ක්‍රීඩා පරිපාලනය වෘත්තිකයන් අතට පත් කරමු | සිළුමිණ

ක්‍රීඩා පරිපාලනය වෘත්තිකයන් අතට පත් කරමු

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෘත්තිකයන් අතට පත් කිරීමට දැඩි අභිලාෂයක් තිබුණු රාජ්‍ය නායකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ මහතාගේ ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තියේ මෙසේ සඳහන් විය. ‘2005 වසරේ කැලණි විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන ලද ක්‍රීඩාව උපාධි විෂයයක් ලෙස ඉගැන්වීමේ වැඩපිළිවෙළ පුළුල් කොට ක්‍රීඩා කටයුතු පිළිබඳ අධ්‍යයන අංශයක් ප්‍රථමවද ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන විශ්ව විද්‍යාල පීඨයක් ඉන් අනතුරුවද ආරම්භ කිරීමට කටයුතු යොදනු ඇත.’ දැන් මෙම ක්‍රීඩා උපාධි පිරිනැමීම සබරගමුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මගින්ද කරනු ලබයි. මෙමඟින් බිහිකළ ඇතැම් වෘත්තිකයන් ජාතික හා අන්තර්ජාතික ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ ලබා තිබේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටේ විවිධ විෂයයන් අදාළ වෘත්තිකයන් අතට පැවරීමේ අභිලාෂය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ක්‍රීඩාවේ පරිපාලනය හා කළමනාකරණය ලොව පුරා සිදුවන්නේ වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් හැටියටය. මේ උදෙසා ලොව පුරා විශ්ව විද්‍යාලවලින් අදාළ වෘත්තිකයන් පුහුණු කරන්නට පටන් ගත්තේ 1960 දශකයේ පටන්ය. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය 1970 පටන් සිදුවන්නේ ආයතන සංග්‍රහය දේවත්වයෙන් වන්දනා කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් විසිනි. දැන් වසර 52ක් තිස්සේ ගෙන යන ‍ෙම් පරිපාලනය නිසා ක්‍රී‍ඩාව හතර ගාතෙන් කඩා වැටී ඇත.

ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණු දෙකක් තිබේ.

1. ර‍ෙට් සියලු වයස් තරාතිරම්වල ජනතාව ක්‍රීඩා කටයුතුවලට යොමු කර නිරෝගි ජනතාවක් බිහි කිරීම.

2. අන්තර්ජාතික ජයග්‍රහණ ලැබීම.

ක්‍රීඩා අමාත්‍යාංශයක් වත් නොතිබුණු 1948 - 1967 අතර කාලයේ මෙරට ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සංගම් විසින් ඔලිම්පික් පදක්කමක් අධිරාජ්‍ය තරග පදක්කම් 6ක් හා ආසියාතික තරග පදක්කම් ගණනාවක් දිනා ගන්නා ලදී. මේ තත්ත්වය දැනට නැත්තටම නැතිවී ගොස් ඇත.

ක්‍රීඩාව රාජ්‍ය පාලනය යටතට ගනු ලැබුවේ 1965 දීය. ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා වූ වී.ඒ. සුගතදාස මහතා පාපන්දු, පැසිපන්දු, වොලිබෝල් ආදී ක්‍රීඩා ගණනාවකින් ජාතික ශූරතා දිනා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේත් ජාතික ඔලිම්පික් කමිටු‍වේත් සභාපති තනතුරු දරා පුළුල් අත්දැකීම් සම්භාරයක් ලැබූවෙකි. දොස්තර එච්.එස්.ආර්. ගුණවර්ධන මහතා ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කළේය. ඔහු මීටර් 100 දිවීම, කඩුලු පැනීම ඉසව්වන්ගෙන් පාසල් හා ජාතික වාර්තා පිහිටුවා වර්ණ ලැබූ ප්‍රකට ක්‍රීඩකයෙකි. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුරේ සිට මෙම තනතුරට කැඳවා ගත්තේය. මෙම දෙදෙනා එක්ව දියත් කළ වෘත්තීය වැඩසටහන් ජනසතු සේවා හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලදී. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ශාරීරික අධ්‍යාපන උපදේශකයන් 150ක් බඳවාගෙන ඔවුන් ක්‍රීඩා නිලධාරින් හැටියට ප්‍රාදේශීය ආදායම් නිලධාරි කොට්ඨාසවලට (වත්මන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල) පත් කරන ලදී.

1970 මහ මැතිවරණයෙන් පසු ක්‍රීඩා අමාත්‍ය පදවියට පත් වූයේ කේ.බී. රත්නායක මහතාය. දොස්තර ගුණවර්ධන මහතා වැඩ බලන ස්ථිර ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ පදවියෙන් විශ්‍රාම ගියේය. ඔහුගෙන් පසු අමාත්‍යාංශ ලේකම් පදවියට පත් වූයේ විශ්ව විද්‍යාලයක රෙජිස්ට්‍රාර්වරයෙකි. ක්‍රීඩා අධ්‍යක්ෂ පදවියට පත් වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකි. විශ්වවිද්‍යාල රෙජිස්ට්‍රාර්වරයා දිගු කලක් ලේකම් පදවියේ සිට ක්‍රීඩාව කා දැම්මේ ඔහුගෙන් පසු දිගින් දිගටම එම තනතු‍රත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට හිමිවිය. මේ අනුව මෙම අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරින් අවුරුදු 52ක් තිස්සේ ක්‍රීඩාව නැති භංග කළ හැටි නූතනයේ දිස් වන ප්‍රතිඵලවලින් පෙනේ.

දෙවැනි ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් රත්නායක මහතා කළ යුතුව තිබ‍ුණේ මෙම තනතුරු සඳහා පූර්ණ ක්‍රීඩා වෘත්තිකයන් පත් කිරීමය. ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රන්සිරිනෙල්, මහ නගර සභාවේ ජේම්ස් සරඟපානි, යුද හමුදාවේ කර්නල් නාරංගොඩ වශයෙන් අනන්තවත් නම් තිබුණද ඔහු ඒවා සලකා බැලුවේ නැත. ඔහුට වඩා දුර දිග දැක්මක් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තිබුණි. ඇය මේ තත්ත්වය තේරුම් ගෙන ප්‍රවීණ ක්‍රීඩා නිලධාරියෙක් වූ ඒ.ඒ.ඩී.බී. පෙරේරා ක්‍රීඩා කළමනාකරණය ඉගෙන ගැනීමට නැගෙනහිර ජර්මනියට යැව්වාය. ඔහු ඒ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා දිවයිනට පැමිණෙන විට ඔහුට හිමි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් පුටුවේ සිටි බහිරවයා ඉන් ඉවත් නොවීය. ආචාර්ය පෙරේරා විසින් සිය උපාධිය සඳහා ලියන ලද නිබන්ධනය වූයේ ‘ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධන කරන උපාය මාර්ග’ යන්නයි. ශ්‍රී ලංකාව මෙම පාරේ ගියේ නම් එවකට පැවති නැගෙනහිර ජර්මනිය මෙන් ඉහළ ස්ථානයක් හිමිකරගනු නියතය.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව දියුණු කරන්නේ කෙසේද යන්න මේ නිලධාරින්ගෙන් විමසා සිටියේය. ඔවුන් මේ ‍ගැන නොදන්නා බව කී නිසා ඒ සම්බන්ධ වාර්තාවක් සැකසීමට විශ්‍රාමික දොස්තර ගුණවර්ධන මහතාට පැවරීය.ඔහු විසින් සකසන ලද මෙම වාර්තාව වෘත්තීය පදනමකින් සැකසුණකි. එහෙත් එවකට සිටි නිලධාරීහු මෙම වෘත්තීය පදනම වනසා 1973 අංක 25 දරන ක්‍රීඩා පනත පරිපාලන පදනමකට හැරවූහ.

ගුණවර්ධන කොමිෂන් වාර්තාවේ සඳහන් කළ ප්‍රාදේශීය ක්‍රීඩා සභා ගැන මෙම පනතේ වචනයක්වත් සඳහන් නොවීය. දිස්ත්‍රික් ක්‍රීඩා සභා ගැන සඳහන් නොවීය. ජාතික ක්‍රීඩා සභාවේ සැකැස්ම සඳහන් නොවීය. ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි විකෘති මුහුණුවරක් ගෙන දෙපක්ෂයම වසර 50ක් තිස්සේ යුද වැදුණෝය. ඇතැම්හු අධිකරණයට ගියෝය. රගර් බෝලය රවුම් නැත්තේ ඇයි යන ප්‍රශ්නය පවා විමසූ මොවුන් ක්‍රීඩා භාණ්ඩ හඳුනන්නේ වත් නැති බව පෙනුණ වාර අනන්තය.

ගුණවර්ධන කොමිෂන් වාර්තාව රටකට ජාතික ඔලිම්පික් කමිටු දෙකක් තිබිය නොහැකි හෙයින් තිබෙන ඔලිම්පික් කමිටුව පිළිගන්නා ලෙස කියා සිටියේය. එහෙත් නව ඔලිම්පික් කමිටුවකට අදාළ විධිවිධාන ක්‍රීඩා පනතට ඇතුළත් කර එම විධිවිධාන යටතේ පැරැණි ඔලිම්පික් කමිටුව පාලනයට ගොස් ඇණ ගත්තේය.

මේ ලියුම්කරු 2001 දී ‘ක්‍රීඩා පනත හා පරිපාලනය’ නමින් පොතක් ප්‍රකාශයට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවත් යන මග වැරදි බව කියා සිටියේය. එහෙත් එය පිළිගන්නට ඔවුන් සූදානම් වුෙණ් නැත. එහෙත් 2018 විගණකාධිපතිගේ වාර්තාව හරහා මෙම ග්‍රන්ථයේ කරුණු එළියට ආවේය.

මේ ලියුම්කරු 2017 දී ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් වශයෙන් පත්වූ විට පැවරුණු කාර්යයක් වූයේ 1967 - 2017 ක්‍රීඩා අමාත්‍යාංශයේ පනස් වසරක ඉතිහාසය ගැන ග්‍රන්ථයක් ලිවීමටය. ලියා අවසන් කර ඇති මෙම ග්‍රන්ථයේ සඳහන් වන්නේ ක්‍රීඩා පිටි සෑදීම, ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, ජාතික මහා ක්‍රීඩා උලෙළ පැවැත්වීම වැනි අතිශය සරල සිල්ලර කාරණා ටිකකි. මේ ග්‍රන්ථයට සුදුසු නම හැටියට දක්වා ඇත්තේ ‘නැටු තොවිලෙකුත් නැත - බෙරේ පලුවකුත් නැත’ යන්නය.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුනකින් ක්‍රීඩා වෘත්තිකයන් බිහි වෙද්දී ඔවුන් පාසල්වලට හා සංවර්ධන නිලධාරි වැනි අදාළ විෂයන්ට පරිබාහිර තනතුරුවලට පත්කිරීම අසාධාරණය. මෙම ලියුම්කරු ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටි දෙවසරක කාලය තුළ මොවුන් බඳවාගැනීමට ගත් උත්සාහයන්ද සඵල නොවීය. අධ්‍යාපන අමාත්‍යාංශය වත් මෙවැන්නක් බඳවාගෙන නැත.

දශක 5ක් තිස්සේ සිදුවී ඇති මේ වරද නිවරද කිරීමට නව රජයට කාලය එළඹ තිබේ.

ලලිත් ගුණවර්ධන

හිටපු ලේකම් ජාතික ක්‍රීඩා සභාව

 

Comments