බුදු සිරිත විහාර සිතුවමට ගේන කලැත්තෑවෙ කලා ගුරුතුමිය | සිළුමිණ

බුදු සිරිත විහාර සිතුවමට ගේන කලැත්තෑවෙ කලා ගුරුතුමිය

- චිත්‍ර අඳින්න ඉගෙනගත්තේ තනියම. පාසලේ චිත්‍ර ඉගැන්නුවේ ගෘහවිද්‍යා ගුරුවරිය
- දළදාව, සිරිමා බෝධිය කාන්තාවක වැඩම කළාට කාන්තාවක පන්සලක චිත්‍ර අඳිනවාට සමහරුන් කැමැති නෑ

අපේ රටේ විහාර සිතුවම් කලාවේ ඉතිහාසය අරන් බැලුවොත් සෝලියස් මැන්දිස්, එම්. සාර්ලිස් වගේ සිත්තරුන් බොහෝමයක් හමු වෙනවා. විහාර සිතුවම් කලාවේ නිරත වන ලංකාවේ එකම විහාර සිත්තරිය චාමිනි බුද්ධිකා වීරසූරිය යැයි හඳුන්වා දීමේ වරදක් නැතැයි සිතෙන්නේ මේ වන තුරු එවැන්නියක ගැන අපට තොරතුරු නොලැබුණු බැවිනි.

වෘත්තීයෙන් ගුරුවරියක වන චාමිනිගේ උපන් ගම වන්නේ අනුරාධපුර කලැත්තෑවයි. මේ වන විට අනුරාධපුර නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ගුරුවරිය ලෙස සේවය කරන්නීය. කලත්තෑව මහ විදුහලෙන් මුලික අධ්‍යාපනය ලත් ඇය අනුරාධපුර මධ්‍ය විද්‍යාලෙයේත් ඉගෙනුම් ලැබුවාය. 2015 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලා විශේෂවේදී උපාධිධාරිනියක වන ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි.

මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලාධිපති පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින චාමිනිගේ බලාපොරොත්තුව තවදුරටත් උසස් අධ්‍යාපනයේ නියැළීමය. මේ සියලු ඉගෙනීම් කටයුතු කරන අතරේ ඇය විහාර වල සිතුවම් කරණයට පිවිසෙන්නේ ඉතා කැමැත්තෙනි.

“ පුංචි කාලේ ඉඳලම චිත්‍ර විෂයට ගොඩක් ඇලුම් කළා . ඒත් පොඩි පන්තිවල ඉගෙන ගනිද්දි අපේ පාසලේ චිත්‍ර ගුරුවරියක් සිටියේ නැහැ. ගෘහ විද්‍යා විෂය උගන්වපු ගුරුවරිය තමයි චිත්‍ර ඉගැන්නුවේ. විෂය කරුණු දැනගෙන හිටියට ප්‍රායෝගික දැනුමක් අපට තිබුණේ නැහැ. පංචි කාලේ ඉඳලාම තනියම අඳින්න මම පුරුදු වුණා. මගේ හීනය වුණේ චිත්‍ර ශිල්පිනියක් වීම. මම වයසින් වැඩෙනවත් සමඟ මගෙ හීනයත් වැඩුණා. මට ඕන වුණේ විහාර චිත්‍ර අඳින චිත්‍ර ශිල්පිනියක් වෙන්න. කුඩා කල සිටම මගේ හිතේ තිබුණු ආශාවක්. පාසලේ චිත්‍ර විෂය හදාරන කාලයේ මට කුතුහලයක් ඇති වුණා ඇයි අපේ රටේ විහාර සිතුවම් කලාව තුළ කාන්තා චිත්‍ර ශිල්පිනියන් හමු නොවන්නේ කියලා. බොහෝ දෙනෙකුගේ අදහස වුණේ විහාර සිතුවම් ඇඳීම කාන්තාවකට සුදුසු නොවන බව. ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට ආරක්ෂිතව ගෙනාවේ කාන්තාවන් . එහෙම ඉතිහාසයක් තිබෙන අපේ රටේ ඇතමුන් ගෝත්‍රිකවාදී අදහස් දැරීම කනගාටුවට කරුණක්. මට මේ තත්වය වෙනස් කරන්නට අවශ්‍ය වුණා වගේම විහාර සිතුවම් ඉතිහාසය තුළ අඩුවක්ව තිබෙන කාන්තා චිත්‍ර ශිල්පිනියකගේ හිඩැස පුරවන්නත් අවශ්‍ය වුණා. ඒ හිඩැස චාමිනී වීරසූරිය ලෙස මගේ නමින් පුරවන්නටයි මට අවශ්‍ය වුණේ. ඒ වගේම මොනයම් හෝ ක්ෂේත්‍රයකින් වේවා තමන්ගේ දක්ෂතාව ,හැකියාව සඟවාගෙන ඉන්න කාන්තාවන් හට ආදර්ශයක් වන්නට ඕනෙ කියන සිතුවිල්ල මා තුළ තිබුණ. ගුරුවරියක ලෙස පත් වීම් ලැබූ පසුත් මගේ අරමුණ වෙනුවෙන් මම කටයුතු කළා. අද වෙද්දි විහාර සිතුවම් කලාව තුළ යම්තාක් දුරකට නමක් රඳවාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුර පුරාණගම පරිශ්‍රයේ විහාරස්ථානය, කිරුලපන ශ්‍රී සිද්ධාර්ථාරාමය, ගම්පොළ බෝධිරුක්ඛාරාමය වගේ විවිධ දිස්ත්‍රික්ක වල විහාරස්ථානයන්හී සිතුවම් ඇදීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වන තුරු කළ විහාර සිතුවම් මට අවශ්‍ය පරිදි සියයට සියයක් නිදහස් ශෛලියෙන් අදින්නට අවස්ථාව ලැබිල නෑ. ඊට හේතුව චිත්‍ර කලාව පිළිබඳ ශාස්ත්‍රාලයීය දැනුමක් නැති බොහොමයක් දෙනා දකින්න කැමති දීප්තිමත් වර්ණ බොහොමයක් සහිත සිතුවම් .ඒ නිසා ඉල්ලුම තිබෙන්නෙ එවන් සිතුවම්වලට. නමුත් මම විශ්වාස කරනවා විහාර සිතුවම් තුළ සිත නිවෙන සංයමයකින් යුත් වර්ණමාලාවක් සහ රිද්මයක් තිබිය යුතුයි කියා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදි මටම ආවේණික ශෛලියකින් විහාර සිතුවම් කිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා.“

ගැහැනු ළමයකු විහාර සිතුවම් කලාවේ නිරත වීම නම් ගැමියන්ට පමණක් නොව නාගරික වැඩිහිටියන්ට ද ප්‍රශ්නයකි. ඒ ඔවුන් එක්තරා රාමුවක කොටු වී සිටින බැවිනි.

“මම පන්සල්වල චිත්‍ර අඳින්න එන බව ආරංචි වුණාම සමහරුන් ඊට කැමති වෙලා නැහැ. නමුත් මම විහාරයට ගිහින් චිත්‍ර අඳින්න පටන් ගත්තාට පස්සේ ඔවුන් මා හා විශ්වාසයෙන් කතා බහ කළා. මම සිතුවම් අඳින්න යන්නේ සහායකයන් නැතිව. ඒ වගේම මම යම් මිලක් අය කළත් සමාන්‍යයෙන් අද මේ ක්ෂේත්‍රයේ තිබෙන මිලටත් වඩා භාගයක් තමයි අය කරන්නේ. මම එහෙම කරන්නේ එකක් මම බෞද්ධයකු නිසා. අනෙක තමයි මගේ හීනය වුණේ විහාර සිතුවම් ශිල්පිනියක් වීම නිසා. “ චාමිනි පවසන්නේ සතුටිනි.

සිතුවම් නිර්මාණය කිරීම හැරුණ විට චාමිනි “ආලේඛ්‍ය සිතුවම භූමි දර්ශන, මූර්ති, කැටයම් (මියුරල්), ගොක් නිර්මාණ, අයිස් කැටයම්, එළවුළු කැටයම්, මිශ්‍ර මාධ්‍ය අාදිය කරනො. “ ඕනෑම මාධ්‍යයක් භාවිත කිරීමේ හැකියාව මට තිබෙනවා. නමුත් මගේ ප්‍රියතම මාධ්‍ය තෙල් සායම්.“

ඇය යම් විහාරයක සිතුවම් නිර්මාණය කිරීම ආරම්භ කළ විට තම කාලය ඒ වෙනුවෙන්ම ගත කරන්නීය . ඇයට අවශ්‍ය තමන් කරන කාර්ය ඉතා නිවැරදිම තමන් දන්නා ශිල්ප ක්‍රම භාවිතා කරමින් හොඳින් කිරීමටය. ඉදිරියේදී ඇයට ඉන්දියාවේ ද සිය දක්ෂතා දැක්වීමට අවස්ථාව ලැබී ඇත.

“ මට ආරාධනා ලැබී තිබෙනවා ඉන්දියාවේ බෞද්ධයන් වැඩි වශයෙන් සිටින නාග්පූර් නගරයේ බෞද්ධ චිත්‍ර කලාව යොදාගෙන කරන දහම් ප්‍රචාර වැඩසටහනකට. යටත් විජිත සමයේ එම් සාර්ලිස් මහතා විසින් මෙරට තුළ බෞද්ධ කලා පුනරුදයක් ඇති කළාක් මෙන් එරට ජනතාව තුළත් බෞද්ධ කලා පුනරුදයක් ඇති කිරීමේ අරමුණක් සහිතව දිගු ගමනක් යෑමේ අදහසක් මට තිබෙනවා. මට හිතෙනවා ඉන්දියාවේදී මට මගේ දක්ෂතා පෙන්වීමට සේම යම් දෙයක් කරන්නට පුළුවන් කියලා.

අංජලී සකුන්තලා

Comments