දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ | සිළුමිණ

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ

ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා සින­ාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට පත් කිරීමේ ආරම්භය වේදිකාවෙන්

සටහන් කළේය. සිනහවෙන් මිනිසා
ආනන්දයට රැගෙන ගිය ඔහු නමින්
රොඩ්නි වර්ණකුල. සිනහව ජීවිතය

කරගත් මේ අපූරු ප්‍රතිභාපූර්ණ කලාකරුවා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට වැඩිපුර පැමිණෙන්නේ නැහැ. ඉතින් මේ සුවිශේෂි කලාකරුවාගේ වත ගොත ටිකක් සොයන්නට රසඳුන අපි සිතුවෙමු.

දීර්ඝ කාලයක සිට ඔබ පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ.

ඔව්; මම 2016 වර්ෂයේ සිට පුංචි තිරයත් එක්ක කටයුතු කරන්නේ නැහැ.

එහෙම රඟ නොපාන්න විශේෂ හේතුවක් තියෙනවද?

වර්තමානය වන විට දක්නට ලැබෙන බොහෝ ටෙලි නාට්‍යවල හැසිරීම සහ එහි ක්‍රියා කලාපයන්ට ම‍ගේ රුචිකත්වයක් නැහැ. ටෙලි නාට්‍යවල තිබුණ රුචිකත්වය අඩු වෙලා තියෙන්නේ. ගුණාත්මකභාවයෙන් තොර නිර්මාණ බිහිවීමත් ඒකට එක් හේතුවක්.

වේදිකාව බොහෝ රංගන ශිල්පීන්ගේ තිඹිරිගෙය. ඒ වගේම සජීවි කලා රංග පීඨයක්. එදා සහ අද වේදිකාව අතර වෙනසක් දකිනවද?

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ඉදිරියට ගලාගෙන යන්නේ බොහෝ හැලහැප්පීම් එක්ක. අද වන විට වේදිකාව මුල් කර ගනිමින් නිර්මාණ විශාල ලෙස බිහි වෙනවා. නමුත් එහිදී ගුණාත්මක භාවයෙන් ඉහළ නිර්මාණ බිහි වෙනවද කියන එක ගැටලුවක්. ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙනවද සැපයුමට ඉල්ලුම ද කියලා හිතාගන්න බැහැ.

අද සමාජයේ මිනිස්සු බහුතරයකට අවශ්‍ය නාට්‍ය තුළින් “විහිළු” දකින්න. ඒ නිසා බිහිවෙන බොහෝ නිර්මාණයන් තත්ත්වයෙන් බාල නිර්මාණ විදියට පැමිණෙන්නෙ. ඒ අතර නිර්මාණාත්මක පෝෂණ ගුණයෙන් ඉහළ හාස්‍යජනක නිර්මාණත් තියෙනවා. ඒ දේ සමාජ පරිවර්තනයක් එක්ක සිදුවන දෙයක්. වේදිකා නාට්‍ය පිළිබඳව අද මිනිසුන්ට තියෙන්නේ අල්ප දැනුමක්. අවබෝධයක්. උදාහරණයක් විදියට “නරි බෑණා” නාට්‍යය ඉතාම සංකේතාත්මක නාට්‍යයක්. “නරි බෑණා” නාට්‍යය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති පිරිස් ඉහළ සිට පහළ ස්තරය දක්වා ඕන තරම් ඉන්නවා.

ඔබේ ජීවිතේ වෙනස් කරපු, හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණ නිර්මාණය ගැන සඳහන් කළොත්?

ලූෂන් බුලත්සිංහල මහතාගේ “තාරාවෝ ඉගිළෙති” නාට්‍ය මගේ ජීවිතේ වෙනස් ම මඟකට යොමු කළ අපූරු නාට්‍යයක්. එහි ප්‍රදර්ශනය 1981 වර්ෂයේ සිදු වුණේ. මුළු රටක් මාව හඳුන ගත්තේ ඒ හරහා. “තාරාවෝ ඉගිළෙති” නාට්‍යයෙන් අනතුරුව අධ්‍යක්ෂවරු මාව සොයාගෙන ආවා. දයානන්ද ගුණවර්ධන මහතාගේ “නරි බෑනා” නාට්‍යය ද සුවිශේෂි සංධිස්ථානයක් වුණා මගේ ජීවිතේ. නරියාගේ චරිතය මට ගොඩක් විශේෂයි. 1993 වර්ෂයේ සිට මේ දක්වාම අඛණ්ඩව නරියාගේ චරිතය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. මේ අවුරුද්දට වසර 26ක් සම්පූර්ණ වෙනවා. ඉදිරියටත් නරියගේ චරිතය කරන්න බලාපොරොත්තු වෙනවා ඒකත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියට හඳුන ගන්න පුළුවන්.

රොඩ්නි, ජූඩ්, ප්‍රියන්ත, ගිරා යන පුද්ගලයන් අතර ඉතා සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ අතුරින් ඇන්ටන් ජූඩ් අද දිවියෙන් සමුගෙන ඉවරයි. ඒ වියෝව දැනෙන්නේ කොහොමද?

විශේෂයෙන් වේදිකාවේ තුළ අපි එකිනෙකා බොහෝම සහෘද ලීලාවෙන් කටයුතු කළේ. මේ පිරිස් වේදිකාවේ දැවන්තයින්. ඒ මතකයන් අදටත් තදින් දැනෙනවා. විජය නන්දසිරි, ඇන්ටන් ජූඩ්, සුනිල් හෙට්ටිආරච්චි සහ ප්‍රේමදාස විතානගේ වගේ අයගේ වියෝව ඇත්තටම ලොකු වේදනාවක්. ඔවුන් විදහා දැක්වූ දක්ෂතා සපුරන්න කෙනෙක් තාමත් බිහි වෙලා නැහැ. ඒ අඩුව පුරවන්න කවුරුත් ආයේ පහළ වෙන්නේ නැහැ. මේ පිරිස අති දක්ෂයින්.

අද වන විට හාස්‍ය රසෝත්පාදනය සමාජජාල මාධ්‍ය හෙවත් සයිබර් අවකාශය වෙත නැඹුරු වෙලා. ඒ පිළිබඳ යමක් පැවසුවොත්?

අලුත් තාක්ෂණික ‍මාධ්‍ය පැමිණෙන කොට ඕනෑම සමාජයක් ඕනෑම ලෝකයක් ඒකට අනුගත වෙනවා. සෑම ක්ෂේත්‍රයකම පිරිස් ඊට යොමු වෙනවා. කලාකරුවොත් තමන්ගේ නිර්මාණත් ඒ මාධ්‍යයන් තුළින් ජනතාවට ලබා දෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් නිර්මාණවල ගුණාත්මක භාවය පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. සමාජ ජාලා තුළට ගුණාත්මක නිර්මාණ ලබා දුන්නොත් සමාජය වඩා හොඳ තැනකට ගන්න පුළුවන්.

ඔබේ ගීත ඇතුළත් “සඳ එළිය වගේ” සංයුක්ත තැටිය ගැන යමක් පැවසුවොත්?

ඔව් “සද එළිය වගේ” සංයුක්ත තැටිය 2011 වර්ෂයේ කළේ. ඒ මගේ කලා දිවියට වසර 30 සම්පූර්ණ වීම නිමිත්තෙන්. අර්ථවත් විදියට සමරන්න ඕන නිසයි එය සූදානම් කළේ. මෙරට ප්‍රවීණ සංගීතඥයින් සහ ගීත රචකයින් බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් තමා මෙය සිදු කළේ. නැවත සංයුක්ත තැටියක් කරන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ. එහි බොහෝ ගීත ප්‍රමාණයක් දැන් ප්‍රචාරය වෙන්නේ නැහැ. සිටි FM, ලක්හඬ වගේ නාළිකා කිහිපයක පමණක් ගීත ප්‍රචාරය වෙනවා. අද දක්නට ලැබෙන බොහෝ ගීත වචන විතරයි. අර්ථ විරහිත, සාරයක් නොමැති ගීත තමා බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ.

අප දන්න විදියට ඔබ දැන් සීයා කෙනෙක්?

ඔව්නේ; මගේ ආදරණීය බිරිය, ලොකු දුව ප්‍රසංගිකා. එයාට චූටි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඇය වෘත්තියෙන් නර්තන ආචාර්යවරියක්. දෙ‍වැනි දුව සමාධි. ඇය වේෂ නිරූපණ ශිල්පිනියක්. එකම පුතා ඉරෝන් උසස් පෙළ හදාරනවා. ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා.

ඉදිරි කලා කටයුතු ගැන සඳහන් කළොත්?

2021 වර්ෂයේ මගේ කලා දිවියට අවුරුදු 40 සම්පූර්ණ වීම නිමිත්තෙන් දින පහක නාට්‍ය උලෙළක් කරන්න සැලසුම් කරනවා. ඒ සඳහා සූදානම් වෙනවා.

අවසාන වශයෙන් රටේ සුවිශේෂ, පරිණත කලාකරුවෙක් විදියට සමාජයට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද?

අද සමාජයේ බොහෝ දෙනෙක්ගේ සැබෑ රසවින්දනය පහළ මට්ටමක තියෙන්නේ. මිනිස්සු “ආතල්” කියන දේට නැඹුරු වෙලා. ආතල් එක තුළ රසවින්දනය තියෙනවද කියන එක ගැටලුවක්. රසවින්දනය තුළින් මිනිසා ඉහළට ඔසවා තබනවා. ආතල් කියන දේ පළගැටියන්ට වගේ මොහොතකට ලැබෙන දෙයක්. පසුව ඇතිවන ඵලයක් නැහැ. රසවින්දනයේ පැවැත්ම දීර්ඝ කාලීනයි.

මම යන බොහෝ පාසල්වල දරුවන්ට මම නිතරම කියන්නේ සැබෑ කලා නිර්මාණයක් තුළින් නිරන්තරයෙන් සොඳුරු මිනිසාව ඉස්මතු කරන බවයි. කලා නිර්මාණයකින් සිදුවිය යුත්තේ මිනිසා තුළ සිටින රුදුරු මිනිසා යටපත් කොට සොඳුරු මිනිසා ඉස්මතු කිරීමයි.

 

Comments