ඕනෑම අභියෝගයක් බාර ගන්න මම කැමැතියි | Page 2 | සිළුමිණ

ඕනෑම අභියෝගයක් බාර ගන්න මම කැමැතියි

ඇය උගුර - කන - නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක ලෙස ක‍්ෂේත්‍රයේ දස්කම් දැක්වූ වෛද්‍යවරියකි. දිරිය කාන්තාවක ලෙස ජීවිත අභියෝගවලට නොසැලී මුහුණදීමේ ආත්මශක්තියකින් හෙබි ඇයගේ චතුර කථිකත්වය, භාෂාව හැසිරවීමේ නිපුණත්වය නිසාම ඇය විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය දැනුමෙන් ජනතාව පෝෂණය කළාය. ඉන් නොනැවතී උගුර - කන - නාසය පිළිබඳ ග්‍රන්ථයක් ද නිකුත් කර ඇත. වියත් මග සංවිධානයේ ප්‍රධාන දේශකයකු ලෙස දේශපාලන ක්ෂේත්‍රයට පියවර තැබූ ඇය බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ ප්‍රථම කාන්තාව වන විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළයි.

වෛද්‍යවරියක ලෙස ඔබ දක්ෂතා ප්‍රගුණ කළ පුද්ගලයෙක් ඔබගේ මුල් අවදිය පිළිබඳ ආපසු හැරී බැලීමක් කළොත්?

මගේ අප්පච්චි ජයන්ත අරඹේපොළ පරම්පරාවෙන් කුරුණෑගල. අම්මා පත්මිණී වල්පොළ සියනෑ කෝරළයේ ගම්පහ දිස්ත්‍රික්කයේ. පුංචි සන්ධියේ පටන් අපේ පදිංචිය කඩවත ඇල්දෙණිය. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලෙන්. ශිෂ්‍යත්ව කඩඉම පසුකර කොළඹ දේවි බාලිකාවට පිවිසීමට මං පෙත් විවර වුණේ විහාරමහාදේවියෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාව ලෙසයි. උසස් පෙළ සමත්වීමත් සමඟ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව හිමිවුණා.

කාන්තාවගේ භූමිකාව තුළ බිරියක් මවක් සිටිනවා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ කාලය හා කැපවීම මහත් සේ මිඩංගු කළ යුතුයි. ඔබ මේ අංශ දෙක සමබරව ගෙන යන්නේ කෙලෙසද?

මට කුඩා කල සිටම අභියෝගවලට මුහුණ‍දීමට කුසලතා සංවර්ධනයට කැමැති කෙනෙක්. ක්‍රමානුකූලව ගොඩනගාගත් විධිමත් ජීවන රටාව, කාලය කළමනාකරණය මේ සියල්ල මගේ ජීවිතයට සුදුසු වාතාවරණයක් සලසා දී තිබෙනවා.

මගේ පළමු පත්වීම නුවරඑළිය රෝහලේ. ඒ අවස්ථාවේ මම විවාහ වෙලා පළමු දියණිය ලැබිලා. නුවරඑළියේ නිසා දෙමවුපියන්ගෙන් ඈත්වෙලා ඉන්න සිදුවුණේ. සැමියා හා දරුවා සමඟ තනිවම ජීවිතයට මුහුණ දුන්නා. දරුවා හදා වඩා ගැනීමේ අවශ්‍යතාව තදින් ම දැනුණ යුගයක්. මෙවැනි අවස්ථාවල වෛද්‍යවරියන් පශ්චාද් උපාධියට පෙනී නොසිට දරුවන් හදා වඩා ගැනීමට මූලිකත්වය දෙනවා. නමුත් මම තීරණය කළා දරුවාගේ වැඩ කටයුතු අකුරටම ඉටු කරමින් පශ්චාත් උපාධියට පෙනී සිටීමට.

උපාධිය සඳහා මම පාඩම් කළේ වැඩිමහල් දියණිය උකුලේ තබාගෙන නළවමින්. මගේ සැමියා නිර්වින්දන වෛද්‍යවරයෙක්. ඔහුත් ඒ කාලේ පශ්චාද් උපාධියට පෙනී සිටිනවා. අපි දෙන්නා මාරුවෙන් මාරුවට දරුවාගේ වැඩ කරමින් පාඩම් කළේ. මගේ ජීවිතයේ යම් ජයග්‍රහණයක් වේද එහි පිටුපස සිටින දැවැන්ත සෙවණැල්ල මගේ සැමියා.

කාන්තා භූමිකාව තුළ ජීවිතයේ යම් යම් කඩඉම් පසු කරන්න දක්ෂතා ප්‍රගුණ කරන්නට කාන්තාවන්ට නොහැකි වන්නේ අවදානම ගැනීමට තිබෙන අකමැත්ත නිසා. කඩඉම් පසු කරන්නට යෑමේදී ඇතැම් විට ඔවුන් සමාජයේ ගැරහුමට ලක් වෙනවා. එයට මුහුණදීමට තිබෙන අක­ැමැත්ත නිසා සියල්ල අබිමුව ඔවුන් පසුගාමී වෙනවා. එයින් කාන්තාවට සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි, පිරිමියාට සහ කාන්තාවට එක හා සමාන දක්ෂතා තිබුණත් දරුවන් නිසා කාන්තාවට දක්ෂතා කැප කරන්නට සිදුවෙනවා. පුරුෂයා ඉහළට යනවා. මෙය සමාජයට මෙන් ම කාන්තාවට කරන විශාල අසාධාරණයක්. මම සාම්ප්‍රදායික රාමුවට කොටු නොවී නියත ක්‍රමවේදය තුළ අභියෝග බාර ගැනීමට බිය වුණේ නැහැ. මම පශ්චාත් උපාධිය නිම කරලා වසර 2 ක කාලයක් එංගලන්තයේ විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබලා පසුව මන්නාරම, කළුබෝවිල සහ ජාතික රෝහලේ සේවය කළා. පසුව මම රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික අංශයේ සේවයට බැඳුණා.

ඔබේ චතුර කථිකත්වය සහ භාෂාව මනා ලෙස හැසිරවීම වියත් මග වේදිකාවේදී අප දුටුවා. කථිකත්වයේ පෙර පුහුණුව ඔබේ පාසලද?

නැහැ; පාසල් අවදියේ සුළුවෙන් පැවැත්වූ කථික තරගයකට පමණයි මට සහභාගිවීමට හැකි වූයේ. මම පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් නොවේ. පාසල මගේ දක්ෂතාව හඳුනාගෙන තිබුණේ නැහැ. මට වඩා දක්ෂ අය පාසලේ සි‍ටි නිසා මට අවස්ථාවක් නොලැබී යන්නට ඇති. අඩුම තරමේ මමවත් මගේ කථන හැකියාව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් භාෂා හැසිරවීම මට ලැබුණේ පොත පත පරිශීලනය නිසා. එයට මගේ අප්පච්චිට ස්තුති වන්ත වන්න ඕනෑ.

මට කථිකත්වයක් තිබෙන බව ප්‍රථමයෙන් ප්‍රත්‍යක්ෂ වුණේ මට නොවෙයි, ස්වාධීන රූපවාහිනියේ Meet your Doctor වැඩසටහනේදී මා මෙහෙයවූ කණ්ඩායමට. එවකට මම රූපවාහිනියට ආධුනික වුණත් එම වැඩසටහනට සහභාගි වීමට මට අවස්ථාව සලසා දුන්නේ ස්වාධීන රූපවාහිනියේ සුමිත්ත කුරුප්පු මහතා. ඔහු ඒ අවස්ථාව සලසා නොදුන්නේ නම් මගේ කථිකත්වය පිළිබඳ කිසිවකුට දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඉන් පසු ජාතික රූපවාහිනිය, හිරු නාළිකා ඔස්සේ වෛද්‍ය වැඩසටහන්වලට මට ආරාධනා ලැබුණා. එයට හේතුව කථිකාව අඛණ්ඩව පවත්වා ගැනීමට තිබූ හැකියාව විය හැකියි.

ඔබගේ සාරගර්භ දේශන උගතුන් වියතුන් ඒකරාශි කරන්න හේතුවක් වුණා. වියත් මගට සක්‍රීයව යොමු වුණ ආකාරය?

වියත් මගට මා යොමු කළේ මගේ මිතුරු වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ. 2016 බලය රහිත කාලයේ පටන් වියත් මග සාමාජිකත්වය දැරුවා. දිනක් දේශනයක් පැවැත්වීමට බාරගත් වෛද්‍යවරයාට හදිසියේ විදේශගත වන්න සිදු වුණා. ඒ අඩුව පිරිමසාලන්න වෛද්‍ය අංශය පිළිබඳ දේශනයක් පැවැත්වීමට මට ඇරයුම් ලැබුණා. ඒ දේශනයට ලද ජන ආකර්ෂණය නිසා මම දිගටම දේශන පැවැත්වීමට ආරාධනා ලැබුණා. ජනාධිපති මැතිවරණයේ ප්‍රගති ගමන වෙනුවෙන් මට පැවරුණ කාර්යභාරය මට මැනවින් ඉටු කිරීමට හැකිවුණා. උගතුන් වියතුන් ඍජුව සහ වක්‍රාකාරයෙන් දේශපාලනයට සම්බන්ධ කරගැනීමට සහයෝගය දැක්වීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. අද වියත් මග ජයග්‍රහණය කර තිබෙනවා.

අපේ රටේ ජනතාව රටට ආදරෙයි. යම් යම් කාලවලදී රැවටිලි, වැරදි වැටහීම් නිසා ඔවුන් වැරදි තීන්දු තීරණ ගත්තා. ඉතිහාසය පුරා ඇතැම් කාලවලදී ඒ දේ සිදු වුණත් සත්‍යය අවබෝධ වුණු මොහොතේ කොන්දේසි විරහිතව රටක් - ජාතියක් ලෙස එක්සත්ව දේශය රැකගන්න රටේ ප්‍රගති ගමනට ජනතාව කළ අරගලයක් ලෙසයි මා මෙය දකින්නේ. රට විනාශ මුඛය කරා යද්දී එය රැකගැනීමේ හැඟීම ජනතාවට දැනුණා. රට රැකගැනීමේ නායකත්වයට සුදුසුම ගුණාංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතුව තිබෙන බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වූ නිසා එතුමා කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ඔවුන් තැබුවා. පැරණි සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරන්න සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව ඔවුන් විශ්වාස කළා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පළාතේ සංවර්ධනයට ඔබ දියත් කරන වැඩපිළිවෙළ?

ජනාධිපතිතුමාගේ ඍජු නියෝජිතයා ලෙස පළාත පාලනය කිරීමේ භාරධූර වගකීම ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබෙනවා. මම වෛද්‍යවරියක නිසා පිටස්තර කෙනෙකු මාව දකින්නේ නවක පුද්ගලයකු ලෙසයි. එහෙත් එහි තිබෙන වාසිය වන්නේ නවතාවයකින් යුක්තව ඉලක්ක ඔස්සේ ක්‍රියාත්මකවීම් මෙන් ම මෙතෙක් තිබූ අඩුපාඩු මගහරවා ගනිමින් සංවර්ධන ක්‍රියාවලියට යොමුවීමටයි මගේ බලාපොරොත්තුව. ඇතැමෙකු මෙම තනතු‍‍රේ කාර්යභාරය වෛද්‍යවරියකුට කළ හැකි දැයි විවේචනය කළ හැකියි. කාර්ය භාරය අධ්‍යයනය කරමින් නීති රීති රාමුව පිළිබඳ දැනුවත් වෙමින් සුදුසු පිරිසක් සමඟ මේ ගමන සාර්ථකව කරගෙන යෑමට හැකි බව මම විශ්වාස කරනවා. මෙය අසීරු දෙයක් කියා මම සිතන්නෙත් නැහැ. රටට ආදරය කරන පිරිසක් සමඟ යන ගමනේදී ජනතාවට සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකියි.

රට ගොඩනැගීමේ අරමුණ මා තුළ තිබෙන නිසා මට කළ නොහැක්කක් නැත. මේ මගේ ආදර්ශ පාඨයයි. 

 
ඡායා­රූප - මාලන් කරු­ණා­රත්න

Comments