පහන් ලක්ෂයේ අවසාන පහන දැල් වූ ලක්ෂපාන ඇල්ල | සිළුමිණ

පහන් ලක්ෂයේ අවසාන පහන දැල් වූ ලක්ෂපාන ඇල්ල

සමනොල වනෝද්‍යානයට අයත් සොඳුරු වනපෙතේ හිරු ගිනිගෙන දැවෙන මධ්‍යහ්නයේ වුව ද හිරු කිරණ මඳක්වත් නොවැටෙන අඳුරු තෙතබරිත අහුමුළු තවමත් ඉතිරිව තිබෙනවා. මේ අඳුරු ඉසව්වල දහසක් දිය උල්පත් උපදිනවා. මේ දිය උල්පත් රටට ම ජලය පමණක් නොවෙයි, විදුලිය ද බෙදා දෙන අමිල දායාද බවට පත් වී තිබෙනවා.

මස්කෙළිය ඔය උපන්නේ ෆෙයාර්ලෝන් තේ වත්ත යාබදව පිහිටි සොඳුරු සමනොළ වන උද්‍යානයේ අඳුරු ඉසව්වකින්. මස්කෙළිය ඔය ගිරි දුර්ග, පටු මාවත්, ගල්පර අස්සෙන් අති දුෂ්කර වූ ගමන යෙදෙමින්, ඒ කිසිදු බාධාවකින් නොනැවතී ගලා විත් සප්ත කන්‍යා කඳුවැටිය පාමුලින් පහළට ඇඳ වැටී රමණීය ලක්ෂපාන ඇල්ල බිහි වෙනවා. ගඟත් හරියට ජීවිතය වගේ. බාධක, ගිරි දුර්ග පරදාවිත් සුදෝ සුදු සේලයක් ව තම ඉරණම් ගමන දිය ඇල්ලක් බවට පත් කරනවා. ඒ නිෂ්ටාවට ආවට පස්සේ ඒ පසුකරපු දුර්ග ගැන හාංකවිසියක් දන්නේ නැති මිනිසුන්ගේ නෙත පිනවලා, එයිනුත් නොනැවතී ඔවුන්ගේ කෙත්වතු සරුසාර කරන්නට ගලාගෙන යනවා. බොහෝ දුෂ්කර මාර්ග පසුකරන්නන්ගේ අනාගතය සුන්දර ඒ නිසයි.

ගල් ලක්ෂයක් අතරින් ගලා යන ඇල්ල යන අරුතින් ලක්ෂපාන වූවා යැයි සමහර ජනප්‍රවාදවල මේ ඇල්ල පිළිබඳ සටහන් වෙනවා. තවත් ජනප්‍රවාදයක කියැවෙන්නේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීම හේතුවෙන් පහන් ලක්ෂයක් දල්වන්නට අවැසි විදුලිය උත්පාදනය කිරීම නිසා පහන් ලක්ෂය යන අරුතින් ලක්ෂපාන වූවා කියායි.

ඒ මතවාද කෙසේ වෙතත් අද පහන් ලක්ෂයක් නොව පහන් ලක්ෂ සියයකට පමණ ජීවය දෙමින් ගල් ලක්ෂයක් අතරින් ලක්ෂ සංඛ්‍යාත බාධක, කම්කටොලු විඳ ලක්ෂ ගණනක් ගල් මතට පනින ලක්ෂපාන ඇල්ල තවත් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ මන මෝහනය කරමින් සෞන්දර්ය උල්පත් ද ලක්ෂ ගණනක් මතු කර දෙනවා.

ලක්ෂපාන ඇල්ල බලන්නට යන මාවත සොබා සිරියෙන් අනූන වුවත් සාමාන්‍ය වාහනයකින් නම් යෑමට අපහසු තරම් වල ගොඩැලි සහිතයි. අහස්තලයත් සුන්දර ගණ නීල පැහැ ගස් වැල් පමණකුත් ඇති මේ මාවතේ සුන්දරත්වය රැක ගැනීමට දුෂ්කර මාවත සොබාදහමෙන් දුන් දායාදයක් දෝ කියා සිතෙනවා. ටික දුරක් ගමන් කරන විට පාරේ එක තැනක සුදු හා ළා කහ මිශ්‍ර මානම් මල් යායකින් පරිසරය ම විචිත්‍රවත් වෙනවා.‍ එය සිහි කරන්නේ ඉන්දීය චිත්‍රපට පසුබිම් දර්ශනයක්. මානම් මල් පින්නෙන් තෙමී බිමට බර වෙමින් පවා කන්දකට ආවේණික මඳ පවනේ සෙමෙන් නැළවෙමින් සිටියා. ඒ මල් යාය මැදින් නීල පැහැ ආකාසේ පෙනුණේ වෙන ලෝකයක් වගේ.

හඬ නඟමින් සුදෝ සුදු පෙණ පිඬු විසුරවමින් ගලා හැලෙන දිය ඇල්ලට යන මාර්ගයේ කූඩැල්ලන් බහුල යි. ඔබ එකතැන නතරව සිටියහොත් කූඩලු ප්‍රහාරයෙන් ගැලවෙන්නට නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වියළි තෙතබරිත කොළ සහිත පාරේ මැදට වන්නට ඉක්මනින් ඉක්මනින් අඩි තබා ඔබ ඇල්ල වෙතට යා යුතුයි. ඇල්ල කඩා වැටෙන ආසන්නයේ තිබෙන පොකුණ දිය නෑමට සුදුසු නොවන බවයි අපේ හැඟීම. ජීවිතය අවදානමේ තබාගෙන නානවාද නැද්ද කියා ඔබ හැගීම්බර නොවී බුද්ධියෙන් තීරණය කළ යුතුයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 660ක පමණ උසකින් යුත් මේ දිය ඇල්ලේ උස මීටර් 115 ක්. ලක්ෂපාන ඇල්ල නැරඹීමට ඇති පහසුම මාර්ගය හැටන් මස්කෙළිය මාර්ගයයි. දිය ඇල්ල අසල පොළොව යටින් උමං මාර්ගයක් තිබූ බවත්, එය ඇබර්ඩින් ඇල්ල දක්වා ම විහිදෙන බවත් ඉතිහාසයේ සඳහන්. දිය ඇල්ල පහළ ස්ථානයක ගල් තලාවක් අසල අඳුරු උමං මාර්ගයක් අදත් දක්නට ලැබෙනවා.

ඇල්ල පාමුල ඇති ජලාශය පෙනෙන්නේ වටකුරු පොකුණක් ලෙසින්. ඇල්ල කඩා වැටීම නිසා එකී ජලතලය නිරන්තර සසල වන නිසා ඉන් නැ‍ඟෙන සැරැලි පැහැදිලිව පේන්නෙ නෑ. පොකුණ වටා ඇති විසල් ගල්කුට්ටි නිසා එය ආගාධයක් සේ දැනෙනවා. එහි ගැඹුර අඩි 50කට වඩා වැඩියි.

ගස් වියනේ හරිත පැහැයත්, අහස්ගැබ මුවා කළ තුරු වියනත් නිසා හාත්පස ඇතිවූ අන්ධකාරයත් අතරින් සුදෝ සුදු සේලයක් සේ ගලා හැලෙන ලක්ෂපාන ඇල්ලේ මනරම් දසුන විස්තර කිරීමට වචනකෝෂයේ වදන් නැහැ. එහි සුන්දරත්වය ඇත්තේ වචනවලට ඔබ්බෙන්. මේ පාසල් නිවාඩ‍ුවේ දරුවනුත් සමඟ මේ මනරම් ඇල්ල බලන්නට යන්නේ නම් ඒ සුන්දර පරිසරයට ඔබේ අපවිත්‍ර දෑ දමා කිලිටි කරන්නට එපා. සොබාදහම සුන්දරම දේ දෙන්නේ ඇයට ආදරය කරන්නන්ටම පමණයි.

 

Comments