ජීවන අව්‍යාජත්වයට පෙම් බඳින කවි ඇසක් | සිළුමිණ

ජීවන අව්‍යාජත්වයට පෙම් බඳින කවි ඇසක්

මුහුණු පොත තුළින් නිරන්තරයෙන් අප සම්මුඛවන චලනි පෙරේරා කිවිඳියගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය “චල් චල්” ලෙසින් එළි දැක්විණි. කාව්‍ය නිර්මාණ හැටකින් සංගෘහිත කෘතියේ බහුතරයක් නිර්මාණ ප්‍රේමය හා කුටුම්බගත ජීවන අත්දැකීම් පාදක කරගනිමින් නිර්මිත වීම විශේෂත්වයකි. කාව්‍යාවලිය පුරා ම ඕනෑම පාඨකයකුට අවබෝධ කරගත හැකි සරල සුගම බස්වහරක් භාවිතය මෙහි ලා කැපී පෙනෙන අනෙක් විශේෂත්වය යි.

පවුල් සංස්ථාව තුළ ස්ත්‍රියක අත් විඳින පීඩාවන් අරමුණු කරගනිමින් තේමා හිසක් නොමැති පහත පද්‍ය පෙළගස්වන්නේ පාඨක හදවතෙහි සංවේගය වඩාත් තීව්‍ර කරමිනි.

“හිරුත් මත්වෙලා ආවේ අද වැනි වැනී

ඉවසලා බැරිම තැන වෙන්නැති

අහස අඬන්නේ මේ හැටි

හිතක් පපුවක් නැති ගානට

අකුණක් කම්මුලට ගහන හැටි

තරු පැටව් බයට සැඟවිලා

වලාකුළු අත්තම්මගේ චීත්තයට ගුළි වෙවී”

සුරාසොඬ සැමියකුගේ හිංසනයට ලක්වන බිරිය සහ දරුවන් කිවිඳිය සංකේත කරනුයේ ස්වභාව සෞන්දර්යය හා ඒකාත්මික වීමෙනි.

බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සිත, කය, වචනය යන තිදොර සංවර කරගැනීම පෙරදැරිව නිදහස් අකෘතියෙන් කිවිඳිය නිර්මාණය කරන ලද තේමා හිසක් නොමැති පහත කාව්‍ය පන්තිය ද චලනි සතු නිර්මාණකරණයේ නිපුණතාව මනාවට විශද කරයි.

“අහා!!!

පැහැදිලි නිල් දිය

දකින්නට ගැඹුර

අත්විඳින්න සිසිලස

අල්ලා ගැනීමෙන් තොරව

අවබෝධයෙන් යුතුව”

විවාහ ජීවිතයේ පවත්නා සබැඳියාව අව්‍යාජ ලෙසින් නිරූපණය වුවකි; “ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ” යන නිර්මාණය.

“සීනි තේ කොළ

වෙන් වෙන්ව උන්නත්

රාක්කය උඩ කුස්සියේ

එකට එක්වී සිනා තවරන්

යනවා සාලෙට ජැන්ඩියේ”

කුටුම්බය තුළ අඹු සැමි යුවළ කෙතරම් ප්‍රශ්න හමුවේ කෝළාහල ඇති කරගත්ත ද ඒවා කිසි විටෙකත් පිටත සමාජයට විවෘත නොකරයි. සමාජය ඉදිරියේ දී මනා වූ ප්‍රේමයකින් යුත් ආදරණීය පවුලක් ලෙසින් ඔවුහු රංගනයක යෙදෙති. කිවිඳිය මේ රූපණය කරන්නේ ඒ අමිහිරි සත්‍යය යි. ඇය මේ පද්‍ය නිර්මාණය ඉදිරිපත් කරන උත්ප්‍රාසවත් බව ප්‍රශස්ත ය.

දරුවකුගේ සිතෙහි තම දෙමවුපියන් පිළිබද හටගන්නා උභතෝකෝටික ගැටලුවක් ප්‍රස්තුත කරමින් පහත පද්‍ය පෙළ විරචිත ය.

“අහකට වෙයන්

වඳ ගෑනි”

තාත්තා අම්මාගේ

හදවත පළා ලුණු දැම්මේය

මගේ හිස හත් කඩකට

පැළුවේය

අහෝ !!!

මා අභ්‍යවකාශ ජීවියෙකි”

තත් නිර්මාණයේ දරුවාට තම මව පිළිබඳ ප්‍රශ්නයක් උද්දීපනය වන්නේ තම පියාගේ ප්‍රකාශය නිසාවෙනි. කිවිඳිය ව්‍යංගව ගම්‍ය කරන පුවත ඉතා ගැඹුරු ය. නමුත් කූට ප්‍රාප්තිය අසාර්ථක වන්නේ අනවශ්‍ය ලෙස තවත් පද ද්වයක් එකතු කිරීමෙනි. චලනි කෙටි කවි සඳහා විශේෂ සාමර්ථ්‍යක් දක්වන වන බවට කෘතියේ බොහෝ නිර්මාණ දෙස් දෙයි.

ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වය අතර පවත්නා අනියම් ප්‍රේම සබඳතා විෂයෙහි කිවිඳිය දක්වන්නේ භින්න රුචිකත්වයකි.

“මා නුඹට දුන්

කොටු කොටු කමිසය

ඈ අතින් සේදී මැදී

මා බලන්නට එන උජාරුව

තවරගෙන මගේ ලිප්ස්ටික් පුයර

ආපසු යන අපූරුව ඇයගේ සුරතට

ඇත්තමයි ආදරය හිතෙනවා

නුඹ ගැන නෙවෙයි

ඈ ගැන මට”

“චල් චල්” කාව්‍ය සරණියේ මෙ වැනි නිර්මාණ එකොළහක් අන්තර්ගත වීම සමස්ත කාව්‍ය නිර්මාණයේ ම අසාර්ථක භාවයට හේතු වේ. විශේෂයෙන් පළමු වරට කාව්‍ය කෘතියක් කිරීමේ දී නිර්මාණ තේරීම ඉතා අරපරිස්සමෙන් සිදු කළ යුතුය.

පිය සෙනෙහස පාදක කරගනිමින් රචිත “අප්පච්චි” පබැඳුම ද පාඨකයාගේ හදවතෙහි පිය සෙනෙහස වඩාත් තීව්‍ර කරන කෙටි කාව්‍ය නිර්මාණයකි.

“කර්කශව පෙනුණට මහ පොළොව

උල්පත් ගලනවා සීරුවට

හාරලා බැලුවොතින් පපුව මැද

මිසක දන්නෑ කෙනෙක් ඒ වග”

තරුණියකගේ ජීවිතයෙහි අවාසනාවන්ත ඛේදවාචකයක් අරමුණු කරගනිමින් “අම්බපාලියක් මල්වර වීම” පද්‍ය පන්තිය නිර්මිත ය. මල්වර මංගල්‍යයක දී සිදුකරන හෙළ සිරිත් විරිත් කථකාවගේ මව ද ඉටු කරනුයේ දහසකුත් බලාපොරොත්තු පොඩි බැඳ ගෙනය. කිවිඳිය එය රූපණය කරන්නේ සිවු පද අකෘතියකිනි.

“ගේ දොර ජනෙල් තිර රෙදි ලා වසන්නැති

මා ගෙට කරන් අම්මා තනි රකින්නැති

ගමටම කිය කියා කැවුමුත් බදින්නැති

එක කෙල්ලයිනේ මැණිකක් ලෙස රකින්නැති”

මවක සතු ව පවත්නා දාරක ස්නේහය ඇය ආලෝලනය කරන්නේ පාඨක හදවතෙහි කරුණා රසය විද්‍යාමාන කරමිනි. කෙතරම් මවු සෙනෙහස ලැබුව ද කථකාවට සිදුවන්නේ අවාසනාවන්ත ඉරණමකි. චලනි කිවිඳිය එ් පද සංඝටනය කරන්නේ පාඨක හදවතේ සංවේගය වඩාත තීව්‍ර කරමිනි.

“හත්පොට මාල කවුරුත් පැලඳුවේ නැති

එනමුදු දහස් වර පතිනිය වෙලා ඇති

රිදුමක් විනා සුවයක් හිමි වෙලා නැති

උන් විඳිනා විටදි මම විඳවලා ඇති”

චලනි පෙරේරා කිවිඳියගේ කාව්‍ය කෘතිය පුරාවට ම ඇය භාවිත කරන්නේ සරල බස්වහර යි. ඇතැම් නිර්මාණවල දීර්ග විස්තරයක් දක්නට ලැබීමත්, සාර්ථක නිර්මාණ කූට ප්‍රාප්තියේ දී අසාර්ථක වීමත්, පද බෙදීමේ දී දක්වා ඇති දෝෂත් මෙහි ලා සඳහන් කළ යුතු මනා ය. කිවිඳිය සතු සංකේත භාවිතය, කාව්‍යාලංකාර පද බන්ධනය හා ව්‍යංගාර්ථවත් යෙදුම් භාවිතය ප්‍රශස්ත ය. ව්‍යුත්පත්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තම අභ්‍යාස වපසරිය පුළුල් කරගැනීමෙන් ඇයට වඩාත් සාර්ථක ගමනක් යා හැකි බව නොඅනුමාන ය.

 

Comments