ජේ.බී ගෙදර ඉන්නවා නම් මාත් ගෙදර ඉන්න ඕනෑ | සිළුමිණ

ජේ.බී ගෙදර ඉන්නවා නම් මාත් ගෙදර ඉන්න ඕනෑ

ඔබ ටයිටැනික් චිත්‍රපටය බලලා තිබෙන බව මට විශ්වාසයි. මතක් කරන්න; ජැක් රෝස් ගෙන් නිතරම අහන ප්‍රශ්නය. ජැක් අහනවා “ඔබට මාව විශ්වාස ද රෝස්” කියලා. රෝස් දෙවරක් නොසිතා තිර ලෙස ම පිළිතුරක් දෙනවා, “ඔව්, මට ඔයාව විශ්වාසයි” කියලා. හැබැයි චිත්‍රපටය බලන ඔබ දන්නවා අනතුරක් ළඟ බව. සැබෑ ආදරයේ අභ්‍යන්තරික සුවඳ සියලු අනතුරු ප්‍රතික්ෂේප කරමින් විශ්වාසය මත ම කොළ, ඉති සැදී මල් බවට පත් වෙනවා. මේ වගේ ආදර කතා අපට විටින් විට අහෙනවා. ඒත් අපි ඒ ආත්මීය බැඳීම්වලට අර්ථකථන දෙන්නෙ හරිම අහඹු අවස්ථාවක විතරයි.

සිළුමිණ රසඳුන හැමවිටම පාරදිගේ පිපුණු මල්වල ලස්සන විතරක් බලලා සෑහීමකට පත් වෙන්නෙ නෑ; ඒ මල් පිපෙන්න මහ පොළොව දැරූ වෑයම ගැනත් සොයා බලනවා. 'දිවමන් සෙවණැලි' නවතම විශේෂාංගයත් ඒ වගේ. ලස්සනට, සුවඳට පිපුණු මල්වල පිටට නොපෙනෙන ඇතුළාන්තයේ කතාවයි මේ අද සිට ඔබට ගෙන එන්නේ.

මහාචාර්ය ජේ.බී. දිසානායකයන් දෙස් විදෙස් පාඨකයන්ට අමුත්තෙක් නොවෙයි. එතුමා සිංහල භාෂාවට විතරක් නොවෙයි ළමා සාහිත්‍යයට කරන ලද මෙහෙවරත් අන්නතයි; අප්‍රමාණයි. කුඩා දරුවාගේ සරල භාෂා ආගමනයේ පටන් අද පරිගණක අක්ෂර සංයෝජනයේ යුනිකේත හඳුන්වා දීම දක්වා භාෂාව සම්බන්ධයෙන් වන එතුමාගේ ක්‍රියාකාරිත්වය පුළුල් වපසරියක් කරා විහිදෙනවා.

කවුරු කොහොම වෙනස් වුණත් තමන්ගේ හෙවණැල්ල තමා හැර යන්නෙ නෑ කියලා කතාවක් තියෙනවානේ. අන්න ඒ වගේ එතුමාටත් හෙවණැල්ල සේ සියලු ම කාර්යයන් ඉටු කරන්නටත්, නොඅලස් ව මේ ශාස්ත්‍රීය ගමන යන්නටත් මාර්ගය පෑදු ඇය ගැන තමයි අපි මේ ඔබට කියන්නට යන්නේ. මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ ප්‍රිය බිරිය කියලා අපි ඇය හඳුන්වනවට වඩා මට හිතෙනවා ඇයට ඇය විසින් ම ගොඩනඟා ගත් ස්වීය වටිනාකමකින් යුතු නමක් තියෙනවා කියලා. ඒ කුසුම් දිසානායක. සාහිත්‍ය කලාව, ඉතිහාසය ප්‍රිය කරන ඔබ නම්; නම කියූ පමණින් ඇය හඳුනනවා.

ඇය ගැන ලියන්නට ඔබට මතක් කළ යුතු පොත් ගොන්න අතරින් මට මුලින් ම මතක් වෙන්නේ “ගීතාංජලී”. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ගීතාංජලී” කෘතිය සිංහල පාඨක අපට සමීප කරන්නේ ඇය. ඉන් අනතුරුව ගීතාංජලියේ පරිවර්තන කිහිපයක් ම නිකුත් වෙනවා. ඒත් ඇය තමයි මුලින් ම ඒකභාෂීය සිංහල පාඨකයන්ට ‘ගීතාංජලිය’ හඳුන්වා දෙන්නේ. ඊටත් පෙර ඇය ඉන්දියානු ලේඛක භාවානි භට්ටාචාර්යයගේ “So Many Hungers” නම් කෘතිය “තණ්හා ආශා‍වෝ’ නමින් පරිවර්තනය කරනවා. එය 1990 වසරේ පළ වූ විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙසින් සාහිත්‍ය මණ්ඩලය විසින් නම් කරනවා. ඉන් පසුව ඇගේ සාහිත්‍ය ගමන නොනැවතී ගමන් කරන්නේ වාර්තා ද තබමින්. ඇය මේ වන විට කෘති 100 කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා.

ඇය වෘත්තියෙන් ගුරුවරියක්. නමුත් සේවා කාලය සම්පූර්ණ නොකර ඇය ගුරු සේවයෙන් ඉවත් වෙනවා. ඇයගේ මුල්ම පත්වීම ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට. ඉන් අනතුරුව විශාකා විද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාල‍යේ ගුරුවරියක් ලෙස ඇය සේවය කරනවා. මම ඇගෙන් විමසුවා ඉක්මනින් විශ්‍රාම යෑමට හේතුව. ඇය කියන්නේ දරුවන් දැනුම සෙවීම වෙනුවට විභාග ඉලක්ක කරගෙන විභාග පස්සේම දුවන්නට ගන්න නිසා ඇයට ගුරු වෘත්තිය ගැන කළකිරුණ බව. ඊට පස්සෙයි ඇය ලියන්න පටන් ගත්තේ.

මහාචාර්යතුමන්ට කුසුම් දිසානායක කියන ‍මේ අපේ කතා නායිකාව හමුවන්නේ විශ්වවිද්‍යාලයේදී. ඇය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී එතුමාගෙන් ඉගෙන ගන්නවා. ඇගේ ඒ පන්තියේ මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය මීගස්කුඹුර, මහාචාර්ය කේ.එන්.ඕ. හිටි බව ඇය මතක් කරන්නේ එක්තරා ආඩම්බරයකින්. ඊට පෙර දෙවන වසර වන විටම ඔවුන් අතර හට ගත් ප්‍රේම සම්බන්ධය තමයි සංසාර පුරුද්දක් සේ මේ දක්වා රැගෙන එන්නේ.

මහාචාර්යතුමා නිසා ඔබතුමියගේ ගමන අඩාල වුණා කියලා හැඟීමක් ඇතිවෙලා තියෙනවද කුමන මොහොතක හරි, මම ඇසුවා කුසුම් දිසානායකයන්ගෙන්.

“නෑ මට කිසිම වෙලාවක එහෙම හිතිලා නෑ. සමහර වෙලාවට දුවත් කියනවා “අප්පච්චි නිසා තමයි අම්මට මෙහෙම වුණේ” කියලා. ඒත් මම කිසි විටෙක එහෙම හිතන්නේ නෑ. මම ඒ ගැන හිතන්නේ මෙහෙම. “මට හැම දෙයක්ම, හැම සුදුසුකමක් ම තිබුණා වෙන්න පුළුවන්. ඒත් මට “පුබ්බේත කත පුඤ්ඤතා” නෑ. ඒක නැති වුණාම කිසි දෙයක් වෙන්නේ නෑ. ඒ නිසා පසුතැවීමක් හෝ කළකිරීමක් නෑ. මම බෞද්ධ දහම, දර්ශනය හොඳින් ප්‍රගුණ කරන කෙනෙක්.

තමන් කළ කැපවීම තමන්ගෙ ආදරණීය සැමියා වෙන මහාචාර්ය ජේබී වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් හෝ කළ කැපවීමක් කියලා හිතෙන්නේවත් නැති බවයි එතුමිය පවසන්නේ. මම මගේ යුතුකම කළා. අම්මාට, තාත්තාට, සැමියාට, දරුවන්ට කරන්න තියෙන යුතුකම් හරියට ම ඉටු කළා; ඒක මට සැනසීමක්.

ඔබතුමියගේ ලේඛන කටයුතුවලට මහාචාර්යතුමාගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

“මේ පොත් ඔක්කොම නම් ජේබී කියවල නැතිව ඇති. ඒත් මම අහන කියන දේකට මට උදව් කරනවා; කිසිම බාධාවක් කරන්නේ නෑ. මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි අපේ ගුරුවරු අපිට හොඳට සිංහල ඉගැන්නුවා. අපේ සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකම හොඳ ඒකයි.

“මම විශ්වවිද්‍යාලයේදී ඉන්දීය ඉතිහාසය, භූගෝලය හා සිංහල කියන විෂයයන් කළා. දෙවන වසරේ සිට සිංහල විශේෂවේදී උපාධියක් කළා. හොඳම ඉංග්‍රීසි පරිවර්තනයයි, හොඳම සිංහල පරිවර්තනයටයි දෙකට ම සාහිත්‍ය තෑග්ග හිමි වෙන්න ප්‍රධාන හේතුව ඒ භාෂා පිළිබඳ තිබුණු හොඳ දැනීම. මම පාලියෙන් සිංහලට නැඟූ කෘතියක් තියෙනවා. ඒ තමයි “තෙරණී ගී” පොත. මගේ ජීවිතයම පොත්; මම ගොඩක් පොත්පත් කියවනවා.

ජේබී ගෙදර ඉන්නවා නම් මමත් ඉතින් ගෙදර ඉන්න ඕන. නැත්නම් එයාට ලියන්න බැහැලු. අනික එළියට යනවා නම් ඔසරිය අඳින්න ඕන. අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතයි, දුවයි. ජේබීගෙ ඔක්කෝම පොත්වල මම තමයි අවසාන සෝදුපත කියවන්නේ. ඒක මට සතුටක්. ඒ වගේම ජේබීගේ පොත් ගොඩක් මම ඉංග්‍රීසියට පරිවර්තනය කළා.

මගෙන් ඉගෙනගත් දරුවෝ වගේම ජේබීගෙන් ඉගෙන ගත් දරුවොත් මට හරිම ආදරෙයි. මට දැන් 79ක්. ජීවිතේ ගැන හැරිලා බලද්දී මට මහා තෘප්තියක් දැනෙනවා. බෞද්ධ දර්ශනය හැදෑරීමෙන් මට ජීවිතාබෝධය ලැබෙනවා. නිවුණු සැහැල්ලු ජීවිතයක් මං ගෙවන්නේ.

ජීවන ගමන් මගේ තව කෙනකුට සෙවණැල්ලක් වෙලා, ඒ මහා චරිතය ඇතුළේ තමන්ගේ ස්වධීනත්වයත් හරි අපූරුවට ගොඩ නඟාගත් කුසුම් දිසානායකයන් මේ ගෙවන සරල සැහැල්ලු ජීවිතය ගැන අපට වුණත් ඇති වන්නේ අපූරු පහන් හැඟීමක්. පරිසරයට බොහොම හිතකාමී විදියට පරිසරයේ ම කොටසක් ලෙස ගොඩනැගුණු නිවෙසේ ඇගේ ‍ඒ ආදරය විඳිමින් හෝරා 4ක් විතර ගත කරපු අසංකත් මාත් පිටව ආවේ ඒ නිවුණු බවෙන් අපේ හදවතක් සැනහෙද්දී.

ඡායාරූප - රංජිත් අසංක

Comments