ශ්‍රී ලංකාවෙන් රන් 35ක බලාපොරොත්තුවක් | සිළුමිණ

ශ්‍රී ලංකාවෙන් රන් 35ක බලාපොරොත්තුවක්

හතුන්වැනි සාග් ක්‍රීඩා උලෙළ අනිද්දා නේපාලයේ කත්මණ්ඩු නුවරින් සමු ගනිද්දී, ඊළඟ සාග් ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඒ 2021 සාග් ක්‍රීඩා උලෙ‍ළයි. ශ්‍රී ලංකාවට සාග් ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය අවසන් වරට හිමි වූයේ 2006 දීය. ඒ අනුව දශක එකහමාරකට පසුව නැවත සාග් ක්‍රීඩා උලෙළක සත්කාරකත්වය මෙරටට හිමි වන්නේ දහහතර වැනි තරගාවලියේදීය. අවසන් වරට මෙරට පැවැති සාග් ක්‍රීඩා උලෙළේදී ද සුපුරුදු පරිදි ඉන්දියාව පෙරමුණ ගත් අතර, සත්කාරක ශ්‍රී ලංකාවට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. පාකිස්තානයට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි විය.

දහතුන් වැනි සාග් ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් 317ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000ක් සටනට පිවිසි අතර, ශ්‍රී ලංකාවෙන් මේ සඳහා සහභාගීත්වය 563කි. මෙවර සාග් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම රනින් සරසන්නට සමත් වූයේ වයස අවුරුදු 17 - 23 අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි කේවල ඉසව්වේදී රනුක ප්‍රභාත්ය. ඉන් නොනැවැතුණු රනුක ප්‍රභාත්, ඉසුරි මෙන්ඩිස් සමඟ එක්ව එකී ඉසව්වේ මිශ්‍ර අංශයෙන්ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. මෙවර තරගාවලියේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් වෙන්ව ඇත්තේ පිහිනුම් ඉසව් සඳහාය. ඊළඟ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වෙන්ව ඇත්තේ මලල ක්‍රීඩා ඉසව් සඳහාය. ඒ රන් පදක්කම් 36කි.

ඕනෑම ක්‍රීඩා තරගාවලියක වැඩිම අවධානය යොමු වන්නේ මලල ක්‍රීඩා ඉසව් සඳහාය. සාග් තරගාවලියෙත් එහි වෙනසක් නැත. මෙවර සාග් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩා ඉසව්වලින් පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් තරග කළ නිලානි රත්නායකයි. නිලානි රත්නායක මීටර් 1500 විනාඩි 04:34.34කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2016 සාග් තරගාවලියේ නිලානිට මෙකී ඉසව්වේ හිමි වූයේ ලෝකඩ පදක්කමයි. එවර රිදී පදක්කම දිනා ගත්තේ ගයන්තිකා අබේරත්නට මෙවර දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. කෙසේ වෙතත් තරග නිමි කාලය හා සැසඳීමේදී මෙවර රන් පදක්කමට නිලානි වැය කල කාලය 2016ට වඩා කැපී පෙනෙන ලෙස පසුබැස තිබීම සැලකිය යුතු කරුණකි. 2016 දි ලෝකඩ පදක්කමට නිලානි වැය කළ කාලය විනාඩි 04:26:70කි.

මේ අතර 2006 සිට 2016 දක්වා අඛණ්ඩව සාග් තරගාවලි තුනකදි දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයාගේ කිරුළ මෙවර ශ්‍රී ලංකාවට අහිමි විය. 2006 උමයංග (තත් 10.52), 2010 ෂෙහාන් (තත් 10:46) සහ 2016 දී තරග වාර්තාවක් ද (තත් 10:28) සමග රන් පදක්කම දිනු හිමාෂ ඒෂාන්ට මෙවර තත් 10:50ක තරග නිම කාලය සටහන් කළේ රිදී පදක්කමයි. සාග් තරගාවලි ඉතිහාසයේ මාලදිවයිනට ප්‍රථම රන් පදක්කම හිමි කර දෙමින් හසන් සායිඩ් තත් 10:49කින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මෙවර සාග් තරගාවලියේ වේගවත් ම ක්‍රීඩකයා බිහි කිරීමේ ගෞරවය ද මාලදිවයිනට හිමිකර දෙමින්ය.

ඉන්දියාවේ ආර්චනා සුසීන්ත් කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ඒ සඳහා ආර්චනා ගත කළ කාලය තත් 11:80කි. ඊට පසුපසින් තරගය නිම කළ ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා තත් 11:82කින් රිදී සහ ලක්ෂිකා සුගන්ධි තත් 11:84කින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2016 සාග් තරගාවලියේදි රුමේෂිකා කුමාරි රත්නායක තත් 11:60කට මීටර් 100 ඉසව්ව නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මේ අනුව මෙවර කාන්තා පිරිමි මීටර් 100 ඉසව්වල රන් පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට අහිමි විය. මේ අතර දුලාංජලී රණසිංහ උස පැනීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 1.69ක සටහන් කරමින්ය. සාග් තරග ඉතිහාසයේ 2006 දී මීටර් 1.71ක් සටහන් කරමින් රන් පදක්කම ද, 2016 දී මීටර් 1.72ක් සටහන් කර ගනිමින් ලෝකඩ පදක්කම ද දිනාගෙන තිබේ.

සාග් ක්‍රීඩා තරග ඉතිහාසයේ කාන්තා මීටර් 100 තත් 11.19ක්ද, මීටර් 200 තත් 22.68ක්ද, මීටර් 400 තත් 52.11ක්ද සටහන් කරමින් 1999 දි කත්මණ්ඩු නුවරදී දමයන්ති දර්ශා පිහිටුවා තිබෙන වාර්තා ත්‍රිත්වයට මෙවරත් අභියෝගයක් එල්ල වෙතැයි සිතිය නොහැකිය. 2016දි පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් දිනා ගත් රිදී පදක්කම් දෙකම මෙවර ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ අතර, මෙවර හිමි වූයේ ලෝකඩ පදක්කම්ය.මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙවර සමස්තයක් ලෙස රන් පදක්කම් 35ක් පමණ අපේක්ෂා කරන බවය. 2016දි ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත රන් පදක්කම් ප්‍රමාණය 25කි.

 

Comments