කොතරම් පිස්සු නැටුවත් පිංකමට ළැදි බ්‍රාවෝ | Page 2 | සිළුමිණ

කොතරම් පිස්සු නැටුවත් පිංකමට ළැදි බ්‍රාවෝ

 

මේ වන විට ලොව පැවැත්වෙන ප්‍රධානතම පන්දු ඕවර 10 ක්‍රිකට් තරගාවලියක් වේ. ඒ අබුඩාබි T10 ලීග් තරගාවලියයි. එහිදීත් ලොව විවිධ රටවල ක්‍රීඩකයෝ රැසක්ම සිය දක්ෂතා දක්වති. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝත් අයත්ය.

 

2019 අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා පැවැත්වීය. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීය. එහිදී මරාතා ඇරබියන්ස් කණ්ඩායම ශුරතාව හිමිකර ගැනීමට සමත් විය. අනුශුරතාව ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටයි.

 

මෙම අවසන් තරගය ශ්‍රී ලංකාවටත් වැදගත් විය. ඒ එම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05ක්ම ක්‍රීඩා කළ නිසාය. ඇරබියන්ස් වෙනුවෙන් ලසිත් මාලිංග, දසුන් ශානක, වනිදු හසරංග සහ කසුන් රාජිතය, ග්ලැඩියේටර්ස් වෙනුවෙන් භානුක රාජපක්ෂය.

 

විවිධ රටවල ක්‍රීඩකයන් ක්‍රීඩා කරන කණ්ඩායම්වල නායකයන්ට අමතර වගකීමක් පැවරෙයි. එනම් එම ක්‍රීඩකයන්ගෙන් උපරිම දස්කම් ලබා ගැනීමට හැකියාව තිබීමය. ඒ අනුව එම කාර්යය ඉතා සාර්ථකව කිරීමට ඇරබියන්ස් නායකයාට හැකි විය. ඔවුන්ට මෙවර ශුරතාව හිමිකර ගැනීමට හැකි වූයේත් ඒ නිසාමය.

 

මෙවර ඇරබියන්ස් නායකත්වය දැරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝය. හෙතෙම හිටපු කොදෙව් නායකයෙකි. එමෙන්ම විශිෂ්ටතම තුන් ඉරියව් හපන් ක්‍රීඩකයෙකි. ඒ දකුණත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. එමෙන්ම තරගයක ඉතා තීරණාත්මක අවසන් පන්දු ඕවර සාර්ථකව යැවිය හැකි දකුණත් මද වේග පන්දු යවන්නෙකි. එපමණක් ද නොව ඔහු අති දක්ෂ පන්දු රකින්නෙකි.

 

“හරිම සතුටුයි. ප්‍රථම වරට මෙම ශුරතාව අපේ කණ්ඩායමට හිමිකර දීම සඳහා මගේ නායකත්වයට හැකි වීම ගැන. මම මේ කණ්ඩායමට ක්‍රීඩා කළ තෙවැනි වතාව තමයි මේ වසර. ගිය වසරේදීත් මම නායකත්වය දැරුවා.” ජයග්‍රහණයෙන් අනතුරුව බ්‍රාවෝ පැවසුවේය.

 

ඩ්වේන් බ්‍රාවෝ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් අන්තර්ජාතිකව තරග කරන්නේ නැත. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2010 වසරේදීය. එය එක්දින ජගත් තරගයකදී නම් 2014 වසරේදීය. 20-20 ජගත් තරගයකට 2016 වසරේදී අවසන් වරට ක්‍රීඩා කළේය. කෙසේ වෙතත් ජගත් තරගවලින් තමන් සමු ගන්නා බව හෙතෙම නිල වශයෙන් නිවේදනය කළේ ගිය වසරේදීය.

 

බ්‍රාවෝට කොදෙව් ජාතික කණ්ඩායමේ දොරටු වැසුණේ එරට ක්‍රිකට් බලධාරීන් සමඟ වරින් වර හට ගත් මත ගැටුම් නිසාවෙනි. කෙසේ වෙතත් හිටපු නිලධාරීන් වෙනුවට නව නිල මඩුල්ලක් විසින් මේ වන විට කොදෙව් ක්‍රිකට් පරිපාලන කටයුතු සිදු කරමින් පවතියි. එම නිසා යළිත් වතාවක් අන්තර්ජාතිකව කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් තුළ නව බලාපොරොත්තුවක් පවතින බව 36 හැවිරිදි බ්‍රාවෝ පවසයි.

 

“නැවතත් කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන්න මට පුළුවන්. මගේ ශරීර යෝග්‍යතාව තවමත් ඉහළ මට්ටමක තිබෙනවා. මම දස්කම් අතරත් නිරතුරුවම රැඳී සිටිනවා.” බ්‍රාවෝ පවසයි. එය සත්‍යයකි. ගත වූ කාලයේදී ඔහු විවිධ රටවල පැවැති 20-20 සහ T 10 තරගාවලි රැසකටම ක්‍රීඩා කළේය. එමෙන්ම දස්කම් දැක්වීය.

 

මේ වසරේ එංගලන්තයේ පැවැති එක්දින ජගත් ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කිරීමට බ්‍රාවෝට අවස්ථාව උදා වී තිබිණි. ඒ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් අතරට ඔහුව තෝරා ගෙන සිටිය බැවිනි.

 

එහෙත් එම අවස්ථාව ඔහුට අහිමි විය. ඒ නායක ජේසන් හෝල්ඩර් නිසාය. “මට එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න කැමැත්තක් තිබුණා. මම ඒ ගැන නායක ජේසන් හෝල්ඩර් සමඟ කතාබහ කළා. කණ්ඩායමට මම ක්‍රීඩා කරනවා දකින්න තමන්ට විශාල අවශ්‍යතාවයක් තිබෙන බව ඔහු කිව්වා. ඒ වුණත් ඒ සඳහා නිවැරදි වෙලාව එය නොවන බව ඔහු මට පැවසුවා. මම ක්‍රීඩා කළහොත් එය සමහර ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක් බව හෝල්ඩර් වැඩිදුරටත් මට දැන්වූවා. එහි ඇත්තක් තිබෙනවා. මම ඒ වන විටත් ක්‍රීඩාවෙන් සමුගෙන අවසන්. ඒ වගේම මම වසර 04ක පමණ කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලත් තිබුණේ නැහැ.” බ්‍රාවෝ වැඩිදුරටත් එසේ පැවසීය.

 

කෙසේ වෙතත් නැවත වතාවක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට ඉදිරියේදී අවස්ථාවක් ලැබීමට හැකිය. එනම් 2020 පන්දු ඕවර 20 ලෝක කුසලාන තරගාවලියේදීය.

 

2020 පන්දු ඕවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදීය. ඒ ලබන ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදීය.

 

බටහිර ඉන්දීය කොදෙව්වන් එම තරගාවලියට සහභාගි වන්නේ වත්මන් ලෝක ශුරයෝ වශයෙනි. ඔවුන් 2012 සහ 2016 පන්දු ඕවර 20 ලෝක ශුරයෝය. එම ද්විත්ව අවස්ථාවන්වලටම බ්‍රාවෝත් ක්‍රීඩා කළේය. එම නිසාම යළිත් වතාවක් ලෝක ශුරයෙක් වීමට ඔහු තුළත් බලාපොරොත්තුවක් ඇත. “මට යළිත් වතාවක් ජගත් තරගවලට සහභාගී වීමට අවස්ථාව ලැබුණහොත් මම එය අනිවාර්යෙන්ම භාර ගන්නවා” බ්‍රාවෝ පවසයි.

 

ඩ්වේන් ජෝන් බ්‍රාවෝ උපත ලැබුවේ 1983 වසරේ ඔක්තෝබර් මස 07 වැනිදාය. ඒ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ දුපතේ සැන්ටා කෘස් නුවරය. ඔහුගේ උස අඩි 5 අඟල් 9කි.

 

ජොනී, නිව් බිග් ඩෝග්, ඩී.ජේ. බ්‍රාවෝ සහ ද චැම්පියන් වැනි අපුරු නම් බ්‍රාවෝට පටබැඳී ඇත. 1997 – 2004 අතර කාලයේදී ජොනි බ්‍රාවෝ නමින් ඇමෙරිකානු රූපවාහිනි කාටුන් වැඩසටහනක් විකාශය වී තිබේ. එහි ප්‍රධාන චරිතයේ නම මෙසේ බ්‍රාවෝට පටබැඳිණි.

 

බ්‍රාවෝ කුඩා කාලයේ ක්‍රිකට්, පාපන්දු සහ මලල ක්‍රීඩාවට රුචිකත්වයක් දැක්වීය. අවසානයේදී ඔහු තෝරා ගත්තේ ක්‍රිකට්ය. එම තේරීම නිවැරදි බව අද සනාථ වී අවසන්ය.

 

ඔහුට වයස අවුරුදු 10 වන විට කුවින්ස් පාර්ක් ක්‍රිකට් සමාජයේ අවුරුදු 15න් පහළ කණ්ඩායමට තෝරා ගත්තේය.

 

පසු කළෙක ජගත් ක්‍රිකට් ලොව සුපිරි තරු බවට පත් වූ බොහෝ ක්‍රීඩකයන්ගේ මංගල අන්තර්ජාතික අත්දැකීම ලබා ගන්නේ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීය. බ්‍රාවෝටත් එය එසේම සිදු විය.

 

2002 වසරේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ නවසීලන්තයේදීය. ඊට සහභාගී වූ කොදෙව් කණ්ඩායමට බ්‍රාවෝත් අයත් විය. එපමණක් ද නොව එම කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම පසුව ජාතික කණ්ඩායම නියෝජනය කළහ. ඔවුන් අතර බ්‍රාවෝ, නාර්සිං ඩියොනාරින්, ඩොනොවන් පාගොන්, රවි රම්පෝල්, ඩැරන් සැමි, ෂේන් ශිලින්ෆර්ඩ්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ ගැවින් ටොංගා සිටියහ.

 

එම වස‍රේදීම බ්‍රාවෝ සිය පළමු පෙළ මංගල තරග වරම ලැබීය. ඒ බාර්බෙඩෝස් කණ්ඩායමට එරෙහිවයි. එහිදී ඔහු පන්දු යැව්වේ නැත. පන්දුවට පහර දෙමින් ලකුණු 15 ක් සහ 16 ක් රැස් කර ගත්තේය.

 

තවත් මාසයක් ගත විය. හෙතෙම සිය මංගල පළමු පෙළ ශතකය රැස් කිරීමට සමත් වූයේය. පසුව එම වසරේම බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඒ කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ඔහුව තෝරා ගත්තේය. ඒ වන විටත් බ්‍රාවෝගේ හැකියාව කොදෙව් තේරීම් කමිටුව විසින් හඳුනාගෙන තිබුණාහ.

 

කෙසේ වෙතත් ඔහුගේ තුන් ඉරියව් හැකියාව පිළිබඳ වඩාත් තහවුරු වූයේ පළමු පෙළ තරගයකදී ශතකයක් රැස් කිරීමත් ඉනිමකදී ලකුණු 11ට කඩුලු 06 ක් දවා ගැනීමත් සමඟිනි.

 

බ්‍රාවෝ සිය මංගල ටෙස්ට් තරග වරම ලැබුවේ 2004 වසරේ ජුලි මාසයේදීය. ඒ එංගලන්තයට එරෙහිව ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එහිදී පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට ලකුණු 44කි. දෙවන ඉනිමට ලකුණු 10කි. පන්දු යවමින් 74 – 3 කි. ලකුණු 28 ට කඩුලු නැත.

 

ඔහුගේ ටෙස්ට් තරග දිවිය 2004 සිට 2010 දක්වාය. එහිදී ටෙස්ට් තරග 40 - ලකුණු 2200- වැඩිම 113- සාමාන්‍යය 31.42- ශතක 03 - අර්ධ ශතක 13- උඩපන්දු 41- කඩුලු 86 - ඉනිමක හොඳම 55-6, සාමාන්‍යය 39.83 - ඉනිමක කඩුලු 05 දවාලීම් 02

 

ටෙස්ට් තරගයක ඉනිමකදී ඔහුගේ වැඩිම ලකුණු ගණන 113කි. එය රැස් කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව 2005 වසරේ තස්මේනියාවේ හෝබාර්ට් නුවර බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවන තරගයේ දෙවන ඉනිමේදීය. ඊට ගත වූ කාලය විනාඩි 281 කි. පන්දු 202 කි. 4 පහර 15කි.

 

ටෙස්ට් ඉනිමක ඔහුගේ හොඳම පන්දු යැවීම ඕවර 26 - නොයිඳුල් ඕවර 06 - ලකුණු 55ට කඩුලු 6ක් දවාලීම වේ. එය ඔහු දැක්වූයේ එංගලන්තයට එරෙහිව 2004 වසරේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයේ පළමු ඉනිමේදීය.

 

බ්‍රාවෝ සිය මංගල එක්දින ජගත් තරගයට ක්‍රීඩා කළේ 2004 වසරේ අප්‍රේල් මාසයේදීය. ඒ එංගලන්තය‍ට එරෙහිවය. එහිදී ඔහු පන්දුවට පහර දුන්නේ නැත. පන්දු යවමින් ලකුණු 31ට කඩුලු 2ක් දවාලීය.

 

ඔහුගේ එක්දින ජගත් තරග දිවිය 2004 සිට 14 දක්වාය. එහිදී තරග 164 - ලකුණු 2968 - වැඩිම නොදැවී 112 - සාමාන්‍යය 25.36 - ශතක 02 - අර්ධ ශතක 10 - උඩපන්දු 73 - කඩුලු 199 - තරගයක හොඳම 43- 6, සාමාන්‍යය 29.51 - තරගයක කඩුලු 05 දවාලීමකි.

 

එක්දින ජගත් තරගයක ඔහුගේ වැඩිම ලකුණු ගණන නොදැවී 112 වේ. ඊට පන්දු 124, 4 පහර 14, 6 පහරකි. එය ඔහු රැස් කළේ 2006 වසරේ එංගලන්තයට එරෙහිව ඉන්දිය‍ාවේ අහ්මදාභාද් නුවර සාර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී පැවැති අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තරගයකදීය.

 

එක්දින ජගත් තරගයක හොඳම පන්දු යැවීම ඕවර 10-1 - ලකුණු 43 ට කඩුලු 6කි. එය 2013 වසරේදී දැක්වූයේ සිම්බාබ්වේට එරෙහිවයි.

 

20-20 ජගත් තරග කාලය 2006-16 දක්වාය. එහිදී තරග 66 - ලකුණු 1142 - වැඩිම නොදැවී 66 - සාමාන්‍යය 24. 29 - අර්ධ ශතක 04 - උඩපන්දු 35 - කඩුලු 52 - තරගයක හොඳම 28- 4, සාමාන්‍ය28 .26 කි.

 

බ්‍රාවෝ 20-20 ජගත් තරගයක වැඩිම ලකුණු ගණන වූ නොදැවී 66 රැස් කළේ 2009 වසරේදීය. ඒ ඉන්දියාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ තරගයකදීය. ඊට පන්දු 36, 4 පහර 4, 6 පහර 3කි. පන්දු යවමින් ලකුණු 38‍ට කඩුලු 4ක් දවාලීමටත් සමත් විය. ඔහු තරගයේ වීරයාත් විය.

 

20-20 තරගයක හොඳම පන්දු යැවීම ඕවර 4-0 - ලකුණු 28 ට කඩුලු 4ක් දවාලීම වේ. එම දස්කම 2015 වසරේදී ඔහු දැක්වූයේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එම තරගය ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

 

සාමාන්‍යයෙන් බ්‍රාවෝ ජීවිතය සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් ගත කරයි. එමෙන්ම පන්දු යවමින් කඩුලු දවා ගත් විට හෝ උඩපන්දු රැකගත් විට එය සමරන්නේ නර්තනයක යෙදෙමිනි. ක්‍රිකට්ලෝලීන් අතර අතීශය ජනප්‍රිය ක්‍රීඩකයකු බවට පත් වීමටත් ඔහුට එය ඉවහල් වූයේය.

 

එසේ වුවත් ඔහුගේ ක්‍රිකට් දිවියේ මතභේදාත්මක සිදුවීම් ද වේ. 2005 වස‍රේදී සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව සිවුවැනි ටෙස්ට් තරගය පැවැත්වූයේ ඇන්ටිගුවාහීදීය. එහිදී බ්‍රාවෝ ශතකයක් රැස් කිරීමටත් සමත් විය.

 

පසුව දකුණු අප්‍රිකානු නායක ග්‍රෙහැම් ස්මිත්ට එරෙහිව බ්‍රාවෝ ප්‍රබල චෝදනාවක් සිදු කළේය. එනම් තමන්ට එරෙහිව ස්මිත් පිටිය තුළදී ජාතිවාදි අදහස් දැක්වූ බවය. නමුත් ඒ පිළිබඳ පැවැති පරීක්ෂණයේදී ඊට අදාළ සාක්ෂි නොතිබූ නිසා ඉහත චෝදනා ඉවත් කිරීමට සිදු විය. ස්මිත් පසුව බ්‍රාවෝ තමාගෙන් සමාව ගත යුතු බවට පැවසීය. එහෙත් බ්‍රාවෝ එසේ කළේ නැත.

 

2014 වස‍රේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත විය. නමුත් එම තරග සංචාරය අතරමගදී නතර කර දැමීමට කොදෙව් බලධාරීන් තීරණය කළහ. ඒ තමන්ට ගෙවන මුදල් ප්‍රමාණවත් නැතැයි පවසමින් කොදෙව් ක්‍රීඩකයෝ වර්ජනයක නිරත වූ බැවිනි. එහිදී ක්‍රීඩකයන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසට ක්‍රියා කළේ බ්‍රාවෝය. එහි ප්‍රතිඵලය වූයේ 2015 එක්දින ලෝක කුසලාන සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමයි.

 

බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව නර්තනය සහ ගායනයත් සිදු කරයි. වරක් චිතිරාම් පෙසුතාදි 2 නැමැති දමිළ චිත්‍රපටයේ ගීතයකටත් ඔහු පෙනී සිටියේය. “එවැනි අවස්ථා තව ලැබුණහොත් මම භාර ගන්නවා” බ්‍රාවෝ පවසයි.

 

බ්‍රාවෝ ‘චැම්පියන්’ නමින් ගීතයකුත් ගායනා කර ඇත. එය ඉන්දියාවේ ජනප්‍රිය විය. ඔහුගේ නවතම ගීතය නම් කර තිබෙන්නේ ‘ඒෂියා’ නමින්ය. මේ අතර තවත් ගීත 02 ක් ඉදිරියේදී එළි දක්වනු ඇත.

 

මින් එකක් විශේෂ උපහාර ගීතයකි. එය ඔහු ගායනා කරන්නේ ඉන්දීය හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි වෙනුවෙනි. දෝනිගේ නායකත්වය යටතේ බ්‍රාවෝ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වසර ගණනාවක්ම ක්‍රීඩා කළේය. “එම්.එස්. මට නිතරම කියන අදහසක් තිබෙනවා. ඒ තමයි අසාර්ථක වීම් වලට කිසිදා බිය නොවන්න කියලා” බ්‍රාවෝ පවසයි.

 

බ්‍රා‍වෝ කෙතරම් විනෝදාත්මක ජීවිතයක් ගත කළත් ඔහු විසින් නිතරම සිදු කරන සුවිශේෂි කටයුත්තක් වේ. එනම් සැම විටම පුණ්‍යාධාර කටයුතු සිදු කිරීමයි. ඔහුට ක්‍රිකට් වීරයන් කිහිප දෙනෙක්ම සිටියි. ඒ අතර කොදෙව් දූපත්හි බ්‍රයන් ලාරා, කෝර්ට්නි වෝල්ෂ්, දකුණු අප්‍රිකාවේ ජාක්ස් කාලිස්, ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් සහ ඉන්දියාවේ දෝනි වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට තමන්ව පෙලඹුවේ ලාරාගේ දස්කම් බව බ්‍රාවෝ පවසයි.

 

මේ දක්වා බ්‍රාවෝගේ ක්‍රිකට් දිවියට විශාලතම සහයෝගය ඔහුට ලැබුණේ සිය පවුලෙනි. ඔහුගේ පියා ජෝන්ය. මව ජොසිලින්ය. ඔහුට සොහොයුරියන්ම සිවුදෙනෙකි. ඔහුගේ අර්ධ සොහොයුරා වන්නේ ඩැරන් බ්‍රාවෝය. ඩැරන් (උපත 1989 පෙබරවාරී 06) කොදෙව් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

 

ඩැරන් නිසාම බ්‍රාවෝට සිය ක්‍රිකට් වීරයා වන බ්‍රයන් ලාරා ඥාතියෙක් බවට පත් වී තිබේ. ඒ ඩැරන්ගේ මව ලාරාගේ ඥාතියෙක් වන බැවිනි. බ්‍රාවෝගේ සහකාරිය වන්නේ රෙජිනා රාම්ජිත්ය. ඇය (උපත 1994 මැයි 18) මෝස්තර නිරූපිකාවකි. එමෙන්ම ව්‍යවසායිකාවකි. ඇය 2013 වසරේ බාර්බෙඩෝස් රූප සුන්දරියයි. බ්‍රාවෝ ඩ්වෙයිනිස් දියණියත් ඩැරන් බ්‍රාවෝ කණිෂ්ඨ පුතණුවන් සිටින දයාබර දෙදරු පියෙකි.

 

Comments