කැලණි පුරෙන් තෙලිඟු ගමට | සිළුමිණ

කැලණි පුරෙන් තෙලිඟු ගමට

ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් අපේ රට ස්වභාවයෙන්ම නෙක ජනයා තම සංස්කෘතික අනන්‍යතාවලින් යුතුව ජීවත් වන රටක් ලෙස නම් දරා ඇත. පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය සිය හැට වන සංවත්සරය සැමරුවේ මහත් හරසරිනි. විදුලකර ඉතිහාසයේ පුනරාවලෝකනය ද සමගින් කැලණි සරසවි විභූතිය යුග යුග ගණන් පැවතුණු අයුරු මෙන්ම මතු මතුවටත් සුරැකෙන අයුරු දැකගන්න ලැබිණි. එම උත්සවයට සමගාමීව පැවැත්වූ අධ්‍යාපනික ප්‍රදර්ශනය තුළ අපූර්ව සංස්කෘතික ප්‍රදර්ශන කුටියක් කෙරෙහි කාගේත් අවධානය යොමු විය. ඒ තෙලිගු ජනතාවගේ සංස්කෘතිය නිරූපණය කරනු ලබන ප්‍රදර්ශන කුටියකි.

ප්‍රදර්ශන කුටියට ප්‍රවේශ වන මොහොතේ අපට දැකගත හැකිවූයේ වර්ණවත් ඇඳුමකින් සැරසුණු රිළවෙකි. පසෙක දැල් සහිත කූඩයක නාගයකු සිටි අතර විශාල පිරිසක් රැස්වී රිළා නැටුම් බලන සේයාවක් අපට දැක ගන්නට ලැබිණි .තම ස්වාමියාගේ වදන්වලට අවනත වෙමින් තමාග හපන්කම් පෙන්වන රිලා රාළගේ නැටුම අවසන් වූ පසු අපි පොඩි මහත්තයා එනම් කණ්ඩායමේ නායකයකු සමඟ සමග කතාබහ කළෙමු. මේ අත් දැකීම ඔහු අප සමඟ විස්තර කළේ මෙලෙසිනි.

“අපි තඹුත්තේගම ඉඳලා තමයි ආවෙ. මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න දරුවෙක් තමයි අපට ආරාධනා කරේ. අපේ පරම්පරාවල මුතුන් මිත්තො කරපු කියපු සාම්ප්‍රදායික දේවල් කොළඹ රටේ ඇත්තන්ට පෙන්නන්න අපිට පුළුවන් වුණා. මං විශ්වවිද්‍යාලයකට ආවේ පළවෙනි වතාවට විශ්වවිද්‍යාල ළමයි මේවා දැක ගන්න හරිම කැමතියි. ඇත්තටම අපේ පිරිස විසිපන්දාහක් තිස්දාහක් විතර ගං හතක ජීවත් වෙනවා. රට ඇතුළෙ සංචාරය කරමින් තමයි. අපි අපේ රස්සාව කරන්නේ. පාරම්පරිකව තමයි නායකකම ලැබෙන්නේ. අත්දැකීම අමතක වෙන්නේ නෑ. දැන් ඉන්න දරුවෝ මේ රැකියාවට යොමු වෙනවා අඩුයි. සමාජයේ වෙනස්වීමත් එක්ක අපිට මේ සංස්කෘතිය රැක ගන්න පුළුවන් වුන අවස්ථවක් මේක. ඒ වගේම තෙළිඟු භාෂාවත් ඒ භාෂාව අපේ දරුවන්ටත් පුළුවන්. නමුත් සිංහල භාෂාවත් අපිට පුළුවන්. තව අවුරුදු 10කින් විතර අපේ සංස්කෘතිය ව්‍යාප්ත වෙන්නැති වෙයි. සංස්කෘතිය තිබ්බත් එය ඉදිරියට ගෙනියන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ සංස්කෘතිය රැක ගන්න උත්සාහ කරනව. මට සතුටුයි මේ අත්දැකීම ගැන .

පොඩි මහත්තයා සමග කතාබහ අවසන් අවසන් වූ පසු අපට දැකගත හැකි වූයේ අත බලා සාස්තර කියන කාන්තාවෝ දෙදෙනෙකි. අහිගුණ්ඨික ජනතාවගේ ජීවන වෘත්තිය බවට පත් වූ මෙය පිළිබඳව පොඩි මහත්තයගේ බිරිය අදහස් දැක්වූයේ මෙලෙසිනි .

“අපේ සංස්කෘතිය රැකියාවේ ඉදිරියට ගෙනියන්න අපිත් කැමතියි. ඒත් ඒක කරන්න අමාරුයි. අපේ දරුවෝ මේ වෘත්තියට යොමු වෙනවා අඩුයි. මේ රැකියාවෙන් අපිට ලැබෙන මුදල ජීවත් වෙන්න මදි. ගෑනු දරුවො ගොඩක් දැන් විදේශගත වෙනවා. ඒ වගේම රැකියාවලට යනවා පාරම්පරික විදිහට මේ රැකියාව ආරක්ෂා වෙන්නේ අපේ ගම් පළාතේ.මමත් මේ රැකියාවට ආවේ වයස අවුරුදු දාසයෙන් .අම්මලා තමයි අපට මේ රැකියාව පුරුදු කළේ අපි ලංකාව පුරාම යනවා. සංචාරකයෝ මේ දේවල් දකින්න අහන්න කැමතියි.අපි සංස්කෘතිය රැක රැක ගන්න තමයි උත්සාහ කරන්නේ. සමාජය වෙනස් වීමත් එක්ක ඒක ඒක ගොඩක් අමාරුයි. අපේ සංස්කෘතික දේවල් සමාජය දැන ගැනීම පිළිබඳ අපි ගොඩක් සතුටුයි.

මේ අපූර්ව ප්‍රදර්ශන කුටිය නිර්මාණය කිරීම හා ඔවුන්ගේ සම්බන්ධීකරණය කිරීම පිළිබඳව අප කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ශිෂ්‍යයකු වන නුවන් නිරෝෂ් ගෙන් අදහස් විමසුවෙමු .

“ඇත්තටම ලංකාවේ ප්‍රාථමික ජන සමාජ පිළිබඳව තියෙන කතාබහේ දී තෙලිඟු ජනතාව ගැන අවධානය යොමු කරනවා අඩුයි. අපට අවශ්‍ය වුණේ තෙළිඟු ජනතාවගේ සංස්කෘතිය සජීවීව නිරූපණය කරන්න. සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමා ආචාර්ය මණ්ඩලය සියලු සහෝදර සහෝදරියන් ගේ සහයෝගය මෙයට ලැබුණා. මේ වගේ නාගරික ප්‍රදේශ වල මේ වියැකී යන සංස්කෘතීන් පිළිබඳව සජීවී අත්දැකීම් ලබන්න පුළුවන්කමක් නැහැ. ඔවුන්ගේ ජීවන වෘත්තීය භාෂාව සංස්කෘතිය නිවාස මේ සියල්ල මූලික වශයෙන් නිරූපණය කරන්න තමයි අප උත්සාහ කළේ. විශ්ව විද්‍යාලයක් තුළට මේ ප්‍රදර්ශන කුටිය ගෙන ඒමට අපි අදහස් කිරීමේ ප්‍රධානම හේතුව මේ සංස්කෘතික අවබෝධය සියලු දෙනාටම අත්දැකීමක් විදිහට ලබා දෙන එක තමයි.

මේ අපූර්ව කර්තව්‍යය සඳහා මඟ පෙන්වීම් කරන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උබේසේකර දිසානායක මහතා අප සමග අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මේ ප්‍රදර්ශන කුටිය සංවිධානය කිරීමේ ප්‍රධානම අරමුණ බවට පත්වුණේ මේ සමාජ කණ්ඩායම් පිළිබද අධ්‍යනය සමාජ විද්‍යාව හා සෘජුව සම්බන්ධ තාවයක් දැක්වීම .එයින් අපි සමාජ විද්‍යාව හදාරන සිසුන්ට වගේම අනෙක් සියලු දෙනාට මේ සංස්කෘතිය පිළිබඳ දැනුම ලබාගැනීම අරමුණු කළා. වියැකී යන සංස්කෘතික ජන කොටස් පිළිබඳ තියෙන අත්දැකීම අද රටේ ගොඩක් දෙනෙක්ට අඩුයි. ඒ වගේම මේ සංස්කෘතිය රැක ගැනීම තුළින් සංචාරක ව්‍යාපාරය කෙරෙහි සම්බන්ධ කරගන්න අපට පුළුවන්. මේ සම්බන්ධයෙන් සියලුම දෙනා ඉතා හොඳ ප්‍රතිචාර දැක්වූවා. ආකෘතික වශයෙන් ප්‍රදර්ශන කුටියක් නිර්මාණය කිරීමට වඩා සජීවීව අත්දැකීමක් ලබා දීම වටිනවා. වෙනස්වන සමාජ ප්‍රවණතාවන්ට සාපේක්ෂව යම් යම් වෙනස්කම් සිදු වුණත් මේ සංස්කෘතීන් පිළිබඳ තිබෙන දැනුම සමාජයේ ජීවත් වීමේදී වැදගත් වෙනවා. ඒ ගැන ඉදිරි පරම්පරාව අත්දැකීමක් ලබාදීම සිදුකළ යුතු දෙයක් විදිහටයි මම දකින්නේ.“

ප්‍රදර්ශන භූමියේ සංස්කෘතිකාංග නරඹමින් සිටින අතරතුර සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය අපට හමු වුණා. ඇය සමාජය සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදු කරන පර්යේෂිකාවක්.

“රටක් විචිත්‍ර වන්නේ විවිධත්වයත් සමග. අපේ රට ඒ වගේ විචිත්‍රත්වයක් තියෙන රටක්. විවිධ සංස්කෘතීන්වලට අයත් ජනතාව එකම සමාජයක ජීවත් වීම තමයි එයට හේතුව. අපේ රටේ ආදිවාසී ජන කණ්ඩායම් අතර තෙලිඟු ජනතාවත් වැදගත්. ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීමත් වැදගත්.ඇත්තටම තව නොබෝ ද කලෙකින් මේ සංස්කෘතිය වියැකිලා යාවි.ඒ නිසා මේ පිළිබඳ ව හැදෑරීම දැනුමක් ලබාගෙන තිබීම වැදගත්. ඒ වගේම ඔවුන් සමාජමය වශයෙන් පරිණාමය වෙලා ඉන්නෙ.එහෙත් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහළ තැනක තියෙන්නේ. සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ඔවුන්ගේ මේ සාම්ප්‍රදායික ජීවන වෘත්තිය සංචාරක කර්මාන්තය ඔස්සේ ආර්ථිකයට යොදාගන්න යොදාගන්නට පුළුවන්. එයින් ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා වීම සහ අපේ රටට විචිත්‍රත්වයක් වටිනාකමක් ගෙන අතරම මේ පිරිසගේ ජීවිතයත් යහපත් කරන්න අපට හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දේශීය සංස්කෘතිකාංග එක්ක එකතුවෙලා වඩා ඵලදායි ලෙස වැඩිදියුණුවට පත්වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම.“

වියැකෙමින් යන සංස්කෘතියකට පණපොවමින් ජීවිතයේ රටාවන් සොයාගෙන ඔවුන් යන මේ ගමනට සවියක් වන්න හැකි නම් එය ඉතා අගනේය. ලස්සන රටක් තැනීමට අප යන ගමන් මගේ නෙක සංස්කෘතික රටාවන්හි අලංකාරය රිසි සේ විඳ ගැනීමට මෙන්ම එය රැක ගැනීමට ද අප උත්සුක විය යුතුයි.

 

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Comments