අයියනා දෙයියො විතරයි මේ දුක දන්නේ... | සිළුමිණ

අයියනා දෙයියො විතරයි මේ දුක දන්නේ...

 

මිහිකත දෙවියනේ සින්නක්කර ඉඩම මගේ
පාරට කොටහ වෙන් කෙරුවා හිතූ මතේ
ඉදි වෙන ඇළට රිසවේසම මැනපු දිනේ
පර්චස් තිහේ ගේ විතරයි ඉතුරු වුණේ...

බ්ම් සවියෙත් නැත මිනුමේ හේන මගේ
බලපත් පිටපත් නෑ ඒ ලිපි ගොනුවේ
තුන්පත් රෑනෙ අරියාදුව නිරන්තරේ
අඳගොයි පනත මට එරෙහියි ස්වාමිනේ...

වැහි දෙයියෝ දිය දුන්නේ හිතූමතේ
කිවුලට කහ වුණා කුඹුරම ගිය කන්නේ
අයියනා දෙයියො විතරයි මේ දුක දන්නේ
මහ ඒජන්ත මැතිඳුනි ඇයි නොබලන්නේ...

ගායනය - සංඛ එදිරිසිංහ

පද රචනය - පුණ්‍යා ඒකනායක

සංගීතය - දර්ශන වික්‍රමතුංග

යන්නට ගිය ගමන අතරමඟ නතර වූයේ වාහනය ලෙඩ දුන් නිසාය. අවසානයේ කාත්-කවුරු වත් නොහඳුනන ගම් පළාතක අප හුදෙකලා වූයේ කර-කියාගන්න දෙයක් නැතිවය. රියැදුරු කොහෙන් හෝ බාස් උන්නැහේ කෙනකු සොයාගෙන එන්න ගියේය. මමත් ඡායාරූප ශිල්පි සොහොයුරාත්, මඟ පෙන්වන්න ගිය මිතුරාත් පාරේ බෝක්කුවක් මත වාඩි වී ආ-ගිය කතා කියමින් සිටියෙමු.

එය දුෂ්කර පළාතකි. එහෙත් හැම විටම වැහි බර අහස මෙන්ම සිලි-සිලි හඬින් දිය වැටෙන සිහින් දිය පාරවල්, අවට ලඳු කැලෑවල පිපුණ කැලෑ මල් පාළුව මකා-දමන්නට විය. හෝරා කිහිපයක් යන විට දැඩි පිපාසයක් දැනිණි. අප සිටි ස්ථානයේ පහළින් එක් ගෙයක් පෙනිණි. යම්දෝ නොයම්දෝ කියා සිටින වේලාවක නිවෙසේ ගෘහ මූලිකයායැයි සිතිය හැකි වයසක පුද්ගලයකු පාර දෙසට එමින් අප හා හිනැහුණේය.

“වතුර ටිකක් බොන්න පුළුවන්ද?”

“අපොයි පුළුවන්!”

ඔහු අපට වතුරින් සංග්‍රහ කළේය. අප සමඟ ආ-ගිය තොරතුරු කතා කළ ඔහු අප ගෙතුළට කැඳවූයේය. ඔහුගේ බිරිය, දියණිය හා මුනුපුරෝ අප හා බොහෝ ළෙන්ගතු වූහ. මඳ වේලාවකින් අපට තේපැන් සංග්‍රහයක්ද පිරිනැමිණි.

“දවල්ට කෑම ටිකක් කමු. දැන් හුඟක් දවල් වෙලා...” ඒ වන තුරුත් රියැදුරු පැමිණ නොසිටියේය. එහෙයින් අපි කාරුණිකව කෑම ප්‍රතික්ෂේප කළෙමු. අපි ඒ අවට පරිසරය ගැන කතා කළෙමු.

“මේ පොඩ්ඩක් එහාට වෙන්න නාය ගියා. අපි දැන් ඉන්නෙ අවදානම් කලාපයක. මට අක්කර බාගයකට වඩා ඉඩම තිබුණා. ගේ පිටිපස්සෙන් ඔය ගලනවා. ඔයේ රිසවේසමට ඉඩමෙන් කොටසක් ගියා. අනෙක් පැත්තෙන් තවත් කොටසක් ගියා. දැන් අපට මේ ගේ තියෙන ටික විතරයි තියෙන්නේ. ඉඩමක් ලැබුණෙත් නැහැ. ඒ ගන්න කියලා ගියාම නොයෙක් කතන්දර. තේ ඉඩම තියෙනවා. ඒත් මැන්නට පස්සේ අපට ඒකත් අයිති නැහැ. මොන එහෙකට ඔයගොල්ලන්ට මේ කතන්දර කියනවද කියලා මට තේරෙන්නේ නෑ...” වැඩිහිටියා පවසන්න වූයේ කනගාටුවෙනි. බොහෝ අග-හිඟකම් මැද්දේ ජීවත් වුවද ඔවුන් කිසිවකුට බැණවැදුණේ නැත. වාහනය සාදාගෙන අප එතැනින් පිටත්ව ආවද අපේ ගමනේ බොහෝ දුර යන තුරු මාතෘකාව වූයේ අතරමඟදී හමු වූ දරු පවුලය.

මේ සිදුවීම වී මාස ගණනක් ගෙවී ඇත. එහෙත් ඔවුන් පිළිබඳ මතකය හිත කොනක ලැගුම්ගෙන ඇති බව දැනුණේ නව පරපුරේ ගායන ශිල්පියකු වන සංඛ එදිරිසිංහගේ මේ ගීතය ඇසීමත් සමඟය. සංඛ ගයන ගීතයේ පද රචිකාව ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක වන පුණ්‍යා ඒකනායකයි.

මේ ගීතය ලියන්න මුල් වූ හේතු-කාරණ පිළිබඳ අපි ඇගෙන් විමසුවෙමු.

“මම අනුරාධපුරයට ආවට පස්සේ තමයි මට මේ පළාත්වල ගොවියන් විඳින දුක, ඔවුන්ගේ ගැටලු ගැන හොඳින්ම අවබෝධ වුණේ. මේ වැනි පළාත්වල ගැමියන් සමඟ බොහෝ සමීපව කටයුතු කරන ආයතනය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ගැමියන් නියඟෙන්, ගංවතුරෙන් පීඩා විඳිද්දි ඔවුන්ට නියං ආධාර, ගංවතුර ආධාර බෙදන්නේ රාජ්‍ය නිලධාරීන්. මේ අතර බොහෝම හොඳ මනුස්සකම හඳුනන නිලධාරීන් ඉන්නවා වගේම තමන්ට ඕනෑ ඕනෑ විදිහට මිනිසුන් පෙළන, මිනිසුන්ගේ දේ ගසා-කන නිලධාරීනුත් ඉන්නවා.

“කොහොම වුණත් රජරට පළාතේ මිනිසුන්ගේ දුක හඳුනාගෙන සුහදව කටයුතු කරන අය අඩුයි. එක්තරා ප්‍රාදේශය ලේකම් කාර්යාලයකදි ගොවියකුට වූ අසාධාරණයක් තමයි ගීතයට පාදක වුණේ. මේ මිනිසාට ස්වාභාවධර්මයෙන් වගේම, අලින්ගෙනුත් කරදරයි; ඒ මඳිවට නිලධාරියාගේ හිතුමනාපෙට ඉඩම් මැනලා එතැනිනුත් වෙලා තියෙන්නේ අසාධාරණකම්...

“ගීතයේ පදපෙළ ලියද්දි මම මේ ගැමියන්ගේ ප්‍රාදේශීය වහර ගැනත් උනන්දු වුණා. ගීතය මම මුලින්ම දුන්නේ සුනිල් එදිරිසිංහ මහතාට. ඔහු මෙය ගායනා කරන්න කැමැත්තෙන් හිටියේ. ඒත් ඔහුම මට දවසක් කිව්වා ඔහුගේ පුතු සංඛ අලුත් ගීත ටිකක් කරනවා, මේ ගීතය ඔහුට දෙමුද, කියලා. මම එයට කැමැති වුණා. හේතුව තමයි සංඛ බොහොම පරිස්සමෙන් සින්දු තෝරා-බේරාගෙන ගයන කෙනෙක්. ඒ වගේම ඔහුට ඉක්මනින් ඉදිරියට යෑමේ වුවමනාවක් නැහැ. මම හිතුවා සංඛ මේ ගීතය හොඳින් ගයාවි කියලා. මා මීට පෙර ලියූ බොහෝ ගීතවල සාම්ප්‍රදායික සංගීතය තියෙන්නේ. ඒත් මේ ගීතයේ සංගීතය ඊට වෙනස්. නව පරපුරේ තනු නිර්මාණ ශිල්පියකු වන දර්ශන වික්‍රමතුංග සොහොයුරා එයට බොහොම හොඳ තනුවක් නිර්මාණය කර තිබෙනවා...”

ගීතයේ පසුබිම් තොරතුරු ගැන පුණ්‍යා දරන්නේ එවන් අදහසකි.

Comments