරිතය ඒ විදියට අකාලයේ අපට අහිමි වුණා. අද මට නිළි රැජන ලෙස කෙනෙක් ආමන්ත්‍රණය කරනව නම් ඒ ඇය විසින් සිනමාව තුළ දිග්විජය කළ කිරුළයි. ඒ කිරුළේ හිමිකාරිය බවට මට පත්වෙන්න ලැබීම ජීවිතයේ මම ලබපු ලොකුම ගෞරව සම්මානයයි.

Comments