අපේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය හැදුණේ බටහිර බලපෑමෙනුයි | සිළුමිණ

අපේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය හැදුණේ බටහිර බලපෑමෙනුයි

පුවත්පතකට කළ අවසන් සංලාපය

වර්ෂ 1928 ජූනි පළමු වැනි දින මෙලොව ජන්ම ලාභය ලැබූ විනී විතාරණයෝ කුඩා වියෙහි පටන් මහත් ශාස්ත්‍ර පිපාසාවකින් පෙළුණාහු, ඒ මඟෙහි මහරු ඵල ලෙස ආචාර්ය උපාධි ත්‍රිත්වයක් ම හිමි කරගැනීමට සමත් වූහ. හෙළ, පෙළ, සකු ඈ පෙරදිගු බස්හි මෙන්ම ඉංග්‍රිසියෙහිද මැනැවින් නිපුණව, සෝපහාසවත් කථන ශෛලියක් ප්‍රගුණ කළ ආකර්ෂණීය දේශකයකු වූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයකු සේ සේවාවේ නියුක්ත විය. පසුව හෙතෙම රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රථම අංශ ප්‍රධානියාද වූයේ ය. සම්මානිත මහාචාර්යවරයකු වශයෙන් සිය පූර්ණකාලීන විශ්වවිද්‍යාලයීය ආචාර්ය වෘත්තියට සමු දුන් විනී විතාරණයෝ ස්වකීය ශාස්ත්‍රකාමය අත්නොහළෝය. සම්භාවනීය චිරන්තන සිංහල කෘති විශ්ව භාෂාවට නැඟීමට සිත දී සිටි හෙතෙම පසුගියදා (2019 - 12 - 02) සිය භෞතික කාය අත් හළේය. මහැදුරු විනී විතාරණයෝ මෙරට සාහිත්‍යට කළ සේවය අති මහත් ය. මේ එතුමන්ගේ ජන්ම දිනය දා අප විසින් පළ කළ සංලාපය එතුමන්ට ගෞරව පිණිස නැවත පළ කරමු.

භාෂා ශාස්ත්‍ර විෂයයෙහි ප්‍රාමාණිකයකු ලෙස මුළු රට ම ඔබ ගැන දැන සිටියත්, ඔබේ උපන් ගම, ළමා විය ගැන තොරතුරු එතරම් ප්‍රකට වී නැහැ. මේ කතාබහ ඒ අතීත මතකවලින් ම ආරම්භ කළොත්?

මා උපන්නේ තංගල්ලේ. මා උපදින විටත් මගේ පියා මියගිහින්. පවුලේ එකම දරුවා වුණේ මම. මට හිටියේ අම්මයි, ආත්තම්මයි, මුත්තයි විතරයි. එහෙ ඒ කාලෙ ඉතා නොදියුණු පළාතක්. ලෙනාඩ් වුල්ෆ් ලිවුව ‘විලේජ් ඉන් ද ජංගල්’ කෘතියේ සඳහන් වුණු ආකාරයටම මහ රූස්ස කැලෑව. එතනින් පටන් ගත්තම යාපනයට වෙනකං කැලය. අපේ පවුල ගමේ තිබුණු පවුල්වලින් ටිකක් ඉහළින් තිබුණා. ගමේ ඔක්කොම ගෙවල් තිබුණේ දහයක් දොළහක් විතර. අපට යහමින් ඉඩකඩම් තිබුණා; පොල් ඉඩමකුත් තිබුණා. අප හේන් ගොවිතැන් කළා; එළවුළු වැව්වා. කුරහන්, මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ගත් ඒ අතර තිබුණා. අපේ ගෙදර ඒ දේවලින් ස්වයම්පෝෂිත වුණාට අපට හාල් තිබුණෙ නැහැ. අපි වැඩිපුර කෑවේ කුරහන්, බඩඉරිඟු. ඉරිඟු කරලක් කාකා පාසල් ගිය අවධිය මට හොඳට මතකයි. මා ගියේ තංගල්ලේ ක්‍රිස්තුදේව ඉංගිරිසි පාසලට. ඒකෙ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ සහතිකය වෙනකං ශිෂ්‍යයන් පුහුණු කළා. මේ තමයි කොළඹින් ඈත පිටිසර තිබුණු ඉහළම ඉංග්‍රීසි පාසල.

මා පාසලට යන්න ඉස්සර, කුඩා ළමයා කාලේ ඉංගිරිසි ඉගෙනගන්න අපේ ගම කිට්ටුව හිටිය ලංසි නෝනා කෙනෙක් ළඟට ගියා. ගෙදර ඉඳල ඒ ගෙදෙට්ට හැතැක්ම කාලක් විතර ඇති දුර. මා ඉගෙනගත්ත මුල් භාෂාව සිංහල නෙවෙයි; ඉංගිරිසි. ඒ නිසා අවුරුදු පහක් වෙනකොට මට ඉංගිරිසි ලියන්න කියන්න පුළුවන් වුණා. ඒ නෝනා මගේ අම්මා ආත්තම්මා එක්ක සිංහලෙන් කතා කළත් මා එක්ක කතා කළේ ඉංගිරිසියෙන්මයි. අපට එයාට ගෙවන්න සල්ලි තිබුණෙ නැහැ; පොල්, අඹ, කොස්, දෙහි, කුරක්කන්, මිනේරි, ජූල්, තල... වගේ මොනව හරි අරන් යනවා. මං ඒවා අරන් ගියාම ඇය ඒවායේ නම් ඉංගිරිසියෙන් කියා දෙනවා.

ඔබ පාසලේදී ඉගෙනගත්තේ ඉංගිරිසියෙන් ම විතර ද?

ඔව්, ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉංගිරිසි කොටසක් හා සිංහල කොටසක් තිබුණා. ඉංගිරිසි කොටසෙ ඉගැන්නුවේ උසස් පාසල්වලින් හැදුණු ගුරුවරු. ඒ අය අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මොරටුවෙ වේල්ස් කුමර විද්‍යාලය, මීගමුවෙ නිව්ස්ටෙඩ් විද්‍යාලය, ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය වගෙ පාසල්වල ආදි ශිෂ්‍යයන් හිටියා.

විදුහල්පති විදියට කටයුතු කළේ දකුණු ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ක්‍රිස්තියානි මහත්මයෙක්. ඔහුගේ නම සැමුවෙල්. මේ සියලු දෙනාම අපට ඉගැන්නුවේ ඉංග්‍රිසියෙන්. සිංහල පැයේ හා සිංහල කථිකෝදය සමිතියේ හැරුණාම සිංහලෙන් කතා කිරීම තහනම්. එහෙම කතා කරලා අහු වුණොත් දඩ ගහනවා.

මට කුඩා කල සිටම ලැබුණු ඉංගිරිසි අධ්‍යාපනය නිසා ඉංගිරිසි විෂයට ඉතා දක්ෂ අයකු වුණා. මේ නිසා මට පාසලේ කිසියම් සැලකිල්ලක් හිමිව තිබුණා. පසුව මං නවසිය හතළිස් ගණන්වල උසස් විභාගය කරන්න ගාල්ල මහින්ද විද්‍යාලයට ආවා.

සිංහල බෞද්ධ වුවත් මා ගාල්ල මහින්ද විද්‍යාලයෙදී කතා කළේ ඉංගිරිසියෙන්. සිංහල ඉගෙනගත්තෙත් ඉංගිරිසියෙන්. ගුත්තිල කාව්‍යය, ලෝවැඩසඟරාව, පැරකුම්බා සිරිත, සිදත් සඟරාව... ආදි පොත් ඉගැන්නුවෙත් ඉංගිරිසියෙන්. බුද්ධ ධර්මය කාලච්ඡේදයත් ඉංගිරිසියෙන් තිබුණේ. අධ්‍යයනය සඳහා යොදාගැණු‍නේ නාරද හමුදුරුවන්ගේ පොතක්. ඒ අනුව මා ජ්‍යෙෂ්ඨය වෙනකම්ම අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉංගරිසි භාෂාවේ තිබුණු හරය නිසා තමන්ගේ ආගමට, භාෂාවට, කුලසිරිත්වලට ගෞරව කරන්න අප ඉගෙනගත්තා. අප රටට රටේ ජනතාවට ඇලුම් කළා. ඉංගිරිසි පරිසරය තුළ ශ්‍රී ලාංකික බෞද්ධ උගතුන් ලෙස අප හැදී වැඩුණා.

ඔබ ඔය කියන කාලපරිච්ජේදය මේ රටේ පැවතියේ ඉංග්‍රීසි ආණ්ඩුවක්. ඒ ගැන මොන විධියේ මතකයක්ද ඔබට තිබෙන්නේ?

ඒ පිළිබඳ අපට ඒ තරම් හැඟීමක් තිබුණේ නැහැ. කොටින්ම ඒ දේවල් ගැන අප දැනන් හිටියෙත් නැහැ. පස්සේ ආරම්භ වුණු ජනතා ව්‍යාපාර, අධිරාජ්‍යවාදි සූරාකෑමට විරුද්ධ වෙමින් ඇති වූ වාමාංශික නැඟී සිටීම් පිළිබඳ මට යන්තම් මතකයක් තියෙනවා. ඒ හැරෙන්න එතරම් විශේෂ උනන්දුවකින් ඒ පිළිබඳ සොයා බලා නැහැ.

බෞද්ධ පුනරුද ව්‍යාපාරයත් එක්ක බෞද්ධ පාසල් ක්‍රමය ආරම්භ වුණා. ඒ ආස්වාදය ඔබට දැනු‍ණේ කොහොමද?

මහින්දෙ ඉන්න කාලේ ඒ ආස්වාදය අපටත් දැනුණා. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ පරම විඥානාර්ථ සමාගම විසින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබුණා. 1892 මාර්තු 2 වැනිදා ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදියේදී සිසුන් හැටදෙනකු හා ගුරුවරුන් අට දෙනකුගෙන් යුතුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මහින්ද විද්‍යාලය ආරම්භ කර තිබුණා. පළමු විදුහල්පති වුණේ අයර්ලන්ත ජාතික බෝල්ස් ඩැලී මහතායි.

පාසල් කළමනාකරු ලෙස කටයුතු කළේ මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා.

කවුරු කියන්න අකැමැති වුණත්: අපට අධ්‍යාපනය විද්‍යාවක් ශාස්ත්‍රයක් විදියට ආවේ බටහිරින්. ඒ වෙද්දි සිංහල කිසි කෙනෙක් අධ්‍යාපන ශාස්ත්‍රය කියල විධිමත් අධ්‍යාපන ක්‍රමයක් දැනගෙන හිටියෙ නැහැ.

මේ ක්‍රිස්තියානි පාසල්වලින් තමයි අධ්‍යාපනය ක්‍රමානුකූල නව ක්‍රමවේදයකට කාලසටහනක් අනුව ක්‍රියාවට නැංවුණේ. අධ්‍යාපන විෂය නිර්දේශ, අධ්‍යාපන ක්‍රම, ගුරු පුහුණුව, ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යූහය... මේ ආදි සියල්ල ඇති වුණේ ඒ බලපෑම අනුවයි. මේ පාසල්වල අධ්‍යාපනය ලැබූ බෞද්ධ දරුවන් ක්‍රිස්තියානියට හරවාගැනීම මෙහිදී සිදු වුණා. වෙස්ලියන් කට්ටිය යාපනයට ගියා. ක්‍රිස්තියානි කට්ටිය කොළඹ හිටියා.

ඔය විදියට මඩකලපුව, මීගමුව, මාතර ආදි ප්‍රදේශවල සාන්ත තෝමස්, සාන්ත ජෝසප්... ආදි වශයෙන් ක්‍රිස්තියානි පාසල් ඇති වුණා.

මේ මිෂනාරි පාඨශාලා නිසා කිසියම් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වූ බව පැවසෙනවා; එය ඇත්තක් ද?

ඒ සමය වන විට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් බද්දේගම වාදය, උදම්මිට වාදය, ගම්පළ වාදය, පාණදුරා වාදය, ඌරුගොඩවත්ත වාදය ආදි බෞද්ධ ක්‍රිස්තියානි වාද විවාද ඇති වුණා. හැබැයි ඒ එකක් වත් නියම ශාස්ත්‍රීය සංවාද නොවෙයි; හුදෙක් තර්ක කිරීම් විතරයි. ඒ වන විට බෞද්ධ ජන නායකයො හුඟ දෙනෙක් ක්‍රිස්තියානි වෙලයි හිටියේ. ඒ නිසා ඔවුන්ගේ දරුවොත් ක්‍රිස්තියානි අය වුණා. මේ අය ‘බෞද්ධ’ කියන නම කියන්නත් ලජ්ජා වුණා.

මේ හේතු නිසා බෞද්ධකම ගැන හිතන පිරිසකුත් ඇති වුණා. විශේෂයෙ ම දකුණේ අමරසූරියල සිංහල කමෙන් යුක්ත, සිංහල භාෂාවට හා බෞද්ධ ධර්මයට ප්‍රමුඛත්වය දෙන පාසල් අපිත් ආරම්භ කරන්න ඕනෑ කියලා හිතුවා. ඒත් ඒ අයට තිබුණ ගැටලුව තමයි මේක කරන්නෙ කොහොමද කියනඑක. මොකද නිකම් පොල් අතු හෙවිළි කරල මඩුවක් හදලා, හමුදුරු කෙනෙක් දෙන්නෙක් ගෙනත් සිදත් සඟරාව කියවලා තේරුමක් නැහැ නේ? ඒක අධ්‍යාපනය දීමක් යැ! මොකද මේ කාලෙ වෙද්දී අධ්‍යාපනය ලෝකය පුරා දියුණුවෙලයි තිබුණේ. මේ නව අධ්‍යාපනය ලබාගන්න කටයුතු කිරීම නිසා ඉහත සඳහන් කළ විදියට හෙන්රි ස්ටීල් ඕල්කොට්, මාරි මියුසියස් හිඟින්ස්, බ්ලැවැට්ස්කි මැතිනිය වගේ අයගේ දායකත්වයෙන් අපටත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් සකස් කරගැනීමේ අවස්ථාව හිමි වුණා. ඒ අය මෙහේ ආවේ නැත් නම් අප ම්ලේච්ඡ ජාතියක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණා.

වර්තමානයට ආවොත්... ඔබ මේ වන විට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කරමින් සිටිනවා. ඒ පිළිබඳ යම් සඳහන් කිරීමක් කළොත්?

ඔව්, මා සිතන්නේ ඉදිරි පරම්පරාවට හා සෙසු ලෝකයට අපේ පැරණි සාහිත්‍ය කෘති හඳුන්වාදීම අවශ්‍යයි.

මේ මහලු වයසේ එක එක නිෂ්ඵල දේට කාලය වැය කරනවාට වඩා මෙය උතුම් කාර්යයක් ලෙසයි මා සිතන්නේ. මේ වන විට සසදාව, මුවදෙව්දාව, කව්සිළුමිණ, ගිරා සන්දේශය, සැලලිහිණි සන්දේශය, මයූර සන්දේශය... ආදි සිංහල පද්‍ය සාහිත්‍ය කෘති රාශියක් මා ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබෙනවා.මේ වන විට මෙරට විශිෂ්ට ගද්‍ය සාහිත්‍ය කෘතියක් වන සද්ධර්මරත්නාවලිය සම්පූර්ණ කර අවසානයි. එය ඉතා භාරධුර කාර්යයක් බවට පත් වුණා.

එහි සොදුපත් බලමින් සිටිනවා. වර්තමානයේ බොහෝදෙනා ඉංග්‍රීසි සාහිත්‍ය කෙරෙහි යොමු වීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. ඒ නිසා මේ සිල්ල මා කළේ අනාගතයට හොඳ ආයෝජනයක් වේවි කියා මා සිතනවා.

Comments